2010-04-27

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

(2010 අප්‍රේල් 27 - W3Lanka ) පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි.


තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද?


පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන ගැමුණු විජේරත්න කතා නොකරයි.


සිඟන්නන් මෙන් කිළුටු පෙරාගෙන සිටින, ගඳ ගසන බස් සේවකයන් නෑවීම හා පෙරේතයන් වැනි අය විසින් පවත්වාගෙන යන ආපනශාලා අසල දුර ගමන් බස් නවත්වා මගීන් ගසා කා එයින් කොටසක් බස් සේවකයන් සාක්කුවේ දමාගැනීම වැළැක්වීම වැනි දේ ගැමුණු විජේරත්නට පහසුවෙන් කළ හැකි ය.


ලංකාවේ රාජ්‍ය පාලනයේ දුර්වලකම් විසින් වර්ධනය කර තිබෙන දිළිඳුකම, සමාජ පාදඩකරණය, නිසි සමාජ සුබසාධන ක්‍රම නැතිකම ආදිය  විසින් සිඟමනට ඉඩකඩ සලසා තිබෙන අතර සිඟාකන එක් අයෙකු දිනකට රුපියල් 4000 ක් 5000 ක් අතර මුදලක් සොයා ගන්නා බවට ගැමුණු විජේරත්න කරන ප්‍රකාශය ඇත්ත වීමට ද පුළුවන.


සිඟමනේ හා වෙළඳාමේ යෙදෙන ඇතැම් අය බස් රියදුරන්ට හා කොන්දොස්තරට තර්ජනය කරන අවස්ථා පවා තිබෙන බවද මෙය මඟීන්ට මහත් කරදරයක් බව ද සම්පූර්ණ ඇත්තකි.


සිඟමන නැවැත්වීම මෙමගින් පමණක් කළ හැක්කක් නොවේ. මිනිස් කසල බවට පත් වී තිබෙන මේ ජීවිත බරපතල සමාජ ප්‍රශ්නයකි. මේ මිනිස් කසලවලින් වැඩි කොටසකට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවියෙකි. මේ ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට හා තව තවත් මිනිසුන් වඩා හොඳ ආදායම් මාර්ගයක් ලෙස සලකා සිඟමනට හා ඒ හා සම්බන්ධ ජීවන රටාවට අනුගත වීම වැළැක්වීමට එටේ ආර්ථිකයේ සංවර්ධනයක් ද සිදු විය යුතු ය. එහෙත් සියල්ලට පළමුවෙන් ලංකාවේ කරන්නට සැරසෙන්නේ දිළින්දන් දැඩි මර්දනයකට ලක් කිරීමයි. අප මෙම ක්‍රියාමාර්ගය විවේචනය කරන්නේ එහෙයිනි. 


ලංකාවේ දැන් සිදු වන්නේ බල්ලාට කළින් පොල්ල ඒමයි.