වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට | Sampathnuwara of Welioya, Mihinthale rail track and Hambanthota

(2010 නොවැම්බර් 14, W3Lanka) සංවර්ධනය කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන නෙවෙයි කියා කියන්නේ රෙජිනෝල්ඩ් කුරේ අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා ය. "සංවර්ධනය කියන්නේ සිතූ පැතුම් ඉටුවන ඇලඩින්ගේ පුදුම පහනක් නොවෙයි. මතුපිටින් අර්ථ ගැන්වීම අනුව ලාභය හා සුඛවිහරණය පමණක්ම නොවෙයි. අප පිළිගත යුතු තිත්ත ඇත්තක් තිබෙනවා. සංවර්ධනයේ මූලික අවදියේදී අප විශාල කැප කිරීම් සිදු කළ යුතුයි. අඟහිඟකම් අඩුපාඩු තිබෙන්න පුළුවන් ඒ සියල්ලම තාවකාලිකයි. අප දුක් වින්දොත් තමයි ඊළඟට සැප විඳීමට පුළුවන්කම ලැබෙන්නෙ," යි ඔහු දිනමිණට පවසයි.


එහෙත්, කලක් වරාය කෑ ඇමති කෙනෙකු වූ මංගල සමරවීර කියන පරිදි හම්බන්තොට වරාය ලංකාවේ මෙතෙක් ඉදිවූ විශාලතම සුදුඅලියා ය.


ලබන 18 දාට මේ වරායට ජාත්‍යන්තර මට්ටමේ වාණිජ නැවක් ඇතුළුවන බව ආණ්ඩුව කියනවා නම්, දෙවන ජාත්‍යන්තර වාණිජ නැව හම්බන්තොට වරායට සේන්දු වන්නේ කවදාදැයි ප‍්‍රකාශ කරන ලෙස අභියෝග කරන සමරවීර, මෙය මහින්ද රාජපක්ෂ හෙවත් මායාරත්නගේ තවත් මායාවක් පමණක් බවත් ඔහු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සඳහන් කරයි.


තමා වරාය ඇමැති ලෙස සිටියදී එම සියලූ ශක්‍යතා වාර්තා සලකා බලා අවසානයේ උපදෙස් ලැබුණේ නැව්වලට තෙල් සැපයීමේ වරායක් ලෙස හම්බන්තොට වරාය පවත්වාගෙන යාමට බවත් සමරවීර කියයි.


කොළඹ වරාය උපයන ආදායම හම්බන්තොට වරාය ඉදිකරන්නට යොදන නිසා ලෝකයේ හොඳම වරායවලින් එකක්වූ, කොළඹ වරායද ඉදිරියේදී බංකොලොත් වරායක් බවට පත්වනු ඇතැයි ද ඔහු කීවේය.


හම්බන්තොට වරාය මුහුණ දෙන අභියෝග පිළිබඳව අප මීට පෙර ලියන ලද ලිපියට සබඳතා පුරුක මෙම ලිපියේ අග ඇත. 


පසුගිය දිනෙක රජයේ ඉහළ නිලධාරියකු ම රාජපක්ෂ පාලනය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ඉදි කරන ගුවන් තොටුපළ සන්සන්දනය කර තිබුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපති සමයේ ඉදි කරන ලද අනුරාධපුර - මිහින්තලේ රේල් පාරටයි. විශාල වියදමක් කර ඉදි කරන ලද මෙම දුම්රිය පාරේ කෝච්චි දුවන්නේ අවුරුද්දට දින දෙක තුනක් පොසොන් උත්සව කාලයේ පමණි. එහි කවුරු හෝ ගමන් කරනවා නම් ඒ අබලන් රේල් පාරක සෙමින් ගමනෙන් ජොලියක් ලැබීමට හෝ පොසොන් දින දෙක තුනේ අනුරාධපුර - මිහින්තලේ මහා මාර්ගයේ ඇති තදබදය හෝ නිසා පමණි.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජය විසින් කරනු ලබන දැවැන්ත ඉදිකිරීම් සත්තකින් ම මහින්ද රාජපක්ෂ පවුල් පාලනයට දැවැන්ත අභියෝගයක් ද නිර්මානය කරයි. 


හම්බන්තොට වරායට නැව් ගෙන ඒම, මත්තල ගුවන් තොටට ගුවන් යානා ගෙන ඒම ආදී කාර්යයන් ඒවා ඉදි කිරීම තරම් ම හෝ ඊටත් වඩා දුෂ්කර ය. 


මහින්ද රාජපක්ෂ පාලනය සමග තරහා අයට මේවා අසාර්ථක වේවා යි ප්‍රාර්ථනා කළ හැකි ය. එහෙත්, ඒවා අසාර්ථක වුණොත් අනාගත පරම්පරා බොහෝ ගණනාවකට ගොඩ එන්නට බැරි ණය බරක රට එරෙනු ඇත. රාජපක්ෂලා කෙළවා ගත්තා යයි සතුටු වන අපගේ සිනාව ඔවුන්ට කෙසේ වෙතත් අපේ දරු මුණුබුරන්ගේ ජීවිතවලට නම් දුක් අ‍‍ඳෝනාවක් වනු ඇත. 


‍කොළඹින් දිනපතා පිටත් වන එක් බස් රථයක් තිබේ. අනුරාධපුරය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය හරහා මෙම බස් රථය දිවෙන්නේ සම්පත්නුවර නම් නගරයකටයි. ඔබ මේ සම්පත්නුවර ගැන අසා තිබේ ද?  


මේ වනාහි මහවැලිය සමග කිසිදු සම්බන්ධයක් නැතත්, මහවැලි එල් කලාපය ලෙස නම් කර 'සංවර්ධනය' කරන ලද වැලිඔය හෙවත් මනල් ආරු ආශ්‍රිත ආරක්ෂක ජනපදය මධ්‍යයේ ඉදි කරන ලද සැලසුම් සහගත නගරයයි. මේ නගරය 1980 දශකයේ අගභාගයේදී පුළුල් මං මාවත්, බස් නැවතුම්පොළ, මධ්‍ය මහා විද්‍යාල, පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, රජයේ කාර්යාල, ක්‍රීඩාංගන, තානායම් ආදී නාගරික පහසුකම් සහිතව ඉදි කරන ලදී. 


එහෙත්, යුද්ධය හේතුවෙන් මෙම ආරක්ෂක ජනපදයේ ජන ජීවිතය අවුල් විය. බලාපො‍රොත්තු වූ පරිදි සිංහල ජනයා මෙම ප්‍රදේශවල පදිංචි කිරීමට බැරි වූ අතර, අවසානයේදී මේ නගරය වල් බිහි වී අවතාර නුවරක් බවට පත් විය. යුද්ධයෙන් පසු කුමක් සිදු වනු ඇද්ද යන්න මෙම ලේඛකයා නො දනී. එහෙත්, ජන විකාශනය හා ආර්ථික සංවර්ධනයේ ශඛ්‍යතා පිළිබඳ නො තකා හරිමින් කරන ලද මහජන මුදල් නාස්ති කිරීම් පිළිබඳව වැලිඔය සම්පත්නුවර කදිම සාක්ෂියකි. සම්පත්නුවර බසය නැතිනම් මේ නුවර ගැන මතකය කැළෑවෙන් ම වැසී යන්නට ඉඩ තිබිණි. 


පසුගිය සටන් විරාම සමයේ මෙම ලේඛකයා පුවත්පත් කලාවේදියකු ලෙස මෙම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, වල් බිහි වී තිබුණු සම්පත්නුවර ක්‍රීඩාංගනයේ දැවැන්ත ක්‍රීඩාගාර අතරින් එකක් අසල සිට ඡායාරූපයක් ද ගත්තේ ය. එහෙත්, දැන් එය ඔහු ළග නැත. 


හම්බන්තොට තවත් සම්පත්නුවරක් නො වේවා යි ලේඛකයා අවංකව ම ප්‍රාර්ථනා කරයි. 


මෙම ලිපියත් කියවන්න: 

හම්බන්තොටින් ගලන 'සංවර්ධනය' දිළින්දන්ගේ ජීවිත වෙත කාන්දු වන්නට තව 'බොහෝ කල්' අවශ්‍ය ය



Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. කෑ ගහන්නේ නැතුව හිටපල්ලා....ලබන සතියෙන් පස්සේ රජතුමාගේ පෙර ආත්මෙක පිනේ බලෙන් කේතුමතී නුවර මෙහේ පහල වෙනවා කියලා අද සිළුමිණ පත්තරේ තියනවා.... මෙන්න මේවා වෙනවා කියලයි ඡ්‍යොතිෂවේදීයෙක් කියන්නේ

    1). රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වෙනවා
    2). ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත වෙනවා
    3). ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා
    4). රාජ්‍ය නායකයාගේ පින්බර හා ප්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකට මුල පුරනවා
    5). තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බැරි තත්ත්වෙකට පත් වෙනවා
    6). ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා
    7). ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරනවා
    8). ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙනවා
    http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142

    ඊට පස්සේ රේඩියෝවේ ඇහෙන්නේ උඹලට මේ සිංදුව විතරයි...

    දන්සැල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි....//

    ReplyDelete
  2. ආණ්ඩුබලය ලැබුණා කියන්නේ කොයි කාගේ වුනත් මල්ල කරේ තමයි.ඒකට යුඑන්පී,ජේවිපී,නිදහස් පක්ෂ සන්ධානේ කියලා වෙනසක් නෑ.

    1.තව කාලෙකට ආණ්ඩු බලේ ලැබෙනවා කියන්නේ කොහොමත් ඉතින් පරම්පාරා ගානක් ගොඩයන ඉල්ලමක් තමයි.
    2.මුන් කන බොන ජොලි කරන එකටත් ගෙවන්නේ දුප්පත් මිනිහා බලුදුක් විදලා හම්බකරන සොච්චමින් ගෙවන බදු මුදලින් නිසා මූන්ට කොහොමටත් වියදමක් නැහැ නේ.
    3.හිටු කියලා පිටරටවල් වලින් කෘෂි ද්‍රව්‍ය ආනයනය කරන කොට කොහොමටත් මිල අඩු නොවුනොත් ඒවා ගන්න වෙන්නේ ආනයනය කරපු රටවල් වල එවුන්ටම තමයි.
    4.ඒ ගැන ඉතින් මොන කතාද?..පින්බරකම වැඩි කමට ඒක රෙද්ද පල්ලෙනුත් බේරෙනවා.අධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයට මුලපුරපු නිසාම වෙන්න ඇති ඉන්දියානු කලාපයේම තමනම් කැසිනෝ ලංකාවට ගෙන්වන්නේ.අඩියක් අඩියක් ගානේ බාර්,කොළඹ තොග ගාන නයිට් ක්ලබ්,සුපිරිගණිකා නිවාස.කිසිම දෙයක් කරකියාගන්න බැරි කෙල්ලෝ ටිකකගේ Photos වගයක් Porn Star කියලා ප්‍රසිද්ධ කලේ සංස්කෘතික ප්‍රබෝධය ඇති කරන්න වෙන්න ඇති. සුපිරි ගණිකාවෝ ආණ්ඩුව ඇතුලේ..තවත් කොටස් ආණ්ඩුවේ පිහිටෙන්..
    5.දැනටත් ඉතින් හිතාගන්න බැරි දේවල් වෙන රටේ අළුතින් මොනවා වුනත් ඒක ප්‍රබල නැති වේවි..පහුගිය කාලේ මුන් කරපු කෙරුම් හැටියට.
    6.දැනටමත් කැම්පස් වල එවුන් මරාගන්නවා.ග්‍රාමීය පාසල් හිටු කියලා වැහෙනවා.
    7.ඒකත් ඉතින් හරි..පහුගිය දවස් වල බැරක් ඔබාමා එක්කත් පොටෝ එකක් ගහලත් තිබුණනේ.හැබැයි ඉතින් ආණ්ඩුව පුබ්බන දිණමිණ,සිළුමිණ පත්තරවල එක වැටුනේ අදාල සංචාරයෙන් දවස් 04,05 ට පස්සෙ.ඒකත් පොටෝ ෂෝප් වලට පින් සිද්ධ වෙන්න.
    8.පහුගිය කාලයෙත් ඉතින් දස රාජ ධර්මේ නේ.

    මහජනතාවට අදහන බුදුන් වහන්සේගේ,දෙවියන් වහන්සේලාගේ පිහිටයි..

    ReplyDelete
  3. හම්බන්තොට වරායෙන් මුදල් එන්නට කලින් තවත් සැමරුම් කීයක් අපට බලා ගන්නට පුලුවන් වෙනු ඇත් ද?

    හම්බන්තොට වරාය සමග ඉරිසියාවක් අපට නැත. එහෙත් රටේ ජනතාවගේ මුදල් මෙසේ බාල් නැටීමට භාවිතා කිරීම ගැන අපට කේන්තියක් තිබේ. ඒ අපද ඒ බදුගෙවන ජනතාවට අයත් වන නිසා ය.

    බදු ගෙවන ජනතාව හැටියට මේවාට අපගේ විරුද්ධත්වය පළ කිරීමට අපට අයිතියක් ද ඇතැයි අපි සිතමු. මේ භාවිතා කරන්නේ ඒ අයිතිය යි.

    බහුතරයක් උදවිය සිය නිහඩත්වය හරහා පාවාදී ඇත්තේ තමන් සතුව ඇති ඒ අයිතිය යි. අයවැය ආන්ඩුවේ තරමටම ඔවුන්ගේ ද නිර්මාණයකැයි අප කියන්නේ ඒ නිසා ය.

    වරායට නැව් ඒම සැමරීම වගේම හෙට අනිද්දා එන බදු පිරි අයවැයත් උන්ගේ නිහඩතාවයට සාක්කි වනු ඇත්තේ එසේ ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා