බනජලය කොළඹට; වියරුවෙන් කොළඹ ආරක්ෂා කරනු!


ආණ්ඩු පෙරළීමේ අරමුණ ඇතිව හිටපු ජනාධිපති පුත්‍ර‍ නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් සංවිධානය කරනු ලබන විරෝධතාවක් හෙට, සැප්තැම්බර් 5දා පැවැත්වීමට නියමිත ය.
හෙට පැවැත්වෙන විරෝධතාව ආණ්ඩු පෙරළීමේ අරමුණින් කරන්නක් බව මේ වන විට සපථ කර හමාර ය. නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අයට එවැනි හදිසියක් තිබේ. මූලිකව ම ඔවුන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට තිබෙන නඩු දැන් විභාග වන අදියරට පැමිණෙමින් තිබේ. ඉක්මණින් ආණ්ඩුව පෙරළාගත්තොත් එයින් ගැලවීමට හැකි වේ යයි ඔවුහු සිතති.
රටේ මහ ලොකු ආණ්ඩු විරෝධයක් නැත. ඕනෑම ආණ්ඩුවක් බලයේ සිටියදී ජනප්‍රියත්වයෙන් පිරිහෙන තරමට මේ ආණ්ඩුවත් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබේ. කුමන ගැටලු තිබුණත් මේ ආණ්ඩුව යටතේ ජනතාවට සැලකිය යුතු නිදහසක් හිමි වී තිබේ. දේශපාලන ආධිපත්‍යවාදයන් බිඳ වැටී තිබේ. අධිකරණය, පොලිසිය ආදී රාජ්‍ය ආයතන බොහෝ දුරට ස්වාධීන වී තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල තවමත් බලය වැඩි රාජපක්ෂ බලවේගයටයි.
ආණ්ඩුවේ ප්‍ර‍ධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වුව ද, අප දන්නා පැරණි යූඇන්පී දේශපාලනය දැන් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැත. ඒ යූඇන්පී දේශපාලනය තුළ නම් නාමල් රාජපක්ෂලාට කොළඹ පැමිණ සෙල්ලම් දැමීමට මෙතරම් නිදහසක් ලැබෙන්නේ නැත. එහෙත්, අද වන විට ඒ යූඇන්පී දේශපාලනය ද පරාජය වී තිබේ. රටේ ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම් සෑහෙන දුරට ශක්තිමත් වී තිබේ.
ඒ වෙනුවට මතු වී තිබෙන්නේ නීත්‍යානුකූල ආණ්ඩු බලෙන් පෙරළීමට උත්සාහ කරන අලුත් විදියක චෞර බලවේගයකි. එම බලවේගයේ මූලික අරමුණ තමන් බලයේ සිටින කාලයේ කරන ලද වැරදි වෙනුවෙන් දණ්ඩනයට ලක්වීමෙන් වැළකී සිටීමයි. ශක්තිමත් වෙමින් තිබෙන ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම් සිඳබිඳ දැමීමයි.
හෙට පැවැත්වෙන උද්ඝෝෂණයට උර දීම පොදුජන පෙරමුණේ සැබෑ නායකයා වන බැසිල් රාජපක්ෂ මගහැර තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපතිවාදී බලවේගය පවා මෙම උද්ඝෝෂණය පසුබිමෙහි සක්‍රිය නැත. මෙය පසුපස සිටින්නේ නාමල් රාජපක්ෂගේ ළදරු වලිප්පුකාරයන් බව පැහැදිලිව ම පෙනේ. එහි ප්‍ර‍කාශකයන් වී තිබෙන්නේ ශෙහාන් සේමසිංහ වැනි අයයි.
ඇත්තෙන් ම මෙය පසුපස තිබෙන එක් ප්‍ර‍ධාන උවමනාවක් වන්නේ බැසිල්, ගෝඨාභය වැනි අය පසුබස්වා මතුවීමේ නාමල්ගේ උවමනාවයි. එයට මහින්දගේ ද අනුබලය ලැබෙන බව පෙනේ.
කෙසේ වෙතත්, මෙම ළදරු වලිප්පු බලවේගයේ මූලික ලක්ෂණයක් වන්නේ මොවුන් මුග්ධ ප්‍ර‍චණ්ඩත්වයකට දක්වන නැඹුරුවයි. මෙම නායකත්වය සමග පාරට බසින ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මොවුන් වගකියන්නේ නැත. එසේම, මෙම බලවේගයට කිසිදු විනයක් ද නැත. එබැවින් හෙට මොවුන් පොලිසිය සමග ගැටුම් ඇති කර ගැනීමට ඉඩ තිබේ. එය සාමයට දැඩි අනතුරකි. තවත් නරක තත්වයක් වන්නේ රාජපක්ෂ යුගයේ ගජමිතුරු ව්‍යාපාරික කල්ලි මෙම ව්‍යාපාරය පසුපස ගැවසෙන බවට වාර්තා ලැබීමයි.
මේ සියලු දෙනාට ඉක්මණින් ආණ්ඩුව පෙරළාගැනීමේ තදියමක් තිබේ. එහෙයින් මොවුන් අපේක්ෂා කරන තරම් පිරිසක් කොළඹට ගෙන්වාගන්නට හා අපේක්ෂා කරන අන්දමේ ගැටුම් සහගත තත්වයක් ඇති කරගන්නට සමත් වුවහොත් ඔවුන් තවත් බොහෝ දේ බලාපොරොත්තු වනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බියවද්දා අගමැතිකම මහින්ද රාජපක්ෂට ලබා ගැනීම මේ අතරින් ප්‍ර‍මුඛ උපායමාර්ගයකි. ඒ වෙනුවෙන් ඔවුන් සැරසෙන්නේ තරමක කාලයක සිටයි.
හෙට දින පැවැත්වෙන උද්ඝෝෂණය බොහෝ විට තවත් එක් උද්ඝෝෂණයක් පමණක් වනු ඇත. එපමණක් නොව, එයින් අපේක්ෂිත ප්‍ර‍තිඵල ලබාගන්නට බැරි වුණොත් රාජපක්ෂවාදී මහජන බලවේගය තවත් වටයකින් දුර්මුඛ වන එක ද වැළැක්විය නොහැකි ය.
ආණ්ඩුව මේ උද්ඝෝෂණය එතරම් බැරෑරුම් ලෙස ගෙන ඇති බවක් නොපෙනේ. කෙසේ වෙතත්, කොළඹ ආරක්ෂාව තර කිරීම රජයේ වගකීමකි. හෙට වීදි බසින බේබද්දන්, උම්මත්තකයන් ආදීන්ගෙන් සමන්විත අයුතු ජනරාශිය විසින් පොදු දේපලවලට, ජන ජීවිතයට, පොලිසියට හා අනෙකුත් ආරක්ෂක අංශවලට තර්ජනාන්විතව හැසිරෙන්නට යත්න දරන්නට ඉඩ තිබේ. එය ආරම්භයේදී ම වැළැක්වීම සඳහා පොලිසිය හා ආරක්ෂක අංශ සූදානමින් සිටිය යුතු ය. නීති විරෝධීව හැසිරෙන සියලුදෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
විශේෂයෙන් හෙට සාමාන්‍ය පරිදි වැඩට එන ජනතාවට කොළඹින් පිට වන මාර්ග අවුරා ඔවුන් මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීමට රජය ඉඩ නොදිය යුතු ය. එසේම, අනවසර ශබ්ද විකාශන, සංගීත සංදර්ශන ආදියට ඉඩ නොදිය යුතු ය. නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වෙමින් ජන ජීවිතය කඩාකප්පල් කිරීමට කටයුතු කරන සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා