සැබෑ ජාතික ප්‍රශ්නය තිබෙන තැන
සිංහල, දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන් ම ඉගැන්වීම කරනු ලබන මගේ පාසලේ මුස්ලිම් ගුරුවරියක් පසුගිය දිනෙක පංතියක උගන්වමින් සිටි මා හමුවට පැමිණ කරුණක් කීවා ය. ඇය කීවේ අටේ පංතියේ සිංහල ළමයකු ඇයට තංගච්චි කියා උසුළු විසුළු කළ බවයි. ඇයට පසුපසින් තංගච්චි කියා කතා කරනුඇසී බලන විට ඒ සිදුවෝ පළා ගොස් ඇත. මා ඔවුන් සොයා විමසූ කල ඒ සිසුවා කීවේ තමන්ගේ මහළුවකුට තංගච්චි කියා විහිළු නමක් ඇති බවකි. ඔහු කියන ආකාරයට ඔහු තංගච්චි යයි කීවේ ඒ සිසුවාට මිස ගුරුවරියට නොවේ. එය තර්කානුකූල පිළිතුරක් වුවත්, දොරේ සද්දෙත්, පඩේ සද්දෙත් වෙන් කර හඳුනා ගන්නට පුළුවන් අයෙකු බැවින් මම ගුරුතුමියගෙන් සමාව ගන්නැයි සිසුවාට කීවෙමි. ඔහු එය කළේ අකැමැත්තෙන් ය. මේ ගුරුතුමිය මට කියූ තවත් කරුණු කීපයක් මෙසේ ය: “අපි දැන් පිරිමි ළමයින්ගේ පාසල් බස් එකේ එන්නේ නැහැ. සමහරු ෆෝන්වල සිංදු දාලා අපේ කණ ළඟින් තියනවා. ඔන්න බිල්ලො එනවා කියනවා. තම්බි කියනවා. දවසක් මමයි, මහත්තයායි මෝටර් සයිකලෙන් එද්දී බස් එකක ගිය ළමයි අපට රඹුටං ලෙලි මුලකින් ගැහුවා. එක දවසක් මෝටර් බයිසිකලෙන් බස් එකක් ඉස්සර කරනකොට කෙළ ගැහුවා.“ මේ ගුරුතුමිය තරමක් අතිශයෝක්තියෙන් කතා කරන...