මූන්ගේ කමිටුවට එරෙහි විරෝධයක් තිබුණා නම් එය මෙසේ දිය කිරීම ම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක කොටසක් විය හැකි ය

(2010 ජුලි 12, W3Lanka
'අපි ඔක්කොම තකතීරුවො
ඒ හින්දා තමයි අපට
කෙස් පැලෙනා මොළ කාරයෝ
අතළොස්සක් ඕනැ වෙන්නෙ'


ලංකාවේ තකතීරු අප විසින් පූර්ණ බලය සහිතව පත් කරගෙන තිබෙන්නේ අපට සුදුසු පාලනයකි. එහෙත්, එක් අත්වැරැද්දක් නිසා දැන් ඒ ආණ්ඩුව බරපතල අන්දමින් අපහසුවට පත් වී තිබේ.  එහෙයින් ආණ්ඩුව බේරා ගැනීම සඳහා වහා ක්‍රියා කළ යුතු බව අපි සිතමු. දුකේදී නැති තකතීරුවන් නියම මිතුරන් වන්නේ නැත.


එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට රඟ දක්‌වන ලද නාට්‍යයේ අධ්‍යක්‍ෂණයත්, රංගනයත් සිදුකළේ එකම පුද්ගලයකු බවත් අවසානයේ එම නාට්‍යයේ නිෂ්පාදකයා ලබාදුන් වතුර වීදුරුවෙන් පසු කිසිම විසඳුමකින් තොරව එම හාස්‍යජනක නාට්‍යය අවසන් වූ බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක කියා ඇත.


විමල් වීරවංශ ඇමැතිවරයා දින දෙකහමාරකින් සිය නාඩගම අවසන් කළ නමුත් ඒ නිසා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සිය ස්‌ථාවරය වෙනස්‌ නොකළ බව ජනතා විමුක්‌ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් කියයි.


මේ දෙන්නා සහ තවත් අවලං බල්ලන් කියන්නේ අයවැයෙන් ජනතාවට කළ අසාධාරණය යටපත් කිරීම සඳහා මෙය සංවිධානය කළ බවයි. 


ඇත්තෙන් ම මෙතන ඇත්තේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයකි. සුනන්ද දේශප්‍රිය විසින් ජුනි මාසය පිළිබඳ සකසා ඇති මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවේ ම සඳහන් වන ආකාරයට ඒ මාසයේ මාධ්‍යවේදීන් මරාදැමීම්, අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් හා පහර දීම් නැත. දිවයින, ලංකාදීප පමණක් නොව අමුණුගමගේ දූගේ දෙරණ පවා මේ මාරාන්තික වැඩේ කෝචොක් කළේ ඔය සංදර්භය තුළයි.


අමුණුගමගේ දූගේ දෙරණ විමල්ගේ වකුගඩු අක්‍රිය වෙමින් පැවති සිරුර පසුබිමේ ලොකු ලෙමන් පෆ් බිස්කට් පෙට්ටියක් හා වතුර බෝතලයක මූඩියක් පෙනෙන අන්දමේ ඡායාරූපයක් පළ කළේ ය. මේ වැඩේ අල කරන්නට ගේම දෙන අය ඇතුළේ ම සිටි බව අපට සිතේ.


මෙම උපවාසය ගැන ලිවිය යුතුව තිබුණේ අර අද දිනමිණ පත්තරේ කතුවැකිය වැනි ඒවා ය. මේ බලන්න, ලියන්න ඕනැ මෙහෙමනේ.


වීර තාත්තාගේ සංවේදී දියණිය


වීරත්වය ගලා එන්නේ සම් - ඇට – මස් - නහර දිගේ දුවන උණුසුම් රුධිරය ඔස්සේ ය. රුධිරය කිසිකලෙක වෙනස් කළ හැකි නො හේ. එය ජාන සම්භවය දිගේ පියාගෙන් – දරුවනට යනා දී ලෙසින් පරවේණිගත ව ගමන් කරන්නේ ය.


ජාතිය හා රට වෙනුවෙන් තම ජීවිතය පූජාකරන විශිෂ්ට මිනිසකු වෙත් ද? ඒ විරුවාගේ දරුවා ද ක්‍රියාවෙන්, හැඩයෙන් හා රිද්මයෙන් සමතැන්හි පවතිනු ඇත. හෙවත් වීරත්වයෙන් සමන්විත වනු ඇත. ඊට දෘෂ්ඨාන්තයක් හෙවත් කදිම නිදර්ශනයක් තබන්නට අද අපගේ පෑන පෙර හුරුවක (පෙරහුරුවක් යනු ඇත්තට කරන දෙයක් නොවේ - කර්තෘ) යෙ දේ.


පසුගිය සෙනසුරා දා ඉර අවරට යන විට මෙරට බොහෝ දෙනකු ගේ දෑස් එක් තැනෙකට යොමු ව තිබිණි. එම ස්ථානය නම්; එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට තාවකාලික ලෙස තැනූ වේදිකාව යි.


ඒ මත ඇමැති විමල් වීරවංශ මහතා අසාධ්‍යව වැතිර උන්නේ ය. තම ඇමැති පදවිය ශත පහකටවත් ගණන් නො ගත් ඔහු රටේ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට සූදානමින් සිටියේ ය. ඔහුගේ මාරාන්තික උපවාසයට දින තුනක් ආසන්න වී තිබිණි. විජලනය හේතුකොට විමල් වීරවංශ මහතාගේ වකුගඩු අක්‍රීය වන්නට පටන්ගෙන තිබිණි.


මේ මොහොතේ තවත් පුංචි උපවාසයක් විමල් වීරවංශ මහතාගේ නිවසෙහි පැවැත් වේ. කිසිවකුගේ අවධානය යොමු නො වූ එම උපවාසය ආරම්භ කරන ලද්දේ ඔහුගේ දියණිය විමාෂා විසින් ය.


සිය තාත්තා උපවාසය අත්හරින තුරු ම තමන් ද ආහාර නො ගෙන සිටීමට ඇය තීන්දු කරගෙන තිබිණි. අවසන් මොහොතේ දියණිය උපවාස භූමියට ගොස් තාත්තාගේ වියළී ගිය මුහුණ දෙස බලා සිටී.


ඇගේ දෑසින් නැඟී කම්මුල් දිගේ පහළට රූටන මුතුකැට පිසලන්නට පියාගේ සුරත එසවෙයි. එහෙත් එය අප්‍රාණික ව කඩා වැටෙයි. ජාතියක ස්වෛරීත්වය වෙනුවෙන් පියකුගේ හා දියණියකගේ කඳුළු මහ පොළොව සිපගනී. සංවේදී මිනිසුන්ගේ හදවතට යකුළු පහර වදින්නා සේ මේ දර්ශන පෙළ ගලා ගියේ ය.


අප සිහියට නැඟෙන දෙදෙනකුගේ නම් සඳහන් කරන්නට අවසර දෙන්න! දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ නිදහස පතා තම තරුණ ජීවිතය පූජා කළ වෛද්‍ය ශිෂ්‍ය ස්ටීව් බීකෝ එක් තැනැත්තෙකි.


වියට්නාමයේ බෞද්ධයන්ගේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පූජා කළ ක්වාන් ඩක් හිමියන් තවත් තැනැත්තෙකි. ස්ටීව් බීකෝ දකුණු අප්‍රිකාවේ සුදු පොලිස්කාරයන්ගේ පහරදීමට ලක් ව මිය ගියේ ය.


එහෙත් ඔහු නැඟූ හඬ හා ඔහු අවදි කළ කළු විඥානය මහා ශක්තියක් ලෙස ඉදිරියට ගියේ ය. ක්වාන් ඩක් හිමියෝ ආගමික නිදහස වෙනුවෙන් සිරුරට ගිනි තබාගෙන අපවත් වූහ. උන්වහන්සේගේ අධිෂ්ඨානය පසුකලෙක යථාර්ථයක් බවට පත් විය.


පඹයන් කිසිකලෙක වීරයන් බවට පත්වන්නේ නැත. බියසුල්ලන් කිසිකලෙක ජයග්‍රහණය ලබන්නේ නැත. අවංක හැඟීමක් නැති කිසිවකු කිසියම් කරුණක් වෙනුවෙන් උපවාස කරන්නේ නැත.


උපවාසය, උද්ඝෝෂණය, වර්ජනය යන සංකල්ප දේශපාලන විහිළුකාරයන් අතට පත් ව හෑල්ලු වී ඇති බව සත්‍යයෙකි. එහෙත් ඉඳහිට එහි සැබෑ අභියෝගය නිදර්ශන සහිත ව දක්වන්නට සැබෑ මිනිස්සු ඉදිරිපත් වෙති.


එහෙත්, ඒ අස්සේ ඇති අප රතු පාටින් ලකුණු කර ඇති වාක්‍ය එහි යෙදුවේ ඇයි ද යන්න ගැන වෙන ම විමර්ශනය කළ යුතු ය. එහෙත් මේවා කොච්චර ලස්සනට ලියුවත්, ලියන්නේ අර මහින්දගේ ආගිය කතා ලියූ පුද්ගලයා වීම නිසා සහ පළ වන්නේ දිනමිණේ වීම නිසා ‍එයින් එතරම් පළක් නැත.


අඩු ගානේ ආණ්ඩුවේ රෙදි අපුල්ලන කොන්ත්‍රාත්කරුවකු වන කොළ පාට සමාජකාරයාවත් අද සිය සතිපතා කෙලමේ මේ ගැන ලියා නැත.


අනෙක් පැත්තෙන් මේ ජවනිකාවේ අධ්‍යක්ෂණය අන්තිම සවුත්තු ය. මේ උපවාසයට මුලින් වාඩි වූ මස් පර්වතවලට ෆාස්ටිං බ්ලඩ් ෂුගර් ටෙස්ට් සඳහා පැය දොළහක් නොකා ඉන්නට තිබුණු බව ඇතැම් අය කී හ. අනෙක නළුවා ලෙස අධ්‍යක්ෂ ම යොදා ගන්නට හදිසියේ තීරණය කිරීම මෙහි අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවකි. මෙවැනි කාර්යයකට යොදා ගත යුතුව තිබුණේ අඩු තරමේ ඇඳුම නිසා හෝ සමාජයේ ගරු බුහුමන් ලබන නළුවෙකි.


මේ සඳහා සතුරකු වුවත් තිලීපන් කළ උපවාසය ආදර්ශයට ගන්නට තිබිණි. 1987 අගෝස්තු 15දා උපවාසය ඇරඹූ තිලීපන් මළේ අගෝස්තු 26දා ය. තිලීපන් දිනෙන් දින දුර්වල වද්දී කොටි සංවිධානය මහජන කෝපය පුළුල් විරෝධතාවක් ලෙස මැනවින් සංවිධානය කර බලමුළු ගැන්වූයේ ය. මේ වැඩ දඩිබිඩියේ කරන්නට බැරි ය. බෑන් කී මූන් බය වුණේ නැතිනම් මොනවා කරන්නද කියා කලින් හිතන්නට තිබිණි.


දැන් මෙහෙම ප්‍රශ්නයකුත් තිබේ. බෑන් කී මූන් අර කමිටුව අකුළා ගත්තේ නැත. එය එහෙම ම තිබේ. මෙම කමිටුව ඉදිරිපත් කරන වාර්තාව නිල ලේඛනයක් වනු ඇති අතර එහි නම් සඳහන් වන අයට එයින් ප්‍රශ්න ඇති වනු ඇත. අනෙක් පැත්තෙන් කමිටුව කළ යුත්තේ කුමන දෙයක්දැයි බෑන් කී මූන්ට නිර්දේශ කිරීම සඳහා පත් කළ එකකි. 


කමිටුවට එරෙහිව අන්තිමට කළ යුතුව තිබුණු මාරාන්තික උපවාසය ද අවසන් නිසා දැන් ඊළඟට කරන්නේ කුමක්ද? විමල් කියපු විදියට නොකර වෙනත් විදියකට මෙය අධ්‍යක්ෂණය කළා ද? භාර ගත් විදියට රංගනයට හොඳ නළුවකු දමා අධ්‍යක්ෂණය හොඳින් කරනවා වෙනුවට තමන් ම රංගනයට ගොස් අධ්‍යක්ෂණය අචල, පියසිරි, වීරකුමාර වැනි වැඩ බැරි දාසලාට දුන්නේ ඇයි? 


කුමන්ත්‍රණ කියන ඒවා කොතැන තිබේදැයි කිව නො හැක. බෑන් කී මූන්ගේ කමිටුවට එරෙහි විරෝධයක් තිබුණා නම් එය මෙසේ දිය කිරීම ම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක කොටසක් විය හැකි ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. කුහක කම් නිසා අපෙ ජාතියට ස්වාධීනව අවුරුදු 60 ක් ගත වෙලත් තාම බෑ ඒකමුතු වෙලා ජීවත් වෙන්න.ඒකමුතු නැති ජාතියක් ගැන ඒතනින් ඒහාට තව කුමන කතා ද ?
    ආගම ජාතිය සංස්කෘතිය ශිෂ්ඨාචාරය මේ ගැන හැගුමක් නැති අය කෙසේ එකමුතු වෙයිද ?

    ReplyDelete
  2. පහුගිය දවස්වල කවුරු හරි මූ කොටියෙක් කියල කියපු ගමන් මිනිහගෙ ගේ ගිනි තිබ්බා. දුවේ පරිස්සමෙන් හිටපන්. කවුරු හරි අවලමෙක් කිව්වොත් එහෙම උඹ බෑන් කී මූන් ගේ අතකොලුවක්, ඒකයි උපවසය කඩකප්පල් කළේ කියල. මුන් උඹටත් කරදර කරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා