2010-07-27

කවුද මේ බස්සා? කරනු ඔහු දිවි රස්සා

(2010 ජුලි 27, W3Lanka)  බස්සා කවුද? වෙන වැඩ පසෙක තබා පෝස්ටර් අලවමින් මේ ප්‍රශ්නය අසන්නේ මාතර පොලිසිය බව ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවිය පවසයි.


අනාදිමත් කාලයක සිට විශේෂයෙන් ම කොල්ලන්ගේ සමාජයේ බාලසූරිය බාලයා ය. සෙනෙවිරත්න සෙනෙවියා ය. ගුණරත්න ගුණයා ය. එසේම මහින්ද මයිනා ය. උපුල් කුකුළා ය. අජිත් අජ්ජා ය. ලලිත් ලල්ලා ය.


 එපමණක් නොව ප්‍රින්සිපල් පිනා ය. වයිස් ප්‍රින්සිපල් වයිටා ය. ලෙක්චරර් ලෙචා ය. ඩොක්ටර් ඩොකා ය. පොලිස් කොස්තාපල් කොස්සා ය.


ලංකාවේ සිටින සියලු බස්නායකලා පාසල් යන කාලයේ බස්සලා ය. මේ බව පාසල් ගිය කාටත් තේරේ. මේ වනාහි එක්තරා උප සංස්කෘතික භාෂා ලක්ෂණයකි.


සරසවි උප සංස්කෘතියේදී නම් සෑම සිසුවකුට ම කාඩ් එක යයි කියන අන්වර්ථ නමක් ද ඇත.


රුහුණු විශ්ව විද්‍යාලයේ බස්නායක නම් තරුණ සිසුවා ද බස්සා වන්නේ ඒ අනුව මිස ඔහු බස්සකුගේ පෙනුම ඇත්තකු හෝ නිශාචරයකු හෝ වෙනත් එවැනි හේතුවක් හෝ නිසා නොවේ. මේ වනාහි තවත් එක් සාමාන්‍ය සරසවි සිසුවෙකු විය හැකි ය. ඔහු වනාහි වසර කීපයකට පෙර කුමක් හෝ පාසලක ‍සිටි දක්ෂ ශිෂ්‍යයෙකි. ඔබේ දරුවෙකි. සහෝදරයෙකි. පක්ෂියෙක් නොවේ. 


වරදක් කළා හෝ නො කළා හෝ අවිධිමත් චෝදනාවක් නිසා මේ සිසුවා අද වන විට මුහුණ දී සිටින අවදානම් තත්වය ගැන වහා සමාජය අවදි විය යුතු ය. පාතාල මැරවරයකු සේ ඔහු මහ මග මරා දමන්නට ඇති ඉඩකඩ ගැන වහා සංවේදී විය යුතු ය.   


පොලිසිය කළ යුතුව තිබෙන්නේ බස්සා සොයා පෝස්ටර් ඇලවීම නොවේ. මිය ගිය සිසුවාට පොලු පහර එල්ල කළ බවට චෝදනා ලැබ සිටින බස්සා පමනක් නොව කොස්සන් ද සෙවීමයි.


බස්සා සොයන අයට වැදගත් බුදු බණක් පහත පළ වේ.


බුද්ධත්වයට එළඹීමෙන් පසු පළමු ඉල් මස පසළොස්වක පෝ දා සිය ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ධර්ම චාරිකාවෙහි යෙද වූ බුදුරජානන් වහන්සේ උරුවෙල් දනව්වේ සේනානි ගම බලා තනිවම වැඩම කළ සේක.


මහ මග දෙපසින් සුන්දර වන ලැහැබකි. එය දුටු බුදුරජාණන් වහන්සේට එහි වැඩම කොට විවේක ගන්නට සිත් විය. උන්වහන්සේ රුක් සෙවනක වැඩ සිටින විට භද්දවග්ගිය කුමරුවෝ තිස් පස් දෙනෙක් එ තැනට පැමිණිය හ. එහිදී බුදුරජාණන් වහන්සේ හා ඔවුනතර ඇති වූයේ මෙබඳු සංවාදය කි.


“ස්වාමිනි , ඔබ වහන්සේ මේ පැත්තෙන් දිව යන ස්ත්‍රියක දුටුවා ද ?”


“කුමරුවනි , ස්ත්‍රියක සෙවීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද ? ”


“ස්වාමින් , ඇය හෙරක්. අපගේ ආභරණ රැගෙන ඈ පැන ගියා. ”


“කුමාරවරුනි , මේ ගැන ඔබේ අදහස් මට කියන්න. වඩා වැදගත් අනුන් ගැන සෙවීමද ? නැති නම් තමන් ගැන සෙවීම ද ? ” යි බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity