බස්සාගේ පොලු පාර හා කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කර ගැනීම

(2010 ජුලි 26, W3Lankaසටන පාවා දුන් බව කියමින් “බස්සා” යනුවෙන් හැඳින්වූ සිසුවකු මියගිය ප්‍රසන්න අනුර බණ්ඩාර නම් රුහුණු සරසවි සිසුවාගේ හිසට පොලු පහරක් එල්ල කර තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දැනටමත් පියවර ගෙන ඇති බවත් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත අද දිනමිණට කියා ඇත.


බස්සා කියුවාට මේ වනාහි නිශාචර පක්ෂියකු හෝ වෙනත් අද්භූත සතකු නොව මිය ගිය සරසවි සිසුවා වැනි ම වූ තවත් අයෙකි. පෙර වැරදි කිසිවක් නොමැති නීතිය ඉදිරියේ තවමත් නිර්දෝෂී පුද්ගලයෙකි. කවුරු හෝ මවකගේ දරුවෙකි.


මේ සිසුවා සැකයට භාජනය වන්නේ ඇයි? පසුගිය සෙනසුරාදා දිනමිණට අනුව, තම පුතාට සරසවියේ වෙනත් සිසුවෙකු විසින් පොල්ලකින් පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මියගිය ශිෂ්‍යයාගේ මව පොලිසියට කට උත්තරයක් ලබාදී තිබෙන බව පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කෙළේය.


එහෙත්, රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සහෝදර ශිෂ්‍යයාගේ මරණය පිළිබඳ පොලිසියට ඇඟිල්ල දිගු කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබූ බැවින් එදිනම දිනමිණ පුවත්පතට පොලිස්පති මහින්ද බාලසූරිය අවධාරණය කළේ එම මරණය පහර දීමක් නිසා සිදු වූවක් නොවන බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වන බවයි. මොළයේ රුධිර නාලයක අසාමාන්‍යතාවක් නිසා අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මේ මරණය සිදු වී තිබෙන බවට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එම්. රාහුල් හක් මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙන්වා දෙන බව ද 23දා පස්වරුවේ පොලිස් මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසී ය.


බුත්තල, හරිගලගම පදිංචි සුසන්ත අනුර බණ්ඩාර ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ ප්‍රචාරයන් ගෙන යමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ ගන්නා බවත් මෙය සැක සහිත මරණයක් නොවන බවත් පොලිස්පතිවරයා කීවේය.


ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හෝ කම්පනයක් නිසා හෝ ශරීරයේ මතුපිට, අභ්‍යන්තරයේ තුවාලයක් හෝ සිදු වූ මරණයක් නොවන බව පෙන්වා දුන් පොලිස්පත්වරයා, එන්සෙපලයිටීස් රෝගය නිසා මේ මරණය සිදු විය හැකි බව අනුමාන කළ හැකි බවට වෛද්‍ය වාර්තා පෙන්වා දෙන බවද කීය.


එසේ නම් දැන් මේ බස්සකු පසුපස එළවන්නේ ඇයි? තමන්ට බස්සකු කෙටූ බව මේ සිසුවා පොලිසියට කටඋත්තර දී නැත. එවැන්නක් ඔහු තම මවට හෝ කියූ බවක් වාර්තා වන්නේ නැත. බස්සකුගේ කතාව කියන්නේ දරුවාගේ මරණයෙන් ශෝකීව මානසික අවපීඩනයක සිටින මවක විසිනි. ඇය කියන්නේ ද ඇයට ද තවත් කවුදෝ කී දෙයකි. දැන් බස්සාගේ කතාව ගැන පොලිසිය කළ යුතුව තිබෙන්නේ කේලාම් හගිස්සීමකි.


මිය ගිය සරසවි සිසුවාගේ හිසට පොලිසියෙන් හෝ බස්සකුගෙන් පොලු පාරක් එල්ල වන්නේ පසුගිය 17, 18 දිනවල සරසවියේ පැවති ගැටුම්වලදී ය. අනතුරුව දින කිහිපයකට පසුව බුත්තල රෝහලටත්, දියතලාව රෝහලටත් ඉන් අනතුරුව බදුල්ල රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.


සිසුවාගේ මරණය හා පහර දීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න සෙවිය හැක්කේ නිසි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පමණි.


බස්සකු හෝ කිසියම් සිසුවකු හෝ අත්අඩංගුවට ගෙන සොයන්නට යන දෙයක් තිබේ නම්, එය සෙවීම සඳහා අදාල දිනයේ පහර දීම් සිදු කළ පොලිස් නිලධාරීන් ද අත්අඩංගුවට ගත යුතු ය. එහෙත්, එවැන්නක් සිදු වන බවක් දක්නට නො ලැබේ.


පොලිසිය කරන්නට සැරසෙන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවකි. ඒ වනාහි ජවිපෙ සරසවි ශිෂ්‍යයන් පෙරට දමාගෙන ඇති කරන්නට යන ආණ්ඩු විරෝධී සමාජ කැළඹීම මැඬලීම සඳහා ඌරාගේ මාළු උගේ ම ඇඟ පිට තබා කැපීමයි. 


ආවේගශීලී සමාජ කැළඹීම් ඇති කිරීම සඳහා ලේ අවශ්‍ය ය. ලේ හැලීම සඳහා සූදානම් බලවේග මේ රටේ ඕනෑතරම් ඇත.  දැන් කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කර ගැනීමේ දක්ෂ මේ දෙපිරිස අතර යුද්ධය මාධ්‍ය තලයට පැමිණ ඇත. ලංකාවේ මෝඩ ජනයා ගොනාට ඇන්දවීමේ ශූරයන් දෙපාර්ශ්වයක් අතර පැවැත්වෙන මේ ද්වන්ධව සටන නිරීක්ෂණය කිරීම මාරාන්තික ලෙස රසවත් කාරණයකි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා