බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

අද ප්‍රභාකරන් ඝාතනය කළ දිනය.
ප්‍රභාකරන් කියන්නෙ ඝාතන අති විශාල සංඛ්‍යාවකට වග කිව යුතු කෙනෙකු නිසා පුද්ගලයකු ලෙස ඔහු ඝාතනය කර දැමීම ඉතා සාමාන්‍ය දෙයක්. අනෙක, ප්‍රභාකරන් අරගලය හෝ මරණය කියන දෙකෙන් එකක් ඉතා පැහැදිලිව තෝරාගෙන සිටි කෙනෙක්. ඔහු යටත් වුණේ නැහැ. මරණය දක්වා සටන් කළා. ඔහුගේ අරමුණ අනුව ඔහු කටයුතු කළා. ඔහු 100%ක් තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වුණ කෙනෙක්. ඒ නිසා ඔහු ඒ අරමුණට ගරු කරන අයගේ වීරයකු වීම කාටවත් වළක්වන්නට බැහැ.
ඔහුගේ ඇතැම් සතුරන් ලබු කිරිබත් කාපු නරි වගේ හැසිරුණාට ප්‍රභාකරන්ගේ ප්‍රතිරූපයට එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැති නිසා සිංහල සමාජයේ කාඩ්බෝඩ් වීරයන්ට අප සහෝදරත්වයෙන් කියන්නේ නිකම් පැස්ටෝල් පුච්ච ගන්නෙ නැතුව වැඩක් ඇති වැඩක් කර ගනිල්ලා ය කියලා යි.
එහෙත්, ඔහුගේ ඝාතනය දේශපාලනික වශයෙන් සංකේතාත්මක කරන්නෙ දෙමළ ඊලාම් අරගලයේ එක් යුගයක අවසානය. ඒ නිසා ඒ සටන ජය ගන්නට නායකත්වය දුන්, රණ බිමේ සටන් කළ සියලු දෙනා වීරයන් වෙනවා. මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා, කමල් ගුණරත්න ආදීන්ට ඉතිහාසයේ හිමි තැන සලකුණු වෙන්නෙ එහෙමයි. ඒකත් කාටවත් වළක්වන්නට බැහැ.
හැබැයි, මැරිච්ච ප්‍රභාකරන්ට වගේ නෙමෙයි, මේ වැඩි දෙනෙකුට තමන්ගේ ගරුත්වය රැක ගන්නට බැරි වුණා. ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියා නම් ඔහුටත් ඒ දේ ම වෙන්නට තිබෙන ඉඩ වැඩියි. ඒක ජීවිතය කියන අභියෝගයේ හැටි. මරණය ඊට වඩා පහසුයි.
කෙසේ වෙතත්, මා කතා කරන්නට යන්නෙ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන නෙමෙයි, ඔහුගේ බාල පුතා වන ප්‍රභාකරන් බාලචන්ද්‍රන් ගැනයි.
මරා දමන විට ගැටවර විය එළිපත්තේ සිටි මේ ළමයා ජීවතුන් අතර සිටියා නම් දැන් හිරිමල් යෞවනයෙක්. දෙමළ අරගලය පදනම් වුණේ ආන්තික ජාතිවාදයක් මත. එය එක්තරා විදියක ආගමික ස්වරූපයකින් යුක්ත වූ දෙයක්. බාලචන්ද්‍රන් ජීවතුන් අතර සිටියා නම්, උතුරු කොරියාවේ ජනතාව කිම් ජොන් ඉල්ට බුහුමන් කරන මුග්ධ ආකාරයට දෙමළ සමාජයේ කොටසකුත් ප්‍රතිචාර දක්වන්නට ඉඩ තිබුණා. ඒ නිසා, ඇතැම් විට බාලචන්ද්‍රන් දරුවා මරා දැමීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා හමුදාව ගත් තීරණය මිලිටරි වශයෙන් නිවැරදි ය කියා තර්ක කරන්නට පුළුවන්.
මෙවැනි දේ ඉතිහාසයේ සිදු වී තිබෙනවා. ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් රුසියානු කොමියුනිස්ට්වාදීන් සාර් අධිරාජයාගේ පවුල ම සමූලඝාතනය කළේ සුරතලේට ඇති කරපු බල්ලාත් එක්කමයි.
ඝාතනය නොකළත්, සිංහල රාජ වංශය වඳ කර දැමීම ඉංග්‍රීසීන් ලංකාවට කළ ලොකු සේවයක්. ගිරුවාපත්තුවෙ හරක් අයිතිකාර ගම්බාරයන් රජවරුන් වෙන්නට දඟලපු දැඟලිල්ල දැක්කා ම ඇත්ත රජුන් හිටියා නම් කොහොම හිටියි ද කියලා හිතෙනවා.
1989 කැරැල්ලෙදි ප්‍රේමදාස ආණ්ඩුවත්, කැරැලි මර්දනයේ නායකයා වුණ රන්ජන් විජේරත්නත්, හමුදාවත් විජේවීර පවුලේ ජීවිතය බේරන්නට තීරණය කරනවා. අවුරුදු 29කට පසුවත්, ඒ පවුල තවමත් අසරණ පවුලක්. විජේවීරගේ දරුවන් පස්දෙනා අතරින් කිසිවෙකු කැපී පෙනෙන නායකත්වයකට පත් වුණේ නැහැ. විජේවීර දේශනා කළ දහමේ ආගමික ස්වරූපයේ වෙනස්කම් එයට හේතු වෙන්නට ඇති.
හැබැයි, පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ චෝදනාවට ලක් වුණ අජිත් කුමාරගේ බිළිඳු දරුවාට මේ වාසනාව හිමි වුණේ නැති බවයි පෙනෙන්නේ. ඔහුගේ බිරියත්, දරුවාත් අතුරුදහන් වුණා.
ඕනෑ ම ක්ෂීරපායී සතකුගේ පැටවුන් කියන්නේ ආදරය හිතෙන සුරතල් වස්තු. එවැනි පැටවෙකු මරන්නට හැම තිරිසනෙකුට ම වුණත් අමාරුයි. මිලිටරි තීරණ නිසා දරුවන් මරා දමන්නට සිදු වුණ කීදෙනෙකු අපේ සමාජයේ තවමත් ජීවත් වෙනවා ද? ප්‍රභාකරන් මැරුවෙ අප යි කියලා ආඩම්බරෙන් කියන කාටවත් ඇයි කට ඇරලා කියන්නට බැරි බාලචන්ද්‍රන් මැරුවෙ අපි ය කියලා. ඒකට තීරණ ගත්තෙ අප ය කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන්ට දොස් කියන්නට බැහැ. දරුවන් මරන්නට සිදු වෙන යුද්ධයක් නිර්මානය කරන්නට දායක වුණ අපි හැමෝ ම ඒ වගකීම භාර ගත යුතු යි.
දරුවෙකු මරා දමන්නට සිදු වෙන එක කොයි තරම් පාපතර ක්‍රියාවක් ද? යුද්දෙ ආතල් එකක් නො වන්නෙ ඒ නිසා. යුද්දෙට ආවඩන මිනිසුන්ට දරුවකු මරන්නට පුළුවන් වෙන්න ඕනැ. බැරි අය යුද්දෙට විරුද්ධ වෙන්න. අපි විරුද්ධ ඒකයි.
බාලචන්ද්‍රන් ඝාතනය කියන්නෙ සිංහල බෞද්ධ හෘදය සාක්ෂියට කවදාවත් ගැලවෙන්නට බැරි වරදකාරී සාපයක්.
මේ කවිය මා ලිව්වෙ යුද්ධය අවසන් වූ අලුත. මා එය අවුරුදු පතා නැවත, නැවත පළ කරන්නෙ සිංහල මිනිහකු ලෙස මගේ ඒ වරදකාරිත්වය ප්‍රකාශ කරන්නටයි. හැබැයි, යුද්ධය කියන්නෙ කවි ලියන එක වගේ වැඩක් නෙමෙයි. ඒක හරි අමාරුයි. යුද්ධ නොකර ඉම්මු. යුද්දෙට පාර නොකපා ඉම්මු.



විස්කෝතු කන ළමයා 

ළමයෙක් සිටියි පිංතූරයක
බියපත් මුවපොව් දෑසින් බලමින්
විස්කෝතු කන
ප්ලාස්ටික් ජෝගුවෙන් දිය බොන
ළමයා සිටියි පිංතූරයක
බිය නැති දුක නැති
අඩවන් දෑසින් නිදන
ජීවිතේ සියලු බර
වාරු නොම දී
මහ‍ පොළවටම දී
පුංචිම සිදුරු කීපයක්
විනිවිද තිබේ හදවත
ළමයා නිදයි
සුවපත්ය ඔහු
සියලු දුකින්
නිදහස්ය ඔහු
අපෙන්
එහෙත්
ළමයා සිටියි පිංතූරවල
විස්කෝතු කමින්
නිදමින්
අපේ නෙත් අබියස
ඇසේ කටුවක් වෙමින්
හදවතේ ඇනුණු
පාපී ඉතිහාසයක් වෙමින්
ළමයා නිදයි
අපට නින්ද නොයයි



– අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා