අප රනිල් රකිනවා ද?



කලියුග කාලෙට උපන්න
නුවණක්කාරයො දෙන්නෙක්

අප රනිල් ආරක්ෂා කරන බව කියන අයගේ දැනගැනීම සඳහා ලියමි. කොච්චර ලිව්වත් හෙටත් එය ම කියන නිසා මීට කලිනුත් මෙය ලිව්වා සේ ම නැවතත් ලියන්නට සිදු වන බව ද දනිමි.
අපට රනිල් සමග කිසිදු පයුරුපාසානයක් නැත. අප රනිල් පසුපස තබා කිසිදු දේශපාලකයකු, නිලධාරියකු පසුපස ප්‍රතිපත්තියක් ලෙස ම යන්නේ නැත. එසේ නො ගිය බවට ඔබට ඔප්පු කරන්නට ඇති සාක්කිය නම් අප තවමත් මේ ආණ්ඩුව සමග කිසිදු නිල සම්බන්ධයක් නැති වීමයි. එහෙයින් අපට මෙය තිබුණත් එක ය. නැතත් එක ය.
අප වැඩ කරන්නේ යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් මිස කිසිදු පුද්ගලයකු වෙනුවෙන් නොවේ. රනිල් යනු පුද්ගලයකු ලෙස ගරු කරන්නට තරම් වටිනාකම් ඇති අයෙකු ලෙස අප නම් සලකන්නේ නැත.
අප සහාය දෙන සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවාදැයි සරලව කියන්නේ නම් ඒ මෙසේ ය:
  • පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීම
  • රජය ව්‍යවසායන්ගෙන් ඈත් වී බදු, පරිපාලනය, ආරක්ෂාව, ව්‍යාපාර නියාමනය, නීතියේ ආධිපත්‍යය, මහජන සුබසාධනය, සමාජාරක්ෂාව දිළිඳුකම දුරලීම වැනි කාරණාවලට මූලික අවධානය යොමු කිරීම
  • රාජ්‍යය ප්‍රමාණාත්මකව කුඩා හා වඩා කාර්යක්ෂම එකක් බවට පත් කිරීම
  • රජයේ මධ්‍යම පංතික ආධිපත්‍යය තුලනය කිරීම හා වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට රාජ්‍යය තුළ වැඩි බලයක් ලබා දීම.
    ගෝලීය ආර්ථිකය හා දේශපාලනය සමග සුබවාදීව කටයුතු කිරීම
  • රාජ්‍යය තුළ ස්ත්‍රී-පුරුෂ, ජාතික ආදී සමානාත්මතාවන් තහවුරු කිරීම.
රනිල් අපට වැදගත් සාධකයක් වන්නේ මෙම දේශපාලන අරමුණෙහිදී පමණි. එහිදී එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස වැදගත් වන අතර, මේ මොහොතේ එහි නායකයා රනිල් ය. රනිල් නායකත්වයෙන් එළවිය යුතු බව අප ද පිළිගන්නා මුත්, එජාපට තිබෙන ගැටලුව වන්නේ රනිල් ආදේශ කළ හැකි නායකයකු නැතිකමයි. නායකයකු ලෙස සිටින දෙවැන්නා සජිත් ප්‍රේමදාස වන අතර ඔහු ශක්තිමත් දේශපාලන පෞරුෂයක් නොවේ. රනිල් තවමත් නායකත්වයේ සිටින්නට එය ම ප්‍රධාන හේතුවකි. වෙනත් සුදුස්සකුට ඉදිරියට ඒමට ද සජිත් බාධාවකි. රනිල් මෙම තත්වය සිය වාසිය උදෙසා පාවිච්චි කරයි. කෙසේ වෙතත්, රනිල් වෙනුවට වෙනත් නායකයකු ගොඩනගා ගැනීම එජාපයේ අභ්‍යන්තර වැඩක් මිස, පිටින් සිටින අපට කළ හැකි දෙයක් නොවේ.
දැන් ගෝඨාභය රාජපක්ෂ ද ඉදිරියට ගනිමින් සිටින්නේ මෙම වැඩසටහන ම ය. ඒ හැර වෙනත් පාරක් නැතිකම එයට හේතුව යි. අප ගෝඨාභයට විරුද්ධ ඔහුගේ කුරිරු අතීතය හා ජාතිවාදී ප්‍රතිගාමිත්වය නිසා ය.
මහින්ද රාජපක්ෂ විසින් පිරිමි, සිංහල, බෞද්ධ, ගොවිගම, මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් ජාතික රාජ්‍ය ධනවාදී සමාජ ක්‍රමය උපරිමයට ගෙන ආවේ ය. වාමාංශිකයන්ට ඊට වඩා යමක් කළ හැකි නම්, ඒ මේ රාජපක්ෂ ක්‍රමය රතු පැහැ ගැන්වීම පමණි. අප වම ගැන කිසිදු බලාපොරොත්තුවක්, විශ්වාසයක් නො තබන්නේ එම නිසා ය.
ලංකාවේ සමාජ ක්‍රමයට යම් සුසමාදර්ශීය වෙනසක් අවශ්‍ය ය. එය ධනේශ්වර ප්‍රහාරයක ස්වරූපයෙන් සිදු වීමට ඉඩ ඇති අතර, කොයි තරම් හානිකර දෑ සිදු විය හැකි මුත් එයට ඉඩ දීම හැර ලංකාවට ඉදිරියට යාමට වෙනත් මාවතක් නැත.
අප මේ මොහොතේ දේශපාලනය තෝරන්නේ එතැන සිට ය. එකතැන පල් වෙන්නට කැමති අය අප සමග අමනාප වුණාට කමක් නැත.
අපට රනිල් හිටියත් එක ය. මකබෑවුණත් එක ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා