2018-12-30

දූෂණ දුරලීමට නිසි පියවර නොගැනීම හා දූෂිතයන් යළි බලය ඇල්ලීම

අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 ලංකා පුවත්පතෙනි
මෙම ලිපිය පළ වන පුවත්පතේ දාතම වන දෙසැම්බර් 9 කියන්නේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයයි. ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය විසින් පවත්වාගෙන යන දූෂණ සංජානන දර්ශකය අනුව ලොව රටවල් හා භූමි ප්‍රදේශ 180ක් අතර කරන ලද ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 2017 වසරේ සිටියේ 91වන ස්ථානයේ ය. කලින් අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 95වන ස්ථානයේ ය. ලබාගත් ලකුණු සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ ලකුණු දෙකකින් පමණි. 2016 වසරේ එය 36ක් වූ අතර 2017 වසරේ 38කි.  පසුගිය අවුරුදු පහක් ඇතුළත ශ්‍රී ලංකාව ලබාගන්නා ලකුණු අතර කැපී පෙනෙන වෙනසක් සිදු වී නැත. ශ්‍රී ලංකාව දූෂණය පැත්තෙන් සලකුණු කර ඇත්තේ සුළු ප්‍ර‍ගතියක් පමණි.
දූෂණ වංචා නැති කිරීම සඳහා රටේ පවතින නීති මදි බැවින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මෙරට තුළ නීතිගත කරන බවත්, ඒ ඔස්සේ දූෂණ වංචා සෙවීමට අලුත් සංවිධානයක් ස්ථාපිත කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015 අගෝස්තු මහ මැතිවරණයට පෙර මහනුවරදී පැවැත්වුණු එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලියේදී පැවසුවා. පසුගිය රජය කළ දූෂණ වංචා පිළිබඳ පරික්ෂා කිරීමේදී විශාල ගැටලුවක් වූයේ එම පරීක්ෂණ සඳහා පුහුණුවලත් නිලධාරින් නොමැතිවීම බවත් මේ නිසා ඇතැම් මහ පරිමාණ දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදුකර ගෙන යෑමේදී ගැටලු මතුවූ බවත් ඔහු පැවසුවා.
ශ්‍රී ලංකාව වසර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තියට අත්සන් කළ මුල් ම රටවල් අතරින් එකක්. එහෙත් 2004දී අත්සන් කරන ලද මෙම ප්‍ර‍ඥප්තියට අදාළ රෙගුලාසි මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට මේ දක්වා කිසිදු රජයක් ප්‍ර‍මාණවත් පරිදි කටයුතු කර නැහැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 156 (අැ) ව්‍යවස්ථාව මගින් මෙම ප්‍රඥප්තිය බලාත්මක කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ වුවත් එය ද මෙතෙක් ඉටුවී නැහැ. එහි මෙසේ දැක්වෙනවා. “ශ්‍රී ලංකාව පාර්ශ්වයක් වන, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දූෂණය වැළැක්වීමට අදාළ වෙනත් යම් ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම පිණිස ගත යුතු පියවර සඳහා, විධිවිධාන සැලැස්විය යුතු ය,” යි එහි දැක්වෙනවා.
මෙය යහපාලන රජය විසින් බාගෙට ඉටු කරන ලද තවත් පොරොන්දුවක්. සරල බසින් මෙය හොරුන් ඇල්ලීම යයි හැඳින්වුණාට හොරුන් ඇල්ලීම ලෙහෙසි නැහැ. දූෂණ වළක්වන්නටත්, කරන ලද දූෂණ විමර්ශනය කරන්නටත්, ඒවාට නීතියෙන් දඬුවම් පමුණුවන්නටත්, සොරකම් කරන ලද මහජන දේපල ආපසු ලබාගැනීමටත් නීති හා ආයතන ශක්තිමත් කළ යුතුයි. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මෙහිදී ඉතා වැදගත් වෙනවා. ඒ අනුව, අධිකරණ සේවා, පොලිස්, රාජ්‍ය සේවා, මානව හිමිකම්, මැතිවරණ, මුල්‍ය, විගණන සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබුවා.
පසුගිය ජුලි මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ජද ජාතික විගණන පනත මෙහිදී අතිශය වැදගත් වෙනවා. ඒ අනුව ජාතික විගණන කොමිෂම පිහිටුවීමට නියමිතයි. කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් ඇදි ඇදී ගොස් අවසානයේදී සම්මත වූ ජාතික විගණන පනත මුලින් කෙටුම්පත් කරන ලද පනතට වඩා තනුක කරන ලද එකක්. එසේ තනුක වන්නට මූලික හේතුව වූයේ පරිපාලන නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධයට දේශපාලක අනුග්‍ර‍හය ලැබීමයි. කැබිනට් මණ්ඩලය විසින් නීති කෙටුම්පත් සම්පාදකගේ පනත් කෙටුම්පත සමලෝචනයට කමිටුවක් පත්කළා. අමාත්‍ය සරත් අමුණුගම සභාපතිත්වය දැරූ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වුණේ අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා හා අමාත්‍ය රවී කරුණානායක යි. එම කමිටුව ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ලබා දුන්නා. එහි ඔවුන්ගේ ප‍්‍රධාන නිරීක්ෂණයන් දෙකක් තිබුණා. එකක් රජයේ නිලධාරීන්ට එරෙහිව විගණකාධිපතිවරයා අධිභාර පැනවීමයි. අධිභාර පිළිබඳ පරිපාලන සේවයෙන් විශාල විරෝධයක් මතුවූ බව වාර්තාවේ සඳහන් වුණා. නඩු ඇසීමට හා දඩ ගැසීමට ද විගණකාධිපතිවරයාට ඉඩදිය නොහැකි බවද නිර්දේශ වුණා.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය අප්‍රමාදව කළ යුතුයි. විශේෂයෙන් ම කොල්ල කන ලද මෙරට ජනතාවට අයිති ‍‍‍‍දේපල ආපසු ලබා ගැනීම අතිශය වැදගත් අවශ්‍යතාවක්. දූෂණය, මත්ද්‍රව්‍ය හා අපරාධ එකිනෙකට සම්බන්ධයි. මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය සමග බැඳී කටයුතු කරන්නේ ඒ නිසායි. මෙම ප්‍රඥප්තියේ සිව්වන හා පස්වන පරිච්ඡේද අනුව, දූෂණ පරීක්ෂණවලට හා සොරකම් කරන ලද දේපල ආපසු ලබා ගැනීම සඳහා ගිවිසුමේ පාර්ශ්වකරුවන් සහයෝගය ලබා දිය යුතුයි. බැංකු රහස්‍යභාවය වැනි හේතු මත තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කළ ‍නොහැකියි. ‍එ‍පමණක් ‍නොව, දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය දෙකකදී හෝ වැඩි ගණනකදී නීතිමය පියවර ගැනීමේ අවස්ථාව ද එයින් ලැබෙනවා.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍ර‍ඥප්තියේ ඇපකැපවීම් 71ක් ගැන සඳහන් වෙනවා. එයින් 39ක් සාමාජික රටවල් විසින් අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන්නේ එම ඇපකැපවීම් අතරින් අටක් පමණක් බව මේ පිළිබඳ අධ්‍යයනය කළ ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා. දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයේදී ශ්‍රී ලංකාව දැක්වූ මෙම මන්දගාමිත්වයෙහි ප්‍ර‍තිඵල දැන් නෙළාගන්නට හැකි වී තිබෙනවා.
අද වන විට පැරණි දූෂකයන්, දූෂණ චෝදනාවලින් ගැලවීමේ මූලික අරමුණින් ම මේ වන විට යළි බලය ඩැහැගැනීමට උත්සාහ කරමින් සිටිනවා. එමගින් ශ්‍රී ලංකාව දරුණු අර්බුදයකට ඇද දමා හමාරයි. අද වන විට ලොව ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශක විසින් ශ්‍රී ලංකාව පහතට දමා හමාරයි. එය ශ්‍රී ලංකාවේ ණය ගැනීමේ හැකියාව මොට කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය දීම අවදානම් සහගත බවක් මෙමගින් කියවෙන නිසා මුල්‍ය වෙළඳපොළේදී ශ්‍රී ලංකාවට ණය ලබාගන්නට සිදුවන්නේ ඉහළ පොළී අනුපාතිකවලටයි. හැබැයි, ණය නොගෙන පවතින්නට බැරි ණය කන්දකට අප යට වී හමාරයි. ඇත්තෙන් ම අප ණය ගන්නේ ණය ගෙවන්නටයි.
වරක් එක් අප්‍රිකානු රාජ්‍ය නායකයෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීමට ගියා. ඔහුගේ අරමුණ වූයේ තම රටට විදේශාධාර ලබා ගැනීමයි. අතිශය දුප්පත් රටක් වූ එම රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ බිරිඳ ‍මෙම හමුවේදී පැළඳගෙන සිටි දියමන්ති මාලය වෙත එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. එවැනි දියමන්ති මාලයක් පැළඳිය හැකිව තිබුණේ එක්සත් ජනපදයේත් ඉහළ ම පෙළේ ධන කුවේරයන්ට පමණි. එම රටට ණය ලබා දීම එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.
බලය දූෂණය ඇති කරන බව ද, අධික බලය අධික ලෙස දූෂණය ඇති කරන බව ද ප්‍රකට කියමනකි. පසුගිය කාලයේ මෙරට ඇති වූ තත්වය මේ සඳහා කදිම නිදසුනකි. යුද්ධයේ ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගුණු බලය හේතු වූයේ ඔහු, ඔහුගේ පවුල හා හිතවතුන් දැවැන්ත දූෂණ සාගරයක ගිල්වන්නට ය. තම ආණ්ඩුව කිසිදා බිඳ ‍නො වැටෙනු ඇතැයි පැවති අතාර්කික විශ්වාසය හේතුවෙන් ඔවුහු තමන්ගේ ක්‍රියාකාරකම්වල සීමාවක් පවත්වා ගැනීමට අසමත් වුණා. කිසි සේත් දූෂණවලට සම්බන්ධ වීමේ අවශ්‍යතාවක් නො තිබුණු, තම ‍‍ගෞරවය ආරක්ෂා කරගෙන රැකියාව කිරීමේ ඉඩ ප්‍රස්ථාව ඕනෑවටත් වඩා තිබුණු ‍හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පවා දූෂණවල පැටලුණා.
රටක දූෂණ ඒ රටට අභාවයට යන්නට පාර කියන ප්‍ර‍ධාන සාධකයක්. ලංකාවේ දූෂණ පිළිබඳ කතා කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ දේශපාලකයන් විසින් කරනු ලබන දූෂණ කෙරෙහි පමණයි. එහෙත් දේශපාලකයන්ටත් වඩා මේ රටේ නිලධාරීන් දූෂිතයි. රජයේ සේවයේ ඉහළ සිට පහළ අඩිය දක්වාමත් දූෂිතයි. ඒ වගේ ම පෞද්ගලික අංශයත් දූෂිතයි. රජය සමග කොන්ත්‍රාත් කරන ඇතැම් ව්‍යාපාරිකයන්ගේ මූලික පදනම ම දූෂණය ඔස්සේ මහජන මුදල් ගසාකෑමයි. එයට රජයේ නිලධාරීන් ද හවුල් වෙනවා. බොහෝ ව්‍යාපාරිකයන් බදු වංචා කරනවා. ලංකාවේ වෘත්තිකයන් ද දූෂිතයි. ප්‍ර‍ධාන පෙළේ වෘත්තිකයන් පිරිසක් වන වෛද්‍යවරුන් තම සේවා කාලය සම්බන්ධ පාරදෘෂ්‍යභාවය පවත්වාගෙන යන්නට පවා කැමති නැහැ. නීතිඥවරුන් බොහෝ දෙනෙකු තම සේවා වෙනුවෙන් බිල්පතක් නිකුත් කරන්නට පවා කැමති නැහැ. බිම් මට්ටමේ ජනතාවත් සාන්ත දාන්ත තීන්ත කූඩු නෙමෙයි. ඔවුන් ද අවස්ථාව ලද හැටියේ දූෂණයට පෙළඹෙනවා. ලංකාව දූෂණ සාගරයක්. එහි නොගිලී සිටීම අතිශය දුෂ්කර කාර්යයක්.
රාජ්‍ය දේපල මංකොල්ලකෑම තවමත් මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස නිල වශයෙන් පිළිගෙන නැහැ. එහෙත් සදාචාරාත්මකව ගත් කල එය යුද අපරාධවලට වඩා බිහිසුණු අපරාධයකි. මන්ද, රටක ජන පරම්පරා ගණනාවක් ම එමගින් අර්බුදයට ලක් වන හෙයිනි. දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ දූෂණ විරෝධී අරගලයේ ඉදිරියෙන් සිටිනවා. ඇතැමෙකු ඔවුන් විවේචනය කරන්නේ ඔවුන් දූෂණ විරෝධී අරගලය මාධ්‍ය සංදර්ශනයක් කරගෙන ඇති බව පවසමිනුයි. එහි ඇති වරද කුමක් ද? දූෂණ විරෝධී අරගලය අනිවාර්යයෙන් ම මාධ්‍ය සංදර්ශනයක් විය යුතු ය. හේතුව, දූෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම දූෂණ විරෝධී අරගලයේ කොටසක් වන නිසා ය. දූෂිතයන් නම් කර ලැජ්ජාවට පත් කිරීම දුෂණ වළක්වා ගැනීමේ එක් උපායක්.

අතට ලැබුණු විප්ලවීය අවස්ථාව අත් නොහරිමු!


– අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 අනිද්දා පුවත්පතෙනි.
සති කීපයකට පෙර මෙම පුවත්පතට අපි මෙසේ පැවසුවෙමු. “මේ වන විට පැන නැගී තිබෙන බල අරගලය ……. හදිසියේ පැනනැගුණ තත්වයක් ලෙස අප දකින්නේ නැත. මෙම අර්බුදය පැනනගින්නේ ම, පවත්නා ක්‍ර‍මය රැකගැනීම සඳහා වඩා මර්දනකාරී පාලනයක් ඉල්ලා මධ්‍යම පන්තියේ පහළ තලය තුළ මතු වූ ජනප්‍රියවාදී රැල්ලත් සමගයි. බල අරගලයේ මුල එතැනයි. ජනාධිපති සිරිසේන  අසු වන්නේ එම රැල්ලේ බලපෑමට ය. මහින්ද රාජපක්ෂ ඉතා නිවැරදිව එතැනට ඇදී එයි. මේ වන විට එම බල අරගලය ප්‍ර‍ජාතාන්ත්‍රික සීමා තුළ සිදු විය හැකි උපරිම තලයට පැමිණෙමින් තිබේ.  එහි ප්‍ර‍තිඵලය පූර්ණ අරාජිකත්වයකි. ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය ආර්ථිකයක් මතට මෙම බල අරගලය කඩා වැටීම නිසා මෙම සමාජ ක්‍ර‍මය ඉතා ඉක්මණින් මුළුමනින් ම බිඳවැටෙන්නට අවස්ථාව උදා වී තිබේ. මේ වන විටත් රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත තත්වයකට පත් වී හමාර ය. මෙය විප්ලවීය මොහොතකැයි අප කියන්නේ ඒ නිසා ය. ජනතාවනි, විප්ලවීය අරගල, ජාතික විමුක්ති අරගල, හමුදා කුමන්ත්‍ර‍ණ ආදී ඕනෑම ආකාරයක පඹගාලක පැටලීමට සූදානමින් සිටින්න.”
දිනෙන් දින ම තත්වය තීව්‍ර‍ වෙමින් තිබේ. අප පුරෝකථනය කළ ඇතැම් දේ සිදු වන ලකුණු පහළ වෙමින් තිබේ. මේ අතර බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙස නෙත් යොමාගෙන සිටිති. එමගින් කුමන තීන්දුවක් දුන්නත් මෙම අර්බුදය විසඳෙන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ පියවර අනුමත කළහොත් එතැන් සිට පාර්ලිමේන්තු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට කුමක් සිදු වේ ද යන ප්‍ර‍ශ්නය අපට තිබේ. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ මූලික ම අරමුණ වූයේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමයි. එසේ තිබියදී පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගෙන එන තර්කය පිළිගතහොත් සිදුවන්නේ ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිවරයාට ලැබීමයි. එය 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණුවලට මුළුමනින් ම පටහැණි වන අතර, එයින් ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත බලය 1978දී විධායක ජනාධිපති ක්‍ර‍මය ඇති කරද්දී ලබා දුන් බලතල ද ඉක්මවා යන තත්වයක් නිර්මාණය කරයි.
අපගේ විග්‍ර‍හය වන්නේ මේ වන විට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට මුළුමනින් ම පටහැණි රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණයක් දියත් කර තිබෙන බවයි. ඔහු එයට මහින්ද රාජපක්ෂ ද පටලවා ගත්තේ ය.  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමෙන් මෙම තත්වය මනාව පැහැදිලි වේ. ඔහු විසින් පළ කරන ලද අදහස ලංකාදීප පුවත්පත වාර්තා කළේ මෙසේ ය:
“ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
“එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.
“ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.”
නීතිපතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. එහෙත්, ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නම් , මේ මොහොතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට නොගොස් වෙන කුමක් කරන්න ද?
විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන ම පඹගාලක පැටලවීමට මෙම කුමන්ත්‍ර‍ණයේ නියමුවා වන මෛත්‍රීපාල සිරිසේන සමත් වී තිබේ. කෙසේ වෙතත්, අප නම් කියන්නේ උදා වූ මෙම විප්ලවීය අවස්ථාව නාස්ති නොකර ගත යුතු බවයි. ලංකාවේ දේශපාලන ගැටලුවට ව්‍යවස්ථාවෙන් විසඳුම් සෙවිය නොහැකි ය. විප්ලවීය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ව්‍යවස්ථාව නිශ්චිත කාල වකවානුවකට තාවකාලිකව අත්හිටුවා සම්පූර්ණයෙන් ම අලුත් ආණ්ඩුක්‍ර‍මයක් සම්පාදනය කිරීමට මෙම අවස්ථාව යොදාගත හැකි ය. එය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. මන්ද, අප සිටින්නේ ජනාධිපතිවරයකු විසින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණයක් විසින් අරාජික කරන ලද දේශපාලන සංදර්භයක් තුළ නිසා ය. එය ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තිරසර ලෙස ස්ථාපිත කිරීමේ විප්ලවයකි.
එය එතනින් එහාට ද විහිදේ. මේ වන විට ප්‍ර‍ධාන ණය ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශක තුනක් විසින් ශ්‍රී ලංකාව පහත හෙළා තිබේ. ලබන අවුරුද්ද වන විට ණය ගෙවීම සඳහා තවදුරටත් ණයගැනීම බරපතල ගැටලුවක් බවට පත් වනු ඇත. දැවැන්ත අකාර්යක්ෂම රජය නඩත්තු කරගැනීමට හෝ නොහැකිව සිටියදී පසුගියදා පත් වූ හොර කැබිනට් මණ්ඩලය විසින් තව තවත් හෙංචයියන් රජයේ සේවයට පුරවන ලදී. ඒ මදිවාට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ද දස දහස් ගණනින් රජයේ රැකියා ම ඉල්ලාගෙන පොලිසිය මරාගෙන කන්නට බලාගෙන පැමිණෙති. මහජනතාවට ලබන අවුරුද්දේ අධික බදු බරකට අමතරව තම ඉතුරුම් කැපකිරීමට පවා සිදු වන්නට ඉඩ තිබේ.
සංචාරක කර්මාන්තය බිමට ම හාන්සි වන තත්වයක් මතු වී තිබේ. සංචාරක කර්මාන්ත ව්‍යවසායකයෝ තම ක්ෂේත්‍රයේ උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන්නේ නම් තමන් එය වර්ජනය කරන බව කියමින් විරෝධය පළ කළ හ. ඉතිහාසයේ කෙදිනකවත් ව්‍යවසායකයන් ජනාධිපතිවරයකුට මේ අන්දමින් විරෝධය දක්වා නැත.
ආර්ථික අර්බුදය කළමනාකරණය කර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කරන්‍නට හැකියාවක් නැත. ණය උගුල මැද ලංකාවේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීම අතිශය සංකීර්ණ කාර්යයක් වන අතර එහිදී විකල්ප රැසක් ද අප හමුවේ නැත. විනයගරුක, කැපවීම් කරන, අවදානම් දරාගන්නට සූදානම් විප්ලවීය අධිකාරියක් යම් නිශ්චිත කාලයක් සඳහා පත්කරගන්නට අවශ්‍ය බව අප යෝජනා කරන්නේ එබැවිනි. එමගින් ණය අර්බුදය කළමනාකරණය කරමින්, හැමෝම පටි තද කරගෙන, නාස්තිය පිටුදැක, ඵලදායිතාව නංවමින්, රට සංවර්ධන මාවතේ ස්ථාවර කරන්නට පියවර ගත යුතු ය. නැතිනම්, ලංකාවට මේ සති පහ තුළ තව තවත් ගැඹුරට කණින ලද මෙම අගාධයෙන් ගොඩ එන්නට ලැබෙන්නේ නැත. කමින්, බොමින්, ලොව වටා රවුම් ගසමින්, මහජන මුදල් නාස්ති කරමින්, කානිවල් තබමින් විනෝද වන නායකත්වයකට ලංකාව ගොඩ ගත නොහැකි ය. රටට අවශ්‍ය ජනතාවට ආදර්ශයක් වන නායකත්වයකි. නිශ්චිත කාලයක් සඳහා උපරිම කැපකිරීම කරමින් අවදානම දරාගන්නට සූදානම් නායකත්වයකි.
නැවත මැතිවරණ පැවැත්විය යුත්තේ අප සඳහන් කළ ආකාරයේ විප්ලවීය අධිකාරියක් යටතේ අධිකරණය, රජය, පොලිසිය වැනි ආයතනවල පදනම් දේශපාලනයට සෙලවිය නොහැකි ලෙස ශක්තිමත් කරමින්, රටේ අනාගතයට ගැලපෙන නව ව්හ‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ය. අප මුහුණ දී සිටින තත්වය පිළිබඳ මහජනතාවත් සමග විවෘත සාකච්ඡාවක් පවත්වාගෙන යා යුතු ය. රජයට කරන්නට පුළුවන්, බැරි දේවල් විවෘතව ජනතාවට පැවසිය යුතු ය. බොරු බලාපොරොත්තු දී ජනතාව නොරැවටිය යුතු ය. රට ම රට වෙනුවෙන් වැඩ කරන්නට යොමු කළ යුතු ය. දේශපාලකයන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් හරහා මහජනතාව දක්වා දැඩි විනයක් ‍‍ගොඩනැගීම මෙහිදී අත්‍යවශ්‍ය ය. එවැනි විප්ලවීය වගකීමක් භාරගැනීමට සූදානම් කවුරු ද?

මිනීමැරුම්වලින් ප්‍ර‍කාශ වන ප්‍ර‍චණ්ඩත්වය අප වැපිරූ බීජවල අස්වැන්නයි


පසුගිය සතියේ සිදු වූ භයානක අපරාධ සිදුවීම් දෙකක් සමාජය දැඩි කම්පනයකට ලක් කිරීමට හේතු විය. මාතර සිදුවීමේදී බාල වයස්කාර සිසු පිරිසක් විසින් තවත් 19 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කරන ලදී. දෙවන සිදුවීමෙහිදී මොනරාගල තරුණයකු විසින් තරුණියකගේ ගෙල මිරිකා මරා දමන ලදී.
මාතර ඝාතනය සීසීටීවී කැමරාවක සටහන් වී තිබිණි. මොනරාගල ඝාතනය කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ කර තිබිණි. රූපවාහිනී හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම් අධි සංවේදී ලෙස වාර්තා කරනු ලැබීමට මෙම වීඩියෝ දර්ශන හේතු විය.
සීසීටීවී දර්ශන සිද්ධියක අධි සංවේදීකරණය සඳහා අතිශය වැදගත් ය. මෙම සතියේ තවත් මෙවැනි සිද්ධියක් වාර්තා විය. එහෙත්, වීඩියෝ දර්ශන නැති නිසා සමාජය ඒ ගැන එතරම් කතා කළේ නැත. එම සිද්ධියේදීත්, පාසලේ ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරනු ලැබුවා. එයට සැක කරන ඝාතකයා වයස අවුරුදු 15ක සිසුවෙක්.
මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ගම්බද ප්‍රදේශවලින් විතරක් නෙමෙයි. කොළඹ ප්‍ර‍සිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් පාසල් බිමේදී ම තවත් සිසුවකුට පහර දී අතක් කඩාදැමීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා වුණා.
ඒ කාලෙ නම් මේ වගේ නැහැ යි කීම මේ කාලේ වැඩිහිටියන්ගේ ස්වභාවයයි. ඒ කාලේ යනු කුමන කාලේ ද යන්න හා ඒ ඒ කාලවලදී මේ කාලයට වඩා වෙනස් ආකාරයෙන් තරුණයන් හැසිරී තිබේ ද යන්න වෙන ම අධ්‍යයනය කළ යුතුයි. තරුණ ප්‍ර‍චණ්ඩත්වය යනු අලුත් ගැටලුවක් නොවේ. අතීතයේදී ද තරුණයන් අතර ගැටුම් ඇති විය. පහරදීම්, මිනීමැරුම් ඇති විය. දේශපාලන කැළඹිලි, කැරැලි, වාර්ගික හා ආගමික් ගැටුම් ආදිය පැවති වකවානුවලදී තරුණයෝ දැඩි ලෙස ප්‍ර‍චණ්ඩත්වය සමග සම්බන්ධ වුණා. 1971 හා 1989 කැරැලිවලට සම්බන්ධ වී මිය ගිය හා අත්අඩංගුවට පත් වූ අය අතරින් අති බහුතරය තරුණ තරුණියන් වුණා. ඇතැමෙකු නවයොවුන් වියේ පුද්ගලයන් වුණා.
අතීතයට වඩා වර්තමානයේදී තරුණ ප්‍ර‍චණ්ඩත්වය වැඩි වී තිබේ ද යන්න නිගමනය කිරීම සඳහා විධිමත් සමීක්ෂණයක් අවශ්‍යයි. බැලූ බැල්මට පෙනෙන දෙය සත්‍ය නොවන්නට පුළුවන්. කෙසේ වෙතත්, අතීතයට වඩා හොඳ තත්වයක් වර්තමානයේදී නිර්මාණය වී නැතිනම් එය සමාජ සංවර්ධනය පැත්තෙන් බරපතල ගැටලුවක්.
කොහොම වුණත්, නූතන සමාජයේ තරුණ පරපුරට බලපාන අලුත් සාධක රැසක් තිබෙනවා. ඒ අතර, ජාතිවාදයේ හා ආගම්වාදයේ නැගීම, අධ්‍යාපනයේ දැඩි තරගකාරිත්වය, මාධ්‍ය බලපෑම, සමාජ මාධ්‍ය ප්‍ර‍වණතා, පරිගණක ක්‍රීඩා, ජංගම දුරකථන, මත් ද්‍ර‍ව්‍ය, සියදිවිනසාගැනීම් වැනි සාධක තිබෙනවා.
වත්මන් තරුණයා ජීවත් වන ලෝකය විග්‍ර‍හ කරගැනීම ඉතා සංකීර්ණ ප්‍ර‍ශ්නයක්. පෙර පාසලේ සිට ම තරුණයා මුහුණ දෙන්නේ දැඩි අධ්‍යාපන තරගකාරිත්වයකට. අධ්‍යාපනය බොහෝ දුරට විභාග සමත් වීමට හා අනෙකා අභිභවා කැපී පෙනීමටත්, එමගින් අවස්ථා ඩැහැගැනීමේ තරගයකටත් නැඹුරු කර තිබෙනවා. පාසලේ මූලිකව ම උගන්වන්නේ විභාග සමත් වීමට අවශ්‍ය විෂය කරුණුයි. පාසල ටියුෂන් වෙළඳපොළේ ගොදුරක් බවට පත් වී තිබෙනවා. මුදල් පසුපස හඹා යන ටියුෂන් ගුරුවරුන් සිසුන්ගේ පරමාදර්ශී චරිත බවට පත් වී තිබෙනවා.
සමාජ සම්බන්ධතා නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් දරුවන්ට පාසලෙන් ලැබෙන්නේ නැහැ. වර්තමානය වන විට පාසල දරුවාට ආදරය විඳින්නට ලැබෙන තැනක් ලෙස හැඳින්වීමට අපහසුයි. දැඩි ලෙස වානිජකරණය වූ ගුරුවරුන් අතර වෙළෙන්දන් වෙළෙන්දියන් ලෙස කටයුතු කරන අය බහුලයි. එසේම, පාසල් සංස්කෘතිය බොරු ආටෝපවලින් වැසී ගොස් තිබෙනවා. ජාතිවාදයේ, ආගම්වාදයේ හා පාසල්වාදයේ සරුවපිත්තල මේ අතරින් ප්‍ර‍ධානයි. වෙනත් රටවල පාසල් අතර තරගකාරිත්වය ඇති වන්නට නව ලිබරල් ප්‍ර‍තිසංස්කරණ හේතු වුණත්, ලංකාවේ පාසල් අතර තිබෙන තරගකාරිත්වය තරමක විකෘතියක්.
වික්ටෝරියානු යුගයේ එංගලන්ත සම්ප්‍ර‍දායන් අන්ධ ලෙස අනුගමනය කරමින් ලංකාවේ පාසල් ද තවමත් ලිංගිකව බෙදා තිබෙනවා. එසේ නොබෙදූ මිශ්‍ර‍ පාසල්වල පවා ළමයින් අතර ලිංගික බෙදීම් පුළුල් කිරීමට දැඩි උත්සාහයක් දරනු ලැබේ. පාසල්වල විෂයමාලාවලට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ පාඩම් ඇතුළත් කර තිබෙනමුත් ඒවා නිසි පරිදි උගන්වනු ලබන්නේ නැහැ. 2013 ජාතික තරුණ සෞඛ්‍ය සමීක්ෂණය විසින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 – 29 අතර ලක්ෂ 44ක තරුණ ප්‍ර‍ජාවෙන් 50%කට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් තිබෙන්නේ සීමිත දැනුමක් බව හඳුනාගත්තා. 2015දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් නිවේදනය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ ගැබ්ගැනීම්වලින් 5.2%ක් සිදුවන්නේ නවයොවුන් වියේදීයි. ඇතැම් පළාත්වල එය 8-9% මට්ටමේ තිබෙනවා.
මේ සියලු අර්බුදවලට මුහුණ දෙන්නේ නිවසේදී හා පවුල තුළදීත් ගැටලු රැසකට මුහුණ දෙන දරු පරපුරක් බව අප අමතක නොකළ යුතුයි. දරිද්‍ර‍කාවට අමතරව, පෝෂණ ගැටලු, පවුල් ආරාවුල්, ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය, මත්පැන්, මත්ද්‍ර‍ව්‍ය, දුම්පානය, සියදිවිනසාගැනීම්, බෝ නොවන රෝග නිසා පවුල් තුළ ඇති වන ගැටලු, පොදු ප්‍ර‍වාහනයේදී සිදු වන හිංසනයන, සමාජාරක්ෂාව පිළිබඳ ගැටලු, අනාරක්ෂිතබව වැනි ප්‍ර‍ශ්න සමුදායකට ඔවුන් මුහුණ දෙනවා.
වයස අවුරුදු 10 – 24 අතර වයස් කාණ්ඩයට අයත් ජනගහනය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 28ක් පමණ වෙනවා. එනම්, රටේ මුළු ජනගහනයෙන් 1/3ක් පමණ. මේ පිරිස ජනගහන පාරිතෝෂිකයක් හෝ ජනවිකාස වාසියක් ලෙස සලකන්නට පුලුවන්. මේ තරුණ ප්‍ර‍ජාවේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම තමයි රටේ අනාගතය ගොඩනැගිය හැකි පාර. එහෙත්, සිදු වන්නේ එය ද? සෑම අවුරුද්දකම ලක්ෂ තුනත්, තුනහමාරත් අතර දරුවන් පිරිසක් ඉපදෙනවා. ඒත්, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ වසරකට 30,000ක් පමණ වන පිරිසක්. ඒ ද උසස් පෙළ සමත්ව උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් පහෙන් පංගුවක් පමණ ප්‍ර‍තිශතයක්. 2014 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍ර‍ම බලකා සමීක්ෂණයේ දත්ත මගින් හෙළිදරව් වන්නේ වයස අවුරුදු 15-24 තරුණ ජනයා අතර 20.3%ක විරැකියා අනුපාතිකයක් ඇති බවයි. වයස අවුරුදු 25-29 තරුණ ජනයා අතර විරැකියා අනුපාතිකය 8.3%කි.
“අවවාදයයි! කුඩා ළමුන් හා සුළු දෙයටත් බියට පත් වන පුද්ගලයින්, හෘද රෝග සහිත පුද්ගලයින් සහ නැරඹීමෙන් පසුව ආතතික තත්වයට පත් වන පුද්ගලයින් මෙම ප්‍ර‍වෘත්තිය නැරඹීමේදී සැලකිලිමත් වන්න.” මේ ඇතැම් රූපවාහිනී නාලිකා පසුගිය දිනවල සිදු වූ සිදුවීම් විකාශය කරන්නට පෙර ප්‍ර‍චාරය කළ නිවේදනයක්. එතරම් සංවේදී බව දැන දැන ම ඔවුන් ඒ ප්‍ර‍චණ්ඩ ක්‍රියා වැඩි පිරිසක් රූපවාහිනී නරඹන ප්‍ර‍මුඛ කාල පරාසයන්හිදී ප්‍ර‍දර්ශනය කරන්නේ ඇයි? ජනමාධ්‍ය මෙම සිදුවීම් අලෙවි කරන බව පැහැදිලියි. සමාජ වගකීම පැත්තකින් තබා අපරාධ පිළිබඳ සංවේදී වාර්තාකරණය ඔස්සේ තම ජනප්‍රියතා ශ්‍රේණි ඉහළ නංවාගැනීමට ඔවුන් උත්සාහ කරන බවට සැකයක් නැහැ.
මෙවැනි වාර්තාකරණයන් හේතුවෙන් එවැනි ක්‍රියාවලට තරුණයන් තුළ පෙළඹීම් ඇති කරන්නට ඉඩක් තිබෙනවා. රූපවාහිනියේ පිටසක්වල ජීවීන් පිළිබඳ කතා විකාශය වන වකවානුවලදී මෙවැනි පිටසක්වළ ජීවීන් පැමිණෙන යානා දුටු අය පිළිබඳ වාර්තා මාධ්‍යවල නිතර පළවෙනවා. මේ දිනවල එවැනි වාර්තා එතරම් පළනොවන්නට හේතුව එවැනි රූපවාහිනී වැඩසටහනක් මෑත කාලයේදී ජනප්‍රිය නොවීම වෙන්නට පුළුවන්. එසේම, මෙවැනි අපරාධ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වන ප්‍ර‍චාරණයන් හා සංවාද ද මහත් ගැටලුසහගතයි. මේ සමාජ මාධ්‍ය ප්‍ර‍තිචාර ඇතැම් විට වගඋත්තරකරුවන්ට දැඩි ලෙස හානිකර විය හැකියි. එසේම, එමගින් ඇතැම් විට වින්දිතයන්ව ද අගතියට පත් කරනවා.
මිනීමැරුම් වැළැක්වීමට නොගොස් වීඩියෝ කිරීම
ළමයින්ගේ, නවයොවුන් වියේ පුද්ගලයන්ගේ සහ තරුණයන්ගේ ආධ්‍යාත්මික වර්ධනයට පවුල, පාසල, ජනමාධ්‍ය වගේ ම සමාජයත්, විශේෂයෙන් ම ආගමික සංස්ථාත් දැඩි ලෙස බලපානවා. වර්තමානයේදී කුමන ආගම ඇදහුවත්, එයට කොයි තරම් බැතිමත් වුණත්, සමාජය ඉහවහා පැතිරී යන මහා ආගම වන පාරිභෝජනවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් මිදීමට එමගින් අවකාශ සලසන්නේ නැහැ. පසුගිය දිනවල රට පුරා පන්සල්වල පැවැත්වුණ කඨින පිංකම් ඔබ දකින්නට ඇති. අතීතයේදී සරල ආගමික වතාවතක් වූ කඨින පිංකම අද වන විට ආගම් අතර, නිකායන් අතර, පන්සල් අතර, පේරු අතර, වීදි අතර, ගෙවල් අතර තරගකාරිත්වයේ ප්‍ර‍චණ්ඩ ප්‍ර‍කාශනයක් බවට පත් වී තිබෙනවා. මැදියම් රැයේ සාමය කඩ වන පරිදි රතිඤ්ඤා ආදිය පුපුරුවමින්, අලි ඇතුන්, නැටුම් ගැයුම් මෙන් ම නාගසලං ද සහිතව යන මෙම පෙරහරවලින් සංකේතවත් වන සමාජ සංසිද්ධිය විග්‍ර‍හ කරගැනීම ඉතා වැදගත්. සෙසු ආගම්වල උත්සවවල තත්වයත් මෙය ම තමයි.
සමාජයේ වටිනාකම් බවට පත් වී තිබෙන්නේ කුමන හෝ ආකාරයෙන් යහමින් මුදල් හම්බ කිරීම, හැකිතරම් යාන වාහන, දේපල, වස්තුව රැස්කිරීම, භාණ්ඩ පරිභෝජනය හා විනෝදාස්වාදයයි. මුදල් හම්බ කිරීමේ පහසුම ක්‍ර‍මය බවට දේශපාලනය පත් වී තිබෙනවා. වෛද්‍ය, ගුරු වැනි ජීවිතයට දැඩි ලෙස බලපාන වෘත්තීන් දැඩි ලෙස වානිජකරණය වී තිබෙනවා. කාටත් අවශ්‍ය පහසුවෙන් හා ඉක්මණින් ධනවත් වීමටයි. මහන්සි වී වැඩ කරන්නට තරුණ තරුණියන් පවා කම්මැලියි. දවස පුරා ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවල ඈනුම් අරිමින් කාලය කා දමන තරුණ පරපුරකුත් ඉන්නවා. සමාජ සම්බන්ධතා ද වෙළඳපොළ ගනුදෙනු ස්වරූපය ගෙන තිබෙනවා. ආදරය වැනි යව්වනය සමග දැඩි ලෙස සම්බන්ධ කාරණා කොයි තරම් විකෘති වී තිබෙනවා ද? මගේ නිවසේ සිට නගරයට තිබෙන පාරේ කිලෝමීටර් හතරක පමණ දුරක කාමර කුලියට දෙන ස්ථාන පහක් තිබෙනවා. පැය දෙකෙන් දෙකට කුලියට දෙන මෙම කාමර දවල් කාලය පුරා ම තරුණ තරුණියන්ගෙන් පිරී ගොසින්. හැබැයි, ප්‍ර‍සිද්ධ උද්‍යානයක ගැහැණියකට හා පිරිමියෙකුට අතින් අල්ලාගෙන යන්නට හෝ නිදහස නැහැ. විනෝදාස්වාදයේ ප්‍ර‍ධාන මාධ්‍යය බවට පත් වී තිබෙන්නේ කඨෝර ශබ්දයේ, ඇස් ගිනිකණ වට්ටන ආලෝකයේ, අධික තදබදයේ, මත්පැන්වල, මත්ද්‍ර‍ව්‍යවල, ලිංගික හිංසනයේ හා ප්‍ර‍චණ්ඩත්වයේ තෝතැනි බවට පත් වී තිබෙන සංගීත සංදර්ශනයි. පොදු ප්‍ර‍වාහන බස්රථය ද එවැනි අත්දැකීමක් දෙන රාත්‍රී සමාජශාලාවක තත්වයට පත් කරගෙන තිබෙනවා. කලකට ඉහතදී පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි විකාශය වූ හිමිදිරි උදෑසන ජනතාව වැඩට රැගෙන යන බස්රථවලත් වාදනය වන්නේ මැදියම් රැයේ උච්ච අවස්ථාවල සංගීත සංදර්ශනයි. හූවක් ඕනේ!
මේ අතරවාරයේ සාහිත්‍යය, කලාව පමණක් නොවෙයි ක්‍රීඩාව පවා දැඩි පරිහාණියකට ලක් වී තිබෙනවා. අඩු තරමේ ක්‍රිකට්වලින් හෝ සතුටු වන්නට මිනිසුන්ට අවස්ථාවක් නැහැ. සමාජය රෝගීයි. මන්දපෝෂණය වගේ ම තරබාරුකමත් සමාජය ඉහවහා පැතිරෙනවා. මේ සියල්ලම මැද සමාජයට විහිළු සපයන ප්‍ර‍ධාන මාධ්‍යය බවට පත් වී තිබෙන්නේ දේශපාලනයයි. වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් හයදෙනෙකුගෙන් ම එක් අයෙකු උසට සරිලන මහතකින් යුක්ත නොවේ. එඋපදින සෑම බිළිඳුන් හයදෙනෙකුගෙන් ම එක් අයෙකු අඩු බර දරු උපතකි. නාගරික ප්‍රදේශවල ප්‍ර‍ජනන වියේ පසුවන සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන් ම එක් අයෙකු එක්කෝ අධිබර ය. නැතිනම් ස්ථුල ය.
මෙවන් දූෂිත සමාජයක අපට මීට වඩා වෙනස් ජීවිතයක් බලාපොරොත්තු විය හැකි ද? අප මේ නෙළාගනිමින් සිටින් අප විසින් වපුරන ලද බීජවල අස්වැන්නයි. අවාසනාව අප නැවත නැවතත් වපුරමින් සිටින්නේ එම බීජ ම වීමයි. මේ අතරවාරයේ අප මේ සකල දෝෂවලට සරල හේතු සොයමින් සිටිනවා. ඒ හේතු බොහෝ විට අපෙන් බැහැර වෙන අය තුළ දකින්නටත්, වෙනත් අයට දෝෂාරෝපණය කරන්නටත් අප පෙළඹෙනවා. ආණ්ඩුව, දේශපාලකයන්, බටහිර සංස්කෘතිය, විදෙස් කුමන්ත්‍ර‍ණ ආදිය තරමට ම හෝ ඊටත් වඩා අප අප ම මේ තත්වය සම්බන්ධයෙන් වගකිව යුතු බව වටහා ගැනීම අත්‍යවශයි. නැතිනම් අප මේ නරකාදියෙන් ගොඩඑනවා බොරු ය.
– අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 3 ලංකා පුවත්පත

අමිල හිමිට සල්ලි දීපු කේස්සෙක ගැන වැඩිදුර විස්තර මෙන්න

රජගල
මට නම් අමිල හිමි හා තවත් සිවිල් සමාජ නියෝජිතයන් යූඇන්පිය හරහා සල්ලි ගැනීම ගැන කිසිම මෙව්ව එකක් නැහැ. මං නම් ගත්තෙත් නැහැ. ඉල්ලුවෙත් නැහැ. මට සල්ලි, ජොබ් හෝ බිස්නස් හෝ ඕනැකමක් තිබුණෙත් නැහැ. ලොකුවට නැති වුණාට මට අවශ්‍ය ප්‍රමාණයට මට ඒවා තිබුණා. අපි වැඩ කළේ ඒවාත් අවදානමේ හෙළාගෙන.
ලොකු ලොකු දේවල් නෙමෙයි, මාධ්‍ය පැත්තෙන් වැඩිපුර වැඩ කරන්නට අවකාශයක් හදාගන්නට උවමනාව තිබුණත්, අපි ඇසුරු කළ මාධ්‍ය බුවාලා කියන්නෙ කුහකත්වයේ ඔස්තාද්ලා. උන් මුලින් ම කළේ අපට ගේම දෙන එක. සිවිල් සමාජ සෙට්ටෙකෙන් හෝ මාධ්‍ය සෙට්ටෙකෙන් හෝ යූඇන්පියෙන් හෝ අපේ අරමුණු සඳහා උපකාර නොලැබෙන බව අපි නම් බොහොම ඉක්මණින් අවබෝධ කරගත්තා. උන් ඉතාම සාමාන්‍ය කුහකයෝ. අපි වගේ උන්ගෙ පුක පස්සෙන් නොඑන, උන්ට ඕනැ විදියට නටන්න සූදානම් නැති එවුන්ගෙන් ගන්න පුළුවන් වැඩක් හෝ ගන්නට උන් බය වුණා. හැබැයි, අපි අපේ අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීම අත්හැරියෙ නැහැ. අපි වැඩ කළේ අපේ අතින් වියදම් කරගෙන. බ්ලොග් ලියනවාට, සෝෂල් මීඩියා සටහන්වලට අමතරව, සතිපතා පත්තර දෙකකටවත් අපි ලිව්වා. ඒ සියල්ල කළේ නොමිළේ. ඒවා කරන අතර ආර්ථිකය නඩත්තු කරන්නට වෙනම වැඩ කළා. පොතුත් ලිව්වා. ඒවා පළ කිරීමත් කළා. ජාතික ලොතරැයි මණ්ඩලේ අනුග්‍රහය නැතුව ඒවා දොරටත් වැඩියා. අපට ඒවා මීට වඩා පුළුල් කරන්නට ශක්තිය දුන්නා නම්, අපි සමාජය වෙනස් කරන්නට මීට වඩා දෙයක් කරන්නට තිබුණා. හැබැයි, සිරිකොතෙන් පඩි ගන්නවා ය කියලා වැඩියෙන් ම බැනුං ඇහුවෙත් අපි. අපි ඒ කුණු කතා අහද්දි සිරිකොතේ කක්කුස්සි කඩාගෙන කාපු එවුන් පවා අපට හිනා වුණා.
හැබැයි සාන්ත, මේ සැරෙත් අපි නම් අර බෝසතාණන් බුද්ධත්වයට පත් වෙන්නට පෙර දුටු හීන හතේ තිබුණු පස්වන හීනෙ වගේ එකක් දැක්කා. ඒ හීනෙ මෙහෙමයි. “පස්වන සිහිනය වශයෙන් බෝසත්හු විශාල කැත කුණු පර්වතයක් මුදුනෙහි ඒ කැත කුණු කිසිවක් පයෙහි නොතැවරී ඇවිදින්නට වූහ.” උපුටා ගැනීම, සම්බුදු සිරිත, කේ.ඩී.පී. වික්‍රමසිංහ මහතා
හැබැයි උන් අපිව නොමිළෙම කඩේ යවන්න උත්සාහ කළේ නැත්තෙ නැහැ. ඒවා ගැන අපි හිටියෙ හොඳ අවබෝධයක. ඒ නිසා උන් රෑ හතට, අටට, සෙනසුරාදාට, ඉරිදට කොළඹ මීටිං දාගත්තට අපි නම් වැඩ ඔක්කොම පාළු කරගෙන පුක උඩ දාගෙන දිව්වෙ නැහැ. අපි කැමති ඒවට ගියා. ගිය ඒවට ගියේ අතින් වියදම් කරගෙන. ඒවායින් අපි මේවා වැඩ කරන නාඩි අල්ලගත්තා. ගොඩ ඉඳන් ඔක්කොම දන්නවා ය කියා හිතන් ඉන්න පණ්ඩිතයන්ට අපි කියන්නෙ ඔයාලා අපි මේ හරහා ඉගෙන ගත්ත ටික දන්නෙ නැහැ.
අමිල හිමි ඇතුළු පිරිසක් (මං නම් කියන්නෙ නැහැ) ගත් මුදලට තම සේවාව සැපයුවා. ඒ අතරෙ සරත් විජේසූරියලා, ගාමිනී වියන්ගොඩලා ඒකත් කළේ බාගෙට. සල්ලි එක්ක සම්බන්ධයක් නැති බවට බොරු පඩ ෂෝ දාන්න ගියා. දැන් මාට්ටු වෙලා තියෙන ඒවට ඒගොල්ලන් ම උත්තර දිය යුතුයි.
අමිල හිමි තමයි යූඇන්පියට සිටින විශිෂ්ට ම කථිකයා. ඔහුගේ ඇත්ත මිළ මාසෙට රු. 95,000ට වැඩියි. ඒ නිසා හාමුදුරුවෝ සැලෙන්න එපා. ඔව් මං සල්ලි ගත්තා, මගේ ගමනට, බිමනට, දානෙට අරකට මේකට ඒ ගාන අවශ්‍ය බව කියන්න. අමිල හාමුදුරුවො වගේ අය සිටිය යුත්තෙ පාර්ලිමේන්තුවෙ. ඒ අවස්ථාව නොදී අමිල හාමුදුරුවන්ට ලිට්‍රෝ ගෑස් රෙගියුලේටරේ හයි කළේ රනිල්ගෙ බලුකමට. යූඇන්පියට හරිහමන් කථිකයෙකුත් නැහැ. ඉන්න එකාගෙ නම රැකගෙන ඒ වැඩේ කරගෙන යන්න පහසුකම් සැලසීමකුත් නැහැ. ඒක තමයි මං කියන්නෙ යූඇන්පිය දන්න රෙද්දෙ දේශපාලනයක් නැහැ ය කියලා.
දැන්වීමකි
සිවිල් සමාජ සෙට් එක ඩීල් කළ යුතුව තිබුණෙ පාර්ලිමේන්තුවේ එජාප ජාතික ලැයිස්තුවට. ඒ වුණාට සිවිල් සමාජය නියෝජනය කරමින් එතෙන්ට ගියේ ජයම්පතී, ආශු වගේ අය. විමල් ළඟ ඉඳලා පට්ට ගේමක් ගහලා රනිල් ළඟට සෙට් වුණ ආශු මේ සැරේ සිවිල් සමාජ සෙට් එක විකුණන්නෙ බාගේන් සේල් ප්‍රයිස් එකට. ලබන සැරේ යූඇන්පී ජාතික ලැයිස්තුවේ සිවිල් සමාජය නියෝජනය කරමින් ආශුට අමතරව සිරිමසිරි කියල පිස්සු බුවෙකුත් ෆෝන් එක ඔබ ඔබ ගොන් කෑලි අමිල සාදුටයි බාහු සහෝදරයටයි පෙන්න පෙන්න හිටියොත් ඔයාලා පුදුම වෙන්න එපා.
සිවිල් සමාජෙන් පාර්ලිමේන්තු යා යුතුව තිබුණු කෙනෙකු තමයි සුදර්ශන. ඒ වුණාට එයා රජයෙ නිලධාරියෙකු වෙලා ඕනෑවටත් වඩා පොෂ් නිලධාරියකු වෙන්න ගියා. නිමල්කලා වගේ අය මේ ආණ්ඩුවෙන් තනතුරුවල හිර කළා. දේශපාලනය කළ යුතු අය නිලධාරි වුණා. සිවිල් සමාජය යූඇන්පිය එක්ක හරියට දේශපාලන සෙල්ලම කරන්නට අසමත් වුණා. මේවා මං ඔවුන්ට කලිනුත් කිව්වා. ආයෙ කෙළවගන්න ඉස්සෙල්ලයි මේ විවෘතව ම ලියන්නෙ.
සිවිල් සමාජ සෙට්ටෙක ගැන මේ සටහන තබන්නෙ උන්ගෙන් වෙන් වෙන්න නෙමෙයි. එතන හොඳ මිනිසුන් රැසක් ඉන්නවා. අමිල හාමුදුරුවෝ, බාහු සහෝදරයා වගේ අය මං හිතන්නෙ හොඳ මිනිස්සු. මං හැමදාමත් ගරු කරපු ජයතිලක බණ්ඩාර සහෝදරයා වගේ අය මල් පෝච්චි වගේ ඉස්සරහින් නොහිටියාට ඒ පිටුපස තිබෙන ලොකු ශක්තියක්. පිලිප්ලා, රාජ සහෝදරයලා වගේ අය හොඳ මිනිස්සු. හැබැයි, පට්ට කුහක ගේම් ඔස්තාද්ලා කීපදෙනෙකුත් ඔතන ඉන්නවා.
එජාපෙ ආණ්ඩුවෙන් පසුගිය කාලේ ලොකුම වැඩ කරවා ගත්තෙ සිවිල් සමාජය. ස්වාධීන කොමිෂන්, තොරතුරු අයිතිය, අතුරුදහන් වූවන් සඳහා කාර්යාලය, හානිපූරණය වගේ ඒවා සිවිල් සමාජයේ ජයග්‍රහණ. ඒවා කරවාගන්නට පුළුවන් වුණේ විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධානවලට තිබුණු උද්දේශන හැකියාව නිසා. දේශපාලන සිරකරුවන් වැනි ප්‍රශ්න විසඳාගන්නට බැරි වුණේ ඒ වෙනුවෙන් වැඩ කළ රාජ්‍ය නොවන සංවිධාන ආදිය ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්නට යාම නිසා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙ සිදුරු වැනි ඒවා සිවිල් සමාජය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය ජයම්පතිලාගේ බ්ලන්ඩර්.
කෙසේ වෙතත්, සිවිල් සමාජය ගැන මෙයත් කිව යුතුයි. ඔවුන් නොමැතිනම් එජාපට මේ වනවිට ඇඩ්‍රසුත් නැහැ. ඒ තරමට එජාප කියන්නෙ හිස් ම හිස් කලගෙඩියක්. හැබැයි බඩ ලොකුයි. එතන ඉන්නෙ තමන්ට ආණ්ඩුව තිබුණු කාලෙ මීඩියා එකක්වත් හදාගන්නට තරමට දේශපාලනය නොදත් ගොන් වාහෙලා ටිකක්. දේශපාලනය කරන්නට නෙමෙයි, හවුලෙ ජෝඩු බලන්නටවත් එජාප වැඩක් නැති බව මම ඔක්තෝබර් 25 කිව්වා. කොහෙද මේ මහින්ද 26 ඇවිත් මගුලක් කළානෙ. ඒ නිසා අපිත් ආපහු එජාපට සපෝට් කළා. මහින්ද කරපු වැඩෙන් හැබැයි එජාප ගොඩ ගියා. නැතිනම් එජාප කියන්නෙ රනිල්ලා වගේ අසංවේදී ලාදුරුකාරයන්ගෙයි, මංගලලා වගේ අලසයන්ගෙයි, සජිත්ලා වගේ වැඩ බැරි දාසලාගෙයි, මලික්ලා රවීලා වගේ බිස්නස්කාරයන්ගෙයි අම්බලමක් විතරයි. චම්පිකලා, රාජිතලා, සරත් ෆොන්සේකලා විතරක් නෙමෙයි දඹර අමිලලා හරහා එක්සත් ජාතික පෙරමුණට මහින්ද එක්ක ශක්තිමත් විදියට හැප්පෙන්නට පුළුවන් තත්වයක් දැන් තිබෙනවා. හැබැයි, ඒකට බිම් මට්ටමේ යූඇන්පීකාරයන් බලමුළුගන්වාගැනීමේ හැකියාව ගොඩනගාගන්නට ඕනැ. එජාපට මේ වන විට ඒ හැකියාව නැති වෙලා ගිහින්. ඔය සජිත්ලා වගේ එවුන්ට අඩු ගානෙ හම්බන්තොට රැස්වීමක්වත් කරගන්නට පුළුවන් වෙලා තියෙනවද බලන්න. සිවිල් සමාජ සෙට්ටෙකට ප්ලේස් වෙන්න පුළුවන් මෙන්න මෙතන. හැබැයි යූඇන්පී ආසන සංවිධායක මෝඩයන් වැඩි හරියකට උන්ගෙ භාෂාවවත් තේරෙන්නෙ නැහැ. උන් හිතන්නෙ සිවිල් සමාජය එන්නෙ උන්ගෙ අනුගාමිකයන්ගෙ ඔලු කුරුවල් කරන්න ය කියලායි. යූඇන්පියේ ඉහළ එවුන් ආසන සංවිධායකයන් එක්ක ගනුදෙනු කරන්නෙ සිරිකොතේ ක්ලාක්ලා හරහා ටෙලිෆෝන් එකෙන් කියපන්කො. මේව පොලිටික්ස් නෙමෙයි පිස්සු පීකුදු සාන්ත.
මා ගැන තවදුරටත් කියනවා නම්, මේ වන විට මා මගේ යහපාලන, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මිෂන් එක අවසන් කරමින් සිටිනවා. දෙසැම්බර් හත කවර තීන්දුවක් ලැබුණත්, ඒ පරිච්ඡේදය අවසන්. මහින්ද රාජපක්ෂ ක්‍රමයට එරෙහි කොන්දේසි විරහිත අරගලය අත නොහැරියත්, එජාපට සහයෝගය දීම ඉතා පැහැදිලිව ම දැඩි කොන්දේසි සහිතයි.
අද මං ඔබට රහසක් කියන්නම්. අලුත් විදියක මීඩියා වැඩක් එක්ක අපි මේ මාසෙ අලුත් ගමනක් අරඹනවා.

රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද? එය පැරදවිය යුත්තේ ඇයි?


අජිත් පැරකුම් ජයසිංහ (අනිද්දා පුවත්පත 2018-12-02)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර ඇති වූ කුමන්ත්‍රණකාරී ප්‍රතිසංවිධානය මගින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට මේ වන විට මාසයක් ගත වී තිබේ. බහුතර සහයෝගය නොමැති ආණ්ඩුව මෙම සටහන තබන මොහොත වන විට පාර්ලිමේන්තුව වර්ජනය කරමින් කැළෑ වැදී තිබේ. පාලනය අස්ථාවර තත්වයට පත් වී තිබෙන අතර එය අමාරුවෙන් තුලනය කරගෙන පවත්වාගෙන යන ලද ආර්ථිකයට මරු පහරක් එල්ල කර තිබේ. පසුගිය මාසයක ආර්ථික හානියෙන් මේ රටට ගොඩ ඒමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇත.
නිදසුන් ලෙස, මූඩි ණය දර්ශකය විසින් ශ්‍රී ලංකාව පහළ මට්ටමක ශ්‍රේණිගත කිරීම ණය ලබාගැනීමේදී බරපතල ගැටලු ඇති කරයි. සහන පොළී මත විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ණය වාරිකය නවතා තිබේ. විදේශ සංචිත දුර්වල වීම ශ්‍රී ලංකාවේ ණය ලබාගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපාන අතර මුල්‍ය වෙළඳපොළෙන් ඉහළ පොළියට ණය ලබාගැනීමේ විකල්ප වෙත ඊනියා ආණ්ඩුව දැනටමත් යොමු වී තිබේ. එක්සත් ජනපදය, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාව සමග ගිවිසගැනීමට නියමිතව තිබූ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවා තිබේ. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කර තිබේ. කොටස් වෙළඳපොළෙන් හා බැඳුම්කර ද්විතීයක වෙළඳපොළෙන් විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගනිමින් තිබේ. සංචාරක වාරය උපරිම තලයට පිවිසෙමින් තිබියදී සංචාරක වෙන් කරගැනීම් අවලංගු කරමින් තිබේ.
මේ සියල්ලම මැද පවා බලලෝභී ලෙස හා පෞද්ගලික ගැටලු ඉදිරියට දමමින් ජනාධිපති සිරිසේන හා මහින්ද රාජපක්ෂ කටයුතු කරන ආකාරය දැකිය හැකි ය. මෙම තත්වය විසින් එක පැත්තකින් ජනාධිපති සිරිසේන හා ඔහු නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනික වශයෙන් විනාශයේ මුවවිටට ම තල්ලු වී ගොසිනි. අනෙක් පැත්තෙන් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ දේශපාලන පක්ෂය වන පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් නිර්මාණය වී තිබූ බලාපොරොත්තුවල හිස්බව ද හෙළිදරව් වෙමින් තිබේ.
මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙනු ලබන දේශපාලනය වනාහි හුදු පවුල්වාදයකට ලඝු කළ නොහැකි දෙයකි. එය දේශපාලන ධාරාවකට පමණක් ලඝු කරන්නට ද බැරි ය. එය දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික දේහය වසා පැතිරෙන ආගමික ස්වරූපයක් ගත් දෘෂ්ටිවාදයකි. අප එය හඳුන්වන්නේ රාජපක්ෂවාදය හෝ රාජපක්ෂ ක්‍රමය හෝ ලෙසයි. අප එය නිවැරදිව විග්‍රහ කර ගත යුතු ය. එය ධනවාදය, ෆැසිස්ට්වාදය, නව ලිබරල්වාදය, බටහිර විරෝධය, මුස්ලිම් විරෝධය, සිංහල ජාතිවාදය, සිංහල-බෞද්ධ ආගම්වාදය, ගොවිගම කුලවාදය, පුරුෂෝත්තමවාදය වැනි දෘෂ්ටිවාදයන් රැසක් රැසක් ඒකරාශී කරගෙන ගොඩනැගෙන අනන්‍ය දෘෂ්ටිවාදයක් ලෙස සැලකීමේ වරදක් නැත.
රාජපක්ෂවරුන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ භාවිතාව තුළින් රාජපක්ෂවාදය සරලව තේරුම් ගත හැකි ය. නිදසුනක් ලෙස, බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධ වී තිබෙන්නේ මන්ත්‍රීවරුන්, නිලධාරීන්, විනිසුරුවරුන්, ව්‍යාපාරිකයන් වැනි ඕනෑම කෙනෙකු මිළ දී ගත හැකි අපූරු තැරැව්කරුවකු ලෙස ය. එය රාජපක්ෂවාදයේ බල ව්‍යාපෘතියේ මූලික ලක්ෂණයකි. එසේ ම, එසේ විකිණුන පුද්ගලයන්ට හෘදය සාක්ෂියක් නොපැවතීම ද, ඔවුන් රාජපක්ෂවරුන් කියන ඕනෑම දෙයක් අනුමත කරන්නන් බවට පත් වීම ද, රාජපක්ෂ අනුගාමිකයන්ගේ සිට ඡන්දදායකයන් දක්වා ම තර්ක බුද්ධිය වළලා දැමූ අන්ධ ඇදහිලිවන්තයන් වීම ද රාජපක්ෂවාදයේ ලක්ෂණයි.
මේ මොහොතේ රාජපක්ෂවාදයේ නැගීම මූලිකව ම පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන නුරුස්නාබව සහ ඒකාධිපතිවාදයක් ඔස්සේ ලංකාවට ගොඩ යාමට පාරක් සොයාගත හැකි ය යන අන්ධ විශ්වාසය මත ය. එකී අන්ධ විශ්වාසය හැරෙන්නට වෙනත් කිසිදු ආකාරයක රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රාජපක්ෂවරුන්ට නැති බව පසුගිය මාසයක කාලය තුළ සක්සුදක් සේ ඔප්පු විය. මූලික වශයෙන් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයකි. එහිදී ඔවුන් තම ධනෝපායන මාර්ග කේන්ද්‍රගත කරන්නේ ම රජයට ය. එක පැත්තකින් රජයෙන් අති විශාල වැටුප්, වරප්‍රසාද හා විශාල රාජ්‍ය ධනයක් හැසිරවීමේ බලය තමන් අතට ගන්නා ඔවුන් අනෙක් පැත්තෙන් රජය සමග කොන්ත්‍රාත් හසුරුවමින් එයින් විශාල වශයෙන් කොමිස් ලබාගනිති. මෙම මුදල් නිර්ලෝභී අන්දමින් තම ප්‍රතිරූප ගොඩනැංවීමේ හා ප්‍රචාරණ ව්‍යාපෘති වෙනුවෙන් ද, තමන්ට පක්ෂ සංවිධාන ගොඩනගාගැනීම වෙනුවෙන් ද වැය කරති. ඒ තුළ සිදු වන අති විශාල නාස්තිය පිළිබඳ ඔවුන්ගේ සැලකිල්ලක් නැත. තම වාසිය වෙනුවෙන් දැවැන්ත රජයක් ගොඩනැගීම රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණයකි. උදාහරණයක් ලෙස තමන් වෙනුවෙන් දේශපාලන කටයුතුවලට යොදාගැනීම සඳහා ම ඔවුන් විසින් සමෘද්ධි නිලධාරි බලකායක් නිර්මාණය කරගන්නා ලදී. විමල් වීරවංශ පසුගියදා සමෘද්ධි විෂය භාර ඇමති ධුරයට පත් වූ හැටියේ ම පවා ඔහු කළේ මේ සමෘද්ධි බලකාය ශක්තිමත් කරගැනීමයි. රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය රජයට පවරා ගන්නා ලදී. මිහින් එයා නමින් තවත් ගුවන් සේවාවක් ආරම්භ කරන ලදී. තම ඥාති හිතවතුන් ඒවායේ ඉහළ නිලධාරී තනතුරු සඳහා පත් කර ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබා දෙන ලද අතර මිළ දී ගැනීම් හරහා ද දැවැන්ත දූෂණ කරන ලදී.
රාජපක්ෂවාදය මත පදනම් වන රාජපක්ෂ ක්‍රමයේ මූලික ම ආර්ථික ගැටලුව නිර්මාණය කරන්නේ ද මෙම දැවැන්ත රජය විසිනි. වැඩ නොකරන අති විශාල පිරිසක් විසින් සාරය උරා බොනු ලබන රජය නඩත්තු කිරීම සඳහා අතිවිශාල බදු බරකට මුහුණ දීමට වැඩ කරන ජනතාවට හා ව්‍යවසායකයන්ට සිදු වේ. මේ රජය පවත්වාගෙන යාම සාධාරණීකරණය සඳහා ඔවුන් රටට ඔරොත්තු නොදෙන තරමේ, ඇස් ගිනිකණ වට්ටන මෙගා සංවර්ධන ව්‍යාපෘති වෙත යොමු වෙති. ඒ වෙනුවෙන් අති විශාල වශයෙන් විදෙස් ණය ලබාගැනීමට ද, ඒ ණයට ගෙවීමට සිදු වන පොළිය හා අනාගතයේ ඒ ණය ගෙවන ආකාරය ගැන නොසිතා සිටීමට ද ඔවුන්ට පුළුවන. රජය යනු මහජන සේවය සඳහා පවත්වාගෙන යන, රටට සෞභාග්‍යය උදා කරන, ඒ අන්දමින් ම රැකගත යුතු දෙයක් ය යන ව්‍යාජය ඔවුහු සමාජය තුළ නිර්මාණය කරති. එය විඥානයක් ලෙස කෙතරම් සමාජ දේහය පුරා පැතිරී තිබේ ද යත්, අද වන විට රජය පවත්නා සැටියෙන් ආරක්ෂා කරගැනීම සඳහා දිවි හිමියෙන් පෙනී සිටින්නේ වාමාංශිකයන් සහ විප්ලවවාදීනුයි.
රජය මූලික කරගත් ආර්ථිකය එතනට සීමාවෙන්නේ නැත. එය සමාජ විඥානයක් බවට ද පත් වේ. සමාජයේ ජීවන පරමාදර්ශ නිර්මාණය වන්නේ රජය හා එහි කළමනාකරුවන් වන දේශපාලකයන්, නිලධාරීන් හා රජයේ සේවකයන්ගේ ජීවන විලාසය අනුවයි. අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ලැබීම, මහජන මුදලින් විදෙස් චාරිකාවේ සිට දුම්රිය සීසන් ටිකට්ටුව දක්වා වරප්‍රසාද ලබාගැනීම, සෙසු වැඩකරන ජනයාට අහිමි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාගැනීම ආදිය අනුව ගොඩනගාගන්නා ශ්‍රමය පිළිබඳ මූලික ආකල්ප රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණයි. ඉක්මණින් හා පහසුවෙන් සල්ලි හෙවීමට නම් රජය සමග සම්බන්ධ විය යුතු ය. දේශපාලකයකු, දොස්තර කෙනෙකු විය යුතු ය. කය, මනස මෙහෙයවා වැඩ කිරීම කාලකණ්ණිකමකි.
රාජපක්ෂ ක්‍රමයේ වින්දනීය අක්ෂය සරල විනෝදාස්වාදයක් මත පදනම් වේ. ඔක්ටොපෑඩය මූලික කරගත් රාත්‍රී සංගීත සංදර්ශනවල සිට කඨින පෙරහැර දක්වා වන චොකා බයිලා සංදර්ශන හැර ගැඹුරු රසවින්දනයක් රාජපක්ෂ සංස්කෘතියේ නැත. උසස් කලාව හා රසාස්වාදය රාජපක්ෂ සංස්කෘතියට අරහන් ය. එහි හිස්බව වසාගන්නේ ජාතිවාදයේ හා ආගම්වාදයේ දීප්තිමත් වර්ණ යෙදූ ඝන අයිසිං තට්ටුවකිනි. එතනින් එහාට රාජපක්ෂ ක්‍රමය වන්නේ අධික පාරිභෝජනයයි. නිරුවත් භාණ්ඩ වන්දනාවයි. සරලව කිවහොත්, වස්තුව හා දේපල මිළ දී ගැනීම හා ගොඩගසාගැනීමයි. ඒ වෙනුවෙන් දුක් විඳීමයි.
මේ සියලු තත්වයන් සමග සමාජය තුළ දිනෙන් දින මෝදු වන ආතතිය පාලනය කරගැනීම සඳහා රාජපක්ෂවාදය හැමවිට ම සරණ යන්නේ ජාතිවාදය හා ආගම්වාදය ඇතුළු සකලවිධ පසුගාමිත්වයන් මත ය. එහි ප්‍රචණ්ඩත්වය වරින් වර තීව්‍ර කිරීමට ද ඔවුන්ට සිදු වේ. මෙම ස්වෝත්තමවාදී ප්‍රවණතා බොහෝ විට ස්ත්‍රීන්, සමලිංගිකයන්, සංක්‍රාන්ති ලිංගිකයන් වැනි අය වෙත ද යොමු වේ.
රාජපක්ෂ ක්‍රමය තුළ තිබෙන මෙම මූලික ලක්ෂණ එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් පාලනය තුළ නැති බවක් එයින් අදහස් වන්නේ නැත. එසේම, රාජපක්ෂ ක්‍රමය රාජපක්ෂ ජනාධිපති වෙන්නට පෙර සිට ම මේ රටේ පැවති එකකි. රාජපක්ෂ පාලන සමය තුළ එය රාජපක්ෂ විසින් බුක්තියට ලියාගන්නා ලදී. නිදසුනක් ලෙස රාජපක්ෂට පෙර බොහෝ සිංහල ජාතිවාදී ප්‍රවණතා තිබුණමුත්, දැන් එය රාජපක්ෂවාදය විසින් තනි බුක්තියට අත්පත් කරගෙන හමාර ය. ලංකාවේ පසුගාමිත්වය රාජපක්ෂ ක්‍රමය ලෙස නාමකරණය වන්නේ රාජපක්ෂවාදය එහි නායකත්වය අත්පත් කරගත් නිසා ය. රාජපක්ෂ ක්‍රමයට එරෙහි ප්‍රවණතා රාජපක්ෂ අනුගාමිකයන් අතර මෙන් ම ඇතැම් විට රාජපක්ෂ පවුලේ පවා තිබේ. උදාහරණයක් ලෙස බැසිල් රාජපක්ෂ අනුගාමිකයන් හා බැසිල් රාජපක්ෂ ම පවා යම් ලිබරල් ලක්ෂණවලින් යුක්ත ය. විටෙක මහින්ද ළඟ පවා ඒ ලක්ෂණ තිබේ.
රාජපක්ෂවාදය හා රාජපක්ෂ ක්‍රමය තව දුරටත් විග්‍රහ කළ යුතු එකකි. එසේම, කොන්දේසි විරහිතව පරාජය කළ යුතු එකකි.

විධායක ජනාධිපති ක්‍ර‍මය නම් දැලි පිහිය

අප පහත දැක්වෙන සටහන තැබුවේ 2015 ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් මාසයේදී ය. මුල් ලිපිය මෙසේ ය: අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය…
විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.
මෙය කළ නො හැකි ය.
අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.
පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.
අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.
ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.
විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.
ජනාධිපති මුක්තිය ඉවත් කරන්න
  • ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න.
  • 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවන්න
  • 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න
  • මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න. පැරණි කේවල මන්ත්‍රී ආසන  ක්‍රමය හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කරන්න. ආරම්භයක් ලෙස දැනට තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව ම මේ සඳහා යොදා ගත හැකි ය.
  • සමානුපාතික නියෝජනය යටතේ තේරී පත් වන මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නො හැකි ලෙස නීති පනවන්න.
විධායක ජනාධිපති ධුරයේ තිබෙන මූලික ගැටලුවක් වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට දෙවන වර තේරී පත් වීමක් සඳහා විධායක බලතල අසාධාරණ අන්දමින් භාවිතා කරන්නට තිබෙන අවස්ථාවයි. එය වැළැක්විය නො හැකි ය. එහෙයින් විධායක ජනාධිපතිවරයා සමග තරග කරන සෙසු අපේක්ෂකයෝ ස්වාභාවිකව ම අසමාන තරගයකට මුහුණ දෙති. මෙය ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නො වේ.
එබැවින් විධායක ජනාධිපතිවරයකුට එක දිගට ධුරය දැරිය හැකි වාර ගණන එක් වරකට සීමා කළ යුතු ය. නැවත පත් විය හැකි වාර ගණන සීමා කළ යුතු නො වේ. එක දිගට පත් විය හැකි වාර ගණන පමණක් සීමා කිරීම ප්‍රමාණවත් ය. 
විධායක ජනාධිපති ක්‍ර‍මයේ පැවැත්ම සම්බන්ධයෙන් අප පෙනී සිටීමට මූලික හේතුවක් වූයේ රටේ පවත්නා ජනවාර්ගික ගැටලුව හමුවේ සුළු ජාතීන්ගේ දේශපාලන බලයට විධායක ජනාධිපති ක්‍ර‍මය වැදගත් නිසා ය. සරලව කිවහොත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි සිංහල ජාතිවාදීන්ට නැවත ජනාධිපතිවරණයක් ජයගැනීම දුෂ්කර ය. සුළු ජාතික ඡන්ද ලබාගත නොහැකි අයට ජනාධිපතිවරණයකින් 50%කට වඩා ඡන්ද ලබාගැනීම සිහිනයකි. පාර්ලිමේන්තුව එහෙම නැත. ඒ ඔස්සේ ජනවාර්ගික වශයෙන් ඉතා අගතිගාමී තීරණ ගත හැකි බව නිදහසින් පසු පළමු පාර්ලිමේන්තුවේ ම සම්මත කරගන්නා ලද පුරවැසි පනත්වලින් පෙන්නුම් කෙරිණි. එමගින් ලංකාවේ විසූ අති විශාල සුළුතර ජනවාර්ගික ජනගහනයකගේ පුරවැසිභාවය අහෝසි කරන ලදී.
ඒ කෙසේ වෙතත්, 1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ සහ එහි සංශෝධනවල විධායක ජනාධිපති බලතල කොයි තරම් ප්‍ර‍තිගාමී ලෙස භාවිතා කළ හැකි ද යන්නට සජීවී උදාහරණයක් මේ දිනවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වමින් තිබේ.
අපරාධ නීතියෙහිදී බොහෝ විට නීතිඥයන් කරන්නේ නීතියේ සිදුරුවලින් රිංගා යාමයි. අපරාධ නඩුවකදී චෝදනාව පූර්ණ වශයෙන් ඔප්පු කිරීම අත්‍යවශ්‍ය ය. එසේ නොමැතිනම් නිවැරදිකරුවකුට දඬුවම් නියම වී මානව හිමිකම් කඩ වීමේ බරපතල ගැටලුකාරී තත්වයක් මතු විය හැකි ය. එහෙත්, රටක ව්‍යවස්ථාවක් යනු එවැන්නක් නොවේ. ව්‍යවස්ථාවල වුවත් සිදුරු තිබිය හැකි ය. එහෙත්, කිසිදු වගකිවයුතු නායකයකු නීතියේ සිදුරුවලින් රිංගා යන්නේ නැත.
විධායක ජනාධිපති ධුරයට පහත් පෙළේ, අධම පුද්ගලයකු පත් වුවහොත් එම පුද්ගලයා එසේ කළ හැකි ය. දැන් සිදු වී තිබෙන්නේ එයයි. ඉතිහාසය පුරා පත් වූ විධායක ජනාධිපතිවරු කවුරුවත් එතරම් හොඳ අය නොවේ. එහෙත්, තමන්ට ඡන්දය දුන් ජනයා පාවා දී, ඒ ජනවරමින් පරාජයට පත් වූ පුද්ගලයාට බලය පවරා දුන්, පෞද්ගලික හීනමානය පාර්ලිමේන්තු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට ඉහළින් ලෙලවන, මෙතරම් ම පහත් තත්වයට පත් වූ අයෙකු නම් සිටියේ නැත.

මහින්දගේ රට ගොඩනගන මැජික්වල ඇත්ත හෙළිදරව් වීම


අජජිත් පැරකුම් ජයසිංහ, නොවැම්බර් 25දා අනිද්දා පුවත්පතෙනි
කුමන්ත්‍රණයකින් බලය ඩැහැගත් සිරිසේන – මහින්ද බල හවුල 2015 ජනවාරි 8 හැටදෙලක්ෂයේ ජනවරමට පයින් ගසමින් බලය තහවුරු කරගනිමින් සිටියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් පැරදීම හෝ ව්‍යවස්ථාවේ ගරුත්වය හෝ තමන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නැතිකම හෝ නොතකා දිගටම බලයේ එල්ලී සිටින ගමන් මන්ත්‍රීවරුන් මිළ දී ගැනීම යළි ආරම්භ කර තිබේ. වසන්ත සේනානායක හා සුරේෂ් වඩිවේල් වැනි ලජ්ජා විරහිත ප්‍රාණීන් ආපසු යන්නේ ගත් මුදල් නිසා ඔවුන් මුහුණ දෙන තර්ජන නිසා විය හැකි ය.
සදාචාරයක්, ආචාරධර්මයක් නැති ජනාධිපතිවරයකුට බලය ලැබුණු විට විධායක ජනාධිපති ධුරය ඔස්සේ සිදු විය හැකි නරකම දෙය පිළිබඳ සජීවීකරණයක් මෛත්‍රීපාල සිරිසේන විසින් සපයමින් සිටියි. මෙය වනාහි විධායක ජනාධිපති ක්‍රමය පමණක් නොව, සමස්ත සමාජ ක්‍රමය ම උඩු යටිකුරු කර වෙනස් කිරීමට පවා අවශ්‍ය නම් යොදාගත හැකි විප්ලවීය අවස්ථාවක් බව අපි කලින් ලිපියෙනුත් පෙන්වා දුන්නෙමු. එහෙත්, ලංකාවේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන විශ්වාසය මුළුමනින් ම නැති කරගෙන නැති බවත්, තවමත් තත්වය යහපත් අන්දමින් වෙනස් කරගැනීම කෙරෙහි බලාපොරොත්තු සුන් කරගෙන නැති බවත් ජනතාවගේ ඉවසීමෙන් පෙන්නුම් කෙරේ. හමුදා මැදිහත්වීමක් නොවීමෙන් හමුදාවල විනය පිළිබඳ යම් ඉඟියක් ලැබේ. වාමාංශික ඊනියා විප්ලවීය බලවේගවල ඉවසීම වනාහි අන් යමක් නොව කිසිවක් කරකියාගත නොහැකි දුබලකමයි. මේ මොහොතේ පවා ක්‍රම විරෝධී ප්‍රතිරෝධයක් පළවන්නේ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි එක්සත් ජාතික පක්ෂයෙනි. අරලියගහ මන්දිරය අත්හැර නොයා සිටින්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදියේ සටන් කරන්නේත් එජාපයයි. ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය අභියෝගාත්මක තීරණ ගනිමින් මධ්‍යස්ථ සමාජ බලවේග ලෙස ඉදිරියට එමින් තිබීම අර්බුදයේ එක් සාධනීය ප්‍රතිඵලයකි. දෙමළ ජාතිකවාදය කෙතරම් දුර්වල අඩියක ද යන්න ද මෙම අර්බුදය හමුවේ ඉදිරි පියවරක් තබන්නට ඔවුන්ට නොහැකි වීමෙන් පෙනේ. කුමන්ත්‍රණකාරීන්ට ද සිය අරමුණු ඉටු කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ඔවුන් තැබූ පියවරට හෝ ජන ප්‍රසාදයක් නැති බව පැහැදිලිව පෙනෙන බැවිනි. එහෙත්, බලය අතේ ඇති මෙම පිරිස තත්වය වෙනස් කිරීමට යුහුසුළු වනු ඇත.
මහමැතිවරණයක බලාපොරොත්තු අතහැර දිගට ම අගමැතිකමෙහි සිටීමේ උවමනාවක ඉඟි ද මේ වන විට මහින්ද රාජපක්ෂ වෙතින් පළ වෙමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විසුරුවාහැරීමට ගත් පියවර අනුමත කළහොත් එමගින් කියවෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුව ද ජනාධිපතිට ඕනෑම වේලාවක විසුරුවා හැරිය හැකි බවයි. එවැනි තීන්දුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර මහින්ද ගන්නේ කුමට ද? ජනාධිපති සිරිසේන දැනටමත් පෙන්වා දී තිබෙන කරුණක් වන්නේ කාට බහුතර විශ්වාසය තිබුණත්, අගමැති ධුරය සඳහා පත් කරනු ඇත්තේ තමන්ට කැමති අයෙකු බවයි. ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරය ඔහු මහින්ද රාජපක්ෂට ම ලබා දෙනු ඇතැයි තිබෙන වගකීම් සහතිකය කුමක් ද? සිරිසේන යනු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව ද මහින්ද රාජපක්ෂට කොකා පෙන්වූ අයෙකු බව ඔහුට අමතක නැති බව නිසැක ය. ව්‍යවස්ථා විරෝධීව හෝ දැන් සිරිසේන මහින්ද අගමැති ධුරයට පත් කර හමාර ය. ව්‍යවස්ථාව අනුව දැන් ඔහු ඉවත් කරන්නට සිරිසේනට බැරි ය. මහින්ද මෙම වාසිය ගන්නට ඉඩ තිබේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් හැකිනම් 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තත්වයන් නැවත පිහිටුවාගන්නට ඔහු උත්සාහ කරනු ඇත.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවක් නැවත ආරම්භ කළ යුතු ය. එය ජවිපෙ විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද නැතිනම් තවදුරටත් සාකච්ඡා කර ඉදිරිපත් කරනු ලබන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද යන්න සාකච්ඡා කළ හැකි ය. මේ මොහොතේ තිබෙන ගැටලුවට කාටත් දිනුම ලැබෙන සම්මුතියක් නිර්මාණය කරගැනීමට ද ඒ හරහා උත්සාහ කළ හැකි ය. කුමන තත්වයක් යටතේ වුව, විධායක ජනාධිපති ධුරයේ මෙම අත්තනෝමතික බලතල තවදුරටත් කප්පාදු කළ යුතු බව පැහැදිලි ය. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර වඩා සාධාරණ බලතුලනයක් නිර්මාණය කරගත යුතු ය.
මෙම සංදර්භය තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගැනීම සඳහා ඇත්තෙන් ම අවශ්‍ය වන්නේ මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයකි. බලය උරගා බලන්නට අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි ය. එහෙත්, පසුගිය සමයේ පළාත් සභා මැතිවරණ කල්යාම පිළිබඳ විස්සෝප වූ අය දැන් ඒ් ගැන කතා කරන්නේවත් නැත. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වන බලතල බෙදාගැනීම සංකල්පයක් ලෙස විහිළුවට ලක් කරන කාරණයකි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා බලය බෙදාගැනීමට අකැමැති පිරිස් අතින් ම පළාත් සභා බලතල මේ අන්දමින් විහිළුවට ලක්වීම දෙමළ ජාතිවාදී බලවේගවලට වාසිදායක ය. පළාත් සභා බලතලවල නිස්සාරත්වය මෙමගින් නිතැතින් ම පෙන්නුම් කෙරේ. පළාත් සභා ඉක්මවා යන බලය බෙදාගැනීමක අවශ්‍යතාව එමගින් තහවුරු කෙරේ. මේ මොහොතේ පළාත් සභා තවදුරටත් කල් දමන්නට යමෙකු කටයුතු කරන්නේ නම්, ඒ අය පැහැදිලිව ම ෆෙඩරල්වාදියෝ ය.
පළාත් සභා මැතිවරණය ද වත්මන් ව්‍යවස්ථා අර්බුදයට නම් විසඳුමක් නොවේ. කළ යුතුව තිබෙන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමයි. තමන්ට ජනවරමක් ලබාදුන් ජනතාවට පිටුපා, එම ජනවරම විසින් පරාජය කරන ලද ප්‍රතිවාදියා සමග සන්ධානගත වූ ජනාධිපති සිරිසේන තම අත්තනෝමතික තීරණය ජනතාව ඉදිරියේ පරීක්ෂා කරගත යුතු ය. එසේම, ඉදිරි ජනාධිපතිවරණයක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනවරමක් බවට ද පත් කරගත හැකි ය.
මේ අතරතුර කාලය තුළ රාජ්‍ය පාලනය ගෙන යාමට මහින්ද රාජපක්ෂට ඉඩ දීම ඔහු පිළිබඳ මිථ්‍යාව අවසන් කිරීමට හොඳම ක්‍රමයයි. ගෝලීය හා දේශීය ආර්ථික අබියෝගයන් මැද රජයකට කටයුතු කළ හැකි සාමාන්‍ය ආකාරයට පසුගිය රජය කටයුතු කරගෙන ගියේ ය. ප්‍රාතිහාර්ය නොපෑ හැකි බව ඔවුහු දැන සිටිය හ. එහෙත්, අති විශාල වශයෙන් ණය ලබාගනිමින් මහින්ද රාජපක්ෂ පසුගිය සමයේ කළ ඊනියා සංවර්ධනයේ ඇස් ගිනිකණ වැටීම නිසා ඔහුට එවැනි ප්‍රාතිහාර්ය කිරීමේ හැකියාවක් ඇතැයි තවමත් ඇතැම් ලාංකිකයෝ විශ්වාස කරති. එහෙත්, සරලව කිවහොත් මේ රටේ දේශපාලන බලය හොබවන දැවැන්ත, කම්මැලි මධ්‍යම පන්තිය නඩත්තු කිරීම සඳහා පවත්වාගෙන යන මෙම අති විශාල, අකාර්යක්ෂම රජය නඩත්තු කිරීම සඳහාත්, එම රජයේ පැවැත්ම සාධාරණීකරණය කරගැනීම සඳහා කරන ලද සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගත් ණය ආපසු ගෙවීම සඳහාත් ණය ගැනීම හා තව තවත් ණය ගැනීම සඳහා කළ යුතු දේ ගැන කල්පනා කිරීම හැර ආර්ථිකය සම්බන්ධයෙන් ‘මුදල් ඇමති’ මහින්ද රාජපක්ෂට කළ හැකි වෙනත් දෙයක් නැත.
උවමනාවෙන් ඇති කරගන්නා ලද දේශපාලන අස්ථාවරත්වයත්, ගෝලීය මුල්‍ය තත්වයනුත් හේතුවෙන් රජයට ගෝලීය මුල්‍ය වෙළඳපොළෙහි තිබෙන විශ්වාසය අඩු වෙමින් තිබේ. රටට ඇදී එන ඍජු විදේශ ආයෝජන ඉදිරියේදී තවත් අඩු වන්නට ඉඩ තිබේ. ඒ වගේ ම ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ලැබෙන ණය ප්‍ර‍මාණය ද අඩු වෙන්නට පුළුවන. ශ්‍රී ලංකාව ප්‍ර‍ධාන වශයෙන් ම විදේශ ණය ලබාගන්නේ ගත් ණය ගෙවන්නටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් 2019 ජනවාරි පළමු කාර්තුවේ කල් පිරෙයි. ජනවාරි 15 වන විට ඩොලර් බිලියනයකුත් අප්‍රේල් වන විට ඩොලර් මිලියන 500කුත් ආපසු ගෙවිය යුතුයි. ඒ ණය ගෙවන්නට යන්නේ කෙසේ ද යන්න විමසීමෙන් මහින්ද රාජපක්ෂගේ සීමාවන් තේරුම් ගත හැකි ය. චීන සංවර්ධන බැංකුවෙන් වාරික ණයක් ලෙස ඩොලර් බිලියනයක් හෝ බිලියන් 1.5ක් ලබාගන්නා බව මහ බැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි පසුගියදා පැවසී ය. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දී ලබා ගන්නා මුදල වන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1න් තව ඩොලර් මිලියන 645ක් ලබන අවුරුද්දේ පළමු කාර්තුවේදී ලැබෙන්නට නියමිතයි. කලින් ගත් මුදලිනුත් කළේ ණය ගෙවන එකයි. මේ මුදලුත් යොදවන්නේ ණය ගෙවන්නට ම ය. මහින්ද රාජපක්ෂට ප්‍රාතිහාර්ය පෑම සඳහා ඇති හැකියාව ගැන ලෙලවන්නට තිබෙන්නේ චීන කොඩිය පමණි. සෙසු ජාත්‍යන්තර සම්බන්ධතා ඔහුට ආරම්භ කරන්නට සිදු වී තිබෙන්නේ බිංදුවේ සිට මහත් අභියෝග රැසක් මැද්දේ ය. චීනය මහින්ද රාජපක්ෂ රජයට සුවිශේෂ ආධාරයක් කරනු ඇතැයි සිතන අය දැනගත යුතු කාරණයක් වන්නේ චීනයෙන් ලැබෙන්නට ඉඩ තිබූ ආධාර උපකාර රනිල් වික්‍රමසිංහ පාලනය තුළ ද ලැබෙමින් තිබුණු බවයි.
මහින්ද රාජපක්ෂ මිථ්‍යාව සමග ම ගෝඨාභය මිථ්‍යාව ද අවසන් කර දැමිය යුතු ය. ලංකාවේ ජනතාව තම ඉරණම විසඳාගැනීමේ අභියෝගයට තමන් උර දිය යුතු ය. මැජික්කාරයන්ට ආයුබෝවන් කිව යුතු ය.
Please follow and like us:

බලය ඇල්ලුවට ණය කන්ද දැක්කාම දැන් සැප ද?


අජිත් පැරකුම් ජයසිංහ, 2018 නොවැම්බර් 25 ලංකා පුවත්පතෙනි.
මූඩිගේ ආයෝජන සේවායතනය කියන්නේ ආයෝජකයන්ට රජයන්ගේ සහ බැංකු ආදියේ ස්ථාවරත්වය පිළිබඳ විග්‍ර‍හ සපයන පිළිගත් ආයතනයක්. මෙම විග්‍ර‍හ ආයෝජකයන්ට ඉතා වැදගත්. ඔවුන් ආයෝජන සිදුකිරීමේදී මෙම විග්‍ර‍හ සැලකිල්ලට ගන්නවා. මූඩිගේ විග්‍ර‍හ අනුව කිසියම් රටක ආයෝජනය කිරීම අවදානම් සහගත නම්, ආයෝකයන් එක්කෝ ආයෝජනය නොකර ඉන්නවා. නැතිනම්, ඉහළ ප්‍ර‍තිලාභයක් තිබේ නම් අවදානම අරගෙන ආයෝජනය කරනවා. හරි ගියොත් ලොකු ලාභයක්. වැරදුණොත් ලොකු පාඩුවක්.
මේක හරියට ප්‍ර‍මුඛ බැංකුව, සක්විති, දඬුවම් මුදලාලි, ඊටීීඅයි පන්නයේ  ව්‍යවසායවල ආයෝජනය කරනවා වගේ වැඩක්. හරි ගියොත් ලොකු ලාභයක් ලැබෙනවා. බැංකු, කොටස් වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වගේ ඒවා එහෙම නැහැ. ඒවායේ කරන ආයෝජන වඩා සුරක්ෂිතයි. හැබැයි ලාභය සාපේක්ෂව ඒ තරම් විශාල නැහැ.
මූඩිගේ ආයෝජන සේවායතනය විසින් පසුගිය 20දා ශ්‍රී ලංකා රජය පිළිබඳ විග්‍ර‍හයක් නිකුත් කරමින් ඔවුන්ගේ රේටිං හෙවත් ප්‍රමාණනයන් තුළ ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ සිට බී-2 මට්ටම දක්වා පහත දැමුවා. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ආයෝජනය කිරීම ස්ථාවර වෙන්නට පුළුවන් වගේ ම අස්ථාවර වෙන්නටත් ඉඩ තිබෙනවා. පසුගිය ජුලි මාසයේදී මෙම ආයතනය විසින් ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ තහවුරු කළා. මූඩි ආයතනය ශ්‍රී ලංකා රජය විවරණය කිරීම ආරම්භ කළේ 2010දීයි. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ප්‍ර‍මාණනය මෙසේ පහත දමන ලද පළමු වතාව මෙයයි.
මෙම විග්‍ර‍හය ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කරන හෙවත් ලංකාවට ණය දෙන ආයතනවලට වගේ ම පොදුවේ අප සියලු දෙනාටත් ඉතා වැදගත්. රටක් විදියට අප අද සිටින තත්වය තේරුම් ගන්නට වැදගත් වන ආර්ථික විග්‍ර‍හයක් ඔවුන් සපයා තිබෙන නිසා දේශපාලන පාට කණ්ණාඩි ගලවා තබා එම වාර්තාව හරහා රටේ තත්වය දේශපාලනිකව කියවා ගැනීමයි කළ යුතුව තිබෙන්නේ.
මෙම වාර්තාවේ මෙම තත්වයට හේතුව ලෙස දක්වන ප්‍ර‍ධාන කාරණයක් වන්නේ මේ වන විට පවතින දේශපාලන අර්බුදයයි. පෙනෙන ආකාරයට එය ඉක්මණින් විසඳුනත් එහි ප්‍ර‍තිඵල මුල්‍ය ප්‍ර‍තිපත්ති කෙරෙහි දිගුකාලීන බලපෑමක් සිදු කළ හැකි බවයි මූඩි ආයතනයේ විග්‍ර‍හය වන්නේ.
එහෙත්, ඇති වී තිබෙන තත්වය තනිකර ම වත්මන් දේශපාලන අර්බුදයට ලඝු කළ නොහැකියි. පසුගිය සමයේ රට තුළින් සහ රටට බැහැරින් ඇති වූ මුල්‍ය පීඩනයත් මෙම තත්වයට හේතු වුණා. ශ්‍රී ලංකාවේ විදේශ ණය බර අති විශාලයි. 2019 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් දක්වා පමණ වන ණය ගෙවිය යුතුයි. එහෙත්, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පවතින්නේ ඉතා දුබල තත්වයකයි.
රටේ තිබෙන දේශපාලන අර්බුදය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සිටි ණය මුදලකුත් නවත්වා තිබෙනවා. මේ ණය පාවිච්චි කරන්නට නියමිතව තිබුණේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගන්නටයි. 2016 ජුනි 3 අනුමත කරන ලද ජාත්‍යන්තර අරමුදලේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලින් ඩොලර් මිලියන 250කට ආසන්න හයවන කොටසයි මෙසේ නවතා දමා තිබෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙම ණය ලබා දී තිබෙන්නේ පුළුල් ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදුකිරීමේ කොන්දේසි මතයි. කරන ලද ආර්ථික ප්‍ර‍තිසංස්කරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම ණය වාරික වශයෙන් නිකුත් කරන්නේ. බදු ප්‍ර‍තිපත්තිය, ඉන්ධන මිළ සූත්‍ර‍ය වැනි ආර්ථික ප්‍ර‍තිසංස්කරණ ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙම ණය සඳහා කොන්දේසි ලෙසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් කුමන විවේචන තිබුණත්, එම අරමුදල විසින් අවධාරණය කරනු ලබන්නේ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය පියවරයි. එක් වකවානුවකදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අධික ලෙස ණය ලබාගැනීම වෙත යොමු කිරීම සම්බන්ධයෙන් හා ඒ ණය මත පදනම්ව සංවර්ධනය වෙනුවට දැවැන්ත දූෂණ සිදුවන්නට ඉඩහැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමාව දෙන්නට බැහැ. ඒ වුණත්, රජයේ ආදායම් හා වියදම් අතර තුලනයක් ඇති කරගැනීම හා ණය ගෙවීමට හා ණය ලබාගැනීමට පුළුවන් තත්වයක් පවත්වාගැනීම සඳහා මේ මොහොතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන සහන ණය ඉතා වැදගත් වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්ලග් එක ගැලෙව්වා කියා පුරසාරම් දෙඩූ දේශපාලකයන් ණය ලබාගැනීම නැවැත්වූයේ නැහැ. ඒ වෙනුවට කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පොළියට වඩා ඉහළ පොළියට ණය ලබාගැනීමයි.
ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍ර‍තිපත්ති නිසාත්, ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිසාත්, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි සහ භාණ්ඩාගාර බ්ල්පත් හා බැඳුම්කර ආදියෙහි ආයෝජනය කර තිබුණු විදේශ ප්‍රාග්ධනය රටෙන් පිටට යාමේ දරුණු අර්බුදකාරී තත්වයකුත් මේ අතර පවතිනවා. පසුගිය මාස තුනක පමණ කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල 10%ක් පමණ අවප්‍ර‍මාණ වුණා. දැන් එය තවත් වේගවත් වෙමින් තිබෙනවා.
උවමනාවෙන් ඇති කරගන්නා ලද දේශපාලන අස්ථාවරත්වයත්, ගෝලීය මුල්‍ය තත්වයනුත් හේතුවෙන් රජයට ගෝලීය මුල්‍ය වෙළඳපොළෙහි තිබෙන විශ්වාසය අඩු වන්නට පුළුවන්. රටට ඇදී එන ඍජු විදේශ ආයෝජන අඩු වන්නට පුළුවන්. ඒ වගේ ම ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ලැබෙන ණය ප්‍ර‍මාණය ද අඩු වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාව ප්‍ර‍ධාන වශයෙන් ම විදේශ ණය ලබාගන්නේ ගත් ණය ගෙවන්නටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් 2019 ජනවාරි පළමු කාර්තුවේ කල් පිරෙනවා. ජනවාරි 15 වන විට ඩොලර් බිලියනයකුත් අප්‍රේල් වන විට ඩොලර් මිලියන 500කුත් ආපසු ගෙවිය යුතුයි. ඒ ණය ගෙවන්නට යන්නේ කොහොමද කියා දන්නවා ද? චීන සංවර්ධන බැංකුවෙන් වාරික ණයක් ලෙස ඩොලර් බිලියනයක් හෝ බිලියන් 1.5ක් ලබාගන්නා බව මහ බැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි පසුගියදා පැවසුවා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දී ලබා ගන්නා මුදල වන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1න් තව ඩොලර් මිලියන 645ක් ලබන අවුරුද්දේ පළමු කාර්තුවේදී ලැබෙන්නට නියමිතයි. කලින් ගත් මුදලිනුත් කළේ ණය ගෙවන එකයි. මේ මුදලුත් යොදවන්නේ ණය ගෙවන්නට ම තමයි.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පවතින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 – 7 අතර මට්ටමේයි (රන් හා එස්ඩීආර් හැර). එය ශක්තිමත් කරගැනීමට අසමත් වීමත් මූඩි ආයතනය විසින් ශ්‍රී ලංකා රජය අව ප්‍ර‍මාණනය කරන්නට එක් හේතුවක්. එය සිදු වන්නේ බාහිර අවදානම් දර්ශකය අනුවයි. එය වනාහි ඊළඟ වසරේ ගෙවීමට නියමිත ණය හා විදේශ විනිමය අතර අනුපාතිකයයි. 2019, 2020 අවුරුදුවලදී මෙය 180%ක් පමණ වෙනවා.
මෙම සංදර්භය තුළ ශ්‍රී ලංකා රජය කරන්නේ විවිධාකාර ණයගැනීමේ ක්‍ර‍ම සොයා යාමයි. රජය ණය ගන්නවාට අමතරව රජයේ බැංකු හරහා ද රජය ණය ගන්නවා. විදේශ ණයට අමතරව දේශීය වශයෙනුත් විශාල වශයෙන් ණය ලබා ගන්නවා.
රාජ්‍ය අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ට අඩු මට්ටමක තබාගැනීමට කටයුතු කිරීමෙන් රජයට ණය බර අඩු කරගැනීමට පුළුවන්. 2017දී රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 77%ක්. එය 2020 වන විට 75% දක්වා අඩු වනු ඇතැයි මූඩි ආයතනය පුරෝකථනය කරනවා. මෙම තත්වය තුළ ශ්‍රී ලංකා රජයට අයවැය පරතරය පියවා ගැනීමටත්, ණය ගෙවීමටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 19%ක පමණ ප්‍ර‍තිශතයක ණය ලබාගැනීමට සිදු වනු ඇතැයි මූඩි ආයතනය පවසනවා. 2020 වන විට මෙය 15%ක පමණ මට්ටමට ලිහිල් වනු ඇති. මේ අතර රජයේ ආදායමෙන් 40%ක් පමණ වැය වන්නේ පොළී ගෙවීමටයි.
මේ සංඛ්‍යා දත්තවලින් හෙළිදරව් වන කරුණ වන්නේ ශ්‍රී ලංකා රජය යනු පහසුවෙන් පාලනය කළ හැකි වාහනයක් නොවන බවයි. රෝද හතර එක එක පැතිවලට යන මේ වාහනය පදවන්නට භාර ගන්න පුද්ගලයින්ගෙන් ඇත්තට ම ‘දැන් සැප ද?’ කියා ඇසිය යුත්තේ අපයි. ඔවුන්ට ආතතිය නැති වන්නට ඇත්තේ එක ම හේතුවකි. එනම් වගකීම් විරහිතකමයි. භාණ්ඩාගාරයේ හා මහබැංකුවේ නිලධාරීන් දත කාගෙන ගිනුම් තුලනය කරද්දී දේශපාලකයන්ට කා, බී, සවාරි ගසා විනෝද වීමට අවස්ථාවක් ලැබෙන හෙයිනි.
මෙවන් අවස්ථාවක, මෙවන් අසීරු ආර්ථික තත්වයක් තුළ වගකීමක් සහිත දේශපාලකයන් අතින් සිදු විය යුත්තේ බල අරගල නොවේ. රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමයි. මන්ද, එය ආර්ථිකයේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන හෙයිනි. මෙවන් ණය බරක් මැද ප්‍ර‍ාතිහාර්ය පෙන්නන්නට කාටවත් බැරි ය. එසේ කරන්නට පුළුවන් යයි කීම පල් බොරුවකි. ජනතාව රවටන මායාවකි. ඇත්ත තත්වය විග්‍ර‍හ කර නොගෙන මතුපිටින් අතපත ගාමින් කටට ආවාට කියන්නකි. වගකිවයුතු දේශපාලකයන් ජනතාවට ඇත්ත වසන් නොකළ යුතු ය. ගැටලුව පිළිබඳ ජනතාව සමග විවෘතව සාකච්ඡා කළ යුතු ය. බොරු බලාපොරොත්තු නොදිය යුතු ය. සිහින නිර්මාණය නොකළ යුතු ය.
බලය කවුරු ගත්තත් අප හමුවේ තිබෙන්නෙ සීමිත විකල්ප ප්‍ර‍මාණයකි. මූලිකව ම අප ණය ගෙවිය යුතුව තිබේ. ණය ගෙවන්නට තව තවත් ණය ගත යුතුව තිබේ. ඒ අතරවාරේ මේ ණය උගුලෙන් ගැලවීමේ මං සෙවිය යුතු ය. ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීම එක් විසඳුම් මාර්ගයකි. ඒ අතරවාරයේ තිබෙන සංචාරක කර්මාන්තය වැනි දේ රැකගත යුතු ය. දැන් කරන දේවලින් සිදු වී තිබෙන්නේ ලංකාවට එන්න සිටි බොහෝ සංචාරකයින් ද තම සංචාර අවලංගු කිරීමයි. දේශීය නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා ලංකාවට තිරසර වැඩසටහනක් අවශ්‍ය ය. මේ රට මේ අගාධයෙන් ගොඩගත යුතු ය. එහෙත් එය කළ හැක්කේ බොරු මැජික්කාරයන්ට නොවේ. යථාර්ථය ඇති සැටියෙන් ගෙන නිර්මාණාත්මකව සිතන මිනිසුන්ට ය.

ලංකාවේ තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන සමාජ වෙනස වෙනුවෙන් තරුණයන් බලමුළුගැන්වීම පිළිබඳ වැඩසටහනකදී අද දින මට තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්නට තිබෙනවා. මේ අදහස් ටික ගොනු කරගන්නේ ඒ වෙනුවෙනුයි.
තරුණ දේශපාලනය කොහොමත් සටන්කාමීයි. ලංකාවේ උතුරේත්, දකුණේත් රැඩිකල් තරුණ දේශපාලනය 1960 දශකය දක්වා ම කේන්ද්‍ර වුණේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සමගයි. 1950 දශකයේ මැදභාගයේ පටන් යම් ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ ලංකාවේ ආරම්භ වුණා. බස් ජනසතුව, වරාය ජනසතුව ආදී වශයෙන් හැඳින්වුණ වැදගත් ආර්ථික ව්‍යවසාය රජයට පවරාගැනීමේ ව්‍යාපාරය ඉදිරියට ගියත් එමගින් ලංකාවේ තරුණයන් බලාපොරොත්තු වූ අන්දමේ රැඩිකල් සමාජ වෙනසකට මුලපිරුණේ නැහැ. එහෙත්,  ලංකාවේ තරුණ දේශපාලනය සුවිශේෂ රැඩිකල්කරණයක් වන්නට පටන් ගත්තේ 1960 දශකයේ මුල්භාගයේදීයි. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සන්ධානගත වීම මෙයට මූලික හේතුවක් වුණා. ඒ හා සමාන්තරව ඇති වූ චීන -රුසියානු මතභේදය මත වඩා රැඩිකල් තරුණ කොටස් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල දෙසට ආකර්ශනය වීමක් ද දකින්නට ලැබුණා. ලංකාවේ රැඩිකල් තරුණ දේශපාලනයේ තිඹිරිගෙය වන්නේ චීන පිලයි. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා මුල් වන තරුණ නායකත්වය ඒකරාශී වන්නේ චීන පිල නිසායි. මුලින් ඔවුන් චීන පිලේ බලය අල්ලාගැනීමට උත්සාහ කළත් පසුව ඒ උත්සාහය ව්‍යර්ථ වෙනවා. ඉන් අනතුරුව ඔවුන් වෙනම දේශපාලන ව්‍යාපාරයකට මුලපුරනවා.
මේ නව දේශපාලන ව්‍යාපාරය තමයි ලංකාවට වෘත්තීය විප්ලවවාදියා හඳුන්වා දෙන්නෙ. වෘත්තීය විප්ලවවාදී තරුණයා මොන වගේ කෙනෙකු ද කියා හඳුනාගත් විට අපට ලංකාවේ රැඩිකල් තරුණ දේශපාලනයේ මූල සංවිධානය වන ජනතා විමුක්ති පෙරමුණ හඳුනාගන්නට පුළුවන්.
වෘත්තීය විප්ලවවාදියා එක පැත්තකින් දැඩි විශ්වාසයන් මත පදනම් වුණ දේශපාලන බැතිමතෙක්. මාක්ස්වාදය ආගමක ස්වරූපයෙන් ගන්නා ඇදහිලිවන්තයෙක්. විප්ලවයේ නොවැළැක්වියහැකිභාවයක් පිළිබඳ විශ්වාස කරන දැඩි දෘෂ්ටිවාදියෙක්. කැප කිරීම් ඔස්සේ ඉතිහාසය වෙනස් කළ හැකි බව දැඩිව විශ්වාස කරන කෙනෙක්. ඒ වෙනුවෙන් කැප වන කෙනෙක්.
වෘත්තීය විප්ලවවාදියා යනු විප්ලවය හා පක්ෂය ගොඩනැගීම ජීවිතයේ පරම අරමුණ බවට පත් කරගත් කෙනෙක්. ඔහුට පක්ෂය යනු ජීවිතයේ මුදුන්මල්කඩයි. මව්පියන්, ආදරය, විවාහය, දරුවන්, පවුල, නිවස, රැකියාව, ඉතුරුම්, විශ්‍රාමය වැනි සියලු දේ පක්ෂයට ද්විතීයකයි.
වෘත්තීය විප්ලවවාදියා අල්පේච්ඡ, තපස් දිවියක් ගත කරන, වේතනයක් නොලබන, පක්ෂයෙන් කිසිවක් නොඉල්ලන, පක්ෂයට සියල්ල දෙන කෙනෙක්.
වෘත්තීය විප්ලවවාදියා පක්ෂය හා එහි නායකත්වය පිළිබඳ අචල විශ්වාසයක් ඇති කෙනෙක්. පක්ෂයේ අණ වැරදි විය හැකි යයි නොසිතන, හරි වුණත්, වැරදි වුණත් එය ක්‍රියාත්මක කරන සටන්කාමියෙක්. පසුතැවිලි නොවන්නෙක්.
මේ සමගම ජවිපෙ තුළ පුරුෂාධිපත්‍යය, සමලිංගික විරෝධය, අමද්‍යපභාවය, කලාවේදී සමාජ සත්තා යථාර්ථවාදය ඉක්මවා යන්නට බැරි වීම වැනි ගැටලු රැසකුත් පැන නගිනවා. ආර්ථිකය සම්බන්ධයෙන් කිසියම් ආකාරයක අනම්‍ය සුබසාධනවාදී ග්‍රස්ථියක් ද ඔවුන් තුළ තිබෙනවා. විශ්වවිද්‍යාල තරුණ දේශපාලනය මූලික වශයෙන් පදනම් වන්නේ එය මතයි.
මගේ කේපොයින්ට් හා ශාස්තෘ නවකතාවල මෙම විප්ලවවාදී ජීවන භාවිතාව පිළිබඳ විස්තර වෙනවා. වෘත්තීය විප්ලවවාදියකු ලෙස මා ගත කළ ජීවිතය හා මා ඇසුරු කළ අය ගත කළ ජීවිතය ගැන එහි විස්තර වෙනවා.
මේ විප්ලවීය තපස් දිවිය හේතුවෙන් ම අන්තවාදී ප්‍රවණතාවන් කෙරෙහි යොමු වීමේ නැඹුරුවක් ඔවුන් තුළ නිර්මාණය වෙනවා. සිංහල ජාතිකවාදය විනිවිද දකින්නට ජවිපෙ අසමත් වීමත්, පසු කලෙක ජවිපෙ සිංහල ජාතිවාදයේ ගොදුරක් බවට පත් වීමත් සමග පසු කලෙක පැනනැගුණු අන්ත සිංහල ජාතිවාදී ව්‍යාපාරවල මුල තිබුණෙත් ජවිපෙ තුළයි. මේ ආන්තික සිංහල ජාතිවාදී සංවිධාන විසින් අලුත් වටයකින් තරුණ දේශපාලනය රැඩිකල් කර තිබෙනවා. චම්පික රණවකගෙන් පටන් ගත් මෙම ප්‍රවණතාව අද වන විට අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් වැනි තරුණයන් අතට චලනය වී තිබෙනවා. එහෙත්, අප මුලින් සඳහන් කළ වෘත්තීය විප්ලවවාදී භාවිතාවන් ඒ ව්‍යාපාරවලට අදාළ නැහැ.
මේ දේ ම උතුරේත් සිදු වුණා. එහෙත්, දකුණේ මෙන් නොවෙයි, උතුරේ තරුණ රැඩිකල් තරුණ ව්‍යාපාර එහි ආරම්භක අවධියේ පටන් ම සන්නද්ධයි. එසේම, ඔවුන් මාක්ස්වාදය දර්ශනයක් ලෙස තීරණාත්මක ලෙස ඉවත දමමින් වඩා ජනප්‍රියවාදී දෙමළ ජාතිකවාදය වෙත ආරම්භයේ පටන් ම යොමු වුණා.
තරුණ දේශපාලනයේ රැඩිකල්කරණයේ තුන්වන ප්‍රවණතාව නිර්මාණය වන්නේ ජවිපෙන් කැඩී යාම තුළයි. මෙය ද ඉතා රසවත් ප්‍රවණතාවක්. එය තුළ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රති තපස්වී ස්වභාවය. ජවිපෙ වෘත්තීය විප්ලවවාදියා තුළ තිබුණු ප්‍රධාන ලක්ෂණ කීපයක් වන මත්පැන්, දුම්බීම, ලිංගික සීමා, අල්පේච්ඡතාව වැනි ලක්ෂණ මෙම නව ප්‍රවණතා විසින් දැඩි අභියෝගයට ලක් කරනවා. ජවිපෙන් වෙන්වීම සලකුණු කිරීම සඳහා ම ඔවුන් මෙම කරුණු උත්කර්ෂයට නංවනවා. බොහිමියානු ජීවන විලාසයක ව්‍යාජයක් ද ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනවා. 1971 කැරැල්ලෙන් පසුව ආරම්භ වුණ මෙම රැඩිකල් තරුණ ප්‍රවණතාවල සිටින පුද්ගලයන් වයසින් මුහුකුරා යන විට වෙනස් වෙනවා.
මෙම තුන්වන ආකාරයේ රැඩිකල්කරණය තුළ තරුණයන් අතර ස්ත්‍රිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, දර්ශනය, කලාව, සංස්කෘතිය වැනි කාරණා සම්බන්ධයෙන් වඩා සාධනීය අදහස් ද පැනනගිනවා. එහෙත්, අප ඉහත සඳහන් කළ අනම්‍ය සුබසාධනවාදී ග්‍රස්ථිය ඔවුන් තුළ වඩාත් අනම්‍ය ලෙස දකින්නට ලැබෙනවා. මෙම ප්‍රවණතා තුළ ද දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ දැඩි දෘෂ්ටිවාදීමය ස්වභාවයයි. ඒවා තුළ ද ප්‍රචණ්ඩත්වයේ නැඹුරුව වෙනස් ආකාරයකින් දකින්නට ලැබෙනවා.
දෙමළ තරුණ ව්‍යාපාර අතර මෙය තරමක් වෙනස්. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය වූ මුත්, දෙමළ ජාතිකවාදයේ බලපෑම තවමත් දෙමළ තරුණ පරපුර අතර ප්‍රබලයි. මුස්ලිම් තරුණයන් අතර ද ආගමික බලපෑම ප්‍රබලයි. ඒ නිසා දෙමළ මුස්ලිම් තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය සිංහල තරුණ දේශපාලනයේ රැඩිකල්කරණයට වඩා හාත්පසින් ම වෙනස්.

ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තර බලපෑම් සිදු වන පසුබිම


– අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 18 ලංකා පුවත්පතෙනි)
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී ඔහු විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරන ලද කුමන්ත්‍ර‍ණය සමග මතු වූ දේශපාලන අර්බුදය තවමත් දිග්ගැසෙමින් තිබේ.
මෙම අර්බුදය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අර්බුදයට පෙර සිට ම කඩාවැටෙමින් තිබුණු අතර දැන් එය තීව්‍ර‍ වී තිබේ. රුපියල බාල්දු වීමට එක් හේතුවක් වූයේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍ර‍තිපත්ති හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීමයි. අනෙක් පැත්තෙන් ලංකාව අපනයනවලට වඩා ආනයන සිදු කිරීම හේතුවෙන් ගෙවුම් ශේෂයේ ඇති වුණ වැඩි වීම ද රුපියල බාල්දු වීමට බලපෑවේ ය. මහින්ද බලයට පැමිණි පසු රුපියල බාල්දු වීම පාලනය කිරීම සඳහා කළේ වහ වහා සල්ලි අච්චු ගැසීමයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වල තිබුණු ඩොලර් මිලියන 50ක් මුදාහැරුණු බව වාර්තා විය.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය යනු කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දකි. එය සැබෑ සංචිතයක් නොවේ. එහි තිබෙන්නේ ද ණය ම ය. එහෙත්, විදේශ සංචිත පවත්වාගෙන යාම මහේක්ෂ ආර්ථික කළමනාකරණයේදී වැදගත් ය. ශ්‍රී ලංකා රජය ආර්ථිකය පවත්වාගෙන යන්නේ ණය මත ය. ණය ගැනීමෙහිදී ලංකාවේ ණය ගැනීමේ හැකියාව පෙන්වීම වැදගත් ය. නැතිනම් මුල්‍ය වෙළඳපොළේ පොලිය වැඩි වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන විසින් කොන්දේසි මත සහන පොළියට දෙන ණය ලබාගැනීම දුෂ්කර වෙයි. විදේශ සංචිත පවත්වාගැනීම වැදගත් වන්නේ ඒ නිසා ය. එහි තිබෙන මුදල් පටු දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා සල්ලි අච්චුගැසීමට මුදාහැරීම බරපතල ප්‍ර‍තිවිපාක ඇති කරන්නකි.
ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ඇති මාර්ගය වන්නේ දේශීය නිෂ්පාදනය හා අපනයන ඉහළ නැංවීමයි. එහෙත්, එය සිතන තරම් වේගයෙන් හා පහසුවෙන් සිදු කළ නොහැකි ය. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රාග්ධන ගැටලුවයි. ශ්‍රී ලංකාවේ රජය යනු අතිශය වියදම්කාරී, කාර්යක්ෂමතාව බෙහෙවින් අඩු ව්‍යූහයකි. එය නඩත්තු කිරීම හා සංවර්ධන කටයුතු වෙනුවෙන් දෛනිකව ණය ලබාගන්නා අතර පොළිය සමග ඒ ණය ගෙවීම රජයේ මුල්‍ය කළමනාකරණයේ මූලික කාර්යය වී තිබේ.මේ වන විට සමස්ත රාජ්‍ය ආදායම ම රජයේ ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නැත. මිලියන 1.5ක් පමණ වන රජයේ සේවකයන්ගේ වැටුප් හා රජයේ සේවය කර විශ්‍රාම ගිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් මේ වසරේ රජය රුපියල් බිලියන 900ක් පමණ වැය කරයි. මෙම සංදර්භය තුළ රජයට නව ආයෝජන සඳහා මුදල් නැත. දේශීය පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ආයෝජන හැකියාව ද රටේ නිෂ්පාදනය නැංවීමට තිබෙන අවශ්‍යතාව තරම් නොවේ. ඍජු විදේශ ආයෝජන හා ඒ සමග දේශීය හවුල්කාරිත්වයන් වැදගත් වන්නේ එහිදී ය. ඍජු විදේශ ආයෝජන එක පැත්තකින් රටේ අලුත් ව්‍යවසායන් ආරම්භ කරමින් නිෂ්පාදන, සේවා හා රැකියා සම්පාදනයට මැදිහත් වෙයි. අනෙක් පැත්තෙන් ඒ ඔස්සේ රටට දැඩිව ම අවශ්‍ය විදේශ විනිමය පැමිණෙයි.
ලංකාවේ ආනයන වියදමෙන් වැඩි ප්‍රතිශතයක් වැය වන්නේ ඛනිජ තෙල් සඳහා ය. මේ වන විටත් ඉදිරි වසර පහක පමණ අවශ්‍යතාවන්ට ගැලපෙන වාහන තොග ශ්‍රී ලංකාවේ ගොඩගසාගෙන තිබේ. දිනපතා මගීන් 1000ක් පමණ පොදු ප්‍රවාහනයෙන් ගිලිහෙන බව මාස කිහිපයකට ඉහතදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසී ය. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ පෞද්ගලික වාහන භාවිතයයි. පොදු ප්‍රවාහන යටිතලය සංවර්ධනය නොවීම වෙන් ම මහජනතාව අතර ප්‍රචලිත වෙමින් තිබෙන පාරිභෝජන ප්‍රවණතා ද ආනයන ඉහළ නැංවීමට හේතු වේ.
ලංකාවේ ජනතාවගේ ආනයන අවශ්‍යතා වෙනුවෙන් විදේශ විනිමය සොයා ගන්නා ප්‍රධාන ම ක්‍රමය විදේශ රැකියා ය. මේ වන විට මිලියන 1.5ක් පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ විදේශ රැකියාවල යෙදෙමින් රටට මුදල් එවති. 2017 වසරේ මෙසේ රටට ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන හතකට වැඩි විය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදනයක් වන්නේ රෙදි හා නිමි ඇඳුම් ය. 2016දී සමස්ත ආනයනවලින් 47%ක් ම රෙදි හා නිමි ඇඳුම් විය. වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහකට වඩා එයින් උපයා ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ රෙදි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළඳපොළවල් වන්නේ එක්සත් ජනපදය හා යුරෝපා සංගමයයි. එහිදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පසුගිය මැයි මාසයේ සිට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අතිශය වැදගත් ය. මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක නොකිරීම නිසා 2010දී යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ශ්‍රී ලංකාවට අහිමි කළේ ය. මේ වසරේ එම සහන නැවත ලැබීමත් සමග රෙදි හා ඇඟලුම් අපනයනවල 3%ක පමණ වර්ධනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ්‍
ඉහත කරුණු ටික සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙතරම් විදේශ රටවල් සමග බැඳී තිබේදැයි පෙන්වා දීමට ය. මෙම බැඳීම ආර්ථිකයෙන් ඔබ්බට ජන ජීවිතය දක්වා ගැඹුරින් ම විහිදෙන බැඳීමකි. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක ය. දුරාතීතයේ සිට ම මෙම දිවයිනෙහි වැසියෝ ලොව විවිධ රටවල් සමග සම්බන්ධතා පැවැත්වූ බවටත්, වෙළහෙළඳාම් ආදියෙහි යෙදුණු බවටත් පුරාවිද්‍යාත්මක සාක්ෂි එමට ය. ලාංකිකයන්ගේ සංස්කෘතිය පොහොසත් කිරීමට ඈත අතීතයේ පටන් ම විදේශයන්ගෙන් බොහෝ වටිනාකම් ලැබෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ අර්බුදයක් ඇති වූ කල ජාත්‍යන්තර ප්‍රජාව ඒ කෙරෙහි අවධානයෙන් සිටීම මෙම සංදර්භය තුළ කිසි සේත් ම පුදුම විය යුතු තත්වයක් නොවේ. ඔක්තෝබර් 26දා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයත් සමග මෙරට කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි විය. මේ වන විටත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ නිවේදන ගණනාවක් ම නිකුත් කර හමාර ය. මූලික වශයෙන් එම නිවේදනවලින් ඉල්ලා සිටිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී තමන් විසින් පරාජය කරන ලද අපේක්ෂකයා සමග එක් වී කුමන්ත්‍රණයකින් ආණ්ඩුව වෙනස් කිරීම කෙරෙහි මෙම රටවල හා ජාත්‍යන්තර සංවිධානවල විරෝධය පැහැදිලිව මේ ඔස්සේ ප්‍රකාශ විය.
ඊනියා දේශප්‍රේමීන් මෙම තත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට එම රටවල් කරන අනවශ්‍ය අතපෙවීමක් ලෙස විග්‍රහ කරන්නට උත්සාහ කළත්, එම රටවලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරදර වීමට තිබෙන අයිතිය නිර්මාණය වන්නේ කෙසේ ද යන්න අප ඉහත ඉදිරිපත් කරන ලද කරුණුවලින් පැහැදිලි වේ. සරලව කිවහොත්, ශ්‍රී ලංකාව ලෝකයෙන් ගන්නා ණය මත යැපෙන තාක් කල්, ණය දෙන සංවිධාන හා රටවල් තම ණයකරුවාට ණය ගෙවීමට තිබෙන හැකියාව ගැන සංවේදී වීම වැළැක්විය නොහැකි ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය ලබාගන්නවා නම්, එම සංවිධානයේ කොන්දේසිවලට යටත් වන්නට සිදුවීම අනිවාර්ය ප්‍රතිඵලයකි. නිදසුනක් ලෙස ඉන්ධන මිළ සූත්‍රය වැනි ප්‍රතිපත්තිමය පියවර ගන්නට සිදු වන්නේ ඒ නිසා ය. ලෝක වෙළඳපොළේ මිළ උච්චාවචනයන් සමග ලාංකිකයන්ට ද ඉන්ධන වෙනුවෙන් ගෙවනු ලබන මිළ වෙනස් කරගන්නට ඒ අනුව සිදු වේ.
ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ රෙදි හා ඇඟලුම් සඳහා ප්‍රධාන වෙළඳපොළවල් ය. ගැනුම්කරුවන් නිෂ්පාදකයන්ට හා සැපයුම්කරුවන්ට ගණන් උස්සනවා මෙන් ම සැපයුම්කරුවන්ට ද ගණන් උස්සන්නට බැරිකමක් නැත. එහෙත්, වෙළඳපොළ තරගකාරිත්වය නිසා අපට ඒ තරම් ගණන් උස්සන්නට හැකියාවක් නැත. ඇඟලුම් වැනි අපගේ ප්‍රධාන අපනයන බොහොමයක් පෙට්‍රෝලියම් ඉන්ධන හා වෙනත් වටිනා ඛනිජ වැනි ගණන් උස්සන්නට පුළුවන් දුර්ලභ නිෂ්පාදන නොවේ. යම් හේතුවක් නිසා අපගෙන් වෙළඳපොළ ගිලිහෙන්නේ නම්, එය අල්ලාගැනීමට බලා සිටින තරගකරුවෝ එමට ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ත්‍රීඩා කරන්නට සිදු වී තිබෙන්නේ අවාසිදායක පිටියක ය.
මා මේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳකම් පැවැත්වීමේදී කෙතරම් සියුම් ලෙස කටයුතු කළ යුතු ද යන්න ය. රට තුළ මෙවැනි අනවශ්‍ය බල අරගල ඇති කර ගත් විට, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් මත පදනම්ව රටෙහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ අවස්ථාවක් ජාත්‍යන්තරයට නිකම් ම ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, ළමා හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ප්‍රතිපත්ති, සංක්‍රමණිකයන් සම්බන්ධ සම්මුති, දේශගුණික විපර්යාස සම්බන්ධ සම්මුති ආදී කරුණු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති රැසකට ශ්‍රී ලංකාව අත්සන් තබා ක්‍රියාත්මක කරන්නට ඇපකැප වී තිබේ. ශ්‍රී ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සඳහා ඒවා ඉතා වැදගත් ය. වෙන මොකවත් නැතත්, මැති ඇමතිවරුන් හා නිලධාරීන් මහජන මුදලින් ලොව වටා රවුම් ගසන්නේ හෝ මේවා නිසා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, විශේෂයෙන් ම අපගේ අපනයන මිළ දී ගන්නා රටවලටත් ලංකාවට බලපෑම් කරන්නට තිබෙන හැකියාව අපට මගහැර යා හැකි තත්වයක් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන මැදපෙරදිග රැකියා සම්බන්ධයෙන් නම් ජාත්‍යන්තර දේශපාලන මැදිහත්වීම් අවම ය. ශ්‍රී ලංකාවේ ගැහැණුන් වහල් මෙහෙය සඳහා යොදාගන්නා අරාබි රටවලට මෙම රටවල කුමන දේශපාලන වියවුලක් ඇති වුණත් ප්‍රශ්නයක් නැත.
ශ්‍රී ලංකාවේ පවත්නා අර්බුදය හමුවේ ඉන්දියාව හා චීනය ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා වැදගත් ය. ඉන්දියාව මෙහිදී බෙහෙවින් මධ්‍යස්ථ, නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කැපී පෙනන ලක්ෂණයකි. චීනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත මැදිහත්වීමක් කර තිබෙන බලවත් රටකි. එම තත්වය ඉන්දියාවේ සියුම් පරීක්ෂාවට ලක් වී තිබෙන්නකි. ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ම පිහිටි බලවත් රාජ්‍යය වීමේ භූගෝලීය අාධිපත්‍යය මත පිහිටා ඉන්දියාව ශ්‍රී ලංකාවේ චීන මැදිහත්වීම එතරම් රුස්සන්නේ නැත. එහෙත්, ඉන්දියාවට එය වැළැක්වීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකාවේ සෑම රජයක් ම මේ රටවල් දෙක සමග ම සම්බන්ධතා තුලනය කර ගන්නට උත්සාහ කරයි. කලින් කල යම් යම් ගැටලු ඇති වුව ද ලංකාවේ රජයන් සාමාන්‍යයෙන් ගත් කල මේ රටවල් තුලනය කර ගනියි. චීනය ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් ආයෝජනය කර තිබේ. එහෙත්, චීන ආයෝජන අතරින් වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සමග සම්බන්ධ ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග ආදී චීන ආයෝජන සමග චීන බැංකු ණය, චීන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හා ශ්‍රමිකයන් ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මැදිහත් වී තිබේ. චීන ව්‍යාපෘති සමග ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයක ගිලී ගොස් තිබෙන අතර, ණය බරින් මිදීම සඳහා හම්බන්තොට වරාය වැනි චීන ඉදිකිරීම් විකුණා දමන්නට පවා රජය කටයුතු කර තිබේ. චීනය පවා නැවත බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ තරමක් පරිස්සමෙන් බව පෙනේ. මේ රටවල් දෙකට ම ශ්‍රී ලංකාව අපනයන වෙළඳපොළකි. ඔවුන් ශ්‍රී ලංකාවේ අපනයන මිළ දී ගන්නේ ඉතා අඩුවෙනි.
අප මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවත් ලෝකයත් අතර තිබෙන ආර්ථික සම්බන්ධතා පාදක කරගෙන ලංකාවට බලපෑම් සිදු වන ආකාරයයි. මෙයට අමතරව, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටුමෙහි සුවිශේෂභාවය මත පදනම් වූ මූලෝපායික බලපෑම් ද තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හමුවේ ජාත්‍යන්තර බලවේගවල ප්‍රතිචාර තේරුම් ගන්නට සිදු වන්නේ මෙම සංදර්භය තුළ ය.