ජාතිවාදය හා ජාතිකවාදය | Nationalism and nationalist chauvinism

අජිත් පැරකුම් ජයසිංහ -

පසුගිය සතියේ අප විසින් සම්පාදනය කරන ලද ලිපියට අන්තර්ජාලය හරහා ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් අප "සිංහල අයට 'ජාතිවාදීන්' (racist) කියාත් දෙමළ අයට කයන්නක් එක් කර 'ජාතිකවාදීන්' (nationalist) කියාත්" භාවිතා කරන්නේ මන්දැයි අසා තිබිණි.


එහෙත් මෙම ලිපියේ කොතැනකවත් එසේ භාවිතා කර නොතිබුණු අතර අපගේ ලේඛනවල අප එසේ භාවිතා කර තිබේ යයි ඔප්පු කරන ලෙස අප එම පාඨකයාගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඉන් පසු නිහඬ විය. මෙම වචන පිළිබඳව අප මුල සිට ම සංවේදී වුණෙමු. 'ජාතිවාදය' යන වදන අප භාවිතා කළේ නිශ්චිත අරුතකින් යුතුව සීමිත අවස්ථා ගණනාවකදී පමණි.


මෙවැනි අභූත චෝදනාවක් මතු කිරීම ද අප දකින්නේ සිංහල ජාතිවාදී හීනමාන සිතීමක ප්‍රතිඵලයක් ලෙසයි. එය එසේ වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම සඳහා මෙම වචන හා ඒවායින් ප්‍රකාශ වන සංකල්ප පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ යුතු යයි සිතමි.


මෙහිදී අප උත්සාහ කරන්නේ ලාංකීය සංදර්භය තුළ හා සිංහල භාෂීය අවකාශය තුළ මෙම වචන සඳහා අරුත් ලැබෙන ආකාරය විමසා බැලීමටයි. එහෙයින් ජාතිකවාදය හෙවත් nationalism පිළිබඳ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි බසින් නිර්මිත විදග්ධ කතිකාවන්ගේ ඉදිරිපත් කිරීම් හා මෙම අදහස් අතර පරස්පරතාවක් තිබිය හැකිය.


ජාතිය, ජාතිකත්වය, ජන වර්ගය වැනි යෙදුම් කිහිපයක් ම සිංහල බසින් ලාංකීය දේශපාලන ප්‍රජාවේ යම් කොටස් හැඳින්වීම සඳහා භාවිතා වී තිබේ. මෙම වචනවල නූතන අරුත් මීට සියවසකට පෙර අරුත්වලට වඩා වෙනස් වී තිබේ. අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රකාශනවල ඇතැම්විට ජාතිය යන්නෙන් අදහස් කර තිබෙන්නේ කුලයයි. පොදු ජන ව්‍යවහාරයේ අද පවා කුලය හැඳින්වීමට ජාතිය යන වදන භාවිතා වන බව අඩු ජාතිකාරයා වැනි යෙදුම්වලින් පෙනේ. එහෙත් දේශපාලන වාග්කෝෂයේ නම් තව දුරටත් ජාතිය යන්නෙන් කුලය අදහස් වන්නේ නැත.


ජාතිය යන වචන නැවත අර්ථකථනය වන්නේ ලංකාවේ ජීවත් වන ජන ප්‍රජාවන්ගේ අනන්‍යතාව ප්‍රකාශ වන ආකාරය වෙනස් වීමත් සමගයි. ලංකාවේ ජීවත් වූ ජන ප්‍රජාවන් බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමට පෙර කාලයේ සිය අනන්‍යතාවන් ප්‍රකාශ කිරීමට යොදා ගත් සංඥා නාම අදට වඩා සපුරා වෙනස් ඒවා ය. කොටින් ම තමන් සිංහල හෝ දෙමළ ජාතීන් ලෙස සැලකීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ යයි කිව නොහැක. එදා ඔවුන්ගේ ප්‍රධාන දේශපාලනික අනන්‍යතාවන් සලකුණු වන්නට ඇත්තේ ජීවත් වූ ප්‍රදේශ අනුවයි. කන්ද උඩරට, පහතරට, රුහුණ, යාපනය, වන්නිය, මඩකලපුව, දිගාමඩුල්ල වැනි ප්‍රාදේශීය අනන්‍යතා සමග කුල, ආගමික හා භාෂාමය අනන්‍යතා ද පවතින්නට ඇත.


මිනිසුන්ගේ අනන්‍යතාව කිසිදු සංදර්භයක් තුළ එක් නිශ්චිත කරුණකින් පමණක් තීරණය වන්නේ නැත.


ඉංග්‍රීසීන්ගේ සියවස් එකහමාරක පමණ යටත් විජිත පාලනය තුළ ලංකාවේ ජන විකසනයේ විප්ලවීය වෙනසක් සිදු විය. මෙම වෙනස සිදු වීමට ප්‍රධාන හේතුවක් වූයේ මාර්ග පද්ධතියේ ඇති වූ වේගවත් සංවර්ධනයයි. එය විසින් ජන ප්‍රජාවන් අතර සම්බන්ධතා වර්ධනය කරන ලදී. සමානකම් හා වෙනස්කම් පිළිබඳ අවබෝධය පුළුල් කරන ලදී. මේ අතර, ඉංග්‍රීසීහු සිලෝන් ලෙස ඔවුන් විසින් නම් කරන ලද මෙම දිවයින එක් පරිපාලන පද්ධතියක් හා ඒකීය රාජ්‍යයක් බවට පත් කළහ. ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීමට ආසන්න සමයේ ලංකාවේ තිබුණේ පාලන විවිධත්වයකි. යාපනය, වන්නිය, කන්ද උඩරට හා පහතරට ලෙස හෝ වෙන් කර දැක්විය හැකි පාලන විවිධත්වයක් ආසන්න පූර්ව යටත් විජිත සමයේ තිබිණි. මෙය මුල් වරට ඒකීය ලංකා රාජ්‍යයක් බවට පත් කළේ ඉංග්‍රීසීන් විසිනි. අප අද හිස් මුදුනින් බදාගෙන සිටින්නෙ සුද්දා දුන් මේ දෑවැද්දයි.


ඉංග්‍රීසීන් විසින් ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කරනු ලැබුවේ ඔවුන්ගේ පාලන පහසුව පිණිස මිස ලංකාවේ ජීවත් වූ ජන ප්‍රජාවන්ගේ උන්නතිය සඳහා නොවේ. ලංකාවේ ජනතාවට භාෂාමය අනන්‍යතාව ප්‍රමුඛ වන්නට පටන් ගත්තේ ඉංග්‍රීසි දේශපාලන හා භාෂාමය ආධිපත්‍යයේ පීඩනය නිසා බව අපි යෝජනා කරමු. ඊට පෙර මේ රටේ ජනතාවට භාෂාව ගැටළුවක් වී තිබූ බවක් නොපෙනේ. අනන්‍යතාව භාෂාමය පදනමින් සලකුණු කරගෙන සංස්කෘතික සංරක්ෂණවාදයක් වෙත යොමු වූවා නම් ලංකාවේ සිංහල හා දෙමළ භාෂාවන් මෙතරම් විචිත්‍ර ප්‍රාදේශීය අනන්‍යතාවන් සහිත භාෂා ඒකක බවට පත් නොවන්නට තිබිණි. දෙමළ ආභාසය නොතිබුණා නම් අද අප කතා කරන සිංහල භාෂාව වෙනත් එකක් වන්නට තිබිණි. එසේම ලාංකීය දෙමළ භාෂාව ද සිංහල ආභාසයෙන් නොමඳව පෝෂණය වී තිබේ.


ලංකාවේ ජන ප්‍රජාවන් භාෂාමය අනන්‍යතාවකින් යුතුව සිංහල, දෙමළ ලෙස සංවිධානය වන්නට පටන් ගන්නේ ඉංග්‍රීසි දේශපාලන හා භාෂාමය ආධිපත්‍යය තුළ එයට ප්‍රතිචාරාත්මක ලෙසයි. වන්නියේ ජනතාව සිංහල, දෙමළ ලෙස දෙපසට බෙදුණු ආකාරය අධ්‍යයනය කිරීම මෙහිදී රසවත් ය. තවමත් වන්නියේ ඇතැම් සිංහලයන් භාවිතා කරන්නේ පියාගේ නම පුතාට වාසගම ලෙස යෙදෙන දෙමළ නාමකරණයයි. වේලුපිල්ලෛගේ පුතා වේලුපිල්ලෛ ප්‍රභාකරන් වී ප්‍රභාකරන්ගේ පුතා ප්‍රභාකරන් බාලචන්ද්‍රන් වන්නා සේ කන්දප්පුගේ පුතා කන්දප්පුගේ සුදුබංඩා වී ඔහුගේ පුතා සුදුබංඩාගේ චමින්ද වේ. ඉංග්‍රීසි පාලනය තුළ භූ දේශපාලනයේ සිදු වූ වෙනස්කම් හා සමපාතව වන්නියේ ජනප්‍රජාව ද සිය ප්‍රමුඛ අනන්‍යතාව භාෂාමය එකක් බවට පත් කරගෙන දෙමළ, සිංහල මිනිස්සු බවට පත් වූහ. සිංහල සමාජයේදී වන්නියේ මිනිසුන් අවමානයට පත්කිරීමට තවමත් බයියා යන වචනය භාවිතා වන්නේ ඉතිරි වූ අනන්‍යතා නෂ්ඨාවශේෂ හේතුවෙනි.


ඉංග්‍රීසීන් දෙවන ලෝක යුද්ධයෙන් පසු නිදහස සඳහා අරගල කරමින් සිටි ඉන්දියාව අතහැර යන විට ලංකාවේ ජන ප්‍රජාවෝ භාෂාමය අනන්‍යතාවන් යටතේ නැවත සංවිධානය වෙමින් සිටියහ. එහෙත් ඒ වන විටත් සිංහල, දෙමළ භාෂාමය අනන්‍යතාවන්ට වඩා උඩරට, පහතරට, යාපනය, මඩකලපු හා ඉන්දීය සම්භවයකින් යුත් වතු කම්කරු වැනි අනන්‍යතාවන් ප්‍රමුඛ විය. ඉංග්‍රීසීන් විසින් නිදහසින් පසු ලාංකිකයන්ගේ හිස මත අතහැර ගියේ මෙම වෙනස් වෙමින් පැවති ස්වදේශික අනන්‍යතාවන්ට ගැලපෙන රාජ්‍යයක් නොවේ. පැවති රාජ්‍යය ඔවුන් විසින් නිර්මානය කරනු ලැබුවේ මේ රටේ ජීවත් වූ ජන ප්‍රජාවන් වෙනුවෙන් නොව තමන්ගේ පාලන පහසුව වෙනුවෙන් බැවින් මේ රට දමා යන විට මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ආකාරයේ රාජ්‍යයක් නිර්මානය කර දී යාමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොතිබිණි. ඉංග්‍රීසීන් විසින් හඳුන්වා දෙන ලද ඡන්ද ක්‍රමය හා ප්‍රමාණාත්මකව බහුතර ජනගහණය වීම නිසා මෙතැනදී සිංහල බස කතා කරන ජනයා වාසිදායක තත්වයකට පත් විය. ඒ‍ හේතුවෙන් සිංහල කතා කරන ජනතාව වඩා වේගයෙන් නව දේශපාලන ප්‍රජාවක් ලෙස සංවිධානය විය. ලංකා රාජ්‍යයේ දේශපාලන ආධිපත්‍යය සියතට පත් වීමත් සමග එය ජාතිය නම් වඩනය සිය අනන්‍යතාව සලකුණු කිරීම සඳහා යොදා ගන්නට පටන් ගත්තේ විදේශ ආභාසයෙනි. එය හරියට ම කිවහොත් බ්‍රිතාන්‍යයේ වෙසෙන ඉංග්‍රීසි, ස්කොට්, වේල්ස්, අයිරිෂ් ජාතීන් අතරින් ඉංග්‍රීසීන් ප්‍රමුඛ වීම වැනි දෙයකි.


දෙමළ බස කතා කරන ජනයා එම බස පදනම් කරගෙන ජාතියක් ලෙස සංවිධානය වීම ආරම්භ වූයේ මේ සමගයි. සිංහලයන්ට රාජ්‍යය තුළ හිමි වී ඇති ආධිපත්‍යය ප්‍රශ්න කිරීම දෙමළ ජාතිය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ මුල් යුගයේ සිට ම දක්නට ලැබේ. සිංහල දෙමළ දෙජාතිය ම සිය අනන්‍යතාව ගොඩනඟා ගන්නේ අනෙක් ජාතිය අනෙකා කරගෙනයි. ලංකාවේ ජාතික ප්‍රශ්නය නිර්මානය වන්නේ එසේයි. ජාතික ප්‍රශ්නය මුල සිට ම රාජ්‍යය හා දේශපාලනය හා සම්බන්ධ ප්‍රශ්නයක් බව මෙයින් පැහැදිලි වේ. නොඑසේව, ජාතික ප්‍රශ්නය යනු ජවිපෙ වැනි බලවේග කියන අන්දමේ හුදු භාෂාමය ප්‍රශ්නයක් නොවේ. ජවිපෙ කියන අන්දමින් පැමිණිලි ලියා ගන්නට පොලිසියට දෙමළ නිලධාරීන් පත් කිරීම වැනි ක්‍රියා ඔස්සේ ජාතික ප්‍රශ්නය විසඳිය නොහැක්කේ එබැවිනි.


අපගේ ප්‍රස්තුතය වන ජාතිවාදය හා ජාතිකවාදය අතර වෙනස පැහැදිලි කර ගැනීම සඳහා මෙතැනින් ප්‍රවේශ විය හැකිය. සිංහල දෙමළ අනන්‍යතාවන් ඇත්තෙන් ම ජාතික හෙවත් ඉංග්‍රීසියෙන් nationalist අනන්‍යතාවන් බව අපි තර්ක කරන්නෙමු. ඒවා ඉංග්‍රීසියෙන් race හෝ ethnicity ලෙස දක්වන අනන්‍යතාවන් පසු කර ගිය දේශපාලනිකව රාජ්‍ය අයිතිය පිළිබඳ තර්කයක් මත පදනම් වූ ජාතීහු වෙති. සිංහල මූලික ශ්‍රී ලාංකික රාජ්‍යය රැක ගැනීමේ සිංහල අභිලාෂය හා දෙමළ ජාතියට සිංහලයන් හා සම තැන
ලැබෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සඳහා වූ දෙමළ අභිලාෂය යන දෙක ම ජාතිකවාදී අභිලාෂයෝ වෙති. ඒ අරුතින් ගත් කල එක් තැනකදී චම්පික රණවකත්, වේලුපිල්ලෛ ප්‍රභාකරනුත් ජාතිකවාදීහු වෙති.


ජාතිවාදය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන්නේ තමන්ගේ ජාතිය වඩා උසස් යයි සිතාගෙන තවත් ජාතියක් අවමානයට හා පීඩනයට ලක් කිරීමයි. මේ සඳහා වඩා උචිත ඉංග්‍රීසි යෙදුම වන්නේ nationalist chauvinism හෙවත් ජාතික ස්වෝත්තමවාදය යන්නයි. ලංකාවේ රාජ්‍යය යථාර්ථවාදී සම්මුතියක් ඔස්සේ සියලු ජාතීන්ට සම තැන් ලැබෙන අන්දමින් වෙනස් කර ගැනීමට අකැමැති වන්නෝ ජාතිවාදීහු වෙති. මෙතැනදී චම්පික රණවකත්, වේලුපිල්ලෛ ප්‍රභාකරනුත් ජාතිවාදීහු ද වෙති. අප මෙහිදී නම් භාවිතා කරන්නේ නිදසුනක් ලෙස මිස එම චරිතවලට අපහාසයක් කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.


අපේ දේශපාලනික ස්ථාවරය පැහැදිලි එකකි. අපි ජාතිකවාදයට විරුද්ධ නැත. අප කියන්නේ සිංහලයන්ට තම ජාතිකවාදය ප්‍රවර්ධනය කරන්නට තිබෙන අයිතිය දෙමළ අයට ද තිබිය යුතු බවයි. දෙමළ ජනයාට එම හිමිකම නැති යයි යමකු තර්ක කරන්නේ නම් ඔහු හෝ අය පැහැදිලිව ම සිංහල ජාතිවාදියෙකි.


දෙමළ ජනයා අතර ද ජාතිවාදීහු සිටිති. සිංහලයා සමග කුමන තත්වයක් යටතේ හෝ කිසිදු සම්මුතියක් අනවශ්‍ය බව හා ‍දෙමළ ජනයාට අවශ්‍ය ඊලම ම පමණකැයි කියන්නෝ දෙමළ ජාතිවාදීහු වෙති.


සිංහල ජාතිවාදීන් ප්‍රමාණාත්මකව සුළුතර දෙමළ ජාතිකයන් බලයෙන් මර්දනය කරන අන්දමින් ම දෙමළ ජාතිවාදියෝ ද ප්‍රමාණාත්මකව සුළුතර මුස්ලිම් ජාතිකයන් මර්දනය කරති. මුස්ලිම් ජාතිවාදියෝ මෙය ම මැලේ ජනයාට කරති.


ජාතිකවාදය තුළ ද ජාතිවාදී ප්‍රවණතා තිබේ. ඒවා දුටු තැනදී අපි ජාතිවාදය ලෙස එය හඳුනා ගනිමු. ජාතිවාදියා සිංහල වුණත් දෙමළ වුණත්, ඌට ජාතිවාදියා යයි කියන්නට අපි බය විය යුතු නැත.

Comments

  1. ..සිංහල දෙමළ අනන්‍යතාවන් ඇත්තෙන් ම ජාතික හෙවත් ඉංග්‍රීසියෙන් nationalist අනන්‍යතාවන් බව අපි තර්ක කරන්නෙමු,, කරුනාකරමේ සදහා ඔබට ඇති තර්කය ඉදිරිපත් කරන්න

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා