2018-12-29

තීරු බදු නැති කාර්, රජයේ නිලධාරි හා ජනතා විමුක්තිය


මේ වැඩ කරන ජනතාව යන එන වාහන. කාටුනය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙනි.
මගේ කුඩා වාහනයේ ආදායම් බලපත්‍රයේ කාලය දීර්ඝ කර ගැනීම සඳහා මම මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. රජයට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන මෙම බලපත්‍ර ලබා ගැනීමට එන අය වෙනුවෙන් අලුත් ගොඩනැගිල්ලේ ඇතුළත තිබුණු කවුන්ටරය වෙනුවට අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටගෙන සිටින්නට අගුපිලක කවුන්ටරයක් සකසා තිබේ. කවුළු දෙකක් ඇති මුත් වැඩ කෙරෙන්නේ එක් කවුළුවක පමණ ය. අනෙක් කවුළුවේ ද නෝනා කෙනෙකු සිටිනමුත් ඇය කරන්නේ මුදල් ගැනීම පමණි. ඒ දෙදෙනා අතර පාටිෂන් එකක් ගසා ඇති අතර ලිපි ගනුදෙනු ඒකට උඩින් හෝ සේවාලාභීන් අතේ ය. මම මේ පෝලිමේ පැයක් වේලුණෙමි.
මේ කවුන්ටරය එළියට ඇද දමා මුදල් ගෙවා සේවා ලබා ගන්නන්ට අගුපිලක පෝලිමේ යාමට වැඩ සලස්වන්නට ඇත්තේ යම් පරිපාලන නිලධාරියකු විය යුතු ය. එහි මිනිසුන් අපහසුතාවට පත් වන අයුරු ද, රස්තියාදු වන අයුරු ද නොපෙනෙන්නේ පරිපාලන නිලධාරියකුට ය. අවම කාර්යක්ෂමතාවක් හෝ මේ සේවා කවුන්ටරයට ලබා දීමට අසමත් වී තිබෙනේනේ කිසියම් පරිපාලන නිලධාරියකු ය.
රජයේ පරිපාලන නිලධාරියකුගේ ෆේස්බුක් පිටුවකට ගොස් බලන්න. එහි තිබෙන්නේ විවිධ විදේශ පුහුණුවීම් අතරතුර ගත් ඡායාරූප ය. ඔවුන් විදෙස් රටවලට ගොස් මෙසේ පුහුණු වන්නේ මොනවා ද? එසේ ලැබූ පුහුණුවීම්වලින් රජයේ සේවයට සිදු වී තිබෙන සෙතක් වේ ද?
රු. 50,000ක් දක්වා වන විධායක දීමනා ඉල්ලා රජයේ පරිපාලන නිලධාරීහු පසුගියදා වර්ජනයක් කළ හ. ජුනි 15දා මව්බිම පුවත්පත මෙසේ වාර්තා කළේ ය:
රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට මාසයකට රුපියල් 15,000 සිට 50,000 දක්වා දීමනාවක් ලබාදීම සඳහා යෝජනාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගියදා (12දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබිණි. ඒ අනුව විශේෂ ශේ‍ර්ණියේ නිලධාරියකුට රුපියල් 50,000ක්ද, පළමු ශේ‍ර්ණියේ නිලධාරියකුට රුපියල් 45,000ක්ද, දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 35,000ක්ද, තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 30,000ක්ද, දෙවැනි හා තෙවැනි වසර සඳහා රුපියල් 15,000ක්ද ලෙස එම දීමනා ගෙවීමට යෝජනා කොට තිබිණි.
එහෙත් කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමට පෙර ඇමැති කමිටුවක් මඟින් යෝජනා ලබා ගැනීමට තීරණය කොට ඇත.
මේ වර්ජනයේ අරමුණ මේ දීමනා වැඩේ ඉක්මණින් කර ගැනීම යි.
මේ දවස් වනාහි පරිපාලන නිලධාරීන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන වසන්ත කාලයයි. මෙහිදී වාහනයක් ආනයනය කිරීමේදී රු. ලක්ෂ තිස් හයේ සිට ඉහළට තීරුබදු සහනයක් සැලසේ. මේ හේතුව නිසාම ජපානයේ වාහන වෙන්දේසි පොලවල වාහනයක මිල යෙන් ලක්ෂයේ සිට වැඩිවීමක් සිදු වන බව වාර්තා වේ. ලංකාවේ පුවත්පත්වල ද වාහන දැන්වීම් වැහි වැහැලා ය.
තීරුබදු සහනයේ උපරිමය භුක්ති විඳීමට නම් ලංකාවේ වෙළඳපොල මිල අනුව රු. ලක්ෂ හැත්තෑපහකටවත් වැඩි වාහනයකට යා යුතු ය.
මෙයට කලින් අවුරුදු දහයකට වරක් ලබා දුන් තීරුබදු රහිත වාහන බලපත්‍රය සඳහා කාලය මෙවර අවුරුදු පහ දක්වා අඩු කර තිබේ. තමන්ගේ බ්‍රෑන්ඩ් නිව් පෞද්ගලික වාහනය අවුරුදු පහෙන් ක්ෂය වන තරමට මෙරට රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැති බව ඕනෑ කෙනෙක් දනිති. දැනටමත් ඉතා හොඳ තත්වයේ වාහන ඇති රජයේ නිලධාරීන්ට මෙවර ද වඩා හොඳ අලුත්ම නොම්මරයක වාහනයක් ගැනීමේ හැකියාව ලැබී තිබේ. එසේ නැතිනම්, බලපත්‍රය ගෙඩි පිටින් විකුණා දමා මිලියන කිහිපයක් බැංකු පොතට දමා ගන්නට පුළුවන.
මෙවර සාමාන්‍ය තීරුබදු සහනය (රු. ලක්ෂ 36) රජයේ නිලධාරී 25,000කට ලබාදෙන්නේ නම් රටට අහිමිවන බදු ආදායම රු. බිලියන 90 කි. 10,000කට දෙන්නේ නම් බිලියන 36කි. කීදෙනෙකුට දෙන්නේ ද යන්න අපි නොදනිමු.
වාහන ධාවනය වන මාර්ග හැදෙන්නේ හා නඩත්තු වන්නේ ප්‍රධාන වශයෙන් ම වාහනවලට පනවන තීරුබදුවලිනි. තීරුබදු රහිත වාහන යනු බදු මුදල් අපහරණයකි. තීරුබදු රහිත වාහනලාභීන්ගේ පණිවුඩය මෙය යි. ‘උඹලා පාරවල් හදපල්ලා. අපි වාහන පදින්නම්.’
මෙය සෑම අවුරුදු පහකටම වරක් ලබා දීම වෙනුවෙන් මැදපෙරදිග කඹුරන ශ්‍රමිකයන්, ඇඟලුම් කම්හල්වල වැඩ කරන ගැහැණුන්, වතු කම්කරුවන් ආදීන් සහ විවිධ දුෂ්කරතා මැද කටයුතු කරන ව්‍යවසායකයින් හා පුද්ගලික අංශය ආදායම් උපදවා දිය යුතු ය.
මෙම රජයේ සේවකයන් මෙතරම් වරප්‍රසාද භුක්තිවිඳීමට කරනා කාර්යක්ෂම සේවය කුමක් ද? ඔවුන්ගේ සේවාවේදී ඔවුන් නිර්මාණශීලී, නව විභවයන් සොයා යනවා ද? ඔවුන්ගෙන් මහජන සේවය අවුල් කරනවා හැරෙන්න වෙන සේවයක් ඉටු වේ ද? පිං පඩි ගන්නා පුටු රත් කරන ඔවුන් සමාජයේ හොඳම කොටස් ඩැහැගන්නවාට අමතරව රටේ සුබවාදී මතවාදයන්ට දායක වී තිබේද? හරිනම් තමන් ගන්නා වැටුප හා වරප්‍රසාද ගැන ලැජ්ජා විය යුතු ඔවුන් මෙම පර්මිට් ගැන මහත් උජාරුවෙන් කතා කරනුයේ තමන් අවශේෂ ජනයාගෙන් වෙනස් වෙනත් උතුම් මනුස්ස කොට්ටාසයක් ලෙසයි.
ලාංකික වැඩ කරන ජනයාගේ විපත තේරුම් ගැනීමෙහිදී රජයේ නිලධාරීන් දේශපාලනිකව විග්‍රහ කර ගැනීම අතිශය වැදගත් ය. ලංකාවේ ජනතාව වැඩියෙන් ම සූරා කන්නේ වෙනත් කිසිදු සමාගමක් නොව රජය යි. රජය ඒ සූරාකෑම සාධාරණීකරණය කරන්නේ සුබසාධන සේවාවන්ගේ නාමයෙනි. එහෙත්, සුබසාධන සේවාවන් සුබසාධනය කරන්නේ ඒවායේ සේවය කරන රජයේ නිලධාරීන්ට වැටුප් ගෙවීම යන්තමින් සාධාරණීකරණය කරන මට්ටමට පමණි. රජය කරන ප්‍රධාන කාර්යය දේශපාලකයන්ට, රජයේ නිලධාරීන්ට, රජයේ සේවකයන්ට වැටුප්, දීමනා හා විදේශ සංචාර ඇතුළු වරප්‍රසාද සැපයීම යි.
රජයේ නිලධාරීන් හා සේවකයන් මහජනතාවට හරිහමන් සේවයක් සපයන්නේ නැත. ඔවුන් එයට නිදහසට කරුණ ලෙස පෙන්වන්නේ දේශපාලනය යි. එහෙත්, ආණ්ඩුවේ දේශපාලකයන් සිටින්නේ 200ක පමණ පිරිසකි. රජයේ සේවකයන් ලක්ෂ දාහතරහමාරකි. ඔවුන් අතර මැද මට්ටමේ විධායක නිලධාරීන් 25,000කි. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකට තීරු බදු රහිත වාහන බලපත්‍ර ද ලැබේ.
ලංකාවේ වැඩ කරන ජනයාගේ කාලකණ්ණිකමට හා ව්‍යවසායකයන් මත පැටවෙන පීඩනයන්ට මූලික හේතුව මෙකී දැවැන්ත රජය හා එයින් වරප්‍රසාද ලබන මෙම අතරමැදි පන්තිය යි.
ඔවුන් සුද්ද කර, දේශපාලකයන්ට පමණක් වරද පැටවීමේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කරන්නේ මෙකී අතරමැදි පන්තිකයන්ගේ මතවාදීමය දේශපාලන බලවේගය වන මාක්ස්වාදීන් හා වාමාංශිකයන් ය.
පරම්පරා ගණනාවක් තිස්සේ ම ඔවුන් ඊනියා ධනපති විරෝධයක් ඔස්සේ මෙකී සරල සත්‍යය වසන් කළ හ. ලංකාවේ ජනතාවට විමුක්තිය ලබා ගත හැක්කේ මෙකී පීඩක මධ්‍යම පන්තිය ජනතාවට වග වන තත්වයට පත් කිරීමෙනි. එහෙත්, ව්‍යවසායකයන්ගේ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂය ද කරන්නේ මධ්‍යම පන්තිය සුරතල් කරන එක ම ය. අප කළ යුතුව තිබෙන්නේ වැඩ කරන හා ව්‍යවසායක පන්ති ශක්තිමත් කරන දේශපාලනයකි.