ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension

ප්‍රගීත්, බිරිද හා දරුවන්
කිඹුලකු නොවී ඔහු ගැන සිතමු

(2010 මැයි 10 - W3Lankaප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී දින සියයකට වැඩි ය. ඔහු වෙබ් අඩවිවල ජනප්‍රිය මාතෘකාවක් වෙද්දී ඔහු පිළිබඳව අප ලියුවේ ඉතා මඳ වශයෙනි. ඊට හේතු කීපයක් තිබිණි.


පසුගිය කාලයේ ලංකාවෙන් පළා නොයමින් විකල්ප අදහස් සන්නිවේදනයේ යෙදුණු හා අරගල කළ මාධ්‍යකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් කිහිපදෙනා ජීවිත අත්දැකීමෙන් හොඳින් දන්නා කරුණක් ඇත. එනම්, මාධ්‍යකරුවන් පැහැරගෙන ගිය, වධ හිංසනයට ලක් කළ, අතුරුදහන් කළ පිරිස ඒ දේ කළේ ආවාට ගියාට නොවන බවයි.


එවැනි සෑම ක්‍රියාවක් ම ඉතා ම සැලසුම් සහගත අන්දමින් පැහැදිලිව තෝරා බේරාගෙන කළ ඒවා බව ද, එම පුද්ගලයන් පැහැදිලි මිලිටරි ඉලක්ක බව ද කිව හැකි ය. ඔවුන් මිලිටරි ඉලක්ක බවට පත් වූයේ ඔවුන් යුද්ධයේදී බලපෑම් සහගත අන්දමින් ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයගේ සතුරු පාර්ශ්වයට සේවය කළ නිසා ය. ඇතැමෙක් ඉලක්ක වන්නට ඇත්තේ ඔවුන් මාධ්‍යකරුවන් ලෙස කළ කාර්යභාරය නිසා නොව වෙනත් කටයුතු නිසා ය.


එක් එක් පුද්ගලයාට දෙන ලද දඬුවමේ ස්වභාවය අනුව ඔහු මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ පාර්ශ්වයට ඉලක්ක වූ ආකාරය සිතා ගත හැකි ය. ලසන්ත වික්‍රමතුංග කොළම මහා මාර්ගයකදී උල් ආයුධයකින් හිසට ඇන මරා දමන්නේ ද, පෝද්දල ජයන්ත කොණ්ඩය කපා, අත පය කඩා ආපසු එවන්නේ ද, චන්දන සිරිමල්වත්ත නිකම් ම නිදහස් වන්නේ ද මේ අන්දමටයි.


සාමය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් කිසිවකු මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල ගොදුරු බවට පත් වූයේ යයි සිතිය නොහැකි ය. ඒ යුද වැදී සිටි දෙපාර්ශ්වය එවැනි අයට අත නොතැබීමට තරම් හොඳ වූ නිසා නොව රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති මිස සැබෑ සාම ව්‍යාපාර ලංකාවේ නොතිබුණු නිසා ය. 


ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු තොරතුරක් නැති අන්දමින් වාෂ්ප වූයේ ය. ඔහු ද අප කියන අන්දමේ ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වූයේ නම් එයට හේතු විය හැක්කේ ඔහු මාධ්‍යකරුවකු ලෙස කළ කිසියම් දෙයකැයි සිතීමට තරම් සාක්කි ඔහුගේ ලේඛන අතරතුර නැත. (බුදු අම්මෝ බයයි කියමින් රටින් පළා ගිය ඇතැම් මාධ්‍යකරුවන්ට වඩා නම් ප්‍රගීත් ලියා තිබේ.)


ප්‍රගීත් ගැන දැන් හඬා වැළපෙන, කවි ලියන කිසිවෙක් යහපත් සමාජයක් ගොඩනැඟීම පිළිබඳ දුටු සිහින බොඳ වීම, සමාජ සංවිධාන ගරා වැටීම, පෞද්ගලික ජීවිතය අර්ථ සම්පන්න එකක් කර ගැනීමට අසමත් වීම ආදී කරුණු මත කලකිරීමට පත් ව හුදකලාව තැවෙන මෙවැනි මිනිසුන් පිළිබඳ සංවේදී නොවෙති. ඔවුහු ජනවාරි 24දාට පෙර සිටි ප්‍රගීත් පිළිබඳව ද බලු මයිලකට තරම් තැකුවේ නැත. ඔහුගේ හඬට සවන් යොමු කළේ ද නැත. 


ප්‍රගීත් පිළිබඳව අද ගලා හැලෙන්නේ ද කිඹුල් කඳුළු ය. අනෙක් පැත්තෙන් කිඹුලකු වීම හේතුවෙන් ඇතැමුන්ට ඩොලර් හා යුරෝපා රටවලට වීසා ආදිය ලැබෙන බව ද ප්‍රසිද්ධ රහස් ය. තවත් සමහරු උත්සාහ කරන්නේ ප්‍රගීත්ගේ කර පිටින් තමන්ගේ ගමන් යන්නටයි. 


ප්‍රගීත් යනු ලංකාව හා ලෝකය මීට වඩා යහපත් තැනක් වනු දැකීමේ උවමනාවක් තිබුණු, ඒ වෙනුවෙන් ලියූ, කතා කළ, කාටුන් ඇන්ද පුද්ගලයෙකි. එහෙත්, මෙවැනි සෙසු බොහෝ අයට මෙන් ම ඔහුට ද විවේචනයක් මිස තම අරමුණ ඉටු කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොතිබිණි. එවැනි සැලසුමක් සකස් කර ගැනීම සඳහා එක්ව ක්‍රියාත්මක වීමේ හැකියාවක් නොතිබීම මෙම සමාජ කණ්ඩායමේ මූලික ලක්ෂණයකි.


ප්‍රගීත් එක්නැලිගොඩ ද පසුගිය සමයේ අතුරුදහන් වූ තවත් බොහෝ දෙනෙකු මෙන් නොවිසඳුණු අභිරහසක් වන්නට ඉඩ තිබේ.


අප මෙම සටහන තබන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ සමාජ කතිකාව වෙනස් වන අන්දමේ මැදිහත් වීමක් රජයට සම්බන්ධ, ඔහුගේ මිතුරකු ද වන, මෙවැනි සිදුවීම් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති අයකු ද වන සී.ඒ. චන්ද්‍රප්‍රේම දිවයින පුවත්පතෙන් ආරම්භ කර ඇති බැවිනි.


චන්ද්‍රප්‍රේම ලියන්නේ ප්‍රගීත් අතුරුදහන් වීම පිළිබඳ තොරතුරු චන්ද්‍රප්‍රේම දැන සිටිය හැකි යයි මතයක් සමාජයේ පැතිරීම ‍හේතුවෙන් ඇති වූ කෝපයක් සමගයි. ඔහුගේ අතීතය පිළිබඳ යම් තොරතුරු හා වර්තමානයේදී ඔහු රඟන්නට උත්සාහ දරන භූමිකාව එකට පැටළීම හේතුවෙන් ඔහුට සිදු විය හැකි හානිය පිළිබඳ සංවේදීකම හේතුවෙන් ඔහුගේ ලිවීම දූෂණය වී තිබේ. එහෙත් එම ලිපිය නව කතිකාවක් ඇති කිරීමට ඉවහල් වන බව නිසැක ය. පහත පළ වන්නේ ඉන් උපුටා ගත් කොටසකි. සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න. 


"පසුගිය වකවානුවේ අවශ්‍ය වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු ලබාගැනීමට ඇතැම් අය උස්‌සගෙන ගොස්‌ තිබුණත් ඒ තොරතුරු ලබා ගත්පසු ඔවුන් නිදහස්‌ කොට තිබුණු බවට වාර්තා ඇත. මෙවැනි පැහැරගැනීම් වුවමනාවෙන්ම කරන ඒවා මිස වැරැදීමෙන් කරන ඒවා නොවේ. පසුගිය අවුරුදු ගණනාව තුළම වැරැදීමකින් උස්‌සගෙන ගියාය කියන එකම පුද්ගලයා ප්‍රගීත්ය. මෙය සිදුවිය හැක්‌කක්‌ නොවේ. එපමණක්‌ නොව පසුගිය වකවානුව පුරාම උස්‌සගෙන ගියා යෑයි කියන සියලුම පුද්ගලයන් පාහේ දෙමළ ජාතිකයෝය. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?"
-අජිත් පැරකුම් ජයසිංහ

Comments

  1. ඔහු ලංකා ඊ නිවුස්‌ නමැති වෙබ් අඩවිය සමග සම්බන්ධයක්‌ තිබේය යන පදනම මතය. නමුත් ලංකා ඊ නිවුස්‌ කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතාගෙන් මම අසා දැනගත් පරිදි ඔහු ඉඳහිට ලිපියක්‌ සැපයුවද දිගටම ලිපි සැපයූ අයෙක්‌ නොවන බවයි. ප්‍රගීත් ලියන දේශපාලන විචාර ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය විසින් පළකරනු ලැබුවේ නම් ඒ වෙබ් අඩවිය වසා දැමීමට සිදුවනු ඇත. ඒ ඔහු කියන දේ කිසිවකුටත් නොතේරෙන නිසාය.

    Was he the one who wrote a PHONOGRAPHIC sort of an article on a Minister?

    ReplyDelete
  2. We have seen so called journalists like Chandraprema before.The problem in this country is no body seem to understand what is journalism.People think journalism is writing something to praise some politician or a party,or to write some gossip.A journalist can make a country or destroy it.Our journalists are engaged in the latter by hiding the truth from the people.Journalists never fear to expose the truth,but ours do.Journalists are never biased, but ours are.Journalists do not use the pen for their own bwnift,but ours do.Our people ar blind and deaf.Good journalism can be sen in India.Why can't our people learn.My opinin is all our dailies are full of gossip and unwanted news on which public has no interest.Non of the dailies ever try to create a free thinking society or a just society.They are engaged in brain washing the people being contracted by the politicians.Chandraprema is a such low levelled journalist.

    ReplyDelete
  3. pls read this article also http://www.lankaenews.com/Sinhala/news.php?id=13406 ekneligoda is not a so called communist but he has fought against this cruel gov
    pls give due respect to him

    ReplyDelete
  4. 1.මාධ්‍යකරුවන් පැහැරගෙන ගිය, වධ හිංසනයට ලක් කළ, අතුරුදහන් කළ පිරිස ඒ දේ කළේ ආවාට ගියාට නොවන බවයි.
    2.ඇතැමෙක් ඉලක්ක වන්නට ඇත්තේ ඔවුන් මාධ්‍යකරුවන් ලෙස කළ කාර්යභාරය නිසා නොව වෙනත් කටයුතු නිසා ය.
    3.ඔහු ද අප කියන අන්දමේ ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වූයේ නම් එයට හේතු විය හැක්කේ ඔහු මාධ්‍යකරුවකු ලෙස කළ කිසියම් දෙයකැයි සිතීමට තරම් සාක්කි ඔහුගේ ලේඛන අතරතුර නැත.
    4.ප්‍රගීත් පිළිබඳව අද ගලා හැලෙන්නේ ද කිඹුල් කඳුළු ය. අනෙක් පැත්තෙන් කිඹුලකු වීම හේතුවෙන් ඇතැමුන්ට ඩොලර් හා යුරෝපා රටවලට වීසා ආදිය ලැබෙන බව ද ප්‍රසිද්ධ රහස් ය. තවත් සමහරු උත්සාහ කරන්නේ ප්‍රගීත්ගේ කර පිටින් තමන්ගේ ගමන් යන්නටයි.
    5. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?

    අජිත් පැරකුම් ජයසිංහ මේ කියන්නට හදන්නේ කුමක්ද? අනෙක් මිනිසුන් අඩුතරමින් ජනවාරි 24 පසුවවත් ප්‍රදීප් ගැන කතා කර ඇත. අසංවේදී වීම ගැන අන් මිනිසුන්ට චෝදනා කරන ඔබ ඇහැරී ඇත්තේ චන්ද්‍රප්‍රේම මඩ බාල්දිය ඔසවාගෙන යන්නටය.

    ReplyDelete
  5. නැත. ලංකාවේ සිදු වූ මාධ්‍ය මර්දනය පිළිබඳ තවමත් බියෙන් ජීවත් වන අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නැත. මේ පිළිබඳ ඕනෑ තරම් ලියැවී තිබෙන නිසා අප ද නැවත ලිවිය යුතු නැත. එහෙත්, මාධ්‍ය මර්දනය මුවාවෙන් සිදු වන කූට ජාවාරම් ගැන කතා කිරීම දේශපාලනික කරුණකැයි අපි සිතමු. මේ ජාවාරම පිළිබඳ අප දන්නා කරුණු නුදුරු අනාගතයේ හෙළිදරව් කරමු.

    ප්‍රගීත් පිළිබඳ කාරණයේදී පවා මෙම ව්‍යාපාර සමග පැටලීම අපි ප්‍රතික්ෂේප කරමු.

    -අජිත් පැරකුම් ජයසිංහ

    ReplyDelete
  6. ප්‍රගීත් පිළිබදව චන්ද්‍රප්‍රේමගේ ලිපිය සම්බන්ධව ඔබ දී ඇති අවධාරණය එම ලිපියට පිළිතුරු ලෙස ලංකා ඊ නිව්ස් හි සදරුවන් ලියු ලිපියට නොදෙන්නේ ඇයි.

    ReplyDelete
  7. මෙම සංවාදයට සඳරුවන්ගේ මැදිහත් වීම සාධනීය එකක් ලෙස සලකා අපි අගයමු. සඳරුවන් ප්‍රගීත් පිළිබඳ හෙළන්නේ කිඹුල් කඳුළු නොවන බව මම පෞද්ගලිකව දනිමි.

    අප මෙම සටහන තැබුවේ මැයි 10 උදේ ය. සඳරුවන් සිය සටහන පළ කරන්නේ මැයි 10 සවස 2.30ටයි. අපගේ ලිවීමට එය සම්බන්ධ කර ගැනීමට බැරි වුණේ එබැවිනි.

    සඳරුවන්ගේ ලිපිය ඇත්තේ මෙතැනයි:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=13406

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා