සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක් (edited)

ජවිපෙන් බිඳුණු ජන අරගල ව්‍යාපාරය අලුත් බලාපොරොත්තුවත් සමාජය තුළ ඇති කරන්නට සමත් වූ නමුත් දැන්, දැන් ඒ බලාපොරොත්තුව සේදී යමින් ඔවුන් යල් පැන ගිය අන්තයක් වෙත ගමන් කරමින් සිටියිදෝ යන සැකය ජනිත වෙමින් තිබේ.


'සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්' යන ඔවුන්ගේ තේමාව පුළුල් අරුත් සහිත සංවාද මාතෘකාවකි.


ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු.


කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය.


ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය.


එහෙත් ජවිපෙ පූර්ණ අනුග්‍රහය යටතේ පසුගිය සමයේ උතුරේ ගොඩනැඟුණු දේශපාලන පසුබිම තුළ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් නො වේ.


ජවිපෙ සාමාජිකයන් වෙතින් දැන් පිළිබිඹු වන මෙකී හෘදය සාක්ෂියේ කිසියම් නො ගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඒ නිසා වන්නට හැකි ය. එසේ ම, ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණ සිය පැහැර ගනු ලැබූ සාමාජිකයන් මුදා ගැනීමේ හෝ ඒ පිළිබඳ සමාජ හෘදය සාක්ෂිය අවදි කිරීමේ හෝ සමත් වී නැති අතර, එයින් සිදු වී ඇත්තේ කණ්ඩායම අභ්‍යන්තරිකව යම් සිත් සනසා ගැනීමක් සිදු වීම පමණකැයි අපේ නිරීක්ෂණයයි.


උතුරේ අරගලකාරී දෙමළ තරුණයන් දස දහස් ගණනින් මරා දැමෙද්දී ප්‍රීතිය ප්‍රකාශ කළ ජවිපෙ හා සම්බන්ධව සිටි පිරිසක් දෙමළ තරුණයන් දෙදෙනෙකුගේ අතුරුදහන් වීම මත කොළඹ වීදි දෙවනත් කරන්නට උත්සාහ කිරීම විහිළුවක් ලෙස පෙනීම වළක්වා ගැනීම ලේඛකයාට ඉතා දුෂ්කර ය.


කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණත් සමග ම ජන අරගල ව්‍යාපාරය ද දකුණෙන් උතුර දෙසට තල්ලු වෙමින් ඇති බවක් ද පෙනේ.


වෙනස් මිනිසෙක් නිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. වෙනස් මිනිසෙක් පිළිබඳ සදා නිම කළ පරමාදර්ශී ප්‍රතිරූපයක් නැත. අප කළ යුතුව තිබෙන්නේ වෙනස් මිනිසෙක් පිළිබඳ සංවාදයක් ඇරඹීමයි.


ජන අරගල ව්‍යාපාරය ජාතික ප්‍රශ්නය විෂයෙහි වෙනස් අන්දමින් සිතන, ක්‍රියා කරන ක්‍රියාධරයකු නිර්මානය කර තිබේ ද?


මෙහිදී අප අදහස් දක්වන්නට යන්නේ වෙනස් මිනිසෙකු යයි පෙනෙන තවත් එක් චරිතාදර්ශක් ම අනුගමනය කිරීමට ජන අරගල ව්‍යාපාරය වෙතින් පිළිබිඹු වන නැඹුරුව ගැනයි.


ජාතික ප්‍රශ්නය විෂයෙහි ඉතිහාසය පුරා ම ජවිපෙ බොහෝ විට දෝලනය වී ඇත්තේ සිංහල හා දෙමළ ජාතිකවාදී අන්තයන් දෙක වෙත ය. 1971 කැරැල්ලෙන් පසු සිංහල ජාතිකවාදී අන්තය වෙත යොමු වෙම්න් සිටි ජවි‍පෙ අභ්‍යන්තරයේ වාම හෘදය සාක්ෂිය අවදි වීමේ ප්‍රතිඵලයක් ලෙස 1980 දශකය මුලදී ලයනල් බෝපගේ නායකත්වය දුන් ප්‍රවණතාව ජාතික ප්‍රශ්නය විෂයෙහි න්‍යායිකව වඩා මාක්ස්වාදී ස්ථාවරයක් වෙත නැඹුරු වන්නට උත්සාහ කළේ ය.


1990 දශකයේ අගභාගයේදී ජවිපෙන් කැඩී ගිය හිරු කණ්ඩායම ද එවැනි උත්සාහයක් දැරුවේ ය.


2011 අවසාන භාගයේදී ජවිපෙන් කැඩී යන ජන අරගල ව්‍යාපාරය ද පෙන්නුම් කරන්නේ එම ලක්ෂණ ම ය.


මෙහිදී ඇති වන මූලික ම ගැටලුව ලෙස අප හඳුනා ගන්නේ පීඩිත හා ප්‍රතිචාරාත්මක ජාතිකවාදයක් ලෙස දෙමළ ජාතිකවාදය හඳුනා ගනිමින් අරඹන ගමන අවසානයේදී බොහෝ පිරිස් තමන් ද නො දැන ම දෙමළ ජාතිකවාදයට ගොදුරු වීමයි. දෙමළ අරගලය තුළ දක්නට ලැබෙන දැඩි ජාතිකවාදී හා ජාතිවාදී විභවයන්ගේ බලපෑමෙන් ගැලවීම පහසු නැත.


ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ හිරු කණ්ඩායම විසින් ගොඩනඟන ලද කතිකාව අවසානයේදී දෙමළ අරගලය යොමු වන ඕනෑම දිශානතියක් අනුමත කරන හා සියලු අරගල දෙමළ ජාතික අරගලයට ද්විතීයක කිරීමේ තැනට තල්ලු වීමේ අත්දැකීම් අප සතු ය. එහි ප්‍රතිඵලයක් ලෙස හිරු කණ්ඩායම දෙමළ අරගලයට කිසිදු බලපෑමක් කළ නො හැකි වන්දනිකයන් පිරිසක් බවට පත් වූ හ. අද එහි ඉරණම ඛෙදනීය ය. 


ලංකාවේ සිංහල සමාජය වෙතින් පැන නඟින වාම ව්‍යාපාර ජාතික ප්‍රශ්නය විෂයෙහි ගත යුත්තේ කුමන ස්ථාවරය ද යන්න අතිශය වැදගත් ය. ඒ පිළිබඳව විවෘත සංවාදයක් අවශ්‍ය ය. එහෙත්,  ජන අරගල ව්‍යාපාරය දෙමළ අරගලය පිළිබඳ දරන ස්ථාවරය හෝ ඔවුන් තවමත් පැහැදිලි කර නැත. කුමන පදනමකින් හෝ බලය බෙදා ගැනීම පිළි නො ගන්නා ජවිපෙ ස්ථාවරය සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ මතය කුමක් ද?


ජන අරගල ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් වී ඇති 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානයේ නමෙහි ම මූලික දේශපාලන ගැටලුවක් ඇත. දෙමළෙන් ඉලංකෛ වූ ලංකාව ශ්‍රී ලංකාව බවට පත් වූ සිංහල ස්වෝත්තමවාදී සංදර්භය අතහැර දමා ශ්‍රී ලංකාව යන වචනය සලකා බැලීම දේශපාලනිකව අව්‍යක්ත ය. ශ්‍රී ලංකාව යන නම ඍජුව ම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ ය. ලංකාවේ රාජ්‍යය මත සිංහල බෞද්ධ ආධිපත්‍යය නීතිගත කළේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි. 


දෙමළ ඊලාම් ජාතිකවාදයත්, සිංහල ස්වෝත්තමවාදී ශ්‍රී ලාංකික ජාතිකවාදයත් යන දෙක වෙනුවට ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ වාම මූලික දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය බව අපි කලක සිට පෙන්වා දෙන්නෙමු. එය වාම මූලික ව්‍යාපෘතියක් විය යුතු බව අප කියන්නේ එය සමාජවාදය සඳහා අරගලයේ ම කොටසක් වන බැවිනි.


ලාංකීය ජාතියක් ගොඩනැ‍ඟෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික අනන්‍යතාවන්ගේ සංවර්ධනයක් ලෙසයි. සුළු ජාතික අනන්‍යතා හා දේශපාලන හිමිකම් පිළි ගැනීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් ද? කොටින් ම දෙමළ ජාතිය ජාතියක් ලෙස පිළි ගැනීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් ද?


ජන අරගල ව්‍යාපාරය දෙමළ ජනයා සමග දේශපාලනයට පිවිසිය යුත්තේ දෙමළ අරගලය ගැන නිශ්චිත ස්ථාවරයක් සහිතව ය. එසේ නොමැතිව දෙමළ සමාජයේ රික්තයක් දැකීම නිසා එය පුරවන්නට යාම විසින් සිදු වන්නේ සිය සාමාජික ජීවිත අනතුරට පත් වීම වන්නට පුළුවන.


1989 ජවිපෙ මර්දනයෙන් පසු බොහෝ පිරිස් ජවිපෙ විසින් ඇති කරන ලද රික්තය පිරවීමට උත්සාහ කළ හ. එහෙත්, ඒ සියල්ල අසාර්ථක වෙද්දී යළි ජවිපෙ ම එතැනට පැමිණියේ ය.  දෙමළ අරගලය මර්දනය වී ඇති මුත්, එය දේශපාලනිකව පරාජය වී නැත. දෙමළ ජනයා සමග‍ දේශපාලනය කිරීම රොමැන්තික ක්‍රීඩාවක් නො වන්නේ ඒ නිසා ය.


ජන අරගල ව්‍යාපාරය විසින් අලුතෙන් සොයාගෙන ඇති මිතුරන් අතර ඔවුන්ට ලණු ගිල්වන්නන් බොහෝ ය. මේ පිරිස් අතර, දෙමළ ඩයස්පෝරාවෙන් ඍජුව හා වක්‍රව යැපෙන අය සිටිති. ඔවුන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය විසින් ජන අරගල ව්‍යාපාරය පුම්බා උඩ අරිමින් ඇති බවක් ද දක්නට ලැබේ. ඔවුන්ගේ ව්‍යාපෘති වාර්තාවල ජන අරගල ළුයාපාරය ගැන සටහන් වන්නේ කෙසේදැයි ඔවුන් දන්නේ නැත. 


අපට කීමට ඇත්තේඑක් සරළ කරුණක් පමණි. උතුර බලාගෙන දේශපාලනය කරන්නට ගිය දකුණේ සියලු දේශපාලන ව්‍යාපාර අසාර්ථක විය. ජන අරගල ව්‍යාපාරයේ ද අරගල බිම දකුණ මිස උතුර නො වේ. උතුරේ අරගලය ප්‍රතිස්ථාපනය කරන්නට ජන අරගල ව්‍යාපාරයට නො හැකි ය. මන්ද, දෙමළ අරගලය යනු පරම්පරා ගණනක් තිස්සේ මුල් බැස ගත් ගැඹුරු න්‍යායික හා ප්‍රායෝගික අරගලයකි. ජනඅරගල ව්‍යාපාරයට කළ හැක්කේ දෙමළ අරගලය සමග සාධනීය ගනුදෙනුවක් ඇරඹීම පමණි. 


ජන අරගල ව්‍යාපාරය ළදරු වලිප්පුවෙන් ප්‍රවේසම් විය යුතු ය.


මල්ලි ඔයාලා ෂෝක් ය කියා පිටට තට්ටු කරන මිනිසුන්ගෙන් ජන අරගල ව්‍යාපාරය මුලින් ම ප්‍රවේසම් විය යුතු ය. ජවිපෙ විසින් සදා දුන් උප සංස්කෘතික රාමුවෙන් පිටත ලෝකය ඔබ සිතන තරම් සරළ එකක් නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අනේ මන්ද අජිත් උතුරෙ දේශපාලනය නොකරනකොට අජිත් කියනව මුං ජාතිවාදීයි කියල.උතුරේ දේශපාලනයට දෙමල ජනයාගේ ප්‍රශ්න ගැන මැදිහත්වීමක් කරද්දි අජිත් කියනව දෙමල ජාතිකවාදයට යනව කියල.අජිත් මේ විරුද්ධාභාසය කොහොමද පැහැදිලි කරන්නෙ?අසුබවාදී කණ්ණාඩියකින් ලෝකය දකිනව කියලද කියන්න ඕනෙ?නැත්තං හාන්සි පුටුවකට වෙලා ලියන විචාර විදිහටද මේව සලකන්න ඕනෙ?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. උතුරෙ දේශපාලනය නො කළ පමණින් යමෙකු ජාතිවාදියකු වන්නේ හෝ ජාතිවාදියකු නො වන්නේ හෝ නැත.

    ජන අරගල ව්‍යාපාරය දෙමළ ජාතිකවාදයට යට වී ඇති බවක් ද අප කියා නැත.

    ඔබ විරුද්ධාභාසයක් ලෙස හඳුනා ගන්නා දෙය ඔබේ ම ගැටලුවක් මිස අප කියා ඇති දේ මත පදනම් වී නැත.

    අපේ ස්ථාවරය පැහැදිලි එකකි. අප කියන්නේ ලංකාවේ සුළු ජාතීන් සමග බලය බෙදා ගන්නා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් වම සටන් කළ යුතු බවයි.

    වම ඊලමත්, ශ්‍රී ලංකාවත් යන දෙක ම ප්‍රතික්ෂේප කළ යුතු ය.

    ජන අරගල ව්‍යාපාරය 'අපි ශ්‍රී ලාංකිකයෝ' ලෙස ද පෙනී සිටිමින් ද, දෙමළ අරගලයට ඔබ කියන අන්දමින් මැදිහත් වෙමින් ද කරන්නේ කුමක් ද යන්න පළමුව එම ව්‍යාපාරය විසින් ම නිරවුල් කර ගත යුතු ය.

    (ඔය හාන්සි පුටු කතා නම් හරි ම පරණ පන්නයේ ඒවා ය. ඔබේ ඇසුරේ නැති සියලු දෙනා ඉන්නේ හාන්සි පුටුවල යයි සිතීම ලෙඩකි.)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා