වැස්ස වළාහක දෙවියනි, ගංවතුරට යට වූවන් නොව ඉන්දීය සිනමා උළෙල බේරා දීමට වැස්ස නවත්වන්න

(2010 මැයි 23 - W3Lankaජාත්‍යන්තර ඉන්දීය සිනමා ඇකඩමිය විසින් ලංකාවේ පැවැත්වීමට නියමිත IIFA සිනමා සම්මාන උළෙලට සතියක් තිබියදී කොළඹ නගරය ගංවතුර නිසා අපායක් වීමෙන් පාලකයන්ට මළ පැන ඇති බව වාර්තා වේ.


ජුනි 3දා සිට 5දා දක්වා මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිත සුගතදාස ක්‍රීඩාංගනය වටා පෙදෙස් ගංවතුරට යට වී ඇත.


ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පැවැත්වීට නියමිත නළු නිළි ක්‍රිකට් තරගය ද වැස්සේ තර්ජනයට ලක්ව ඇත. මේ ක්‍රිකට්‌ තරගය ජුනි 04 සිකුරාදා ප.ව. 1.00 සිට ප.ව. 5.00 දක්‌වා කොළඹ එස්‌. එස්‌. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සල්මන් ඛාන්, රිත් රෝෂන්, ෂාරුක්‌ ඛාන්, සුනිල් සෙට්‌ටි සහ රිත්ක්‌ දේශ්මුක්‌ ඇතුළු ඉන්දීය සුපිරි තරු ඉන්දීය කණ්‌ඩායම නියෝජනය කරන අතර මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන ඇතුලු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කරති.


කොළඹ පේමන්ට් කඩ ඉවත් කිරීම, සිඟන්නන් මර්දනය හා අනවසර පැල්පත් නිවාස කඩා ඉවත් කිරීම ආදී දිළින්දන්ට එරෙහි කටයුතු පසුගියදා ලහි ලහියේ කොළඹ සිදු වූයේ තිරයේ අසාධාරණයට විරුද්ධව සටන් කරන බොලිවුඩ් වීරයන් සහභාගි වන සිනමා උළෙල වෙනුවෙන් කොළඹ ලස්සන කිරීමටයි.


කළ සියල්ල ම වැස්ස විසින් අංජබජල් කර දැමීම නිසා නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා උරණ වී හතර අතට බැන වදිමින් සිටින බව වාර්තා වේ.


මේ අතර, මෙම සිනමා උළෙලේ සන්නාම තානාපති අමිතාබ් බච්චන් පසුගියදා බොම්බායේ උළෙල පිළිබඳ පැවති පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූයේ නැත. හේතු පැහැදිලි කිරීමක් ද නැත. ඔහු සහ ෂාරුක් ඛාන් වැන්නන් ලංකාවට යාම දකුණු ඉන්දියාවේ දෙමළ ජාතිකවාදී ක්‍රියාකාරිකයන්ගේ විරෝධයට හේතු වී තිබේ.


මේ අතර, අභිෂේක් බච්චන් හා ඔහුගේ බිරිය අයිශ්වර්යා රායි උළෙලට සහභාගි නොවන බව නිවේදනය කර ඇත.


අපරාධය නම් ලංකාවේ රජ පවුලට ඔවුන් සමග ෆොටෝ ගන්නට තිබුණු අවස්ථාව නැති වීම ය.


ගංවතුරෙන් බැට කන ලක්ෂ හයට හෙන ගැහුවත් ලංකාවේ පාලකයන්ට දැන් තිබෙන ලොකු ම ප්‍රශ්නය එය නොවේ. මේ සිනමා උළෙල ය. 


වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙළා වැස්ස නවත්වා අපේ පාලකයන්ට මේ සංදර්ශනය පැවැත්වීමට ඉඩ දෙන්න. මෙය නොපැවැත්වුවහොත් අපට අනාගතයක් කොහිද? 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා