W3Lanka නිෂ්පාදනයක් වන 'රන්මිනිතැන්න' චිත්‍රපටයේ කතාව | Story of Ranminithenna movie

(2010 මාර්තු 29-W3Lanka ) ජනාධිපතිතුමා අතින් මහ ඡන්දයට පෙර විවෘත වන රු. මිලියන 600ක වියදමින් තිස්සමහාරාමයේ රන්මිනිතැන්න ගමේ අක්කර 200ක භූමියක ඉදි කරන ලද ටෙලි සිනමා ගම්මානයේ චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා අප විසින් තිරනාටකයක් ලියමින් තිබේ.


'රන්මිනිතැන්න' නම් වන මෙම චිත්‍රපටයේ කතාව මෙසේයි:


රෙනෝ නම් කූට ව්‍යාපාරිකයෙක් සිටියි. ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වන ඔහුගේ සෙල්ලක්කාර මල්ලී වන දුමින්ද, ආකර්ශා නම් සුරූපී තරුණියක් පැහැරගෙන යයි. කෙල්ලගේ අම්මා වන ගීතා මේ පිළිබඳ ම‍හින්ද නම් වූ වීරයාට පවසයි. වීරයා වහා කෙල්ල බේරා ගැනීම සඳහා පිටත් වේ.


මේ අතර, අධ්‍යාපනය සඳහා පිටරට ගොස් සිට පැමිණෙන වීරයාගේ පුතා වන නාමල් ගුවන් තොටුපළේ පියා නොදැක ඔහු කොහි ගියේදැයි මවගෙන් අසයි.


"අන්න අර සක්කරවට්ටමක් එක්ක කාවද නැට්ටච්චියෙකු බේරා ගන්න කියල ඔය ගියේ," යි අම්මා කියයි.


"එහෙම කියන්න එපා අම්මා, මපියාණන්ගේ උතුම් අරමුණු ඔබ නොදන්නෙහිද? මපියාණන්ට දැන් මගේ උපකාර අවශ්‍යව තිබේ. එහෙයින් මම වහා පිටත් වෙමි," යි කියමින් නාමල් වහා පිස්තෝලයට පතුරම් පුරවාගෙන නවීන පන්නයේ ක්‍රීඩා වාහනයකින් හෙවත් SUV එකකින් පිටත් වේ.


මේ අතර දුමින්ද රන්මිනිතැන්න නම් කැළෑවක චන්ද්‍රමාලි නම් ඉස්සර ඡන්දෙ පවා ඉල්ලූ දැන් කංසා හේනක් වවාගෙන දුක සේ දිවි ගෙවන දුප්පත් ගැහැනියකගේ පැලක කෙල්ල සිර කර ඇගේ හිසට පිස්තෝලය තබා තමන් සමග එක් නොවුණොත් ඈ වෙඩි තබා මරන බව පවසයි.


මේ අතර, මහින්ද වීරයා රෙනෝ නම් කූට ව්‍යාපාරිකයා හමු වී ඔහුට නාහෙන් කටින් ලේ එන්නට පහර දී ඔහුගේ මල්ලී දුමින්ද සහ පැහැර ගත් ‍සුරූපිනිය ආකර්ශා‍ කොහේ සිටින්නේදැයි අසයි. ජීවිතය රිවයින්ඩ් වී අම්මා පෙවූ රන් කිරි කටින් එන විට රෙනෝ සිය මල්ලී සහ කෙල්ල සිටින තැන හෙළිදරව් කරයි. මහින්ද වීරයා වහා ගීතා ද රැගෙන කෙල්ල බේරා ගැනීමට රන්මිනිතැන්න බලා පිටත් වෙයි. ඔහු එහි ගිය බව දැන ගන්නා නාමල් ද එහි පිටත් වේ.


සිහිය පැමිණි පසු රෙනෝ වහා සිය මිතුරු ත්‍රස්ත නායකයකුට කතා කර රන්මිනිතැන්නට ත්‍රස්ත කණ්ඩායමක් එවන්නැයි කියයි. එතැනින් නතර නොවන රෙනෝ රන්මිනිතැන්නට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තමන්ට හිමි 'හිරු බොල එෆ්.එම්.' නම් ගුවන් විදුලි සේවයකින් ද පවසයි. ජනතාව බිය වී හිස් ලූ ලූ අත දුවති.


මේ අතර, මහින්ද දුමින්ද සොයා ගනියි. දෙන්නා අතර වෙඩි හුවමාරුවකි. ටිකකින් දුමින්දගේ පතුරම් ඉවර වේ. මහින්ද ඌට පොලිස් ගැටයා දා අල්ලාගෙන හොඳ, නරක, කළ ගුණ ආදිය පිළිබඳ දේශනයක් පවත්වයි. එය අවසානයේදී දුමින්ද හොඳ මිනිහෙකු වන්නට කැමති බව පවසයි.


එහෙත් ඒ සමගම රෙනෝ විසින් එවන ලද ත්‍රස්ත කණ්ඩායම එතැනට පැන මහින්දට පහර දෙති. තවත් පිරිසක් ගීතා හා ආකර්ශා කැළයට ඇදගෙන යති. මහින්ද ත්‍රස්තයන් විස්සක් සමග අතින් පයින් ගහගනියි. මේ අතර නාමල්ගේ SUV එක කැළය පීරාගෙන වේගයෙන් ඉදිරියට එන්නේ පෙරළුණ ගස් කඳන් උඩින් පන්නමින් වැව් මැදින් දිය කපාගෙන මඩ කාගෙනයි. රැකවල් ලා සිටි ත්‍රස්ත කණ්ඩායමේ අය මෙම රියට එළව එළවා වෙඩි තබති. එකින් එක රෝදවල හුළං යයි. අන්තිමට ත්‍රස්තයෙක් රිය‍ට බෝම්බයකින් ගසයි. නාමල් බෝම්බය පිපිරීමට පෙර බල්ටියක් ගසා මහින්ද සිටි තැනට ම පනියි.


ෆේස් ටු ෆේස් එන්නට බැරි බව දැන ගන්නා ත්‍රස්ත කණ්ඩායමේ නායකයා පිටුපසින් පැමිණ මහින්දට පිහියෙන් අනින්නට සැරසෙයි. එය දකින නාමල් වහා පැන පිටරටදී ඉගෙන ගත් ෂොට් දෙක තුනකින් ත්‍රස්ත නායකයා පරළොව යවයි. පියාත්, පුතාත් එක් වී ත්‍රස්ත කණ්ඩායමට කැළේ කඩාගෙන දුවන්න පහර දෙන අතර, දුමින්දත් චන්ද්‍රමාලිත් එක් වී කෙල්ල හා අම්මා කැළයට ඇදගෙන ගිය ගිය ත්‍රස්තවාදීන් රවටා රෙනෝ කී බව කියා ඔවුන් මරණයෙන් බේරා ගනිති.


දුමින්ද කෙල්ලගෙන් සමාව ඉල්ලන නමුදු කෙල්ල සමාව දෙන්නේ නැත.


සියලු ත්‍රස්තවාදීන් මරා දැමීමෙන් පසු පියා පුතා වැළඳගෙන "පුත්තා..... උඹ එහෙනම් මා සොයා අවා?" යි කියමින් සිප ගනියි.


එවිටම, දුමින්ද හා චන්ද්‍රමාලි දර්ශනයට එති. දෑත් ඔසවාගෙන ඉදිරියට එන දුමින්ද තමන්ටත්, අයියාටත් සමාව දෙන්නේ නම් නරක වැඩ නවත්වා හොඳ මිනිසුන් බවට පත් වන බව කියා එය පිළි ගත නොහැකි නම් තමන්ට වෙඩි තබා මරා දමන ලෙස ඉල්ලා සිටියි. 


"පප්පා, කවුද මේ තම්බපු ඉස්සා?" යි අසන නාමල් වහා පිස්තෝලය ඇදගෙන දුමින්දට වෙඩි තැබීමට සැරසෙයි. අතින් සන් කර එය වළක්වන මහින්ද "නෑ පුතා, මුගේ අයියා මාර බරකාරයා, අපට උගෙන් හොඳ ගානක් කපා ගත හැකියි," යි පවසයි. නාමල් දත් මිටි කමින් පිස්තෝලය සාක්කුවේ දමා ගනියි.


ඔවුන් සමග සිටින ආකර්ශා සහ ගීතා දුවගෙන විත් වීරයන්ගේ දෙපා මුල වැටෙති. ආකර්ශාගේත්, නාමල්ගේත් නෙතට නෙත හමුවේ. 'සරාං' ගා සිතාර් පාරක් වදියි. එහෙත් මොකුත් වන්නේ නැත. කුතුහලය දනවමින් චිත්‍රපටය අවසන් වේ මොකුත් වෙනවා නම් වෙන්නේ ඊළඟ කොටසේදී ය.


අන්තිමට මනස්කාන්ත නැටුම් දර්ශනයකි.


චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරා ගැනීම සඳහා දැන් නිෂ්පාදකයන් සමග සාකච්ඡා සිදු වේ. ඒ සඳහා යෝජිත නම් පහත පළ වේ. චිත්‍රපය ජාත්‍යන්තර නිෂ්පාදනයක් කරනවාද නැතිනම් දේශීය වෙළඳපොළ සඳහා පමණක් නිකුත් කරනවාද යන කාරණය අනුව නළු නිළියන් තීරණය වනු ඇත.


නාමල් - අභිෂේක් බච්චන් හෝ නාමල් රාජපක්ෂ
මහින්ද - අමිතාබ් බච්චන් හෝ මහින්ද රාජපක්ෂ
ආකර්ශා - අයිශ්වර්යා රායි හෝ අනර්කලී ආකර්ශා
ගීතා - මධුරි ඩික්සිත් හෝ ගීතා කුමාරසිංහ
දුමින්ද - ඉර්ෆාන් ඛාන් හෝ දුමින්ද සිල්වා

Comments

  1. Ko Uru-Wamsa?
    Script ekata joker kenek one neda?

    ReplyDelete
  2. හොඳ අදහසක්. ඔව්, අපි එයාව හරි ටෙනිසන් කුරේව හරි ගනිමු. පිටපතේ ලියන්න තරම් ඔයගොල්ලන්ගෙ කෑලිවල වැදගත්කමක් නෑනෙ. ඒ ඒ වෙලාවට ඔය මොන මොනවහරි කරන්න කියලා ෂූට් කරමු. කොහොමත් ඒගොල්ලො ඒකනේ කරන්නේ.

    ReplyDelete
  3. කතාව ඕනැ නම් මෙහෙම වෙනස් කරන්නත් පුළුවන්. වීරයා මහින්ද රෙනෝට කියනවා ‍උඹ කරපු වැරදිවල පව් සමා වෙන්නත් එක්ක රන්මිනිතැන්නේ ටෙලි සිනමා ගම්මානයක් අදපන් කියලා. දුෂ්ඨයා ඒකට කැමති වෙනවා. අන්තිම සිංදුව ෂූට් වෙන්නේ මේ ටෙලි සිනමා ගම්මානයේ. කාට හරි පුළුවන් නම් සිංදුවක් ලියන්න ඔය 'ආජු තපර ලාහි ලා' වගේ එකක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා