ජන අරගල ව්‍යාපාරයක්? හ්ම්හ්, නරක නැහැ අදහස

ජවිපෙ ඛන්ඩනය මේ වන විට ආයතනගත හෙවත් පෙරටුගාමී පක්ෂවාදී ජවිපෙ කණ්ඩායම හා ඒ රාමුවෙන් පිටතට පැමිණි කණ්ඩායම ලෙස සලකුණු වෙමින් ඇතැයි අපට සිතේ.


පීඩිත පංතියේ විමුක්තිදායකයා යයි කියන පෙරටුගාමී පක්ෂය රැක ගැනීම උදෙසා ය යි කියමින් ජවිපෙ නායකයෝ හෘදය සාක්ෂිය, සහෝදරත්වය හා මනුස්සකම පවා දෙවන තැනට දමමින් පක්ෂය ආරක්ෂා කර ගත් හ. ආරක්ෂා කර ගත්තේ ද වෙන කාගෙන්වත් නොව පක්ෂයෙන් ම ය. 


පක්ෂයත් හරියට කවිය වැනි දෙයකි. කවිය කවිය සඳහා යි කියන්නා සේ පක්ෂය ද පක්ෂය සඳහා ය. මිනිසුන් සඳහා නො වේ. කොටස් වෙළඳපල ප්‍රජාතන්ත්‍රවාදය තුළ ක්‍රියාත්මක වන සමාගම් ද මෙවැනි ය. ප්‍රාග්ධනය එක් රැස් කරමින් වැඩෙන මේ සමාගම්වලින් ඒවායේ කොටස් හිමියන්ට එතරම් ඍජු ප්‍රතිලාභයක් නැත. සමාගම් ද සමාගම් සඳහා වැනි ය.


ජවිපෙන් කැඩුණු පසු කැඩුණු අය පක්ෂය හඳුන්වන්නේ කොම්පැනිය කියා ය.


පක්ෂයෙන් කැඩුණු අය මොන මොනවා කතා කරනවාදැයි අපි දන්නේ නැත. එහෙත්, ඔවුන් සිය සංවිධානයට දමන්නට යන නම ජන අරගල ව්‍යාපාරය යි කියනු ලැබේ.


පක්ෂය කියන වදන වෙනුවට ව්‍යාපාරය යන වදන පාවිච්චි කරන්නට ඔවුන් අදහස් කළේ ඇයි?


පක්ෂයක් සහ ව්‍යාපාරයක් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ පක්ෂය දැඩි ලෙස මධ්‍යගත ව්‍යූහයක් වීම හා ව්‍යාපාරය බහුවිධ බල කේන්ද්‍ර සහිත සාමූහිකයක් වීමයි.


ජන අරගල ව්‍යාපාරය එවැනි එකක් ද? නැතිනම් එහෙම නමක් ද? ජවිපෙ රාමුවෙන් පිටතට පැමිණි අය හදන අලුත් රාමුවක් ද?


එහෙම එකක් නම්, එය හා රටේ අනෙකුත් අරගල කරන ජනයා අතර සම්බන්ධය ගොඩනැ‍ඟෙන්නේ කෙසේ ද?


ප්‍රශ්නය සංයුක්තව මෙසේ රාමුගත කරන්න‍ට ලේඛකයා කැමති ය.


ඔහු දැන් තෙවසරක් තිස්සේ මෙම වෙබ් අඩවියේ සටහන් 2000කට ආසන්න ගණනක් ලියමින් සිටියි. ඔහු ලියූ දේ කෑම වට්ටෝරු ආදිය නො වේ. ඔහු සිතන පරිදි, ඔහු යහපත් සමාජයක් පිළිබඳ සිහිනයක් මාධ්‍ය අවකාශයේ කටු සටහන් කිරීමට ප්‍රයත්නයක් දරයි. ධනවාදය හා සමාජ පසුගාමිත්වය පමණක් නො ව, වාම කුහකත්වය ද සංවාද තලයකට ගෙන ඒමට ඔහු උත්සාහ කර ඇත. 


ඒ වෙනුවෙන් කැප කරන ශ්‍රමය වෙනුවෙන් ඔහු කිසිදු ප්‍රතිලාභයක් නො ලබයි. ඒ වෙනුවෙන් වන වියදම ඔහු දරා ගන්නේ ශ්‍රමිකයකු ලෙස උපයන සුළු මුදලිනි. ඔහු වැනි පීඩිත පංතික නිදහස්කාමී අරගලකරුවන්ට ඇති මූලික ගැටලුවක් වන්නේ වෙනත් එවැනි අරගලකරුවන් සමග සාමූහිකත්වයක් හා සංවාදයක් ගොඩනඟා ගත හැකි මානුෂවාදී, ප්‍රගතිශීලී ව්‍යූහ මේ සමාජයේ නොමැති වීමයි.


මෙහිදී, ජවිපෙ වැනි පෙරටුගාමී පක්ෂ මෙන් ම, ඒවායෙන් කැඩී‍ වෙන් වූ වාම කල්ලි, කණ්ඩායම් ද සම්පූර්ණයෙන් ම අසමර්ථ ය.


මහේක්ෂ දේශපාලන අරගල පමණක් නොව ක්ෂුද්‍ර සටන් ද සාමූහික අරගලයක සිතියම්ගත කළ හැකි නව දේශපාලන ව්‍යාපාරයක් අපට අවශ්‍ය ය. ඒ පිළිබඳ සංවාදයක් අවශ්‍ය ය.


ජන අරගල ව්‍යාපාරය යන නමට අප කැමති ඒ නිසා ය. එහෙත් එය කුමක්දැයි අපි නො දනිමු.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. [[මහේක්ෂ දේශපාලන අරගල පමණක් නොව ක්ෂුද්‍ර සටන් ද සාමූහික අරගලයක සිතියම්ගත කළ හැකි නව දේශපාලන ව්‍යාපාරයක් අපට අවශ්‍ය ය. ඒ පිළිබඳ සංවාදයක් අවශ්‍ය ය]]

    පිට පළාත්වලින් එන නිසා හොස්ටල් වලදී දේශපාලන බලාත්කාරකම්ට ලක්වන, එහෙමත් නැතිනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේශපාලන මොළ සේදුමකට ලක්වන විවි සිසුන් පිරිසක් මුලිකව මේ ව්‍යාපාරය බිහි කර ගත නොහැක. මෙම ක්‍රියාවලිය විසින් ඔවුන්ගේ සිත්වල වපුරන අන්ධ භක්තිය නොවන්නට ඔවුන් මේ දර්ශනයේ අඩුපාඩු දැක ඒවා හදා ගන්නට පෙළඹේ. එහෙත් එසේ වන ඉඩකඩ අවහිර කිරීම මේ සියලු සංවිධාන වල මුලිකම ක්‍රියාවකි.

    පුළුල් ජනතා ව්‍යාපාර යනු මීට වඩා විවිධත්වයක් ඇති පිරිස් ඒකරාශී වූ මීට වඩා සිතීමේ නිදහස ඇති තැනකි. හරි හෝ වැරදි භාවය පසෙක තැබුවොත් එවැනි ව්‍යාපාර 53 හර්තාල් [අසා ඇති ලෙසට] 56 පෙරලිය මෙන්ම 2005 මහින්ද දිනවීම පසුපස ද තිබුණි. එහෙත් දෙවතාවක් උත්සාහ කලද මේ මතවාදී සමාජගත වීම ජවිපෙට බැරි විය.

    පුළුල් ජනතා ව්‍යාපාරයක් වාමාංශික විය යුත්තේ මන්ද? මේ ප්‍රශ්නය තුල බොහෝ ජනතා ව්‍යාපාර සමාජයෙන් කොන් නොවන්නේද? උත්සාහයන පමණක් වූ 71 හා 88 දී බහුතර ජනයා එම අදහස බැහැර කලේ එහි තිබු වාම නැඹුරුව නිසාවෙන් නේද? පුංචි කාලයේ [නිර්පාක්ෂික] වැඩිහිටියන් ජවිපෙ ගැන කියූ කතා මට සිහිවේ. අර්ධ සත්‍යයන් වුවත් ඒවායේ තිබුනේ පොදු වාම විරෝධයකි. 70-77 අපිට වමේ නීරස කියා දුන් රජයක් ද තිබුණි.

    මේ විවරණය කරන්නාට මුල් කාලයේ සාම්ප්‍රදායික වම හා පහුගිය කාලවල ජවිපෙ ලද යම්කිසි සාර්ථකත්වයකට පාදක වූ හේතු විචාරීම වටියි. මා දකින ලෙස නම පළමුවැන්නට හේතුව ලංකාවේ සුද්දන් හා කළු සුද්දන්ට එරෙහිව බ්‍රිතාන්‍ය යටත් විජිත වාදයෙන් හා නාගරික රදලභාවයෙන් නිදහස පතා කල සටනයි. අහඹු ලෙස නායකත්වය වාමාංශික වුවද මිනිසුන්ට එය වැටහුනේ නැත. දෙවන්නට හේතුවත් සම අවස්ථා වෙනුවෙන් හා ඉන්දීය හමුදා පැමිණීමට එරෙහිව මිනිසුන් කල සටනයි. මේ දෙකම හරියට සමාජගත වූ ඒවා නොවේ.

    නැවතත් අප එන්නේ පුළුල් ජනතා ව්‍යාපාරයක් වාමාංශික විය යුත්තේ ඇයි කියන තැනටයි. මට හිතෙන විදිහට මෙම තීරුවේ නිතර දැක්වෙන මෙම වාම නැඹුරුව ලේඛකයා විසින් තවමත් අන්ධ භක්තියෙන් සුරකින අතීත මොළ සේදුමකි. සුදුසු දෙය සොයා අප යන ගමනකට ප්‍රි-කන්ඩිෂන් දා ගැනීමේ අවශ්‍යතාවයක් ඇද්ද?

    ReplyDelete
  2. වාමාංශය යනු සමාජ සාධාරණත්වය ඉල්ලා සිටින දේශපාලන ව්‍යාපාර හඳුනා ගැනීමට යොදන ලද ලේබලයයි ...පිඩිත සමාජ පන්ති පමණක් නොව පිඩිත ජන තීරු වන ස්ත්‍රීන් තරුණයන් සහ සුළුතර ජාතින් ද ආගම් ද කුල කණ්ඩායම් ද පරිසරය තුලින් පෙනීසිටින අනාගත මනුෂ්‍ය පරම්පරාවන්ට අයත් මිනිසුන්ට සහ සතුන්ට ද සාධාරණය ඉටු කිරීමේ අරගලයක් ඉදිරියට ගෙනයන වාමාංශ ව්‍යාපාරයක් අද අවශ්‍යව තිබෙනවා...මනුෂ්‍ය පරම්පරාව තුල අද පුද්ගල නිදහස සහ ස්වායත්තාව සඳහා ඇතිවී තිබෙන උද්යෝගය ට ගරු කිරීමේ සහ එය තම ව්‍යාපාරය තුලට ඇතුල් කරගැනීමත් වමන්ෂ්‍ය විසින් කලයුතු වෙනවා...මෙය විශ්ව පරිමාණයෙන් සිදු විය යුතු දෙයක්...මේ රටේ වාමාංශය මේ තැනට ගෙන එන නව වමක් අවශ්‍ය වී තිබෙනවා...

    නමුත් අද ලංකාවේ තිබෙන හදිසි දේශපාලන අවශ්‍යතාවය දේශ බලපුවම මට නම් පෙනෙන්නේ...ජන අරගලයක් සඳහා ව්‍යාපාරයක් අවශ්‍යව තිබෙන අතරම ජන දේශපාලන ව්‍යාපාරයක් ද අවශ්‍යව තිබෙන බව...
    1 මේ ජන අරගල ව්‍යාපාරය නව වාමාංශ ව්‍යාපාරයක් විය යුතුය...එය සාධාරණත්වය ඉල්ලා සිටින හැම දෙනකුටම එන්න පුළුවන් වෙන වියාපාරයක් විය යුතුය...එතන අද දකුණේ ය කියන ලිබරල් නිදහස වෙනුවෙන් පෙනීසිටින...පරිසරය ස්ත්‍රිය ළමය සුළුතරය පිළිබඳ මතවාද වෙනුවෙන් පෙනීසිටින අයත් ඉන්න පුළුවන්...

    2. මේ ජන දේශපාලන ව්‍යාපාරය රටේ අද තිබෙන දේශපාන බල සැකැස්ම දෙස බලන විට වම සහ දකුණ ඉක්මවා යන ජන දේශපාලන අරගලයක් විය යුතුය...ජේ ආර් ගේ ව්‍යවස්ථාවේ පිහිටෙන් නිතියානුකුලව පවත්වා ගෙන යන...අද ගොඩ නැගී තිබෙන දේශපාලන, නිලදාරී, මිලිටරි, පැරා-මිලිටරි, ප්‍රචාරණ, පාතාල සහ ආගමික පුජකයන්ගේ අශුද්ද බල සන්දානය ට එරෙහිව යන දේශපාලන පෙරමුණක් අවශ්‍යව තිබෙනවා...

    මේ හදන්න යන්නේ ඉහතින් කියන ලද ජන අරගල ව්‍යාපාරයක් නොවන බව පැහැදිලියි...මොකද මෙය ජ වී පෙ ට එරෙහිව පක්ෂ බලයක් ගොඩ නගන්න බැරි වීම නිසා ජනයා සොයාගෙන යන සහ එය තුලින් පක්ෂයක් ගොඩ නැගීමට දරන උත්සහයක්...එම නිසා මෙය දේශපාලන ව්‍යාපාරයක් වෙනවා...එයාල කුමන සමාජ කණ්ඩායමක් මුල් කර ගෙන එය පටන් ගනීද...යන්න අපට බල ගන්න පුළුවන් හෙට අනිද්දට...

    මේ හදන්නේ තවත් දේශපාලන ව්‍යාපාරයක් නිසා...අද රටට අවශ්‍යව තිබෙන ජන දේශපාලන ව්‍යාපාරයක් ඇති කිරීමේ හැකියාව තිබෙන දේශපාලන සංවිධානවලට එක්සත්වීමට බල කිරීමත් මේ "ජන අරගල" දේශපාලන ව්‍යාපරයට පැවරෙන වගකීමක්...නැතිනම් ඉදිරි දේශපාලන පෙළ ගැසීම් ඉදිරියේ කුඩා කල්ලියක් බවට පත් වී පාලක පෙලෙන්තියේ ආශීර්වාදයෙන් ජිවත් වෙන්න වෙන තැනට වැටෙන්න පුළුවන්...නැතිනම් ස්වයං විනාශය අත්කරගන්නා අණ්ඩ ග්රවුන්ඩ් වැඩකට සිය සාමාජික්න්ව ගෙනයන තවත් දේශපාලන කල්ලියක් වෙන්න පුළුවන්...ජ වී පෙ නායකයෝ හදන්නේ ඔවුන්ව එතෙන්ට දක්කාගෙන යන්න..."Be aware of Dogs"

    ReplyDelete
  3. මේ පවතින තුප්පහි ක්‍රමය වෙනස්කිරීමට ඔවුන්ට හෑකිවේ යෑයි පතමු.
    නමුත් වෑඩේ ලේසිවෙනඵකක්නෑ.
    දුශ්ට සල්ලිකාරයින් තමුන්ගේ, දුප්පතුන්ව හූරන්කන ක්‍රමය ආරක්ශාකිරීමට පුලුවන් හෑමදෙයක්ම කරාවි.
    නමුත් අතාරින්න ඵ්පා ඉස්සරහටම යමු!!!!!!!!!!!!!!!!

    -චාමර

    ReplyDelete
  4. අබේසිංහ ඔබ මෙය දකීද මන්දා.

    ප්‍රශ්න කිහිපයක්.

    [[වාමාංශය යනු සමාජ සාධාරණත්වය ඉල්ලා සිටින දේශපාලන ව්‍යාපාර හඳුනා ගැනීමට යොදන ලද ලේබලයයි]]

    ඒ කියන්නේ ධනවාදී වාමාන්ශිකයිනුත් ඉන්න පුලුවන්ද? වෙළඳපොල නිදහසත් එක්තරා විදිහක සමාජ සාධාරණත්වයක් වෙන අවස්ථා ඇත.

    [[මේ රටේ වාමාංශය මේ තැනට ගෙන එන නව වමක් අවශ්‍ය වී තිබෙනවා...]]

    ඔබ වමට කිනම් අර්ථකතනයක් දුන්නත් අද ලෝකේ වම කියන ලේබලයට හිමිකම් කියන්නේ සමාජවාදීන්. මගේ ප්‍රශ්නය නම් මේ පුළුල් පෙරමුණ සමාජවාදී වුන ගමන් පුළුල් බව නැති වෙනවා නේද කියන එක.

    [[මේ හදන්න යන්නේ ඉහතින් කියන ලද ජන අරගල ව්‍යාපාරයක් නොවන බව පැහැදිලියි...]]

    ඔව් දේශපාලන මොළ සේදුමකට ලක්වන විවි සිසුන් පිරිසක් මුලිකව මේ ව්‍යාපාරය බිහි කර ගත නොහැක. මේ කට්ටියට සෙසු මහා ජනතාව දිනා ගන්න බැරි වෙන්නේ ඇයි?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා