තිස්සනායගම් නිදහස්; ඔහුගේ මිතුරෝ අසතුටින් | Tissainayagam released; his friends are unhappy

(2010 මැයි 04 - W3Lankaලෝක පුවත්පත් නිදහස් දිනය සමරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසත සිර දඬුවමකට ලක්ව සිටි ඉංග්‍රීසි බසින් ලියූ දෙමළ මාධ්‍යවේදියකු වන ජේ. එස්. තිස්සනායගම් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම ජාතික සංහිඳියාව ගොඩනඟා ගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ලා ඉවහල් කර ගත හැකි සාධනීය පියවරක් ලෙස අපි අගය කරමු.


තිස්සනායගම් දණ්ඩනයට ලක් කරනු ලැබුවේ දෙමළ අරගලයට හිතවත් ජනමාධ්‍ය මර්දනය කිරීමේ හා මාධ්‍යවේදීන් බියවැද්දීමේ පියවරක් වශයෙනි. මහින්ද රාජපක්ෂ පාලනය ඔහු නිදහස් කරනු ලබන්නේ පශ්චාත් යුදකාලීන ලංකාවේ සිය ප්‍රජාතන්ත්‍රවාදීභාවය ප්‍රදර්ශනය කිරීමට හා ඒ ඔස්සේ බටහිර සමග යාළු වීමටත් අහිමි වූ ජී.එස්.පී. ප්ලස් බදු සහන ආදිය ලබා ගැනීමටත් ආදියටයි. 


ආණ්ඩුවේ යුදමය කටයුතු විවේචනය කළ මාධ්‍යවේදීන් ගණනාවක් ම යුද සමයේ මරා දමන ලද අතර තවත් අය අත්අඩංගුවට ගැනීම හා අඩන්තේට්ටමට ලක් කිරීම දිගට ම සිදු විය. 


විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ බල ව්‍යාපෘතිය සමග සම්බන්ධකම් තිබුණු මාධ්‍යවේදීහු පිරිසක් ද මර්දනයට ලක් වූහ. 


තිස්සනායගම් සිරගත කිරීමට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් උද්ඝෝෂණයක් තිබුණු අතර දේශීය වශයෙන් එයට උර දුන්නේ නිර්භීත සමාජ ක්‍රියාධරයන් අතළොස්සක් පමණි. 


තිස්සනායගම් සිරගත කිරීමට විරෝධය දක්වමින් හා ඔහු නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂණය කරමින් පසුගිය වසරේ කොළඹ පවත්වන ලද රැස්වීම සඳහා ස්ථානයක් සපයා ගැනීම පවා දුෂ්කර වූ අතර එය පවත්වන ලද ජයවර්ධන කේන්ද්‍රයේ පරිපාලනය ද අවසාන මොහොතේදී එය වැළැක්වීමට උත්සාහ කළේය. මෙම රැස්වීමට මාධ්‍යකරුවන් සහභාගි වුණේ ඉතා මඳ වශයෙන් වන අතර තිස්සනායගම්ගේ වයෝවෘද්ධ පියා එහිදී ඉංග්‍රීසි බසින් කදිම අදහස් දැක්වීමක් කළේය.  


තිස්සනායගම්ගේ ඛෙදජනක ඉරණම ද ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට හොඳ හොද්දක් බවට පත් වී තිබ්ණි. ඒ අතරින් ප්‍රධාන වන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානයි. 


මාධ්‍ය මර්දනයට මුවාවෙමින් තිස්සනායගම්ගේ ඇතැම් මිතුරෝ හා මාධ්‍ය සංවිධාන නායකයෝ සියලු මාධ්‍ය කටයුතු නවතා යුරෝපා රටවල දේශපාලන රැකවරණ සෙවීමට පටන් ගත්හ. ඇතැම් අය මෙහිදී ඉතා හොඳින් සංවිධානය වූ අතර තමන්ට තර්ජන ඇති බව කියා හිතවත් ජනමාධ්‍ය හරහා ප්‍රචාරය ලබාගෙන බිරින්දෑවරු හා දරුවෝ ද සමග ඉතා යහපත් ජීවිත ගත කිරීම සඳහා සැලසුම් කරගෙන බටහිර යුරෝපා රටවලට සංක්‍රමණය වූහ. 


තවත් සමහරු සංක්‍රමණය වූයේ බිරින්දෑවරුන්ගෙන් හා දරුවන්ගෙන් බේරීම සඳහා ය. තවත් සමහරු පළා ගියේ රාජ්‍ය නොවන සංවිධානවල ගිනුම්වලින් කළ සොරකම් අසු වීම වළක්වා ගැනීමටයි. 


මේ අතර, ඇත්තෙන් ම තර්ජන තිබුණු බැවින් පළා ගිය සුළු පිරිසක් ද සිටිති. 


මෙසේ පටු පෞද්ගලික අරමුණු මත රටින් පළා ගිය අය අතරින් ඇතැමෙක් දැන් සංවේදී කවි ලියන අතර වැඩිදෙනෙක් ජීවිතේට නොකෑ කෑම, බීම, සතුට හා සුදු ගැහැනු ශරීර රස විඳීම සඳහා කාලය යොදවා සිටින බවට දැනගන්නට තිබේ. මොවුන් ලංකාවේ සිටියදී මෙන් ම පිටරටදී ද නොකරන ප්‍රධාන කාර්යය වන්නේ ලිවීමයි. 


බොහෝ දුරට සිදු විය හැකි පරිදි තිස්සනායගම් ද සිය පවුල සමග ළඟදීම විදේශගත වනු ඇත. එහෙත්, අප සිතන පරිදි තිස්සනායගම්ගේ පෑනට කාර්යභාරයක් තිබේ. ඒ ඔහු තිස්සනායගම් ලෙස ලිව්වොත් පමණි. තවත් කූට ව්‍යාපෘතියකට අසු වුවහොත් තිස්සනායගම් ජීවිතාන්තය දක්වා ම සිරගත වූවා හා සමාන වනු ඇත. 


Click here to read this story in English

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා