නන්දාගේ කවිය - සමිත බී. අටුවබැන්දවැව

සමිත බී අටුවබැන්දෑල යනු කවියෙකු ලෙස සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමට මහ වෙහෙසක් දරන්නෙක් නො වේ. 


ඔහු මට කිසි දිනෙක හමු වී හෝ මම ඔහු ගැන කිසිවක් දන්නේ හෝ නැත.  එහෙත්, කලක සිට මම ඔහුගේ කවි කියවමි. ඒ කවි මගේ සිත් ගනිති. ඒ බොහෝ විට ඒවායේ ඇති අව්‍යාජ සුන්දරත්වය නිසා වන්නට ඇත. 


අද ලියවෙන බොහෝ කවි හා කවියෝ මහා වධකාරයෝ ය. ඔවුහු කවියක්, දෙකක් ලියා සමාජයෙන් විශාල මිළක් ඉල්ලති. ඒ කවි කියවීම පෙර කළ කරුමයක් පළ දීමක් වැනි ය. 


සමිත බී. අටුවබැන්දෑලගේ නම මට හැමදාමත් පැටලේ. නම පැටලී මෑතදී මම එක් තරුණ කවියකුගේ කවි පොතක් මිළ දී ගතිමි. එපමණක් නො ව, ඔහු සමිත බී අටුවබැන්දෑල යයි වරදවා වටහාගෙන මම ඔහුගේ කවිවලට කැමති බව ද කීවෙමි. ගෙදර ගොස් කවි පොත කියවා බැලූ කල මට වහ කන්නට සිතිණි. 


ඔහුගේ කවි මට ලැබෙන්නේ කවි සිතුවිලි නම් ෆේස්බුක් කණ්ඩායමක විද්‍යුත් ලිපි සේ ය. එම කණ්ඩායමෙන් එන සෙසු කවි පි ද අර මා කලින් කී වර්ගයේ ම ඒවා ය. 


සංසාර මාවත සමිත බී. අටුවබැන්දෑලගේ කවි ඇතුළත් බ්ලොග් අඩවියයි.


නන්දාගේ කවිය  - සමිත බී. අටුවබැන්දවැව


සොහොන් පිටියක් බඳූ
මහගෙදර !
ගල් ගුහාවක් බඳු 
මහගෙදර !


මහගෙදර
මහා පාළුව තුළ
මතක වවුලන් ලගින
හොල්මන් මෙන් තටු ගහන.
මහගෙදර
මූසල පාට ගෑ
පරණ බිත්ති අස
පාළු ගඳ
වවුල් බෙටි මෙන් දුගඳ.


වැට අතගගා
සාලෙට ඇවිත් නන්දා
ඔබා සුවිචය
පත්තුකළා වෝල්ට් හතලිහේ වල්ගා තරුව !


ජීවිත සාරිය මහන්නට
හෙමින් වාඩිවිය ඇය.
දුබල ඇටකටු
හොලව හොලවා
කෑගසා බෑ කීය
යළිත් මහන්නට මැසිම
නහරයක් කැඩී පණ අදින.


සම්ප්‍රදාය නූල්බෝල පෙට්ටියේ
පැටලිලා නූල්
සංසාරය වගේ.


නන්දාගේ බඩේ
හා පැටියා තියා
සඳ ගිහින් නොදන්නා සිංහලේ
වෙළදාමට.
මාස හතක් අමාවක
මහගෙදර අහසේ.


දවල් තරු පේන්නට 
හිල් හැදුන
මහගෙදර මහ වහලේ ලැගගෙන
කණකොක්කු කෑ ගසති.
ජිනදාස යළි නේන බව කියති.
ගොක්කොළ මාල ගොතති.


මේ කිසිවකට
මරන්ට බැරි විය
නන්දාගේ හදවත.
නව ලෝකය මෙන් අවදිව
අත් ඉදිකටුවට අමුණා වීරිය
ඈ මහයි
ජීවිතේ ඉරුණු තැන්.
මලකඩ කතුර වීසි කොට ඈතට
ඈ අලුත් මල් මහයි 
කොට්ට උරයේ
පුතාට !


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ගම් පෙරලියක්.... තුලින් මතු වුන නම් පෙරලියක්.....

    ReplyDelete
  2. Sekara`s accent...

    ReplyDelete
  3. "......ඒ කවි මගේ සිත් ගනිති. "
    Grammar is incorrect in this sentence.
    - A friendly comment

    ReplyDelete
  4. වර්තමානයේ නිද්‍රාවට පත්වන කව්‍යය රසිකයා යථාර්ථයට අවදි කිරීමට ගන්නා උත්සාහය අගේ කරමු.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා