සරත් නැවතෙයි තිගැස්සී



චන්දන ගුණසිංහ

චන්දන ගුණසිංහ විසිනි
කාලයක් කන්ද උඩරට රජකම් කරපු රජෙකුගේ කුමාරවරුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරපු හේවායෙක් මට හම්බ වුණා.
ඒ ගිය ඉරිදා පොලේ මාළු ලෑල්ල ළඟදී.
‘මාලෝ , මාලෝ” කියල ගොරෝසු හඩකින් මොරදීපු හාදයා මාව දැකල නිහඩවුණා.
“උඹ දැන් මෙතන ද?”
“ඔව් බං, ” සරතා අහක බලාගෙන උත්තර දුන්නා.
රබර් බෝලෙ උණ පිත්ත කෙරවලට අරගෙන පුංචි තිතක් වගේ අහසේ පා වෙලා ගිහිල්ලා ලියැදි හතඅටකට එහායින් වැටෙන්න ගහන හින්ද කවුරුත් පොරකෑවෙ සරතව තමන්ගෙ එල්ලෙ පිලට ගන්න. අඩි තුන හතරක් උඩ පැනල දුන්නක් වගේ නැමිලා වම් අතින් ගහන පහරින් විදුලියක් වගේ ගිහින් අනිත් පිලේ උන්ගේ කකුල් ඉස්සරහ වොලිබෝලේ හෙණයක් වගේ පාත්වෙන හින්ද හැමෝම බැලුවෙ සරතගෙ පැත්තට හේත්තුවෙන්න.
ඒ වම් අතේම තිබුන කොල අත්තෙන් සාලයො ගොඩේ හිටපු මැස්සො රොත්ත එලවල ආයිත් කතාව පටන් ගත්ත.
“මාළු ලෑල්ල උඹගෙ ද?”
“නෑ බං හවසට පොඩි ගතමනාවක් හම්බවෙනව ,එච්චරයි.”
සරත් හමුදාවට බැදුනට පස්සේ කිහිපවතාවක් මට හම්බවුණ .කොණ්ඩය කොටට කපපු, අත්ගොබවල මස් පිරුණු කඩවසම් කොල්ල නිල ඇදුමට තවත් පෙනුමට ඇති කියල මට හිතුණා.
“සරතට දැන් සාරයි , ඌ ඉන්නේ නුවර. හමුදාවෙන් අයින් වෙලා දැන් ඉන්නෙ ඇමතිතුමාගෙ පුතා ළඟ.”
කවුදෝ ඒ දවස්වල ආරංචිය ගෙනාවා.
ඒත් අත් කොට බැනියමෙන් නිරුවත් වුණ වම් අතේ ඉස්සර කොටපු කොටියගෙ පච්චය දැන් වැහැරිච්චි පූසෙකුගෙ පෙනුමට තිබුණා.
“කොහෙද උඹ දැන් පදිංචිය” මම අහපුවම පන්සීයෙ පඩිය තරාදියේ එක පැත්තකට දාල අනික් පැත්තට සාලයො අහුරක් දැම්ම.
“ගෑණියි, දරුවො නම් ගෑනිගෙ මහගෙදර. මට නම් තැනක් නැහැ, ඇතුලෙ ඉඳන් ගිය සතියෙ ආවේ.”
එකෝමත් එක දවසක මම ටවුමට ආපු වෙලාවක කළුම කළු පාට ජීප් එකක් මාව පහුකරගෙන ගිහින් නවත්වල ආපස්සට ඇවිත් මගෙ ළග නතර කෙරුව, ඉස්සරහ සීට් එකේ වම්පැත්තේ කළු අව්කන්නාඩි දාගෙන හින්දි නළුවෙකු වගේ හිටපු සරත අද සාලයො පන්සීය ෂොපිං බෑග් එකට දාල කාගෙද අතට දීල ආයිත් මගෙ පැත්තට හැරුණා.
“උඹට හොයාගන්න වෙන රස්සාවක් තිබුනෙම නැද්ද?”
“අපේ කැරැට්ටුව දන්න කවුද බං අපිට රස්සාවක් දෙන්නෙ.” කියල ආයිත් මැස්සො එලවන්න කොල අත්ත අතට ගත්ත.
“නඩුහබ ඉවර ද? ”
“ඒවා ඉවරවෙන ඒව නෙමෙයි බං , උඩතලවින්නෙ කේස් එකෙන් මාව බේරුනා. නැත්නම් මම තවම ඇතුලෙ, උඹල නොදන්නවට තව කොච්චර කේස් තියෙනව ද ? ” කියල සරත් කොල අත්ත හයියෙන් එහෙට මෙහෙට වැනුවා.
මැස්සො රොත්ත වටයක් විසිරිල ගිහින් ඇවිත් ආයෙත් සාලයො ගොඩට පාත්වුණා.
“උඹගෙන් වැඩ ගත්තු උන් කෝ?”
“උන් දැන් අපිව අදුරන්නෙත් නැහැ. උන් හින්ද පැටලුණු නඩුවලට වියදම් කෙරුවෙ ගෙවල් දොරවල් විකුණල. මම වගේ තව කී දෙනෙක්ගෙ ජීවිත උන් විනාස කෙරුව ද?‘ කියල නිහඩවෙලා “ඒව ගැන කතාකරල වැඩක් නැහැ. උන්ගෙ ඕනැ එපාකම් පිරිමහන්න අපේ අතින් වෙච්චි පව්කාරකම්වලට තමයි අපි මේ වන්දි ගෙවන්නෙ. විස්වාස කරපන් මම මේ මාළු ලෑල්ල ලග ඔට්ටුවෙන්නෙ ගෑණිට දරුවන්ට සළකන්න නෙමේ. අඩුම ගානේ බාලම අරක්කු බාගයකවත් සල්ලි හොයාගන්න. නැත්නම් ඇහැපියවගන්න බැහැ” කියල සරත් ලොකු හුස්මක් ගත්ත.
“මටත් දීපන් මාළු ටිකක් “මම කිව්ව.
“එපා, උඹ වෙන තැනකින් ගනින්, මේව කන්ඩ බෑ කියල“ හෙමින් මුමුණලා එතනට ආපු තව කාටද සාලයො අහුරක් තාරාදියට දැම්ම.
ගෙදර එන ගමන් රුවන් බන්දුජීවගෙ “මීලග මීවිත” පොතේ “අන්දරේ නැවතෙයි තිගැස්සී ” කවිය මතකයට ආවා.
වෙල් දෙනි මැදින් යද්දී
පොකුණු ගාවින් එද්දි
යාන්තම් ඇහුනත් ඇති මැඬිහඩක්
අන්දරේ නැවතෙයි තිගැස්සී
වත ශෝකයෙන් ඇලලෙයි
කවට බස් එක්වනම මැලවෙයි
කියන කියනා කවිය පැටලෙයි
ඇතැම් දවසක ෂෝට් ලිව් දා
මාළිගාවෙන් පිටවෙයි.
නිදි සුව බින්ද මැඬියා
අන්දරේගෙන් මැරුම් කෑ පසු
මහරජ සුවෙන් සැතපෙයි.
ඒ වුනත් අන්දරේ
රෑට හීනෙන් බයවෙයි
තියුණු හීයක් අැමුණූ
දුන්නක් අතින් ගත් මැඬියෙක්
“බක බක” ගගා හිනැහෙයි
අන්දරේ දහඬිය පෙරාගෙන
මහ හඬින් කෑ ගසා ඇහැරෙයි.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)