පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

කූඹියෝ ටෙලිනාට්‍යය නිසා ‘පායනා කාලෙදී – රෑ දවල් මහන්සි වී’ ගීතය ජනප්‍රිය වුණා.
මේ ගීතය 1960, 70 වගේ දශකයේදී පමණ ප්‍ර‍සිද්ධ වුණ ළමා ගීයක්. අපි පොඩි කාලෙ මෙය පාසල්වල ජනප්‍රිය ගීතයක් වුණා.
ඒ නිසා මේ ගීය කවුරු, කවදා, කෙසේ නිර්මානය කළ එකක් ද යන්න සොයා බලන්නට උත්සාහ කළා. ඒත්, බොහෝ දෙනෙකුගෙන් විමසලා වුණත්, ඒ ගැන හරි තොරතුරක් දැනගන්නට බැරි වුණා. මේ සටහන ලියන්නෙත් ඒ නිසායි. කවුරුහරි දන්නවා නම් කියන්න මේ ගීයෙ පසුබිම ගැන.
අචල සොලමන්ස් කූඹියෝ ටෙලිනාට්‍යයේ තේමා ගීතයට යොදා ගත්තේ මේ ගීයෙන් කොටසක් විතරයි. සම්පූර්ණ ගීය මෙසේයි:
පායනා කාලේදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරත් කූඹියෝ
සීතෙනුත් වැස්සෙනුත්
බේරිලා ඉන්නවා
ගේ සදන් එක්වෙලා කූඹියෝ
උන් ඉතා ඉක්මනින්
යන්නෙ මේ සන්තොසින්
කම්මැලී නෑ කිසිත් කූඹියෝ
දැන් අපත් ඒ වගේ
ඉන්නවා නම් හොදයි
කම්මැලී නෑ වගේ කූඹියෝ
මේ ගීතය විසිවන සියවසේ මුල් භාගයේ පාසල් පෙළ පොතක පළ වී තිබුණු බවටත් අදහසක් තිබෙනවා.
මේ වකවානුවේ ළමයින් වෙනුවෙන් මෙවැනි ගීත ගණනාවක් නිර්මානය කළ අයෙකු වන්නේ ගුරු අධ්‍යාපන විශේෂඥයකු වූ උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා හෙවත් යූ.ජී.පී ද සිල්වා (1906-1991) මහතායි. 1940 දශකයේදී ඔහු විසින් ‘දොඩම් ගසේ ගීතය’ ලෙස ලියන ලද පැදි පෙළ තමයි ‘මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ’ යනුවෙන් පාසල් දරුවන් අතර ප්‍ර‍චලිත වුණේ.
හඳහාමී හැංගි හැංගි එබිල බලනවා, නිල් අහස් තලේ අගේ නෑ වළාකුළූ යන ගීත ද ඔහුගේ රචනා වන මුත්, පායනා කාලෙදී ගීයේ රචකයා ඔහු ය කියා කියන්නට සාක්ෂි අපට හමු වුණේ නැහැ.
කෙසේ වෙතත්, මෙහි මුල් තනුවත්, සමසමාජ පක්ෂයේ ජාත්‍යන්තර ගීතය වූ ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ ගීතයේ තනුවත් එක හා සමානයි.
මේ තනුව ගැන හෝඩුවාවක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත ‘නූර්ති හා නාඩගම්’ කෘතියෙන් සපයා ගත හැකි බව රිවිර පුවත්පතට ලිපියක් ලියමින් උපාලි තිලකරත්න පවසනවා.
එහි උපුටා දක්වා තිබෙන්නේ ජෝන් ද සිල්වා සූරීන් 1906දී රඟදැක්වූ ‘ශ්‍රී වික්‍ර‍ම රාජසිංහ හෙවත් අපේ අන්තිම රජතුමා’ නූර්තියෙහි ලෙව්කේ සෙනෙවි සිය සේනාවත් සමග ඉංග්‍රීසීන් සමග සටනට යද්දී ගායනා කරන මෙම ගීතයයි.
දැන් යමව් සන්තොසින්
මේ සැමා යුද්ධයෙන්
පා විකුම් සව් රුපුන් සුන් කරව්
අන්තරා වෙයි තිරා
උන්නොතින් දැන් නිකම්
සිංහලේ පාළු වේ ඉන් නිසා
සූරිය ලේබලයෙන් කරන ලද පායනා කාලෙදී ගීයේ පටිගත කිරීමකට මෙතනින් >> සවන් දෙන්නට පුළුවන්.
කූඹියෝ නාට්‍යය ගැන අපේ අදහස කලින් ලිපියක ලිව්වා. එය පහතින් කියවන්න.

Comments

Popular posts from this blog

සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු