රෝහලේ මැෂිමෙන් ගෙවුඩ පිළිස්සුවාට අවුරුදු හත නම් රාජ්‍ය දේපල ඡන්දයට පාවිච්චි කළාට කීයද?

(2010 මැයි 14 - W3Lankaඅසරණ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගැනෙන රුපියල් කෝටි තුනක්‌ පමණ වටිනා කරාපිටිය රෝහලේ කොබෝල්ට් යන්ත්‍රය යොදාගෙන ගෙවුඩ මැණික්‌ බවට පත්කිරීමට ගෙවුඩ පුළුස්‌සන ලදැයි යන සිද්ධිය සම්බන්ධයෙන් එම යන්ත්‍රය භාරව සිටි විකිරණ ශිල්පීන් වන අබේපාල රණසිංහ සහ බටපොල ආරච්චිගේ ශාන්ති යන යුවළට එරෙහිව ගාල්ල මහාධිකරණය විසින් සත් අවුරුද්ද බැගින් සිර දඬුවම් හා ලක්‍ෂ තුන බැගින් දඩ නියම කරන ලදී.


මෙම යුවලට දරුවන් දෙදෙනෙකු සිටින අතර වැඩිමහල් දියණිය වෛද්‍ය ශිෂ්‍යාවකි.


රජයේ නීතිඥ නදී අපර්ණා ස්‌වන්දුරුගොඩ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නේ දණ්‌ඩ නීති සංග්‍රහයේ තුන්සිය අසූනවය හා පොදු දේපළ පණතේ පස්‌වැනි වගන්තියට අනුව විත්තිකරුවන්ට වසරකට නොඅඩු හා වසර විස්‌සකට නොවැඩි සිර දඬුවම් නියම කළ හැකි බවයි.


විවෘත අධිකරණයේදී අදහස්‌ දැක්‌වූ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ලංකාව දුප්පත් තත්වයේ පවතින්නේ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම නිසා බැවින් මෙම වරද සුළුකොට තැකිය නොහැකි බව කීවා ය.


සහතික ඇත්ත ය. මහජන දේපලක් භාවිතා කර ගෙවුඩ පුළුස්සා නිල් මැණික් කර මුදල් ගැරූ මේ යුවලට දුන් දඬුවම කදිම ය.


මෙම නඩුවේදී රජයේ නීතිඥවරිය ලෙස පෙනී සිටි නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මියගේ පියා (විශ්‍රාමික විදුහල්පතිවරයෙකි.) මිය ගියේ 2004 දෙසැම්බර් 26දා සුනාමි අවස්ථාවේ පැරෑලියේදී අනතුරට පත් වූ දුම්රියේ මගියෙකු ලෙසයි.


සුනාමියෙන් මිය ගිය තිස් දහසකට අධික වූ හා අවතැන් වූ ලක්ෂ ගණනක් ජනතාව වෙනුවෙන් ලෝක ජනතාව ලබා දුන් ආධාර මුදල් ඇතැම් අය වංචා කළහ. ඒ වංචනිකයන්ට ලැබිය යුතු දඬුවම වසර කීයක්ද?


එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ගේ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.


මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වීම වැළැක්වීම පිණිස දැරූ දුෂ්ඨ ප්‍රයත්නයක් බව පසුව කියැවිණි. 


පසුගිය කාලයේ රාජ්‍ය දේපල ආණ්ඩුවේ දේශපාලකයන් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගත්තේ විවෘතව ම ය. මේ හා සම්බන්ධ අය හිරේ දමනවා නම් අලුතෙන් බන්ධනාගාරයක් ද හදන්නට සිදු වනු ඇත. 


සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම පාහේ පවුලක උන්නතිය සඳහා යොදා ගන්නා මට්ටමේ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීමක් සිදු වේ නම් එය කරන්නන්ට දිය යුතු දඬුවම කුමක්ද යන්න අච්චරට මෙච්චර නම්, මෙච්චරට කොච්චරද යන සුත්‍රය ඔස්සේ ගණනය කර ගත හැකි ය.


ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයට යන සිසුන්ගෙන් 49%ක් ගණිතය අසමත් වෙති. මේ අනුව ගණන් හැදු විට ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවකට වඩා ගණන් බැරි අය බව පහසුවෙන් නිගමනය කළ හැකි ය. එවැනි අයට අප ඉහත සඳහන් කළ අන්දමේ ගණනක් හදා ගන්නට බැරි නිසා ඔවුහු ඉහත කී අන්දමේ වැරදිකරුවන් රජ කරවති.


ලංකාව දුප්පත් තත්වයේ පවතින්නේ රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම නිසා පමණක් නොව නීතියේ දැලට හසු වන්නේ පොඩි ම පොඩි මාළුන් පමණක් නිසා ය. වතුර ගලා යන්නේ පහත් තැනින් පමණක් ම නිසා ය. ලංකාවේ ජිවත් වන ගැහැනුන් හා මිනිසුන් බුද්ධි හීන නිසා ය. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා