එපා වාහෙලාට ඇමතිකම් බෙදූ හැටි ගැන තවදුරටත් | How Sri Lanka President gave powers to his unwanted battalion

දැන් එකත් කලින් එක වගේ ම වේවිද?
(2010 අප්‍රේල් 25 - W3Lanka ) එපා වාහෙට හොදි බෙදන්නා වාගේ යයි ප්‍රස්ථා පිරුළක් තිබේ. තමන් සමග සහවාසයේ සිටි පිරිමියා වයස්ගත වීම, අබල දුබල වීම හෝ වෙනත් හේතුවක් මත එපා වූ කල හුදෙක් යුතුකම ලෙස සලකා ගැහැනිය ඔහුට සලකන්නේ ඒ සැලකිලි එපා වන පරිද්දෙනි. හොදි බෙදනවා නම් බෙදන්නේ එක්කෝ බතට මදි වන්නටයි. නැතිනම් පල්ලෙන් බේරෙන්නයි.


මහින්ද රාජපක්ෂ පාලනය ඇමති තනතුරු දීමේදී කටයුතු කර තිබෙන්නේ ද ඒ අන්දමට ය.  පවුල ඇතුළේ පවා කැපිලි ය. චමල් කතානායක ධුරය නම් බලය නැති ඊනියා ගෞරවාන්විත තනතුර භාර ගැනීමට කැමැත්තක් දක්වා නැත. අයියලා මල්ලිලා අතර දැන් මෙවැනි කාරණා ගැන කෙළින් කතා අඩු අතර මේ ප්‍රශ්නය විසඳා දී ඇත්තේ නංගිලා දෙන්නා මැදිහත්ව සංවිධානය කළ භෝජන සංග්‍රහයකදී ය. අවසානයේ චමල්ට තිබුණු වරාය හා ගුවන් සේවා ඇමතිකම අහිමි විය. චමල්ට පමණක් නොව, එය ඉලක්ක කරගෙන සිටි බැසිල්ට ද එය හිමි වූයේ නැත. එහෙත් බැසිල්ට දුන් ආර්ථික සංවර්ධන ඇමති ධුරය බලවත් තනතුරකි. ජනාධිපති අත තබාගෙන සිටින ප්‍රබල ඇමති තනතුරු පහේ ආරක්ෂක හැර අන් අමාත්‍යංශවල නිල නොවන ඇමති වන්නට නාමල්ට කදිම අවස්ථාවක් උදා වී තිබේ. ජනාධිපති පුත්‍රයා වීම පමණක් වුව ඔහුට ඒ සඳහා සෑහේ. බැසිල් ඇමති ධුරයේ වගකීම්වල සිර වූ විට නාමල්ට ප්‍රායෝගිකව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක භූමිකාව හිමි වනු ඇත.


එපා ම එපා වූ වාහෙලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය. එක්සත් ජාතික පක්ෂයෙන් කරණම් ගසා ආ උන් හා චම්පික රණවක පෙරමුණ හා විමල් වීරවංශ පෙරමුණ වැනි සුළු පක්ෂවලින් පැමිණියවුන් මෙන් නොව ශ්‍රී ලංකාකාරයෝ පක්ෂයේ මීළඟ නායකත්වය අපේක්ෂා කරති. එබැවින් රාජපක්ෂ පවුල් පාලනයට ප්‍රබල ම අභියෝගය එල්ල වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. එය කළමනාකරණය කර ගැනීම පවුල් ආධිපත්‍යය හා මහින්ද රාජපක්ෂ සමීපස්ථ පවුලේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය ය.


මෙහිදී ප්‍රබල ම අභියෝගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා ජනප්‍රිය නායකයක් වන මෛත්‍රීපාල සිරිසේනගෙනි. ඔහුට මෙවර දුන්නේ ගිය වර නිමල් සිරිපාල ද සිල්වා ජනප්‍රිය නොවන පුද්ගලයකු බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ඉවහල් කර ගත හැකි වූ සෞඛ්‍ය අමාත්‍යංශයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල වෘත්තීය සමිති කීපයක ම නායකයන් ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ සාක්කුවේ බව ප්‍රසිද්ධ රහසකි.


තවත් ශ්‍රීලනිප ප්‍රබලයකු වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාට මෙවර දී තිබෙන්නේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයයි.


ශ්‍රීලනිප ජ්‍යේෂඨයක් වන දි.මු. ජයරත්න බලයක් නැති අගමැති තනතුරට පත් කර බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවරා ඇත.


ජනාධිපති සෙවණේ හිඳිමින් ශ්‍රීලනිප නායකත්වය ඉලක්ක කරගෙන සිටින හිටපු ජනමාධ්‍යවේදියකු වන ඩලස් අලහප්පෙරුමට භාර දී ඇත්තේ වගකීම් අඩු තරුණ කටයුතු හා රැකී රක්ෂා ඇමතිකම ය. ඔහු මීට පෙර ප්‍රවාහන ඇමති විය. මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළා නම් වැඩි ම මනාපයෙන් දිනන්නට ද තිබිණි. එහෙත්, ඔහු පත් කරනු ලැබුවේ ජාතික ලැයිස්තුවෙන් වන අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ජනවරමක් සහිත මන්ත්‍රීන්ට වඩා අඩු තක්සේරුවෙන් අවශ්‍ය විටදී සලකනු ලැබේ.


හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකට දී තිබෙන රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට පැවරෙන කාර්යය කුමක්ද යන්න තවම පැහැදිලි නැත. නියෝජ්‍ය ඇමති කෙනෙකුවත් පත් කර නැතිකමින් මෙම අමාත්‍යංශයේ වැදගත්කම පෙනේ.


ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු වන රෙජිනෝල්ඩ් කුරේට කැබිනට් ඇමති ධුරයක් නැත. ලැබී ඇත්තේ සමසමාජයෙන් කැඩී ආ ආතාවුද සෙනෙවිරත්න යටතේ අධිකරණ නියෝජ්‍ය ඇමතිකමයි.


අනුර ප්‍රියදර්ශන යාපාට මෙතෙක් නමට පමණක් දී තිබුණු ජනමාධ්‍ය අමාත්‍යංශය එහි ඇත්ත හසුරුවන්නන් වන රාජපක්ෂ පවුල අතට ගෙන යාපා පරිසර අමත්‍යංශයට පහත දමා ඇත.


ජෝන් සෙනෙවිරත්න රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වෙද්දී 1994 සිට පාර්ලිමේන්තුවේ සිටියත් කැබිනට් ඇමතිකමක් නැතැයි හැමදා ම වැළපෙන ඩිලාන් පෙරේරාට මෙවරත් හිමි වී තිබෙන්නේ ජෝන් සෙනෙවිරත්න යටතේ නියෝජ්‍ය ඇමතිකමයි. මේ දෙදෙනා ම චන්ද්‍රිකා බංඩාරනායකගේ අනුග්‍රහයෙන් පෙරට ආ පැරණි ශ්‍රීලනිප පාක්ෂිකයෝ ය.


මේ අතර, රාජපක්ෂ පවුලේ ආධිපත්‍යයට අභියෝග කිරීමේ අඩු හැකියාවක් තිබෙන සුසිල් ප්‍රේම ජයන්ත, කුමාර වෙල්ගම වැනි අයට තරමක් හොඳ අමාත්‍යංශ ලැබී තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා