බ්ලොග් අවකාශයේ අම්පයර් යයි සිතන taboosubjectsගේ බුද්ධිමය චණ්ඩිකම් | Intellectual thuggery of Taboosubjects
(2010 අප්‍රේල් 30 - W3Lanka) සිංහල බ්ලොග් අවකාශයේ අවසන් තීන්දු දෙන 'බුද්ධිමතා' තමා යයි සිතාගෙන හැසිරෙන taboosubjects අප පිළිබඳව ද විනිශ්චයක් නිකුත් කර තිබේ. ඒ අප විසින් ලියන ලද 'ආයුබෝවන් නිරුවත් ධනවාදය! අපි කෲර ඔබ සාදරයෙන් පිළිගනිමු' ලිපියෙහි අදහසක් සටහන් කරමිනි.
මෙසේ පවසයි. 'ඉතාම කනගාටුවෙන් කිවයුත්තේ මේ ලේඛකයාගේ ආර්ථික-දේශපාලන විද්‍යාව පිළිබඳ දැනුම අතිශය දුර්වල බවයි. මම ඔහු නිවැරදි කිරීමට කිහිප වතාවක්ම උත්සාහ ගත්තෙමි. ඒත් සුපුරුදු මෝඩ කතා පුනරුච්චාරණය කිරීමෙන්ම පෙනෙන්නේ ඒ කිසිවකින් ඵලක් නොවූ බවය. මම ඒ වරද නැවත නොකරමි.'
1980 දශකයේ මුල්භාගයේදී ජවිපෙ පූර්ණකාලිකයකු ලෙස ආරම්භ කර අන්තිමට ම හුදකලා වීත් තව ම අවසන් කර නැති මගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය අතරතුරදී මෙවැනි බුද්ධිමය චණ්ඩින් සිය ගණනක් මට හමු වී තිබේ. ධනවාදියකු ලෙස තමන් හඳුන්වා ගත්ත ද taboosubjectsගේ භාවිතාව විසින් අපට සිහිපත් කරන්නේ වමේ චණ්ඩි කණ්ඩායම් නායකයන් හෙවත් ගැං ලීඩර්ස්ලාගේ ලක්ෂණයි.
උගතකු, බුද්ධිමතකු හෝ කොළඹ දේශපාලන කවවල සාමාජිකයකු නොවන, හද්දා පිටිසර ගමක ජීවත් වන, අඩුතරමේ වෘත්තීය ජනමාධ්‍යකරුවකු හෝ නොවන, කාගේවත් අනුගාමිකයකු හෝ කාටවත් නායකයකු නොවන, එහෙත් තනිව හෝ තවමත් දේශපාලන ක්‍රියාකාරිකයකු වන මා හට මෙවැනි බුද්ධිමය චණ්ඩිකම්වලින් කිසිදු බලපෑමක් නැති බව පවසන්නට කැමැත්තෙමි.
මට වැරදි සිදු විය හැකි බව මම ඉතා හොඳින් දනිමි. එහෙත් අද දවසේ කළ යුතු අරගලය වෙනුවෙන් මට ඇති සීමිත දැනුම හා ලිවීමේ හැකියාව භාවිතා කරමින් මම ඉගෙන ගනිමි. විවේචනය හා සංවාදය ප්‍රිය කරමි. එහෙත් බුද්ධිමය චණ්ඩින්ට බිය නොවෙමි. ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් සමග නොපැටළෙමි.
අප පහත සටහන් කරන්නේ taboosubjectsට තම නිගමනයට ඒම සඳහා ඉවහල් වූ ඔහු හා අප අතර සිදු වූ තවත් අය ද සහභාගි වූ සංවාදයෙන් කොටසකි.
මෙය ඇරඹෙන්නේ 'ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද?' යනුවෙන් අප විසින් 2009 ඔක්තෝබරයේ ලියන ලද ලිපියත් සමගයි.
taboosubjects: ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.
අප: ටැබූ සබ්ජක්ට්ස් වෙත,
බටහිර රටවල ධනවාදයේ ප්‍රජාතාන්ත්‍රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්‍යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.
taboosubjects: මේ සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නඟාගත හැකි නම් අගය කරමි. නමුත් බැණ ගැනීමටවත් මඩ ගසා ගැනීමටවත් නොවේ. මගේ ධනවාදය ගැන ඇති කියැවීම 'සමාජවාදීන්ගේ' කියැවීමට වඩා බොහෝ වෙනස්ය. තමන්ට නොතේරෙන හැම දෙයම ධනවාදය ලෙස අර්ථ ගන්වා බණින්නට මට ඕනෑකමක් නැත. ධනවාදය ලොව මිනිසා විසින් මෙතෙක් බිහිකර ඇති දියුණුම අර්ථ ක්‍රමයයි. (එය සර්ව සම්පූර්ණ යැයි මෙයින් අදහස් නොකෙරේ.) එසේම අර්ථ ක්‍රමයක් ලෙස ධනවාදය ගතිකව දියුණුවේ. මාක්ස් දුටු ධනවාදය නොවේ අද ඇත්තේ, ඊට වඩා දියුණු ධනවාදයකි. මාක්ස් කියූ උත්තර සමාජය බිහි වන්නේ ධනවාදය තුළින්ම මිස එය බිඳවැටී නොවේ.
වැඩිදුර ලිවීම පසුවට තබා එකම ප්‍රශ්නයකට පිළිතුරු දෙමි.
[නිදසුනක් ලෙස රුපියලක් විය කර කෙල්ලට එස්.එම්.එස්. එකක් යවන කොල්ලාගේ සාක්කුවෙන් කතා නැතුව ශත තිස් දෙකක් ගසා කා අර රුපියලෙනුත් තවත් බදු සූරාගෙන මහජන මුදලින් ගත්, මහජන මුදලින් ම තෙල් ගැසූ තඩි සැප වාහනවල නැඟී මහජන මුදලින් පඩි කන රැකවලුන් හා බැලයන් පිරිවරාගෙන ගැහැනුන් සමග යහන් ගත වී ඉතිරි වේලාවේ දේශපාලනය යයි කියා දෙයක් කරමින් සුරසැප විඳීම ධනවාදය නොවේද?]
නැත. නැත. නැත. මේ වැඩවසම් ක්‍රමය යටතේ ගොවියා වී කුරුණි දෙකක් අස්වැන්න නෙළා ඉන් එකක් රජතුමාට දීමේ ක්‍රමයේ වර්තමාන ස්වරූපයයි. ධනවාදය අනුදක්නේ අවම බදු අයකිරීම්ය. අධික බදුබර ධනවාදය දකින්නේ Deadweight loss එකක් ලෙසිනි. (http://en.wikipedia.org/wiki/Dead_weight_loss හා http://en.wikipedia.org/wiki/Excess_burden_of_taxation බලන්න.)
පසුව හමුවෙමු.
අප: ස්තුතියි. ඒත් මට කීමට අවශ්‍යව ඇති කාරණයක් වන්නේ වර්තමාන ගෝලීය ධනේශ්වර පද්ධතිය යනු ලොව සියලු රාජ්‍යවල සාධනීය හා පසුගාමී ලක්ෂණ සියල්ල කැටි කර ගත් එක් පද්ධතියක් බවයි.
ලංකාවේ වර්තමාන සමාජ ක්‍රමය ගැට ගැසී තිබෙන්නේ ධනේශ්වර නිෂ්පාදන බලවේග සමග මිස වැඩවසම්වාදයක් සමග නොවේ. අපේ ප්‍රධාන ආර්ථික කුළුණු දෙක වන ඇඟලුම් කර්මාන්තයේදී හා මැදපෙරදිග රැකියාවලදී රාජ්‍යයක් ලෙස ලංකාව කරන්නේ ධනේශ්වර නිෂ්පාදනයට ඍජුව හෝ වක්‍රව ශ්‍රම සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුවකි. මෙහි කිසිදු වැඩවසම් සම්බන්ධයක් නැත.
වර්තමානයේ පවතින දෙය අතීත වැඩවසම්වාදයක් සමග සම්බන්ධ කර ගත නොහැක. වැඩවසම් ක්‍රමය බිඳ වැටී ධනවාදය බිහි වන්නේ නිෂ්පාදන බලවේගවල සංවර්ධනයක් සමග මිස සංස්කෘතික කාරණා මත නොවේ. ලංකාවට ද නූතන ලෝක පද්ධතිය තුළ මෙම නිෂ්පාදන සබඳතා ධනේශ්වරකරණයෙන් ගැලවී සිටීමට හැකි වූයේ නැත. එහෙත් මෙය සිදු වූයේ බලහත්කාරී යටත් විජිත හා පශ්චාත් යටත් විජිත සංදර්භයක් තුළ නිසා මෙම ක්‍රියාවලිය පසුබිමින් බටහිර සිදු වූ සමාජ සංවර්ධනය මෙහි සිදු වූයේ නැත.
ලංකාවේ ධනවාදය හරියට ප්‍රමාණ දෙකක රෝද දෙකක් සවි කළ කරත්තයක් වැනි ය. ලොකු රෝදය ධනේශ්වර නිෂ්පාදන සබඳතා වන අතර පොඩි රෝදය සමාජ සංවර්ධනයේ පසුගාමිත්වයයි. අප මේ එක තැන කැරකි කැරකී ප්‍රශ්න කරන්නේ මේ කරත්තයේ විකෘති ගමනයි.
taboosubjects: [ස්තුතියි. ඒත් මට කීමට අවශ්‍යව ඇති කාරණයක් වන්නේ වර්තමාන ගෝලීය ධනේශ්වර පද්ධතිය යනු ලොව සියලු රාජ්‍යවල සාධනීය හා පසුගාමී ලක්ෂණ සියල්ල කැටි කර ගත් එක් පද්ධතියක් බවයි.]
නැත. ඔබ කරන්නේ ලෝකයේ පවත්නා සියළු අර්ථ ක්‍රමයන් එකට ගෙන ඊට 'ධනවාදය' යැයි නමක් දී ඊට දොස් කීමය. එය වැරදිය. ධනවාදය යනු එක් සුවිශේෂ අර්ථ ක්‍රමයකි.
ලෝක ආර්ථිකය සඳහා වෙළෙඳ භාණ්ඩ නිපැයුම මහා පරාක්‍රමබාහු කාලයේද සිදුවිය. එසේ කළ පමණින් රටක් ධනවාදී වන්නේ නැත. කොමියුනිස්ට් චීනය තම ඉතිහාසය පුරාම ධනවාදී ලෝකයට නිෂ්පාදන කළේය. එහෙත් 1980 පමණ වනතුරු එහි ධනවාදී අර්ථ ක්‍රමයක් වූයේ නොවේ.
අප: ටැබූගේ 'ලෝකයේ පවත්නා සියළු අර්ථ ක්‍රමයන් එකට ගෙන ඊට 'ධනවාදය' යැයි නමක් දී ඊට දොස් කීමය. එය වැරදිය. ධනවාදය යනු එක් සුවිශේෂ අර්ථ ක්‍රමයකි.' යන මතය අගයමි. එහෙත් ඔබේ ලිවීම් හරහා ලංකාවේ පවතින ක්‍රමය කුමක්දැයි විග්‍රහ කරන්නේ නම් හොඳ ය. එය වැඩවසම්වාදයකැයි කීම අති සරළ ය; අප්‍රමාණවත් ය.
taboosubjects: සුද්දා අප රට අල්ලා විට මෙහි තිබුණේ වැඩවසම් ක්‍රමයකි. යටත් විජිත පාලනය යටතේ එය ධනවාදයට පරිවර්තනය වීමේ මූලික පදනම වැටිණි. එහෙත් මේ පරිවර්තනය සම්පූර්ණ නොවූයේ ඊට පෙර සුද්දා අප දමා ගිය නිසාය.1956 සිට වරින්වර අප ධනවාදයට එරෙහිව රාජ්‍යවාදය (Statism - එනම් ධනය නොව රජය බලය වන ක්‍රමයක්. මෙහිදී තීරණ ගැනෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුව නොව රජය හිතන විදිය අනුවය.) පසුපස ගියෙමු. 1970-77 කාලයේදී ඊට කොමියුනිස්ට් අර්ථ ක්‍රමය යම් පමණකට මුසුවිය.
අද ඇත්තේ බලයේ සිටිනා ආණ්ඩුව මත තීරණය වන, ධනවාදය හා රාජ්‍යවාදය අතර දෝලනය වන ක්‍රමයකි. UNP ආණ්ඩු අප ධනවාදය කරා තල්ලු කළ අතර UNP නොවන ආණ්ඩු රාජ්‍යවාදය කරාද වැඩවසම් ක්‍රමය කරාද තල්ලු කළහ. එකම UNP නොවන ධනවාදියා/වාදිනිය වූයේ චන්ද්‍රිකාය. අදනම් ඇත්තේ මතුපිටින් ධනවාදය අලේපනය කරන ලද වැඩවසම් ක්‍රමයකි. ධනවාදී සමාජයක මූලික ලක්ෂණය වන නිදහස් ව්‍යාපාර කිරීමේ හෙවත් ආර්ථික නිදහස අද අපේ රටේ නැත. අද අපේ රටේ ආර්ථිකය විශාල ලෙස පාලනය කරන්නේ තනි රජ පවුලකි. ව්‍යාපාර කිරීමේ නිදහස ඇත්තේ මේ රජ පවුලේ අභිමතය අනුවය. මෙය ප්‍රේමදාස යුගයේ තිබුණු සහචර ධනවාදයටද (Crony Capitalism) වඩා ප්‍රාථමිකය.
Ramachandra: මේකට ඇත්ත උත්තරේ ලංකාවේ තියෙන්නේ වැඩවසම් ලක්ෂන ශේෂ වී තිබෙන ධනවාදයකි යන්නයි.
(වැඩිහිටියෙක් වෙන සමහර අයට ලමා ලක්ෂන ඉතිරිවෙලා තියෙන්න පුලුවන්.-තනියම නිදාගන්න බය වීම,තනියම ඇදුම් මැදගන්න බැරි වීම වගේ-නමුත් රැවුල ඇවිත්,කර දඩු පලල් වෙලා උගුර බැරැන්ඩි වෙලා ස්වයංවින්දනයේ යෙදෙනව වෙනුවට ලිංගික හැසිරීම් වල යෙදෙන තැනට ආවට පස්සෙ ලමා ලක්ෂන කිහිපයක් ඉතිරි වෙලා තිබුන කියල එයා බබෙක් වෙන්නෙ නැහැ.එයාට කියන්නෙ වැඩිහිටියෙක් කියල)
ලංකාව වැඩවසම් සමාජයක ඉදල ධනවාදී එකක් බවට පත්වෙන්න පටන්ගත්තෙ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය සමග.1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන වලින් රාජකාරි ක්‍රමය අහෝසි කිරීම මෙතනදී තීරනාත්මක පියවරක්.එහෙම පටන් ගත්ත ධනවාදයට සංක්‍රමනය වීමේ ගමන අද බොහෝ දුර ඇවිත් තිබෙනවා.
ධනවාදයක් තුල තිබෙන මූලික ලක්ෂන සියල්ල අප රට තුල තිබේ.ඒ වගේම වැඩවසම් ක්‍රමයේ මූලික ලක්ෂන බොහොමයක් අහෝසි වෙලා තියෙනවා.
වැඩවසම් ක්‍රමයක් තුල තිබුනු "ප්‍රධාන" නිෂ්පාදන සම්බන්ධතාවය වුනේ ඉඩම් හිමියා-දාසයා,රදලයා-ගොවියා වර්ගයේ සම්බන්ධතාවයයි.අද ඒ වෙනුවට "ප්‍රධාන"වශයෙන් දකින්න තිබෙන්නෙ ප්‍රාග්ධන හිමියා-වැටුප් ශ්‍රමිකයා කියන සම්බන්ධතාවය.පරන වැඩවසම් සබදතාවය පසෙකට ඇදල දාල ධනවාදි සබදතාවය ප්‍රමුඛ වෙලා තියෙනවා.ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන සංඝටක වන ඇගලුම් කර්මාන්තය,විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් එන මුදල්,විවිද සේවා සපයන ආයතන - මේවායේ තියෙන්නෙ ධනවාදය මිසක් වෙන මොකක්වත් නෙමේ.දියුනු ධනේශ්වර රටවල් සිය ප්‍රාග්ධනය අපනයනය කරල ලංකාව තුල ආයෝජන කරල තියනව.ප්‍රාග්ධන අපනයනය කියන්නෙ වැඩවසම්වාදයට කොහෙත්ම අදාල නොවෙන ධනවාදි ලක්ෂනයක්.කොටින්ම ලංකාවේ ආර්ථිකය වැඩවසම්වාදී කියන එක විෂය නොදැනීමේ ප්‍රතිඵලය මිස වෙනෙකක් නෙමේ.
මේක ප්‍රධාන වශයෙන් ධනවාදි සමාජයක්.හැබැයි පරන සමාජයේ ලක්ෂන තවම ඉතිරි වෙලා තියෙනවා.ඒකට හේතුව ලංකාවට ධනවාදය ගෙනාපු ආකාරය එක්ක කතාකරන්න ඔනෙ.(බටහිර රටවල වගේ නෙමේ මෙහෙ තියෙන්නේ බ්‍රිතාන්‍ය විසින් උඩින් ආරෝපනය කල ධනවාදයක්.මේක වෙනම මාතෘකාවක්)
කොහොම හරි වැඩේ මේකයි.අවුරුදු 60 ක දේශීය ධනපති ක්‍රමය ලංකාව අවුල් කරල විනාස කරල තියනව මිස ඉදිරියට ගෙනියන්න සමත් වෙලා නැහැ.කොටින්ම අද රට තියෙන්නෙ අවුරුදු 60කට පෙර තිබුන දේශීය අතිරික්තය පවා විනාස කරගත්ත ලෝකයටම නය වුන පරාධීන දුර්වල හා බෙලහීන තැනක.මේක ධනවාදය නෙමෙ වෙන එකක් කියල පෙන්නන්න මොන තරම් ට්‍රයි එක දුන්නත් මේ තමයි ලංකාව වගේ පරිධියේ රටවල මේ යුගයේ ක්‍රියාත්මක වෙන ධනවාදය.ඒ ඇත්ත වහන්න බැහැ.
මේ අන්දමින් ගිය සංවාදය අවසානයේ මා සිය පංතියෙන් එළියට දමා ඇත. taboosubjects විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන අතර ඔහුගේ සටහන් පිළිබඳ අදහස් දක්වන ඇතැම් අය ඔහුට 'සර්' කියති. එහෙත්, අපට 'සර්' වන්නැයි අප ඔහුගෙන් ඉල්ලා නැත. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නැති අතර විශ්වවිද්‍යාල යයි කියන ලංකාවේ මහා විද්‍යාලවලින් ගුරුහරුකම් ගන්නට තරම් මට මාන්දමක් ද නැත.
මෙවැනි බුද්ධිමය චණ්ඩින්ට එරෙහිව ද අපට අරගලයක් තිබේ. අතීතයේ අපට හමු වූ මෙවැනි චණ්ඩින් ගැන ද අනාගතයේ ලියන්නට අදහස් කරමු.
කාලිංග ඇතුලත්මුදලි ගැන ඔබ ම ලියූ සටහන නැවත කියවා බලන්නැයි මම taboosubjects ගෙන් ඉල්ලා සිටිමි.
සංවාදයට රිසි නම්, ඔබ ලියූ රාජ්‍යවාදය ධනවාදයෙන් වෙන් වන බෙදුම් රේඛාව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලමි. මට මෙහිදී අවශ්‍ය වන්නේ 'සමාජවාදී' රාජ්‍ය පද්ධතියේ බලපෑම තිබුණු සමයේ රාජ්‍යවාදය පිළිබඳ දැන ගැනීමට නොව, වර්තමාන රාජපක්ෂ සමාගමේ රාජ්‍යවාදය ධනවාදයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ ඔබේ විග්‍රහය දැනගන්නටයි.
-අජිත් පැරකුම් ජයසිංහ
කවුරුත් ආසයි ලොක්කො වෙන්න.. පෘතග්ජන මිනිස්සුනෙ....
ReplyDeleteසංවාදය කොහොමත් හොන්ඳයි....
දෙන්නගෙම අදහස් සහ දැනුම අපට වැදගත්
මුන්ට පිස්සුව එහෙම නැති නම් බයිලා කියවනවා..
ReplyDeleteඅතපය හතර මහන්සිවෙලා මුදල් හම්බකරගෙන, ඔළුව කල්පනා කරලා ඒ මුදල් ව්‍යාපාරවල යොදවලා,අළුත් නිෂ්පානයන් කරලා ඒවා ලෝකෙට හදුන්වලා දීලා ඒවගෙන් ලාභලබලා, මම කෝටිපතියෙක් වෙලා දෙතුන් සියයක් මගේ යටතේ වැඩකරන විදියට රක්ෂාදුන්නම මම ධනවාදයේ ශ්‍රම සුරාකන්නෙක් වෙනවා..
මහත්‍තයෝ ජපානය නැගිටුනේ එවැනි දැවන්ත නිෂ්පාදයන් සහිත කොම්පැනිකාරයෝ නිසා.කොරියාව නැගිටුනේ එවැනි දැවන්ත LG,Samsung,Hyndai වැනි කොම්පැනිකාරයො නිසා.අද චීනය නැගිටමින් ඉන්නෙ එවැනි කොම්පැනිකාරයෝ නිසා.ඔය කියන රටවල මහත්තයා කියනතරම් කිසිම හෙනයක් නැහැනේ.
'අතපය හතර මහන්සිවෙලා මුදල් හම්බකරගෙන, ඔළුව කල්පනා කරලා ඒ මුදල් ව්‍යාපාරවල යොදවලා,අළුත් නිෂ්පානයන් කරලා ඒවා ලෝකෙට හදුන්වලා දීලා ඒවගෙන් ලාභ ලබන' ධනවාදී ව්‍යාපාරිකයෝ ඒ රටවල නම් ඉන්නවා. ලංකාවේ වැඩිපුර ඉන්නේ ඒ නිෂ්පාදන ආනයනය කරලා මෙහේ අයට බදුත් වංචා කරමින් සල්ලි ටිකත් රට පන්නන වෙළෙන්දෝ. උන් නිසා නැගිටලා ඉන්නේ ඒ කියපු රටවල් ම තමයි.
ReplyDeleteධනවාදය ඇතුළාන්තයෙන් ම දූෂිත ය. එය පවතින්නේ ම ලාභය හෙවත් අතිරික්ත ශ්‍රමය සූරාකෑම මතයි. කොමිස් යනු ධනේශ්වර වෙළඳාමේ ප්‍රධාන ප්‍රධාන අංගයකි. නිෂ්පාදනයට වඩා ආනයනය හා වෙළඳාම කරන ලංකාවේ කොමිස් ගැහිල්ල වළක්වා ගැනීමට ධනවාදයට බැරි ය. කොමිස් නැතිනම් රජයේ රෝහල්වලට බෙහෙත් පෙත්තක්වත් එන්නේ නැත. ටෙන්ඩර් නැතිනම් පාරේ වළකට ගල් කැටයක්වත් වැටෙන්නේ නැත. මහ තැන්වලින් ගහන කොමිස් ලාභ මේ රටටවත් එන්නේ නැත. එසේ එනවා නම් අඩු තරමේ එයින් කොටසක් හෝ පහළට කාන්දු වෙයි. එහෙත්, ඒවා කෙළින් ම යන්නේ ස්විස් බැංකුවලටයි. 2008 ජුලි මාසයේදී ස්විස් රටේ හෝටලයකදී ගඩාෆිගේ පුතා හැනිබාල් හා ලේලිය සිය සේවකයන් දෙදෙනාට අඩන්තේට්ටම් කිරීම පිළිබඳ ජිනීවා පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන දෙදිනක් රඳවා තැබීම පිළිබඳ කෝප වූ අපේ පාලකයන්ට ඉතා සමීප මිතුරු රටක් වන ලිබියාවේ ජනාධිපති ගඩාෆි සිය ස්විස් බැංකු ගිනුමෙන් ඩොලර් බිලියන පහක් ඉවත් කර ගත්තේ ය. ඩොලර් බිලියන පහක්!
ලංකාව වගේ රටවල තියෙන්නේ එහෙම ධනවාදයක්. අපේ රටවල තිබෙන ඒ ධනවාදයේ පිහිටෙන් තමයි ඔබ ඔය කියන රටවල් දියුණු වෙන්නේ. අපි විරුද්ධ ඒ ක්‍රමයට මිසක් ඔබ කියන දෙයට නොවේ.
අයිත් පරණ තැටියක්..මිනිස් ප්‍රජාව මෙතරම් දියුණු වුනේ ධනවාදයට පින්සිද්ධ වෙන්න.එහෙම නැත්නම් ධනවාදයේ ලාබයට පින්සිද්ද වෙන්න.ලාබය වැඩිවෙන කොට තමයි අතපය දගෑරලා වියදම් කරලා අළුත් නවින නිස්පාදයන් වලට යන්නෙ..
ReplyDeleteමම හිතන්නෙ මහත්තයෝ අපේ රටේ නොහැකියාවට ධනවාදයට බැනලා වැඩක් නැහැයි කියලා.
අපිට කෙල වෙන්න අපේ රටේ නොහැකියාවට ප්‍රධාන හේතු
1 ලෝකෙයේ සිදුවෙමින් පැතුන කාර්මික බුද්ධිමය පරිවර්තනයට සාපේක්ෂව අපි දියුණු නොවීම.එහෙම නැත්නම් වර්ධනය නොවීම..
ඒවාට හේතු,
අපේ සිංහල බෞද්ධ ආබාසය ලැබු වැඩවසම් සංස්කෘතය හා දේශපාලනය,නිසි අධ්‍යාපනය පරිවර්තන නොමැති වීම,පැරණි යටත් විජිත මනසිකත්වය..
2 විවෘත ආර්තිකය.(මේක තමයි ප්‍රධාන හේතුව.අපිට නිසි ආර්තික ප්‍රතිපත්ති තීරණ හරියාකාරව ගැනීමට නොහැකි වීමට අපි ධනවාදයට බැනලා වැඩක් නැහැ.විවෘත ආර්තික ප්‍රතිපල වලට අපි ධනවාදයට බැනලා වැඩක් නැහැ මම හිතන්නෙ..)
3 යුද්ධය..
4 විනය හා නිසි දේශපාලන ප්‍රතිපත්‍ති නොමැති වීම..(කම්බ හොරු මොනරටෙත් ඉන්නවා.ධනවාදය බිහිවෙන්නට පෙර අතීතයේ රජකාලෙත් හිටියා.බොරුනම් ජාතක කතාපොත කියවන්න.)
මිනිස් ප්‍රජාව මෙතරම් දියුණු වුනේ ධනවාදය නිසා බව ඇත්ත. ලංකාවේත් ධනවාදයට කළ හැකි විශාල කාර්යභාරයක් තියෙනවා. එය කිරීම ධනවාදීන්ගේ වැඩක්. ඒත්, ලංකාවේ ධනපති පංතියටත් හරි හමන් නායකත්වයක් නැහැ.
ReplyDeleteඅපි ධනපති දේශපාලනය කරන අය නොවෙයි. අපි කතා කරන්නේ අපේ පංතිය වෙනුවෙන්. පීඩිතයන් වෙනුවෙන්. ධනවාදයෙන් බැට කන මිනිසුන් වෙනුවෙන්. බල්ලගෙ වැඩේ කරන්න ගිය බූරුවන් වෙන්න අපට උවමනාවක් නැහැ.
මගේ මෝඩ කමට මෙහෙම කිව්වට සමාවෙන්න.
ReplyDelete1.ධනවාදයේ ශ්‍රම සූරා කෑම ගැන කථාකළාට,ධනපතියා කම්මල් හිමියා ඒ නිශ්පාදනය පටන් ගන්න වෙහෙස ගැන කවුරුත් හිතන්නේ නැත්තේ ඇයි.කාළ් මාර්ක්ස් එදා කියපු විදියටද අද නිශ්පාදන පටන්ගන්නේ.
2.ධනවාදයට වයිරකරන අයගෙන් මා අහන්නේ කම්මල් හිමියා ඒ නිශ්පාදනය පටන්ගත්තේ නැතිනම් සමාජවාදය ලැබෙන තෙක් උලා කන්නද?
3.කතුතුමා කියන ලන්කාවේ ගසාකෑමේ අර්ථක්‍රමයනම් ධනවාදයේ වැරැද්ද නොවේ.අපේ හැටි ඒ නම් මොකද දියුණු ධනපති රටවල මේ වගේ ගසාකෑම්වලට ඉඩ නැහැ.උදා;
1.Rajarathnam-
2.UBS banker Bradley Birkenfeld jailed for 40 months
3.Madoff sons, brother may face charges
නමුත් ටැබූ සැඟවී සිටිමින් අනුන්ගේ රෙදි ගැලවීම ගැන සමහර විටෙක පිළිකුල් සහගතයි.මිනිසුන්ගේ විවිධ බස් පිළිබඳ චතුරකම හෝ නොදැනුවත් කමට සීමාව ඉක්මවා අපහාස කරන්නෙකි ඔහු.උදා.ලෙන් ගෙ ඉන්ගිරිසි දැනුම ව්.3 ලන්කාගේ දැනුම.ටැබූ ඔබ හසල බුද්ධිමතෙක් ඒ වුනාට හැමෝටම එහෙමවෙන්න බැරිබව තේරුම්ගන්න බුද්ධියක් ඔබට නැතිවීම ගැන් කණගාටුවෙමි.(ඔහුට වුවමනා විට කරුනු සඟවා කථා කිරීම ගැන මගෙ විවෙචනයකට ඔහු තවම උත්තර නොදී සිටියි.)ඔහු අනුමත කරන ධනවාදයේවත් මෙලෙස අපහාසයයට ඉඩ නැත.
කතුතුමනි
ඔබේ ලිපිය ගැන මගේ අදහස මල් නොතලා ඵල ගන්නවාද මල තලා රා පැණි සහ ඵල යන තුනම ගන්නවාද කියා ඔබ දෙගිඩියාවෙන් සිටින බවයි.(වැර්දි නම් කමන්න)
ලංකාව වැනි පරිධියේ රටවල තිබෙන ධනවාදයත් අමෙරිකාව ජපානය වැනි රටවල තියෙන ධනවාදයත් එකක්ද?දෙකක්ද?
ReplyDelete"ධනවාදීන්" අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම කොරවෙලා වැල්වටාරම් කියනවා.
ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි.ඒ ගැන විවාදයක් නැහැ.ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් වර්ෂන් එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්තිකයක් වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි.
( ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද)
අමෙරිකාවේ නිෂ්පාදනය මූලික කරගත්ත දියුනු ධනවාදයකුත් අපේ රටවල නොදියුනු ධනවාදයකුත් තියෙන්නේ ඇයි?කමෙන්ට්ස් දාන "ධනවාදීන්" ඇනගන්න අනිත් තැන ඔතන.ඒ අය "අධිරාජ්‍යවාදය" කියන ක්‍රියාවලිය ගැන දන්නෙ නැහැ නැත්තං අහල නැහැ.අද තියෙන්නෙ ඇඩම් ස්මිත් කතාකරපු පූර්න තරග ධනවාදය නෙමෙයි.අද තියෙන්නෙ අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වුන ධනවාදයක්.මේක ලෝක සිස්ටම් එකක්.කේන්ද්‍රයේ රටවල් පරිධියේ රටවල් වල අමුද්‍රව්‍ය භාවිතාකරගෙන සමෘද්ධිමත් ජීවිත ගතකරනවා.පරිධියේ රටවල ජොබ් එක තමයි කේන්ද්‍රයට අමුද්‍රව්‍ය සපයමින් වානිජ ගනුදෙනු දෙක තුනක් කරගෙන ඉන්න එක.මේ තමයි අධිරාජ්‍යවාදී පද්ධතියක ස්වභාවය.අමෙරිකාවේ ධනවාදය "දියුනු" වෙන්නෙත් අපෙ ධනවාදය "කබල්" වෙන්නෙත් මේ අධිපතිවාදී සම්බන්ධතාවය නිසා.
@ මෙමෝ
මිනිස් වර්ගයා දියුනු වුනේ ධනවාදය නිසාද?
ධනවාදය එක්තරා යුගයක මානව ප්‍රජාවේ ඉදිරිගනට විශාල තල්ලුවක් දුන්නා.වැඩවසම් සබදතා බිදල අලුත් ඉසවුවක් මානව සංහතියට විවර කලා.
ඒත් ඒ ඓතිහාසික කාර්ය භාරයේ සීමාවන් තියෙනවා.
ධනවාදය තමන්ගේ තරුන යුගයේ ඇතිකරපු දියුනුවක් වගේම එහි වයෝවෘද්ධ අවධිය වන මේ යුගයේ ඇතිකරපු මහා විනාශයන් ගැනත් කතාකලොත් තමයි කතන්දරය සම්පූර්න වෙන්නෙ.
උදාහරනයක් විදිහට ලෝක ධනවාදය ඇතුලේ ලෝකයේ සම්පත් බෙදිල ගිහින් තියන විදිහ කතා කරමු.ලෝක ධනවාදය තුල අප්‍රිකානු රටවල සම්පත් සූරගෙන කමින් අප්‍රිකානු ජනතාව දිලින්දන් බවටත් අමෙරිකානු සමාගම් ඉසුරුමතුන් බවට පත්වුන ආකාරයත් ගැන කතාකරමු.මහා සමාගම් අතර සම්පත් බෙදාගන්න යුද්ධ,ආන්ඩු පෙරලීම්,කුමන්ත්‍රන අටවපු හැටි ගැන චිලිවල ඉන්දුනිසියාවල යුගොස්ලොවියාවල උදාහරන එක්ක කතාකරමු.පරිධියේ රටවල ශ්‍රමිකයන්ගේ ශ්‍රමය මහා සමාගම් විසින් තුට්ටු දෙකට සූරාකමින් සමෘද්ධිය ස්වකීය රටවල ගොඩගසාගන්නා හැටි ගැන කතාකරමු.ලෝක ධනවාදය ගැන ධනවාදයේම ඇඩ්වොකේට්ස්ලා වුන ජෝන් පර්කින්ස්ලා අද කරන "පාපොච්චාරන" ගැන කතාකරමු.ධනවාදය විසින් ලොක්යේ සම්පත් වලින් සියයට පනහකට ආසන්න ප්‍රතිශථය ලෝක ජනගහනයෙන් සියයට විස්සක් අත රදවමින් දිලිදුම සියයට දහයට සියයට එකක් පමනක් ඉතිරි කරල තියෙන හැටි ගැන කතාකරමු.මේ "ජයග්‍රහන" ගැනත් සදහන් කලොත් ධනවාදය ගැන ඔබේ විස්තරය සම්පූර්න වේවි.
"අපේ රටේ නොහැකියාවට හේතුවක්" ලෙස විවෘත ආර්ථිකය දකින ඔබ විවෘත ආර්ථිකය යනු ධනවාදයේ අනිවාර්ය තාර්කික ස්වරූපයකි කියන එක ගැන වත් දන්නෙ නැති වීම ගැන මොනව කරන්නද?විවෘත ආර්ථිකය ධනවාදය නෙමෙයි නම් සමාජවාදයද?විවෘත ආර්ථිකය තමයි ධනවාදයේ ( නිදහස් ප්‍රාග්ධන සංසරනය ධනවාදයේ මූලික තර්කයයි ) උපරිම ප්‍රකාශනය.ඒ ගැනවත් නොදැන තමන්ගේ "දැනුම " පෙන්නන්න යාම ගැන අනුකම්පා කරනව හැර කරන්න දෙයක් නැහැ.තව ගොඩක් දේවල් ලියන්න පුලුවන්.වෙලාවක් ලැබුනොත් ලියන්නම්.එක දෙයක් විතරක් කෙටියෙන් කියන්නම්.
ධනවාදය කියන්නෙ සූත්‍රයක් අයිඩියොලොජිකල් සුරුවමක් නෙමෙයි.ඒක මහ පොලොවෙ පන ගැහෙන යථාර්තමය ක්‍රියාදාමයක්.ඔලුවෙ ධනවාදය ගැන සුරංගනා කතා මැවිල තිබුනට අපිට කරන්න දෙයක් නැහැ.මහ පොලොවේ දේශපාලනය මිස මධ්‍යම පංතික සිහිනකාරයන්ගේ සෝබන ෆැන්ටසීන් වල ප්‍රායෝගික අගයකුත් නැහැ.
ධනවාදය යනු නිදහස් වෙලදපොල,ලාභ හුවමාරැව,විවෘතතරගය පෞද්ගලික අයිතිය ආදිසියල්ල මත පදනම් වු රටක් තුල සහ රටවල් අතර සිස්ටම් එක..
ReplyDeleteවිවෘත ආර්තිකය යනු ධනවාදයේ උපරිම ප්‍රකාශනය බව දනිමි..මම අදහස් කලේ ලෝකය පුරා සීමාවන් සහිතව පැවති ආයත නිර්යාත වෙලදාම පමණට වඩා නිදහස් කිරීමේ අපගේ මෝඩතීරණය ගැන.ලංකාව තුල නුතන ධනවාදය ගොඩනගාගන්නෙ නැතිව ලෝකයට විවෘත කිරීම ගැන.
ලෝකයේ කිසිම මිනිහෙක් තමන් ගොඩනගාගත් දෙය වෙරළුගෙඩිය හත්අතකට බෙදාගෙන කනවා වගේ කන්නෙ නැත.බොහෝ බත්බැලයන් මෙන් රාමචන්ද්‍ර මහත්තයාද නිකන් ඉද අනේ මටත් කොටසක් අයතියි කියා කෑගැසුවාට වැඩක් නැත..සමහරු හිතන්නෙ දියුණුරටවල මිනිසුන් වැඩකරන්නෙ නැත කියයා.හෑබෑම කතන්දරේ ඔවුන් අපට වැඩිය දසගුණයකින් විතර වැඩකරයි.ඔවුගේ කාර්යක්සමතාව උපරිමය.
බොහෝ දෙනා ධනවාදය හමුවේ ශ්‍රමසුරාකෑම ගැන කතාකලත්,අපගේ රටවල් කරනවා මෙන් ශ්‍රමය විකුණා දියුණුරටවල දැනුම සම්පත් තාක්ෂණය කොල්ල කෑම කතාකරන්නෙ නැත.රමාචන්දු මහත්තයා පාවිච්චි කරන පරිගණකය,අන්තර්ජාලය,චන්ද්‍රිකා,කලිසම ආදී සියල්ල ධනවාදයෙන් නිකන් ලැබුනු ප්‍රතිපලයන්ය.ඒවා සියල්ල ධනවාදී රටවල් සහ බහුජාතික සමාගම්වල නිපැයුම්..මහත්තයා ධනවාදයට අනුගත නොවුන නම් අද ඉන්න ඕන රුවුල කොන්ඩය වවගෙන සරමක් බැනියම ගහගෙන පුස්කොල පොතක් බල බල..
"නුතන ධනවාදයේ අළුත්ම ප්‍රකාශන් වන ගෝලීයකරනය,බහුජාතික සමාගම් හරහා සිදුවන ධනවාදයේ සමහර බහුජාතික සමාගම් පිලිබදව ගැටළු තියනවා.නමුත් ඒවා ලෝකේ පෙරලන් දුවන්න තරම් දේවල් නෙවෙයි."
ධනවාදය හෝ සමාජවාදය යන සංකල්ප පමණක් නොවේ වෙන් මොන කෙන් ගෙඩියක් තිබුණත් වැඩක් නැත.අපි ආකල්පමය වශයෙන් වෙනස් නොවෙනවා නම්.උදාහරනයක් වශයෙන් අනුන්ගේ මත ගරුනොකරන එමෙන්ම ඒව හෙලා දකින සමාජයක මේවා සාකච්චාකිරීම වැඩක් නැත.
ReplyDeleteප.ලි ලාංකීය බ්ලොග් අවකාශය ගත් කල මා දැක ඇත්තේ මෙහි විරුද්ධ පැත්තය.එනම් ලිබරල්වාදින් ඇතුලු විවිධ අදහස් දරන්නන් තමාගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරිමීටත් විවේචනය කීරිමටත් එසේ නැත්නම් බුද්ධිමත් කතිකාවතක් ගොඩ නැගීමට අන්තර්ජාලය පලදායි ලෙස යොඩා ගන්න බවය
/රමාචන්දු මහත්තයා පාවිච්චි කරන පරිගණකය,අන්තර්ජාලය,චන්ද්‍රිකා,කලිසම ආදී සියල්ල ධනවාදයෙන් නිකන් ලැබුනු ප්‍රතිපලයන්ය./
ReplyDeleteඔබ දවල්ට උයන්න භාවිතා කරන "ගින්දර" ගල් යුගයේ නිමැවුමකි.දැන් ගල් යුගයට වන්දනා මාන කරන්න පටන් ගන්න!
ධනවාදය මිනිස් වගට ජයග්‍රහන ගෙනා බව ඇත්තක් බව මම කියල තියෙනවා.ධනවාදය වෙනුවට ඊට පෙර තිබුන වැඩවසම් ක්‍රමය හොදයි කියල අපි මොහොතකටවත් කියන්නෙ නැහැ.නමුත් ධනවාදය විසින් කරපු ඓතිහාසික කාර්යභාරයේ සීමාව දැන් සලකුනු වෙලා ඉවරයි.
දැන් ධනවාදයේ "ප්‍රගතිගාමී" වෙනස්කම් වලට වඩා ලෝකයේ සිද්ද වෙන්නෙ සූරාකෑම,මර්ධනය,යුද්ධ ඇවිලවීම හා මිනිසුන් දරිද්‍රතාවයට පත්කිරීම.ඔයාල අමෙරිකාව වගේ රටවල සමෘද්ධිය ගැන කතාකරද්දි ඒ "සමෘද්ධිය" පිලිබද කාසියේ අනිත් පැත්ත වෙන අප්‍රිකාවේ ආසියාවේ ලතින් අමෙරිකාවේ දරිද්‍රතාවය ගැනත් කතාකල යුතුයි.ධනවාදී කාසියේ එක පැත්තක් අධිපතිවාදී රටවල සමෘද්ධිය නම් අනිත් පැත්ත පරිධියේ රටවල දරිද්‍රතාවයයි.ධනවාදී කාසියේ දිලිසෙන මතුපිට ගැන විතරක් කතා කරමින් එහි අභ්‍යන්තර යථාර්තය මග හැරීම ( නොදියුනු රටවල විදවීමට හේතුව ලෝක ධනවාදය නෙමෙයි,උගත්කම නැතිවීම අරක මේක කියල විත්තිවාචක ගෙන ඒම ) හුදෙක් වැල්ලේ බෙල්ල හංග ගැනීමක් විතරයි.
කාලයක් ලෝකයට ජයග්‍රහන ගෙනාපු ධනවාදය දැන් ලෝකයේ බහුතරයක් දෙනාගේ යහපතට බාධා කරන ඇනයක් වෙලා තියෙනවා.ඒ ඇනය අයින් කරපු විකල්ප හා වඩා මානුෂික ආකෘතියකට මාරු වෙන්න ලෝකයට අද බල කෙරිල තියෙනව.ධනවාදී පරිභෝජන භාන්ඩ වලට වදිමින් එහි අශෝබන පැති නොදැක්කා වගේ සිටීම ගින්දර හම්බුන නිසා ගල්යුගය මාරයි කියනව වගේ අපරිනත ප්‍රවේශයක්
Really appreciate the discussion specially considering the worthless s*** dished out at us by the main stream (mostly Sri Lankan) media. Let us please be careful not to go in to personal witch hunting but to rather focus on the issues at hand. So far doing good!
ReplyDelete