රාවය නියෝජ්‍ය කර්තෘ විසින් මෙසේ පවසන ලදී | A letter of reply by Ravaya Deputy Editor

W3Lanka සංස්කාරක විසින් රාවය පුවත්පත පිළිබඳ කරන ලද විවේචනය සම්බන්ධයෙන් රාවය නියෝජ්‍ය කර්තෘ කේ.ඩබ්. ජනරංජන මහතා විසින් ලියන ලද පිළිතුරක් අප වෙත එවා තිබේ. 


මෙම පිළිතුර සම්බන්ධයෙන් එක් කරුණක් පමණක් සඳහන් කරන්නට කැමැත්තෙමි. අප විසින් රාවයේ පළ කිරීම අපේක්ෂා කරන ලද 

ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම ලිපියේ වික්ටර් අයිවන් හා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු නායකයන් අතර විවාදය පිළිබඳ සඳහනක් ඇතත් එය එකී විවාදයට අදාළ ලිපියක් නොවේ. 



එසේම, එම සංවාදය ආරම්භ කළ රාවය කර්තෘවරයා විසින් එය අවසන් කරන ලද බව නිවේදනය කිරීම ඔහු පෞද්ගලිකව සංවාදයෙන් ඉවත් වීමක් මිස සංවාදය අවසන් වීමක් නොවේ. සමාජ සංවාදයන්හිදී කෙනෙකුට සංවාදයක් ආරම්භ කළ හැකිමුත්, එය අවසන් කරන්නට බැරි ය. යම් සාකච්ඡාවක අවසානය විවෘත නැතිනම් එය සංවාදයක් නොවේ. 


යම් අනවබෝධයක් සිදු වී තිබේ නම් අපි ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. රාවය පුවත්පතට අපේ ඇති ගෞරවය මෙම සිද්ධිය නිසා නැති වී ගොස් නැති බව අපි අපගේ ලිපියෙහි සඳහන් කර ඇත. 


ජනරංජන මහතා විසින් එවන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය. 



හිතවත් අජිත් පැරකුම් ජයසිංහ මහතාණෙනි,


රාවය පුවත්පතේ ඔබේ ලිපි දෙකක් පළනොවීම සම්බන්ධයෙන් ඔබ ඔබගේ බ්ලොග් අඩවියට එකතු කර ඇති දීර්ඝ ලියවිල්ලේ මාගේ, රාවය ප‍්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ සහ රාවය පුවත්පතේ නම් අන්තර්ගත වී ඇති නිසා මේ ප‍්‍රතිචාරය දක්වමි. 


1. පළමුවෙන්ම කිවයුත්තේ ඔබේ ලියවිල්ල අදාළ කාරණය අරබයා ලියන ලද අතිශයෝක්තීන්ගෙන් හා අසත්‍යයන්ගෙන් ගහණ එකක් බවය.


2. ඔබේ ලිපි රාවය පුවත්පතේ පළකරන්නේ නැති බවට මා ලසන්ත රුහුණගේටවත්, ලසන්ත රුහුණගේ ඔබේ හිතවතාටවත් කිසිම වේලාවක කියා නැත. ඒ එවැනි තීරණයක් ගෙන නැති නිසාය. ඒ ගැන ඔබේ එම හිතවතා වන සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ එම්. විජේන්ද්‍රගෙන් අසා නිශ්චිතව දැනගන්නා ලෙස දන්වමි.


3. එවැනි තීරණයක් ගෙන තිබේදැ’යි ඔබ පළමුව ඇසිය යුතුව තිබුණේ මාගෙනි. රාවයේ ලිපි සම්බන්ධයෙන් ඔබ ගනුදෙනු කළේ මා සමග බව ඔබ පිළිගන්නවා ඇතැ’යි සිතමි. සෑම සතියකම රාවයට ලිපිය ඊමේල් කර, ලිපිය එවූ බව එස්එම්එස් එකකින් ඔබ දැනුම් දෙන්නේ මට ය කියාද ඔබ පිළිගන්නවා ඇතැ’යි සිතමි. ඊට අමතරව ඔබේ ලිපි වෙනුවෙන් සුළු මුදලක් (රාවයට එය ලොකු මුදලකි.) ගෙවන ලෙස ඔබ දුරකථනයෙන් අමතා කීවේ මටය කියා ඔබ පිළිගන්නවා ඇතැ’යි ද සිතමි. එවැනි ගෙවීම් අඩංගු චෙක්පත් සූදානම් වූ විට පැමිණ ගෙනයන්නටයැ’යි ඔබට දැනුම් දී ඇත්තේද මා විසින්යැ’යි ඔබ පිළිගන්නවා ඇතැ’යි සිතමි.


මේ සියල්ල කීවේ, (ඉහත කරුණුවලට අමතරව, ඔබේ ලිපි පළ නොකරන්නේයැ’යි මා කී බව ඔබ කියා ඇති නිසා ද) ඔබේ ලිපිය පළනොවීමේ ප‍්‍රශ්නය ගැන පළමුවෙන් ඇසිය යුතුව තිබුණේ මාගෙන්ය යන්න කියා සිටීමටය. ඔබ මේ වන තෙක් මගෙන් ඒ බව අසා නැත. ඔබ එසේ ඇසුවේ නම්, මේ තරම් දිග අත්තුක්කංසනයෙන් හා පරවම්භනයෙන් සපිරි, ආවේගශීලී ආත්මාලාපයක් ලියන්නට ඔබට අවස්ථාවක් උදා නොවන්නට ඉඩ තිබිණි.


4. ඔබේ ‘ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස්’ යන මැයෙන් මැයි 12වැනිදා ඊමේල් කරන ලද ලිපිය රාවයේ පළනොකෙරුණු බව ඇත්තය. ඊට හේතුව ඔබ එයින් සහභාගිවන්නට උත්සාහ කළ නිශ්චිත සංවාදය ඒ වනවිටත් රාවය විසින් අවසන් කොට තිබීමයි. ඔබට මතක ඇති නම්, රාවය කර්තෘවරයා ආරම්භ කළ එම සංවාදය, ඔහු විසින් මැයි 2වැනිදා ‘සනත්ගේ විවාදය අවසන් කිරීම’යන මැයෙන් ලියූ ලිපියෙන් අවසන් කරන ලදි. විවාදයේ එක් පාර්ශ්වයක් විවාදය අවසන් කර තිබෙද්දී තවදුරටත් ඊට අදාළ ලිපි පළකිරීමේ තේරුමක් නැති බව ඔබද පිළිගන්නවා ඇතැ’යි සිතමි.


5. ඔබේ ඊළඟ ලිපිය වූ මැයි 19වැනිදා රාවයට ඊමේල් කරන ලද ‘ගංවතුර, සාම්පූර් හා ආපදා ධනවාදය’ නම් ලිපිය පළ නොවූයේ පුවත්පතේ ඉඩකඩ මදිවීම නිසාය.


6. මේ ප‍්‍රශ්නගත ලිපි දෙකට පෙරද ඔබේ ලිපි ( අන් අයගේ ලිපි මෙන්ම) නොයෙක් වර පළවී නැති බව මතක් කරනු කැමැත්තෙමි. ඒ සෑම අවස්ථාවකම පාහේ ඔබ ඊළඟ ලිපිය එවූ බවත්, ඒවා නිතිපතා පළවූ බවත් ඔබට මතක ඇතැ’යි සිතමි.


7. මේ ප‍්‍රශ්නය ගැන ඔබ ප‍්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතාගෙන් විමසා (මට කොපියක්ද සහිතව) යවන ලද ඊමේලයට (මැයි 26වැනිදා) ඔහු දුරකථනයෙන් ප‍්‍රතිචාර දක්වමින් එවැනි තීරණයක් ගෙන නැති බව ඔබට කී බව ඔබේ ලිපියේ සඳහන්කොට ඇත. එසේ තිබියදීත්, ඔබ ඊට පසු ලියන බ්ලොග් ලිපියේ පෙර කී සියලූ අසත්‍යයන් එලෙසම සටහන්කොට තිබෙන්නේ ඇයිදැ’යි නොදනිමි.


8. අන්තර්ජාලයෙන් අප කියවන ප‍්‍රමාණය රාවය පුවත්පත විකිණෙන ප‍්‍රමාණයට වඩා වැඩියැ’යි යන යෙදුම මගින් ඔබ රාවය කෙරෙහි දක්වන සෝපාහාසය මට තේරුම්ගත හැකි නමුත්, ඔබේ ‘මැදිවියේ සහ පෑලවියේ සිටින අන්තර්ජාලය හරිහැටි පරිහරණය කරන්නට නොදන්නා මිතුරන් පිරිස’වත් රාවය කියවීම ගැන මම සතුටට පත්වෙමි.


9. ‘ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ දේශන පවත්වන, ලියන, පිකට් කරන කර්තෘ මණ්ඩලයකින් සපිරි රාවයෙන් අප වැනි අයට ප‍්‍රකාශනයේ නිදහස අපේක්‍ෂා කළ නොහැකියැ’යි ඔබ කියන නමුත්, රාවය වනාහී බොහෝ දෙනකුට අදහාගන්නටත් බැරි තරමට පුවත්පතේ කර්තෘ මණ්ඩලය තුළත්, එහි වටා සිටින පාඨකයා සමගත්, ප‍්‍රකාශනයේ නිදහස භාවිත කිරීම පිළිබඳ අපූර්ව ආදර්ශයක් අත්හදා බලන පුවත්පතක් බවත් එය ලංකාවේ ඇති එවැනි ගණයේ එකම මුද්‍රිත මාධ්‍යය බවත් මම පැහැදිලිව කියමි. ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳව ප‍්‍රසිද්ධ වේදිකාවල මා කියා ඇති දේ (රාවය කර්තෘ මණ්ඩලයේ සිව්දෙනාගෙන් ඔබ කියන එවැනි දේශන පවත්වා ඇත්තේ මා ය.) රාවය තුළ කර්තෘ මණ්ඩලයේ අපි සියල්ලෝම එක්ව යථාර්ථයක් කරන්නට උත්සාහගනිමින් සිටිමු. රාවය, ඒ උත්සාහයේ ඒහි පස්සික උදාහරණයයි.


10. රාවයට ග‍්‍රහණය නොවන ඔබේ බ්ලොග් අඩවියේ මහත්වූ පාඨක ජනයාට අපගේ මේ ප‍්‍රතිචාරයද දැක්වීමට කාරුණික වනු ඇතැ’යි සිතමි. 


ස්තූතියි.


කේ. ඩබ්ලිව්. ජනරංජන


රාවය නියෝජ්‍ය කර්තෘ


2010. 05. 26

Comments

  1. අන්තර්ජාලයෙන් අප කියවන ප‍්‍රමාණය රාවය පුවත්පත විකිණෙන ප‍්‍රමාණයට වඩා වැඩියැ’යි යන යෙදුම මගින් ඔබ රාවය කෙරෙහි දක්වන සෝපාහාසය මට තේරුම්ගත හැකි යයි පවසන ජනරංජන ලිපිය අවසන් කරන්නේ 'රාවයට ග‍්‍රහණය නොවන ඔබේ බ්ලොග් අඩවියේ මහත්වූ පාඨක ජනයා' යයි එවැනි ම සෝපහාසයකිනි.

    මා කියූ කතාව ගොන් පාට් පොර ටෝක් එකක් බව මම පිළි ගනිමි. මේ කාරණා සම්බන්ධයෙන් රෙදි ගලවා ගැනීම තේරුමක් නැති වැඩකි. තමන්ගේ අවකාශය ලොකු යයි කියන්නට යාම ලංකාවේ වාමාංශිකයන්ට තිබෙන පොදු ලෙඩකි. ධනවාදය විසින් අත් පත් කරගෙන තිබෙන සමාජ ආධිපත්‍යය හමුවේ ඇත්ත තත්වය වන්නේ වම ප්‍රමාණයෙන් අතිශය කුඩා වීමයි.

    ReplyDelete
  2. 1. ජනරංජනගේ ලිපියේ ඇති දෑ ඇත්ත මුත්, වික්ටර් අයිවන්ට තමන්ට අවැසි පරිදි විවාදය අවසන් කිරීම සාධාරණීයකරණය කිරීම පිළිගත නොහැක්කකි.

    2. මෙම ලිපි‍ය මෙහි පළ කිරීමේ මහත්මාගතිය ද රෙදි ගලවා නොගැනීමෙන් අවසන් කිරීමට තීරණය කිරීමේ මහත්මාගතිය ද අගය කළයුත්තකි.

    3. තමන්ගේ අවකාශය ලොකු යයි කියන්නට යාම ලංකාවේ වාමාංශිකයන්ට තිබෙන පොදු ලෙඩකි. ලෙඩ වූ බව නොදන්නා මෙම බ්ලොග්කරුද එහිම රෝගියෙකි.

    සලීල

    ReplyDelete
  3. ගොන් පාට් හා පොර ටෝක් දැමීම පිළිගැනීම පිළිබඳව අතිශයින්ම සතුටු වෙමි..... එහෙත් ජනරංජන කෙසේ වෙතත් වික්ටර් අයිවන් ඇස් පරික්ෂාවකට ලක් කරන්නේ නම් මැනවි..

    රාවය ගැන මගේ දැක්ම පළමු ලිපියේ කොමෙන්ටුවට ඇතුරත්ව ඇත...

    තමන් පොරක් යැයි යන ගොන් සිතුවිල්ල.. ලාංකිකයන් සතු උතුම් ගුනාංගයකි.. ලංකාවේ වම පිළිබඳව සරළ ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

    ReplyDelete
  4. "අන්තර්ජාලයෙන් අප කියවන ප‍්‍රමාණය රාවය පුවත්පත විකිණෙන ප‍්‍රමාණයට වඩා වැඩියැ’යි යන යෙදුම මගින් ඔබ රාවය කෙරෙහි දක්වන සෝපාහාසය මට තේරුම්ගත හැකි යයි පවසන ජනරංජන ලිපිය අවසන් කරන්නේ 'රාවයට ග‍්‍රහණය නොවන ඔබේ බ්ලොග් අඩවියේ මහත්වූ පාඨක ජනයා' යයි එවැනි ම සෝපහාසයකිනි."

    මෙහිදී ජනරංජන සෝපාහාසයක් ඔබ වෙත එල්ල කර ඇතැයි යන්න පදනම් විරහිත චෝදනාවකි. ඔබගේ පාඨකයන් සංඛ්‍යාව රාවයේ සංඛ්‍යාවට වැඩි යයි ඔබ පවසන විට ජනරංජන කර ඇත්තේ එය නිහතමානිව පිලිගැනීමකි.ඔය සරදමක් හෝ අපහාසයක් ලෙස ඔබට දැනෙන්නේ ඇතැම් විට ඔබ කීවේ බොරුවක් බව ඔබම දන්නා බැවිනි.

    කෙසේ වුවද මුද්‍රිත පුවත්පතක අලෙවි වන පිටපත් ප්‍රමාණයත් බිලොග් අඩවියකට වදින "හිට්" ප්‍රමාණයත් සැසදීම මගින් ඒවායේ පාඨකයන්ගේ සංඛ්‍යාව තීරණය කර නිගමන දීමට යාම ගොන් කමක් බව ඔබට පසුව හෝ වැටහී යාම අගය කරමි. පුවත් පතක අලෙවි වන එක් පිටපතක් වටා අඩු තරමින් 3-7 දක්වා සාමාන්‍ය පාඨකයන් පිරිසක් සිටින අතර බිලොග් එකකට එකම පාඨකයෙකු සතියකට අවම තරමේ 10 වතාවක් ඇතුළු වීම බ්ලොග් දත්තවලට ඇතුළු වනුයේ ප්‍රවේශයන් 10ක් ලෙසය. එය පාඨකයන් 10ක් ලෙස ගණනය කර "පොරටොක්" දීම වැරදිය. ඔබ විසින් දැනුවත්වම ඔබගේ පාඨකයා නොමග යවා ඇතැයි මම සිතමි. මක් නිසාද යත් අන්තර්ජාලය පිලිබද ඔබගේ හසල දැනුම ගැන ඔබ විසින්ම නොයෙක් වර අවධාරණය කර ඇති බැවිනි.

    ReplyDelete
  5. 1. රාවය කර්තෘ සංවාදය අවසන් කලා කියා කිව්වායින් පසුව සංවාදය අවසන්වේනම් රාවය සංවාදශීලී ඉරිදා පත්තරයක් වන්නේ නෑ නේද?
    2. රාවය කර්තෘ සංවාදය අවසන් කල පසුවත් SMS තීරුව ඇතුලු වෙනත් තීරු ලිපි හරහා ඔහුට දෙන උත්තර පත්තරේ පල කරනවා නේද?
    3. විමල් වීරවංශ පවුල පිටින් ගිය විදේශ චාරිකා ගැන පින්තූර සහිතව විස්තර පලකරන රාවයට අවස්ථාවාදී විදිහට පවුල් පිටින් රට පැන ගත් තම සමාජිකයා ගැනත් කථා කරන්න පුළුවන් නම් ඔය කියන "බොහෝ දෙනකුට අදහාගන්නටත් බැරි තරමට පුවත්පතේ කර්තෘ මණ්ඩලය තුළත්, එහි වටා සිටින පාඨකයා සමගත්, ප‍්‍රකාශනයේ නිදහස භාවිත කිරීම පිළිබඳ අපූර්ව ආදර්ශයක් අත්හදා බලන පුවත්පතක් බවට සහ එවන් ගණයේ එකම ලාංකික පුවත් පත බවට" රාවය පත් කිරීම වඩාත් ප්‍රායෝගික වෙයි නේද?

    රාවය විකල්ප සංවාදයක් සදහා සාධනීය වැඩ කොටසක් සිදු කර ඇත. නමුත් මෙවන් කරුනු සැලකිල්ලට නොගතහොත් සංවාදශීලී වෙනස "බොහෝ දෙනකුට අදහාගන්නටත් බැරි තරම්" අවුලකට යනු ඇත.


    අපූර්ව

    ReplyDelete
  6. අවස්ථාවදී ලෙස සිය පවුල පිටින්ම රට පැන ගත් තම පත්තර/දේශපාලන(??) සගයා ගැන නොලියන්නෙ සහ ඒ පිලිබද ලිපි රාවයේ පල නොකරන්නේ, ජනරංජන ඔහුගෙ දේශපාලන(?) ගුරුවරයා වන දීප්ති කුමාරට බය නිසාද??

    ඇට මැස්සා

    ReplyDelete
  7. මනෝ ව්‍යාධීන්, ද්වේෂය සහ ඊර්ෂ්‍යාව හැරුණු විට දැන් මෙම බ්ලොග් අඩවියේ කිසිදු වැදගත් දෙයක් පළ නොවෙයි. ඔබ එක්කෝ ඔබගේ චෝදනා සහේතුකව ඔප්පු කළ යුතුය. ලසන්ත රුහුණගේ තම හිතවතෙකු සමග පැවැසී යයි පවසන කරුණ ගැන වැල්වටාරම් දෝෂාලාපයන් පළ කිරීමට පෙර ඔබ ලසන්ත රුහුණගේ එවැන්නක් පවසා ඇත්ද යන්න ඔහුගෙන්ම විමසා තහවුරු කරගත්තාද? ලසන්ත රුහුණගේ එවැන්නක් ඒ අදාළ පුද්ගලයා සමග පවසා ඇත්නම් ඔහු ඒ බව විවෘතව ප්‍රකාශ කර අජිත් පැරකුම් ජයසිංහගේ චෝදනා සනාථ කළ යුතුය.
    කණගාටුදායක දෙය වන්නේ ඔබ ජනරංජනගේ ලිපියේ කරුනුවලට සෘජු පිලිතුරු නොසපයා ප්‍රතිචාර තීරුව යොදාගෙන තවදුරටත් රාවයට මඩ ගැසීමයි.

    දැන් සිදුව ඇත්තේ කුමක්ද?
    එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමග පැවසුවා යැයි කියන ඕපාදුපයක් මත පදනම්ව ඔබ ඔබගේ මනෝ ව්‍යාධීය ප්‍රදර්ශනය කිරීමයි.

    ReplyDelete
  8. ඉහත කමෙන්ටුව කා සම්බන්දයෙන්ද කියා පැහැදිලි නැත. මා කීවේ සංවාදය ස්වයංවින්දනයක් නොවීමට අවශ්ය කොන්දෙසියක් ගැනයි. තමන් හදුනාගත් ද්‍රෝහීන් ගැන කතා කිරීමේදී බොහෝ වමේ විප්ලවවාදීන් ප්‍රකට කරන්නේ මේ මනෝ ව්‍යාධීන්, ද්වේෂය සහ ඊර්ෂ්‍යාවමය. එවිට ඒවා විශ්ලේශනයන්ය. ඒවා මේ නම් වලින් හදුනා ගැනෙන්නේ තමා වෙත යොමු වූ විටය. විවේචකයා විවේචනය නොකර විවේචනයට පිලිතුරු දෙන්න.

    අපූර්ව

    ReplyDelete
  9. සුළු දෙයක්, ඒ කියන්නේ කෝල් එකක් දීලා වැඩේ මොකද වුනේ කියල අහන්නේ නැතිව ඇත්තටම හිතින් මවා ගත්ත විකාරයක් නිසා එකිනෙකා සහයෝගයෙන් වැඩ කරන මිනිස්සු දෙන්නෙක් අසමගි වෙන්න යනවා වගෙයි මට පේන්නේ.

    මෙතන පැරකුම් අම්බානක් වැරදියි.

    ජනරංජනට කෝල් එකක් දුන්න නම් සේරම ඉවරයි. වැඩි සංස්කුරුත වලින් වැඩක් නෑනේ පට්ටන්දර ලියලා ලියලා කාලේ නාස්ති කරගන්න.

    දැං ලබ්බයි ඇට දෙකයි මයිලුයි .... සේරම පෙන්නගෙන ගොන්පාට් පොරටෝක් දුන්න කියල පිළිගත්තට වැඩක් නෑ.‍

    ReplyDelete
  10. වාමාංශිකයන්ට අප කැත වීම අලුත් දෙයක් නොවේ. ඔවුන්ගේ දෑස් හමුවේ ලස්සන වෙන්නට අපි උත්සාහ කරන්නේ ද නැත.

    හරි, ජනරංජන හරි. අපි වැරදියි.

    අපි වැරැදි වීම වමේ ව්‍යාපාරයට ප්‍රශ්නයක් නොවෙයි. මන්ද අපි කාටවත් නායකත්වය දෙන අය නොවෙයිනේ. අපි වැරදි පාරක ගියොත් යන්නේ තනියම. අන්ධ විධියට අප පසුපස එන්න කියා අප කාටවත් කවදාවත් කියා නැහැ.

    දැන් අපට බැනීමට කාලය වැය නොකර එම ලිපි නැවත කියවා අප විසින් වමේ දේශපාලනය සහ ජනමාධ්‍ය භාවිතාව පිළිබඳ මතු කරන ලද දේශපාලන විවේචන පිළිබඳ කතා කරමු.

    අපට බැනීම එම සාකච්ඡාව මග හැර යාමේ කලාවක් නොවන බව පෙන්වන්න.

    ReplyDelete
  11. ඔය කියන මළ ඉලව් ලිපිය w3lanka එෙක් දානව ෙකා් හෙකා්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා