ණය පොළිය හා තැන්පතු පොළිය අතර පරතරය හා සේවා ආර්ථිකයේ මධ්‍යම පංතිය

(2010 ජුලි 18, W3Lankaමහා භාණ්‌ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර කවුරු වුණත්, ඉඳහිට හොඳ කතා කියයි. බැංකුවල ණය පොලී අනුපාත සහ තැන්පතු පොලී අනුපාත අතර පවතින විශාල පරතරය ඉතාම අකාර්යක්‍ෂම තත්ත්වයක්‌ බව ද, බැංකු විසින් පොලී අනුපාත යම් මට්‌ටමකින් අඩු කර තිබුණත්, ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක්‌ පවත්වාගෙන යැමෙන් බැංකුවල ලාභය ඉහළ ගොස්‌ තිබීම භයානක තත්ත්වයක්‌ බව ද මහාභාණ්‌ඩාගාර ලේකම්වරයා කියා සිටියේය.


මේ පොලී අනුපාත අතර පවතින පරතරය අඩුකර ගැනීමේ යුගයකට අප පිවිස ඇති බව කොළඹ ඇක්‌සස්‌ ටවර්හිදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විවෘත කිරීමෙන් පසු ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ආචාර්ය ජයසුන්දර සිකුරාදා කීවේය.


ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක්‌ පවත්වාගෙන යාමට සිදු වි තිබෙන්නේ බැංකුවල අධික මෙහෙයුම් වියදම් ආවරණය කරගෙන ලාභ ලැබීම සඳහා ය. මෙහෙයුම් වියදම් අධික ම බැංකු වන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු ය. 


කලකට ඉහතදී මේවාට අරක් ගෙන සිටියේ දේශපාලන පත්වීම් ලද අයිස්කාරයෝ ය. දැනුත්, මේ බැංකුවලට රිංගා ගන්නේ දේශපාලන අනුග්‍රහය ලත් පිරිස් වනමුත්, කලින් මේ බැංකු තිබුණු තත්වයත් සමග සංසන්දනය කරන විට දැන් කාර්යක්ෂමතාවේ සෑහෙන සංවර්ධනයක් සිදු වී ඇති බව කිව යුතු ය. 


මෙකී රාජ්‍ය බැංකුවල අකාර්යක්ෂමතාව වසා ගන්නට ණය පොළිය හා තැන්පතු පොළිය අතර ඉහළ පරතරයක්‌ පවත්වාගෙන යාම පෞද්ගලික බැංකුවලට අධික ලාභදායී තත්වයක් විය. ඉහළ කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යන මෙම බැංකුවල ලාභය අධික බැවින් ඒවා‍යේ සේවය කරන නිලධාරීන්ට විශාල වැටුප් හා වෙනත් වරප්‍රසාද ලබා දීමට ද හැකියාවක් මෙම බැංකුවලට තිබේ. 


වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ආදී සම්ප්‍රදායික උන්නතිකාමී සිහින බිද වැටුණු මධ්‍යම පංතික ස්ථරයකට පහසුවෙන් මෝස්තරකාර, පාරිභෝජනවාදී, සංස්කෘතික වශයෙන් දිළිඳු, පුහු ජීවිත නඩත්තු කරගෙන යාමට පෞද්ගලික බැංකුවල ලිපිකරු රැකියා ඉවහල් විය. 


සේවා ආර්ථිකයේ ඉහළ වැටුප් ලබන බැංකු, අලෙවි හා ඇතැම් රාජ්‍ය අංශවල ශ්‍රමිකයන් ආදීන්ගෙන් සමන්විත සුවිශේෂ මධ්‍යම පංතික සමාජ ස්ථරයක්  බිහි කිරීමට ද මෙම තත්වය ඉවහල් විය. සන්නිවේදන වැනි ඇතැම් ක්ෂේත්‍රවල සිටි මෙවැනි පිරිස්වලට වෙළදපොල තරගකාරිත්වය හමුවේ සිය රැකියාව බේරා ගැනීමට පවා දැන් අමාරු වී ඇත. දුරකථන සමාගම් විසින්ලබා දෙන සේවාවලදී රජය ලවා අවම මිළක් නියම කරවා ගැනීම මේ පංතියේ වැඩකි. 


දිළිඳු ජනයාගෙන් අසාධාරණ අන්දමින් සූරා කනු ලබන මුදලින් තර වන මෙම අතරමැදි පංතික සමාජ ස්ථරය අතර විය යුතු පරිද්දෙන් ම අන්ත ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි ප්‍රතිගාමී අදහස් ද මුල් බැස ගත් බව ලංකාවේ මැත කාලීන දේශපාලනය නිරීක්ෂණය කරන විට වටහා ගත හැකි ය. 


ලංකාවේ බැංකු විසින් ලබා දෙන ණය සඳහා අධික පොළියක් අය කිරීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ දියුණුවට දැඩි ලෙස බලපායි. බැංකු ණය ගෙවා ගත නො හැකිව පැහැර හරින්නන් වැඩි වී බොහෝ සුළු පරිමාණ ව්‍යවසායකයන්ට බැංකුවලින් ණය ලබා ගැනීමට බැරි තත්වයක් උදා වීම හේතුවෙන් ණය වෙළඳපොලේ ගිනි පොළීකරුවන්ට විශාල ඉල්ලුමක් ඇති වී තිබේ. 


සක්විතිලා, දඬුවම් මුදලාලිලා බිහි වී ක්ෂණික ලාභ සොයා ගිය පිරිසක් දැළින්දන් බවට පත් කළේ ද මෙම සංදර්භය තුළයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා