ලෝක බැංකුවට පෙනෙන ලංකාවේ සිදු වන සංක්‍රාන්තිය කුමක්ද? | What transition is World Bank anticipating in Sri Lanka?

(2010 මැයි 15 - W3Lankaඇමෙරිකානු ඩොලර් මිලියන 108 ක ආධාර ද රැගෙන ලෝක බැංකුව නැවත ලංකාවට අලුත් වටයකින් හොට දමා තිබේ. ඒ නිහඬව නොව දශක තුනක කාලයක් පැවැති යුද්ධය සම්පූර්ණයෙන් ම අවසන් කළ ශ්‍රී ලංකාව අද වන විට සංක්‍රාන්ති සමයකට පිවිස ඇතැයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්‍ෂිකා නඹකෝ ඉෂී කරන ප්‍රකාශයකුත් සමගයි.


ඒ මොන සංක්‍රාන්තියක්දැයි සෙවිල්ලෙන් සිටීම ලාංකිකයන්ගේ ඇඟට ගුණ බව අපි දැනුම් දෙමු. 


ලෝක බැංකුවේ ණය නිකුත් කිරීමේ අංශය වන අන්තර්ජාතික සංවර්ධන සංගමය මගින් මේ ණය ආධාරය ලබා දී ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය, උසස් අධ්‍යාපනය හා සංචාරක අංශයේ සංවර්ධනය වෙනුවෙන් බව දිනමිණ පවසයි. මේ ආධාර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක ප්‍රමාණයක් උතුරු හා නැඟෙනහිර පළාත් හි ප්‍රාදේශීය සේවා කටයුතු සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනේ. ඊට අමතරව සංචාරක අංශයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන්කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 18 කි.


ලංකාව ලෝක බැංකුවත් සමග සමීප ම සම්බන්ධයක් පැවැත්වූ යුගයක් වන්නේ 2001 - 2004 රනිල් වික්‍රමසිංහ පාලන සමයයි. ලංකාවේ දිළිඳුභාවය නැති කිරීමට ය කියා ඒ සමයේ ලෝක බැංකුව විසින් ලංකාව ලවා වැඩසටහනක් සකස් කරවා ගන්නා ලද අතර එය 2002 දෙසැම්බරයේදී “Regaining Sri Lanka: Vision and Strategy for Accelerated Development” නමින් නිල වශයෙන් නිකුත් විය. මෙම ලේඛනය නිකුත් වූයේ එජාප ආණ්ඩුවක් තිබියදී නමුදු එය සැකසීම ඇරඹී තිබුණේ පොදු පෙරමුණු ආණ්ඩුව සමයේදී ය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ආණ්ඩුවේ ප්‍රබලයකු විය.


2004දී වාමාංශික ජවිපෙ සමග සන්ධානගත වූ පොදු පෙරමුණ අප්‍රේල් මාසයේදී ආණ්ඩුවක් පිහිටවූ අතර එහි අගමැති වූ මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපති පදවියට පත් වූයේ ය. ජවිපෙ බලපෑමෙන් බිහි වූ ආණ්ඩුවේ පදනම වූයේ ලෝක බැංකුව සමග එක් වී ගෙන ආ මෙම 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන වෙනුවට දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීමයි.


ඒ වෙනුවෙන්, ලෝක බැංකු සැලසුම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන ලද අතර එය ඒ දවස්වල හැඳින්වුණේ ප්ලග් ගැලවීම ලෙසයි. තම වැඩසටහනට අනුගත නොවීම හේතුවෙන් ලෝක බැංකුව ද ලංකාව සමග කරන ව්‍යාපෘති අඩු කරන ලදී.


ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමෙන් අනතුරුව ඔහුගේ විජයග්‍රහණයට දකුණේදී උර දුන් ජවිපෙ ඔහුගෙන් වෙන් විය. උතුරේදී මැතිවරණ වර්ජනයක් හරහා මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට උදව් කළ කොටි සංවිධානය ඉන් පසු යුද්ධය සඳහා ඔහු පොළඹවා ගැනීමට කටයුතු කළේ ය. අවසානයේදී මහින්ද රාජපක්ෂ කොටි සංවිධානය මුලිනුපුටා දැමුවේ කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරිනි.


දැන් මහින්ද රාජපක්ෂ රජය ද රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම ලෙස දකින්නේ වේගවත් ආර්ථික වර්ධනයකි. වේගවත් ආර්ථික වර්ධනයකදී එම වෘද්ධිය පහළට කාන්දු වී දිළිඳුභාවය නැති වී යනු ඇති ය යන ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ ජේම්ස් වුල්ෆන්සන් විසින් ම පසුව අසාර්ථක මූලෝපායකැයි පිළි ගන්නා ලද සංකල්පය දැන් ලංකාවේ පාලකයන්ට ද දියුණුවේ මන්තරය වී තිබේ.


ලෝක බැංකුව යළි ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කරමින් සිටින්නේ මේ අතරතුරදී ය.


අලුත් අධ්‍යාපන ඇමති වූ එස්.බී. දිසානායක ලෝක බැංකුවේ පදය හොඳට දන්නා ලංකාවේ මීළඟ අගමැති වීමට සිහින දකින්නෙකි. ලංකාවේ විශ්ව විද්‍යාල වහා පෞද්ගලීකරණය කළ යුතු යයි ඔහුගේ ටිකිරි මොළයට හිතෙන්නේ ‍ලෝක බැකුවේ තාලයට අනුවයි.


හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා