මහ මැතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාර පිළිබද නිරීක්ෂණ | Some observations on the election propaganda of Sri Lanka

(2010 අප්‍රේල් 08- W3Lanka ) මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර තවමත් අවසන් වී නැත. ඒවා අවසන් වන්නේ අද සවස හතරෙන් පපසුවයි. අප්‍රේල් 05දා මධ්‍යම රාත්‍රියෙන් පසු ද නීති විරෝධී අන්දමින් හෝ නීතියේ සිදුරුවලින් රිංගා යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වූ බව නොරහසකි. 


මේ ලියන මොහොත වන මැතිවරණය දවසේ මධ්‍යාහ්න 12 වන විටත් ඡන්දදායකයන් මධ්‍යස්ථාන වෙත ඇදී යමින් සිටින්නේ මන්දගාමී ලෙසයි. මැතිවරණ අපේක්ෂකයන් විසින් ඇති කරන ලද මහා කලබලය ඡන්දදායකයන් ඡන්දය දීම සඳහා ඡන්දපොළට කැන්දා ගැනීමට හෝ හේතු වී ඇති බවක් නොපෙනේ. 


මෙම සංදර්භය තුළ මහ මැතිවරණයේදී එක්, එක් පක්ෂ විසින් කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරයන්ගේ ස්වභාවය පිළිබඳ යම් ඇගයීමක් නිරීක්ෂකයකු ලෙස කිරීම මෙම සටහනේ අරමුණයි. 


පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳ එක් වාක්‍යයකින් මෙසේ සටහන් කළ හැකිය. ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රචාරය ලෙස කළේ මෙතෙක් සොරකම් කරන ලද සහ අනාගතයේ සොරකම් කිරීමට සැලසුම් කර තිබෙන ආකාරය ජනතාවට ප්‍රදර්ශනය කිරීමයි. 


වියදම් අධික ම ප්‍රචාරක ව්‍යාපාරයන්හි යෙදුණේ තක්කඩි ම පිරිස බව ද, ඉදිරි සය වසර වෙනුවෙන් ඔවුන් සතුව දැඩි ලෙස උන්නතිකාමී, ආත්මාර්ථකාමී අරමුණු ඇති බව ඉතා පැහැදිලිය. ඔවුන් ඔබේ ඡන්දය ලබා ගත්ත ද, ඉදිරියේදී ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබට සේවය කිරීම නොව ඔවුන් කළ ආයෝජනයෙන් අධික ලාභ ලැබීම හා එම ආයෝජනය සඳහා අනුග්‍රහ දැක්වූවන්ට උපකාර කිරීම බව ඔවුන්ට ඡන්දය දුන් අය තේරුම් ගත යුතුය. අවසානයේදී ඔබට මේ ඡන්දයෙන් ලැබෙන්නේ මාස තුනක් පමණ ඔබේ වම් අතේ මුදුඟිල්ලේ අග පුරුක කැත වී තිබීම පමණක් නොවේ නම් ඔබ වාසනාවන්තයෙකි. 


ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සිදු වූ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් ඔහුට හූ කීමයි. මේ වියදම් අධික ප්‍රචාරණ ව්‍යාපාරය හේතුවෙන් සන්ධානයට ලැබෙන්නට තිබුණු ඡන්ද සංඛ්‍යාවේ වැඩි වීමක් සිදු වී ද යන්න අපැහැදිලිය. මනාප පොරය විසින් එක් ජීවිතයක් බිලි ගන්නා ලදී. ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන් දැවැන්ත මුදල් නාස්තියක්, කඩදාසි නම් වටිනා සම්පත නාස්ති කිරීම ඔස්සේ ලෝකයට ම බලපාන පරිසර හානියක්, පොලිතින් පරිසරයට එකත් කිරීමෙන් දැවැන්ත පරිසර දූෂණයක්, ශබ්ද දූෂණ ආදිය කරද්දී බුලත් කොළයට ඡන්දය දෙන, එහෙත් බුද්ධියක් ඇති ඡන්දදායකයන් කීවේ තමන් අපේක්ෂකයන්ට මනාප නොගසන බවයි. අඩු තරමේ තමන් මෙම අපේක්ෂකයන්ට මනාප දෙන බව ප්‍රසිද්ධියේ කීමට හෝ ඇතැමෙක් ලජ්ජා සහගත වූහ. 


එක්සත් ජාතික පෙරමුණේ ප්‍රචාරණ ව්‍යාපාරය විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ කැපී පෙනෙන තරුවක් ලෙස ඔසවා තැබූ බව කිව යුතුය. ඔහු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ ආකාරය තුළ යම් සැලසුම් සහගතභාවයක් දක්නට ලැබිණී. ආරම්භයේදී සෝදාපාළු වන පරාජයක නියත බව පළ වෙමින් තිබූ එජාපෙ මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වන විට මීළග ආණ්ඩුව පිහිටුවන්නට ඉඩ තිබෙන පක්ෂයක් ලෙස නැඟී සිටියේ රනිල් වික්‍රමසිංහගේ දක්ෂකම නිසාය. එජාපෙ මීළඟ ආණ්ඩුව පිහිටුවයි ද නැද්ද යන්න තීරණය වන්නේ ලැබෙන ප්‍රතිඵල අනුවයි. එහෙත්, මේ මොහොත වන විටත් ආණ්ඩු පක්ෂයේ අය පවා ඉන්නේ කිසියම් බියකිනි. මේ බිය ම වුව එජාපෙ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ සාර්ථකත්වයකි. 


ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මුල සිට අග දක්වා ම සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම, ඔහුට කළ ගුණ සැලකීම, ආණ්ඩුවේ මර්දනකාරී පිළවෙත්වලට විරෝධය පළ කිරීම යන කරුණු නිමිති කර ගත්තේය. එය ද සක්‍රිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් විය. විශේෂයෙන් ම අනෝමා ෆොන්සේකා යන චරිතය මෙහිදී කැපී පෙනිණි. 


ජවිපෙ මැතිවරණ ප්‍රචාරක උපායමාර්ගයන්හි අද වන විට අඩුවෙන් ම දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ ගෙන් ගෙට ගොස් ජනතාව සමග කතා කිරීමයි. බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන්ගේ හිඟය මෙයට මූලික හේතුව වී තිබේ. ජවිපෙ දැන් ප්‍රචාරණ යුද්ධය කරන්නේ තමන්ට වාසිදායක වූ බිම් මට්ටමේ නොව ධනේශ්වර පක්ෂවලට වාසිදායක වූ ජනමාධ්‍ය තලයේය. මෙය සමාන වන්නේ කොටි සංවිධානය අවසන් යුද්ධයේදී ගරිල්ලා සටන් ක්‍රම අතහැර දිය අගල්, පවුරු වළලු වැනි සම්ප්‍රදායික යුද්ධෝපක්‍රමවලට මාරු වීමටයි. 


උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වූ ආකාරය පිළිබඳ අප‍ට තොරතුරු ඇත්තේ අල්ප වශයෙනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වූ යාප‍නේ ජන රැළියට ප්‍රමාණවත් සෙනඟක් ගෙන්වා ගැනීමට ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා අසමත් වීම කැපී පෙනුණ සිද්ධියකි. 


දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද ෆෙඩරල් මූලධර්ම මත පිහිටි විසඳුමක් අපේක්ෂා කරන ප්‍රතිපත්ති ප්‍රකාශය 2010 මහ මැතිවරණයේ වැදගත් ම දේශපාලන ලියවිල්ලයි. සිංහල ජාතිකවාදීන් සමග බලය බෙදා ගැනීමේරාජය ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ සම්මුති විසඳුමක් ඉල්ලා සිටින මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර සිදු වෙමින් තිබෙන ඊලාම් ඉල්ලීම නැවත වැර ගැන්වීමේ දේශපාලන ව්‍යාපෘතියට සපුරා වෙනස් එකකි. 


‍ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් වැනි හිටපු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් දෙමළ මහජන විමුක්ති පෙරමුණ නම් නව පෙරමුණකින් තරග කළේ දෙළ විදෙස්ගත ප්‍රජාවේ අරගලයට කිට්ටු ස්ථාවරයක් ගනිමිනි. 


අවසන් වශයෙන් කුඩා වාමාංශික පක්ෂවල ප්‍රචාරණ ව්‍යාපාරයන් නිරීක්ෂණය කරන විට දක්නට ලැබුණු කැපී පෙනුණ ලක්ෂණයක් වූයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රමුඛ වාමාංශික විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රය කොළඹින් යාපනයට ගෙන යාමයි. එම්.කේ. සිවාජිලිංගම් වැනි පීඩිත දෙමළ කොටස් අතරින් මතු වූ ජාතිකවාදී නායකයකු යාපනයෙන් ඡන්ද ටිකක් ලබා ගතහොත් වික්‍රමබාහු කරුණාරත්නට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට හැකි වේ ය යන විශ්වාසය ඔවුන් අතර දක්නට ලැබිණී. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා