ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය

(2011 අගෝස්තු 13, W3Lankaමේ රටේ පාලකයන්ට පමණක් නො ව වැසියන්ට ද පිස්සු ය.


උන්ගේ අලුත් ම පිස්සුව ග්‍රීස් යක්කුන් ඇල්ලීමේ පිස්සුවයි. මේ ග්‍රීස් යක්කු වනාහි බොහෝ විට පුවත් නැතිව වේලෙන ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ නිර්මාන වේ. එහෙම නැතිනම්, සායනික ප්‍රතිකාර අවශ්‍ය අසරණ මානසික රෝගීහු ය. ළිං ළඟ නානායක්කාර පාරක් දාන මිනිස්සු හැමදාමත් මේ සමාජයේ සිටිය හ. එහෙමත් නැතිනම්, සාමාන්‍ය හොරු ය. ඔය වරායවල්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ග පිටින් සොරකම් කර රජුන් වගේ ඉන්න වෘත්තීය හොරු නො ව, දාඩිය මාන්සියෙන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නා සාමාන්‍ය හොරු ය.


ලංකාවේ මිනිස්සු දවස පුරා ආගමික වතාවත් කරති. එයින් දුරු නො වන අසහනය දුරු කර ගැනීමට කිසිවකු අතට හසු වුවහොත් සමූහයක් එක් වී පහර දී මරා දමති.


හපුතලේ ග්‍රීස් යකකු පමණක් නො ව, ග්‍රීස් යකාට පහර දෙනු වීඩියෝ කළ අයෙකු ද මිනිසුන් විසින් පහර දී මරා දමන ලද බවක් වාර්තා විය. ස්වර්ණවාහිනියේ, සිරසේ කට්ටිය දැන් පණ යනකල් මේ වීඩියෝව හොයනවා ඇත. විකුණාගෙන කන්නට ය.


නීතිය බල්ලාට ගොසිනි. ග්‍රීස් යකුන් යයි කියන මිනිසුන් පොලිසිය විසින් නො මරන ලද නිසා, මරන්නට තමන්ට දෙන්නැයි ඉල්ලා මිනිස්සු පොලිසිය ඉදිරිපිට පෙළපාලි යති. එයින් නො නැවතී  කඩ වසා හර්තාල් ද කරති. 


අනියම් පෙමක පටලුණ මවක හා පියෙකු මරා එක ම කඹයේ දෙකෙළවර එල්ලූ පුවතක් යාපනයෙන් ඇසේ. සිංහලයන්ට හා කොටි සංවිධානයට පිං සිදු වන්නට ලංකාවේ දෙමළ ජනතාව දැන් දන්නේ එක්කෝ මරන්නට ය. නැතිනම් මැරෙන්නට ය.


මන්තරකාරයකු ලෙස ප්‍රසිද්ධ රුවන්වැල්ලේ ඒ. සෝභිත නම් භික්ෂුවකට සිවුරු අරින්නට බල කෙරී ඇත.


එහෙත්, ලංකාවේ මිනිස්සු එවැනි මන්තරකාරයන් සොයා වැල නො කැඩී යති. ඒ. සෝභිතගේ වංචා ගැන ලිපි පළ වන ලංකාදීප පුවත්පතේ එවැනි වංචාකාරයන් විශාල පිරිසකගේ දැන්වීම් පළ වේ. 


මේ දවස්වල තිස් තුන් නෝටියක් දෙවිවරුන් අතරින් එකෙකුවත් භාරයක් ඔප්පු කරන්නට අල්ලා ගන්නට බැරි ය. මන්ද, පහේ ශිෂ්‍යත්වයට, උසස් පෙළට ලියන ළමයින්ගේ අම්මලා උන් බදු ගෙන ඇත. විභාග අවසන් වන්නට පෙර ලංකාවේ බෝ ගස් වතුර වැඩි වෙලා මැරෙනු ඇත.


විශ්ව විද්‍යාලවල විද්‍යා පීඨ මහාචාර්යවරුන්ට එලොව පොල් පෙනෙයි.  බුද්ධ පුත්‍රයෝ යයි කියමින් තමන් විකුණන එවුන් අනුන් හැඳි ගෑවෙන්නැයි ගම්මිරිස් අඹරති. 


කල්ප විනාශයට පෙර මුරුගසං වරුසාව නම් වැස්සක් වසින බව කියැවේ. මේ වැස්සට තෙමුණ මිනිසුන්ට මෘග සංඥාව පහළ වේ. එවිට ඔවුහු මෘගයන් මෙන් හැසිරෙති.


ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේකත් ලෝකයක් ද මරතේලිස්?

    ReplyDelete
  2. මේ ගීස් යකුන් ලෙස එන්නේ හමුදාවේ විශේෂ පුහුනුවක කොටසක් හදාරන සෙබලුන් කොටසක් යයි සමහරු කියති..ඒ නිසාම හමුදා හා ඒ සමාන්තර වන නිලදාරින් මේ ප්‍රහාරවලට වැඩිපුර ලක්වෙති..

    ReplyDelete
  3. හිතනවට වැඩිය වැඩේ නැගල යන බවකුයි පෙනෙන්නට ඇත්තේ???

    ReplyDelete
  4. /'සිංහලයන්ට හා කොටි සංවිධානයට පිං සිදු වන්නට ලංකාවේ දෙමළ ජනතාව දැන් දන්නේ එක්කෝ මරන්නට ය.'/
    ඔබතුමා අදහස් කරන්නේ සිංහලයන් හා කොටි සංවිධානය සමාන මිනී මරුවන් බවද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි .

    ReplyDelete
  5. Anonymous @ AUGUST 13, 2011 7:22 PM

    ඇය් එහෙම නෙමේ කියලද ඔබ තුමා හිතන්නෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා