මන්ත්‍රී වාහනවලින් බදු අය කිරීමේ ප්‍රෝඩාව | The false taxation on Sri Lanka MP's vehicle import permit

(2010 මැයි 29, W3Lankaපාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් සහ වසර පහ සම්පූර්ණ කර සිටින මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ බලපත් ලබාදීමේදී 18% ත් 20% ත් අතර බද්දක්‌ අය කළ යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා යෝජනා කර ඇත. මෙම යෝජනාව ප්‍රගතිශීලී එකකැයි බැලූ බැල්මට පෙනෙනමුත් ඇත්තෙන් ම සිදු වන්නේ මන්ත්‍රීන් විසින් මග හරිනු ලබන බදු ප්‍රමාණය වැඩි වීම හා 'ඔන්න අපිත් බදු ගෙවනවා' යි කියමින් ජනතාව මත පටවන බදු බර සාධාරණීකරණය කිරීමට අවස්ථාවක් ‍පාලකයන්ට ලබා දීමයි.


අනෙක් පැත්තෙන්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් ද හමදාමත් මේ කුඩු කන නිසා ඔවුන්ට ද අසාධාරණ බදුවලට එරෙහිව කතා කිරීමට 'ගට' නැති වේ.


ටික කලකට ඉහතදී, එල්ලාවල මේධානන්ද හිමි සිය තීරු බදු රහිත ආනයන බලපත්‍රයෙන් ආනයනය කරන ලද වාහනය වෙනත් ‍කෙනෙකු ළඟ තිබීම මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය. 


මෙතෙක්‌ මෙම බලපත් වෙනුවෙන් කිසිදු තීරු බද්දක් අය නොකෙරිණි. ඒ යටතේ ඩොලර් 35,000ක උපරිම වටිනාකමකට යටත්ව වාහන ආනයනය කිරීමේ අවස්ථාව මන්ත්‍රීන්ට ලැබිණි. දැන් එය ඩොලර් 45,000 හෙවත් ලක්ෂ පනහකට ආසන්න අගයක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මෙමගින් මන්ත්‍රීවරයකුට ලංකාවේ වෙළඳපොල වටිනාකම ලක්ෂ 200කට ආසන්න වන වාහනයක් ආනයනය කර ගත හැකි ය. නීතියේ සිදුරුවලින් රිංගා මෙම බලපත්‍ර හොරට විකිණීමෙන් මන්ත්‍රීවරු කෝටි ගණන් මුදල් හම්බ කර ගනිති. මේ හොරකම සියලු දෙනා කරන නිසා කිසිවකු එයට එරෙහිව හඬක් නඟන්නේ නැත. බද්ද වැඩි කළා කියා මෙම අත යට ගනුදෙනුවෙන් මන්ත්‍රීන් ලබන ලාභය අඩු වන්නේ නැත.


ලංකාවේ සාමාන්‍ය ජනයා වාහනයක් මිළ දී ගැනීමේදී 100%කට වඩා බදු රජයට ගෙවන ඇතැම් අවස්ථාවලදී එය 200%ට ආසන්න වේ. ලංකාවේ පොදු ප්‍රවාහන සේවය දියුණු නොවීමට ද වාහන වෙනුවෙන් අය කරන මෙම අධික බදු හේතු වී තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා