ජවිපෙ විස්ස පරවෙයි ද?


පාර්ලිමේන්තුව විසින් පොදු සම්මුතියෙන් මුල පුරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියක් තිබියදී ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එහි මූලික අරමුණ පාර්ලිමේන්තුවට දෛනිකව වග කියන රාජ්‍ය නායකත්වයක් නිර්මානය කිරීමයි. එය නරක දෙයක් නොවේ.
එහෙත්, එය සම්මත කර ගන්නට අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්ද බලය ලැබෙන බවක් දැනට නම් දක්නට නැත. පොහොට්ටු කණ්ඩායම දැනටමත් එයට සහාය නොදෙන බව කියා තිබේ. එසේම, සුළුතර ජනවාර්ගික කණ්ඩායම් ද එයට විරෝධය දැක්වීම ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ අද කොළඹ සමාජ හා සාමයික මධ්‍යස්ථානයේ පැවැත්වුණ සම්මන්ත්‍රණයකදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් පළ කරන ලද අදහස්වලින් 20වන සංශෝධනය ප්‍රතික්ෂේප නොකරන ලදමුත්, සමස්ත ආණ්ඩුක්‍රම වෙනසක් සමග එසේ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන නිල ක්‍රියාවලිය මේ වන විට සෑහෙන දුරක් ඉදිරියට ගොස් හමාර ය. අනුකමිටු වාර්තා හයක් හා ඒ මත පදනම් වූ මෙහෙයුම් කමිටු වාර්තාව ද ඉදිරිපත් වූ අතර ඒවා පිළිබඳ පාර්ලිමේන්තු විවාද ද පැවැත්විණි.
මැයි මාසයේ අග මෙහෙයුම් කමිටුව රැස් වුණේ අවසන් වාර්තාව හා ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට ය.
මෙහෙයුම් කමිටුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතර එහි සාමාජිකයන් වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඞ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ආර්. සම්පන්දන්, අනුර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, තුසිතා විජේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්ද යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා යි කියමින් ජාතිවාදය අවුළුවන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලකයන් මතක් කර ගත යුතු කරුණු කීපයක් ඇත. ⁣ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමට පාදක වන වාර්තා සම්පාදනය කළ අනුකමිටු කීපයක ම සභාපතිත්වය දැරුවේ ද ඔවුන් ම ය.
රාජ්‍ය මුල්‍ය අනුකමිටුවේ සභාපතිත්වය දැරුවේ බන්දුල ගුණවර්ධන වන අතර රාජ්‍ය සේවා අනුකමිටුවේ සභාපතිත්වය දැරූ සුසිල් ප්‍රේමජයන්ත දැන් සිටගන්නේ ද ඔවුන් සමග ය.
ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක වැනි ජාතික වීරයන් ද මධ්‍ය-පර්යන්ත සබඳතා කමිටුවේ සිටි බව මතක් කළ යුතු ය.
ජවිපෙ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් කරළියට එන්නේ මේ නිල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පිටිනි.
නිල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට බැරි වේ යයි බියක් තිබෙන නිසා, ජවිපෙ එය ඉවත දමා කෙසේ හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගන්නට උත්සාහ කරනවා ඇත.
එහෙත්, මෙම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරියට ගියහොත්, නිල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය යටපත් වනු නියත ය.
එසේ වුවහොත්, නැවත සිදු වනු ඇත්තේ සුළුතර ජාතීන්ගේ බලය බෙදා ගැනීමේ ඉල්ලීම නැවතත් තිරසාර ලෙස ම යටපත් වීම යි.
අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා