සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි

(2010 ජුලි 31, W3Lankaසියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද,  මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත. 


ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි. 


සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි. 


මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත කර ගන්නා තරමට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි අතර අන්තිමේදී සිය සුපුරුදු වාමාංශික අලසකම් හා අකාර්යක්ෂමතාව නිසා රැකියාවලින් දොට්ට වැටෙන තත්වයට පත් වූහ. මේ හේතුව මත කළ ඉල්ලා අස් වීම මාධ්‍ය නිදහස සමග ද අපැහැදිලි ලෙස පටලවා ගත් ඔවුන්ගේ එදා පටන් ජීවනෝපාය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ම විය. අද වන විට මේ දෙන්නා ම ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැරව සිටිති. 


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගැන ලියන්නට ගිය විට මතක් වන්නේ සුගතපාල ද සිල්වාගේ නවකතාවක නමකි. පුළුවන් නම් කියන්න. 


සියත මාධ්‍ය ආයතනය බිහි වූයේ තනිකර ම පාලක පවුලට කඩේ යාමේ හා ඒ හරහා තමනට ආර්ථික වාසි අත්පත් කර ගැනීමේ එහි අයිතිකරුවන්ගේ පටු අභිලාෂයෙනි. 


සියත අයත් නිළි සංගීතා වීරරත්න 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පුසිද්ධියේ වැඩ කළා ය. ඉන් පසු ඔවුන් රජ පවුලේ සමීප හිතවතුන් වූ අතර සංගීතාටත් ඇගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුමටත් සියත මාධ්‍ය ආයතනය ආරම්භ කිරීම සඳහා රූපවාහිනී හා ගුවන් විදුලි සංඛ්‍යාතවල පටන් රජයේ දැන්වීම් දක්වා බොහෝ වාසි ලැබිණි. 


රොෂාන්තගේ සහෝදරයා වන ප්‍රියන්ත කාරියප්පෙරුමට විදුලි සංදේශ නියාමන කොමිෂමේ සභාපති ධුරය හිමි විය. ඉන් පසු ඔවුහු දැහැමෙන් සෙමෙන් බිස්නස් කරගෙන උන්හ. බිස්නස් කීවාට මේ බිස්නස් මෙවැනි ය. සියත පුවත්පත විකුණුනේ පිටපත් දෙදාහක් පමණ ගණනකි. එහෙත් එයට ඕනෑතරම් රජයේ දැන්වීම් ලැබුණු අතර රජයේ බලපෑමෙන් පෞද්ගලික අංශයේ ද දැන්වීම් ලැබිණි. 


මේ අයට වැරදුණේ ඔවුන් 2010 ජනාධිපතිවරණයේදී කෙළි සූදුව නිසා ය. සරත් ෆොන්සේකාට පක්ෂව නැ‍ඟෙමින් තිබූ රැල්ල හමුවේ ඔහුට හවුල් වූ කාරියප්පෙරුම පවුලට දෙපැත්ත කෑම තුලනය කර ගැනීමට බැරිව වැඩේ අතේ පත්තු විය. සාමාන්‍යයෙන් ගොඩක් ළඟින් සිටි අය තරහා වූ විට පරම සතුරන් වීම සුලබ මිනිස් ලක්ෂණයකි. 


මහින්ද රාජපක්ෂ ජය ගත් පසු කපන්න බැරි අත සිඹින්නට රජ මාළිගාවට ගිය ප්‍රියන්ත කාරියප්පෙරුම ආපසු ආවේ රජතුමාගේ සැරපරුෂ මල්ලීගෙන් තිත්ත කතාවෙන් අහගෙන ය. දන්නෝ ඉතා හොඳින් දන්නා බැවින් කාරියප්පෙරුම පවුල ම ටික දවසක් රටින් ද බැහැරව සිටියහ. ආපසු ආවොත් සරත් ෆොන්සේකාත් සමග මහ උළු ගෙදර බත්කන්නට වේ යයි බියෙන් එක් අයෙක් තවමත් පිටරට බව දැන ගන්නට ඇත. 


එහෙත් මාධ්‍ය ව්‍යාපාර කෙසේ වෙතත්, විසිතුරු මසුන් රට පටවන ව්‍යාපාරය හෝ රැක ගත යුතු බැවින් ඔවුහු ආපසු පැමිණියහ. 


රජයේ දැන්වීම් නැති වී යාම නිසා සියත අධික ලෙස පාඩු ලබමින් තිබුණ අතර, සම්පූර්ණයෙන් ම වසා නො දැමුනේ මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමෙන් යම් පමණකට හෝ පළි ගැනීමෙන් බේරී සිටීමට හෝ අඩු ගණනේ තර්ජිත මාධ්‍ය ආයතනයක හිමිකරුවකු ලෙස දේශපාලන රැකවරණ හෝ ලබා ගැනීමට ඇති හැකියාව නිසා ය. 


ඔය සූදුවල හැටි ඔහොම තමා ය. සරත් ෆොන්සේකා ඡන්දයෙන් දිනුවා නම් දැන් සියත පන්සියත ය. 


ස්වාභාවිකව මිය යාමට දුන් අවස්ථාව තුළ සියත සිය ව්‍යාපාර මෙහෙයුම් අවසන් කළ යුතුව තිබිණි. එහෙම කළා නම් මෙහෙම වන්නේ නැත. 


අප මේ කතා කරන්නේ සියත අයිතිකාරයන් හා එයට සම්බන්ධ වෙනත් අය විසින් පාලකයන් සමග එක්ව ගොඩනඟන ලද ක්‍රමයේ සිද්ධාන්ත අනුව ය. 


ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්ත අනුව කතා කරන අය බොහෝ සිටින බැවින් මෙරට ඇත්තට ක්‍රියාත්මක වන වාදයේ සිද්ධාන්ත අනුව කතා කරන්නෝ ද සිටිය යුතු ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. දැන් ඔයත් කියන්නෙ මේක සියත කාරයගෙම ගේමක් කියලද?

    ReplyDelete
  2. @Anonymous
    අනේ අපි එහෙම කියලා නැහැ. අපි ඕව දන්නෙ නැහැනේ. අපි කිව්වෙ අපි දන්න දේ විතරයි.

    ReplyDelete
  3. මංජුල ලා දැන් රට නිසා සුගතේ ගේ "ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ!" යන්න මෙතනට ගැලපේ යැයි සිතිය හැක.

    නමුත් මට හිතෙන්නේ ඔබේ මතකයට එන්නේ "බල්ලෝ බත් කති" යන්න කියාය.

    ReplyDelete
  4. අනේ උඹගෙ බාප්පගෙ කොම්පැනිය කියලද හිතාගෙන ඉන්නෙ? උඹ හිතන්නෙ උන් ජනප්‍රිය නෑ කියලද? අනේ බං. දන්න දෙයක් ලියපං.

    ReplyDelete
  5. මගෝඩිස්August 1, 2010 at 10:42 PM

    මහත්තයෝ....ඔයා තවදුරටත් ලංකාවේ විකල්ප මාධ්‍යයක හෝ දේශපාලන කතිකාවතක නියැලෙන කෙනෙක් නෙවෙයි. ඔයාට තියෙන්නේ ඔයාට කරගන්න බැරිවුනු දේවල් අනික් අය කරපු එක ගැන ඉරිසියාවක්. ඔබතුමත් සල්ලි ගරාගෙන කන එන්ජීඕ එකක් අටවගෙන ඉන්නවා කියලයි ආරංචිය. ඉතිං තවදුරටත් විකල්පය ඇතුලේ කුහකකමට ලැගලා ඉන්නේ නැතුව තමන්ගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන ඉන්නවා නම් තමයි හොඳ. සියතට ගහපු එක ලංකාවේ මාධ්‍ය මර්ධනයේම දිගුවක් විදිහට නොදැක ඔයාට පේන්නේ සියදිවි හානි කරගැනීමක් විදිහට. අරලියගහ මන්දිරය හීනෙන් පේනකොට ඔයවගේ අදහස් එළියට එනවා.

    ReplyDelete
  6. ඔබ මෙම ලිපිය මගින් මෙම ලැජ්ජා නැති අමන ක්‍රියාව සාධාරනය කරන බව ඵාටක අපට වැටහේ.

    ReplyDelete
  7. @මගෝඩිස්
    අප විසින් කරනු ලබන බව කියන එම සල්ලි ගරාගෙන කන එන්ජීඕ එකට ගරාගන්න සල්ලි ටිකක් සොයා දෙන්න බැරිද? මොකද අපි සල්ලිවලට බය නැහැ. හැබැයි, සල්ලි ගන්නෙ අපි කරන්න කැමති දේකට විතරයි.

    මාධ්‍ය නිදහසේ නමින් සිදු වන මගඩි ගැන අප ලියන දේට තවම නම් කවුරුවත් සල්ලි දු‍න්නේ නැහැ. සල්ලි දෙන්න කැමති කනෙක් ඉන්නවා නම් ඩබ්ලිව්ත්‍රීලංකා ඇට් ජීමේල්‍ ඩොට් කොම් වෙත දන්වන්න.

    සියතට ගහපු එක ලංකාවේ මාධ්‍ය මර්ධනයේම දිගුවක් විදිහට තමයි අපිත් දකින්නේ.

    ඒත්, අපි සියත හැදුණ ඉතිහාසය දන්නවා. ඒක නො කියා ඕක විතරක් කියන එක තමයි කුහකකම.

    ReplyDelete
  8. @Anonymous
    මෙම මාධ්‍ය ආයතනය හැදුණේ දැන්වීම් හා වෙනත් මාර්ග ඔස්සේ සොරා කන ලද මහජන මුදලිනි. එය මර්දනය කරන්නේ එය ගොඩනඟන්නට හවුල් වූ කණ්ඩායම්වල අභ්‍යන්තර ආරාවුල නිසා විය හැකි ය. ඔබ එය සාධාරණීකරණය කරනවාද?

    ReplyDelete
  9. සියතට පහරදීමෙන් රටේ ජනතාවට හෝ මේ රටේ තිසිදු නීතියකට හානි වුනේ නැත. සිදුවූයේ පාලකයන් වැසිකිළි ගොස් මලපහ කිරීම පමනි. අනවශ්‍ය දේ ඉවත්කිරීමක් පමනි.
    මරුවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා