ඩයස්පෝරා අදහස් හා ස්වදේශික අදහස් අතර ගැටුම

අජිත් පැරකුම් ජයසිංහ -


රාවය කර්තෘ වික්ටර් අයිවන් සහ වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් හා සභාපති දෙපළ අතර දිග්ගැසුණු සංවාදයක් ඇති වී තිබේ. මෙම සංවාදය හුදු ආචාරධාර්මිකභාවය ඉක්මවා යන දේශපාලන මාන කිහිපයකින් යුතු එකක් බව අපේ අදහසයි. ඉන් එක් මානයක් කෙරෙහි අපේ අවධානය යොමු කිරීමට අදහස් කරමු. 


එංගලන්තයේ දේශපාලන රැකවරණ අපේක්ෂා කරන පුද්ගලයකු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ දේශපාලන අධ්‍යයන පිළිබඳ විශේෂඥභාවයක් සහිත ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඉහත කී රැකවරණ අපේක්ෂකයාගේ නිතිඥවරයාට උපදෙස් දීම පිණිස තොරතුරක් අසා නොබෝදා අප වෙත එවන ලද, තවමත් අප විසින් පිළිතුරු නො සපයන ලද ඊමේල් ලිපියකින් විමසා තිබුණු කරුණක් වූයේ මීට පසළොස් වසකට පමණ පෙර ජවිපෙන් බිඳී ගිය දේශපාලන කණ්ඩායමක් එසේ බිඳී යාමට පෙර ජවිපෙ තුළ එක්ස් කණ්ඩායම ලෙස පෙනී සිටියා ද යන්නයි. අප ජවිපෙ හා ජවිපෙන් ඉවත් වූ දේශපාලන කණ්ඩායම් පිළිබඳ දන්නා තොරතුරු අනුව එවැනි එක්ස් කණ්ඩායමක් ජවිපෙ තුළ නොතිබිණි. අපට තේරෙන අන්දමින් නම් මෙතැන සිදු වී ඇත්තේ ලංකාවෙන් පැන එංගලන්තයේ පදිංචි වීමට ආසා කරන කිසියම් ලාංකිකයෙකු අල්ලේ පැළවෙන බොරුවක් කියා තිබීමයි. ලංකාව එපා නම් එංගලන්තයේ හෝ වෙනත් ඕනෑම රටක පදිංචි වීම සඳහා එකී ලාංකිකයාට අයිතියක් ඇති බව සිතන අපි මෙම කරුණට මැදිහත් වීමට අදහස් නොකරමු. 


මෙම ලේඛකයා මීට කලකට ඉහත දැන ගත් කරුණක් වූයේ ඉහත කී දේශපාලන කණ්ඩායම හා සම්බන්ධව සිටි නායක දෙපළක් එක් නායකයකුගේ (මොහු හිටපු පූජකවරයෙකි.) ඥාති පුත්‍රයකු හට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ඡායාරූපයක් ඩොක්ටර් කළ හෙවත් කෘත්‍රිම ලෙස සැකසූ බව හා එම ඡායාරූපය යොදා ව්‍යාජ පුවත්පතක් ද සකසන ලද බවයි.  මෙම ඥාති පුත්‍රයා කිසිදු දේශපාලන කාර්යයකට සම්බන්ධ වූවකු නොවන අතර කෘත්‍රිම ලෙස සකසන ලද ඡායාරූපයේ ඔහු උද්ඝෝෂකයන් පිරිසක් මැද සිටියි. මෙම දේශපාලන කණ්ඩායමේ ම තවත් පුද්ගලයෙක් සිය පවුල සමග යුරෝපා රටකට සංක්‍රමණය වීමේ සිය ආසාව සපුරා ගත්තේ එක්තරා වෙබ් අඩවියක් සංස්කරණය කිරීම හේතුවෙන් තමන් තර්ජනයට ලක්ව ඇති බවට ප්‍රබන්ධයක් නිර්මානය කරමිනි. 


පසුගිය සමයේ රටින් පළා ගිය නිදහස් මාධ්‍ය හොර කල්ලිය රටින් පැන යන්නට දින කීපයකට පෙර දෙමළ ජාතිකවාදී ලිවීම් නිසා ජීවිතය අනතුරට පත් වේ යයි බියෙන් විදේශගත වීමට උත්සාහ කළ දෙමළ මාධ්‍යවේදියකු නින්දිත අන්දමින් රැවටූහ. පෑන වෙනුවට පිකට් බෝඩ් පාවිච්චි කළ මෙම මාධ්‍ය සංවිධාන නායකයන් අදහස් ප්‍රකාශනය නිසා අනතුරට පත් වූ මාධ්‍යකරුවන්ට සේවය කළේ මේ අන්දමටයි. ලේඛකයාගේ පෞද්ගලික අත්දැකීම අනුව ලංකාවේ මර්දන යන්ත්‍රය මාධ්‍ය නිදහසේ මෙකී ඊනියා ආරක්ෂකයන්ට වඩා නම් වෘත්තිකභාවයකින් යුක්ත ය. සුළු ජාතීන්ගේ යුක්තියුක්ත හිමිකම්වලට ගරු කරන ලාංකීය ජාතියක් ගොඩනැඟීම වෙනුවෙන් පෙනී සිටිමින් යුද්ධයට විරුද්ධව දිගට ම ලියූ මෙම ලේඛකයා එක් මාධ්‍ය සංවිධාන නායකයකු පිළිබඳ කෘතවේදීව සිහිපත් කිරීමට කැමති ය. ලේඛකයාට ලංකාවේ ජීවත් වීම දුෂ්කර වී තිබේ ද යන්න එක් වරක් හෝ විමසා බැලූ එක ම පුද්ගලයා වන ඔහු සුනන්ද දේශප්‍රියයි.


කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලංකාවේ ජීවත් වන්නට සිදු වි තිබෙන මාධ්‍යකරුවන් සියලු දෙනා ම වත්මන් ක්‍රමය විවේචනය කරන්නේ තමන් විසින් ම රාජ්‍යය සමග ඇති කර ගන්නා ලද සම්මුතියක සීමා තුළ සිටිමින් බව මෙම ලේඛකයා පිළි ගනියි. එහෙත්, එය එවැනි ක්‍රියාකාරිකයන්ගේ පෞද්ගලික දුර්වලකමක් නොව පවත්නා යථාර්ථය හමුවේ අරගල කළ හැකි ප්‍රායෝගික උපායික තත්වයකි. මෙහි ඇති දේශපාලනික කාරණය වන්නේ මෙකී තත්වය තේරුම් ගැනීමට උවමනාවක් නැති ඩයස්පෝරා ක්‍රියාකාරිකයන් හා ස්වදේශික ක්‍රියාකාරිකයන් අතර තිබෙන වෙනසයි. පසුගිය දිනෙක එක් වෙබ් අඩවියක පළ වූ නිර්මාල් රංජිත් දේවසිරිගේ දේශනයක් පිළිබඳ පුවතකට ප්‍රතිචාර දැක්වූ ඩයස්පෝරා ක්‍රියාකාරිකයකු කියා තිබුණේ නිර්මාල්ට ලංකාවේ වාම දේශපාලනය වෙනුවෙන් කළ හැකි හොඳ ම සේවය ඉවත් වීම බවයි. ජාතිවාදීන්ගේ තර්ජන මැද තවමත් දේශපාලනිකව නො නැසී මෙරට සිටින නිර්මාල් හට එසේ පැවසීමට ඔහුට ඇති අයිතිය කුමක්ද යන්න පසුගිය දිනවල වාම කව අතර කතාබහට ලක් වි තිබිණි. 


ඩයස්පෝරා හෙවත් විදෙස්ගත ප්‍රජා හැදෙන්නේ යම් කොන්දේසි යටතේ ය. මර්දනය හේතුවෙන් පළා ගිය අය මෙන් ම ව්‍යාජ මර්දනයක් පිළිබඳ පවසා ජීවන සමෘද්ධිය සොයා දියුණු ධනේශ්වර රටවල රැකවරණ පැතූ අය ද ඩයස්පෝරාවල සිටිති. බොහෝ විට දෙවනුවට සඳහන් කළ පිරිස ඩයස්පෝරාවල වැඩි ය. ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් ගොඩනැඟෙන්නේ ඔවුන් එකී රටවල අපේක්ෂා කරන ජීවන තත්වයන් පසුබිම් කරගෙනයි. දෙමළ ඩයස්පෝරාවට දෙමළ ඊලමක් හැර අතරමග සම්මුතියක් අවශ්‍ය නොවීමට එක් හේතුවක් වන්නේ ප්‍රායෝගිකව දුෂ්කර වූ එකී අරමුණ දිනාගත නොහැකිව සටන දිග්ගැසෙන තරමට ඔවුන්ට ඒ රටවල වඩා යහපත් ජීවිත ගත කළ හැකි වීමයි. 


දෙමළ විදෙස්ගත ප්‍රජාවේ අධිපති ධාරාව විසින් පිහිටුවන ලද ඊලාම් පාරජාතික ස්වයං පාලන ව්‍යූහය පිළිබඳ ටැමිල්නෙට් වැනි මාධ්‍ය ඔස්සේ ඇති වී තිබෙන සාකච්ඡාවල යටි පෙළ මෙකී යථාර්ථයයි. නිදසුනක් ලෙස පසුගිය දිනෙක ටැමිල්නෙට් කර්තෘ මණ්ඩලය පළ කළ ලිපියක පාරජාතික පාලනය පිළිබඳ එක්සත් ජනපද මාධ්‍යයක පළ වූ අදහසක් විවේචනය කරමින් පවසන්නේ පාරජාතික ස්වයං පාලන ව්‍යූහය අවශ්‍ය වන්නේ එම මාධ්‍යයේ සඳහන් වන අන්දමට අවසානයේදී ලංකාවේ රජය සමග සම්මුතියකට එළඹීමට නොව ඊලාම් රාජ්‍යයක් සදහා අරගලය පෙරට ගෙන යාමට බවයි. 


ඩයස්පෝරා දේශපාලනය හා ස්වදේශික දේශපාලනය අතර ඇති ගැටුම වඩාත් තීව්‍ර වූයේ කොටි සංවිධානයේ පරාජයත් සමගයි. කොටි සංවිධානය බැලූ බැල්මට ම ඉතා ජය ගැනීම දුෂ්කර වූ යුද්ධයක් වෙත තල්ලු කර දැමීම සඳහා දෙමළ ඩයස්පෝරාව විශාල වැඩ කොටසක් කළේ ය. එපමණක් නොව, යුද්ධය පරදින්නට යද්දී එය වැළැක්වීම සඳහා තීරණාත්මක මැදිහත් වීමක් කිරීම ද දෙමළ ඩයස්පෝරාව ආත්මාර්ථකාමී හා කුහක අන්දමින් මගහැරියේ ය. නොඑසේ නම්, ඔවුහු ඒ සඳහා පූර්ණ ලෙස ම අසමත් වූහ. අවසානයේදී ලංකාවේ ජීවත් වන දෙමළ ජනයාගේ ජිවිත කබලෙන් ලිපට ම ඇද වැටිණි. 


අද ලංකාවේ දෙමළ ජනයාට තිබෙන මූලික ප්‍රශ්නය සිය කඩා වැටුණු ජීවිත යළි ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා ජයග්‍රාහී සිංහල මූලික ආණ්ඩුව සමග සම්මුතියකට එළඹීම අනිවාර්ය‍ වේ. එකී සම්මුතිය ගෞරවනීය අන්දමින් සාකච්ඡා කර ගැනීම අද ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රබල ම අභියෝගයයි. මෙම අභියෝගයට යම් පමණකින් හෝ මුහුණ දෙන දෙමළ ජාතික සන්ධානයට දෙමළ ඩයස්පෝරාවෙන් ලැබෙන සහායක් නැත. 


ඩයස්පෝරාවේ අපේක්ෂාවන් ඉටු වීමට නම් දෙමළ ජාතික සන්ධානය ගෞරවනීය සම්මුතියක් ඇති කර ගැනීමට අසමත් විය යුතු ය. ජයෙන් උදම් වී සිටින සිංහල ආණ්ඩුව කරමින් සිටින අදූරදර්ශී ආක්‍රමණශීලිත්වය දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශවල තහවුරු විය යුතු ය. දෙමළ තරුණයන් අතර අසහනය පැසවා පවත්නා 'සාමකාමී' තත්වය පුපුරා යා යුතු ය. දෙමළ සටනේ කතාව යළි මුල සිට ආරම්භ විය යුතු ය. සිංහල ජාතිවාදී ව්‍යාපාරවලට ද අවශ්‍ය මෙයයි. මන්ද, දෙමළ ප්‍රචණ්ඩත්වය අහෝසි වුවහොත් ඔවුන්ගේ දේශපාලන පදනම් ද සෝදා යන බැවිනි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා