වැලිකඩ බන්ධනාගාරයේ වල් බූරුවන්ගේ නිදහස් අරගලය | Freedom struggle of Welikada wild asses

(2010 නොවැම්බර් 09, W3Lanka) පොලිසිය වැලිකඩ බන්ධනාගාරයේදී බඩ පුරා කෑවේ ය.


කෑවේ සිරකරුවන්ගෙන් වන මුත්, ගේම සැලසුම් කළේ බන්ධනාගාර නිලධාරීන් බව පැහැදිලි ය.


වැලිකඩ බන්ධනාගාරය තුළදී පොලිස්‌ නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ රැඳවියන්ගේ පූර්ව සැලසුමකට අනුව සංවිධානාත්මකව සිදු වූවක්‌ නොවන බව හා පොලිසිය රැඳවියන් පරීක්‍ෂා කිරීමේදී රැඳවියන් තුළ හටගත් ආවේගශීලී නොසන්සුන්කාරී තත්ත්වයක්‌ මත ක්‍ෂණිකව මෙම පහරදීම සිදුවන්නට ඇතැයි තමා විශ්වාස කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් මේජර් ජෙනරාල් වී. ආර්. ද සිල්වා "දිවයින"ට කීවේය.


මෙය පිළිගත නො හැකි ය. බන්ධනාගාරයේදී සිරකරුවන්ට මේ අන්දමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරිය හැකි නම්, බන්ධනාගාර නිලධාරීන්ට සිරගෙවල් පාලනය කරන්නට බැරි වනු ඇත.


මීට පෙර බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් අතර සුළු ගැටුම් ඇති වූ අවස්ථා තිබෙන මුත්, මෙම ගැටුම එවැන්නක් නො ව සුවිශේෂ කැරැල්ලකි. මෙවැනි කැරැල්ලක් මීට‍ පෙර ඇති වූයේ 1983දී ය. එහිදී, ගුවන් යානයක් පැහැර ගැනීම නිසා දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටි සේපාල ඒකනායක සහ තවත් අය විසින් නායකත්වය දෙන ලද සිංහල සිරකරුවන් පිරිසක් විසින් දෙමළ කැරැලි නායකයකු වූ කුට්ටුමනී ඇතුළු 53දෙනෙකු ඝාතනය කරන ලදී. එයට ද, බන්ධනගාර නිලධාරීන්ගේ සහාය ලැබුණු අතර, පසුව රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතකයන්ට නීතියෙන් බේරී සිටිය හැකි විය.  


සාමාන්‍යයෙන් බන්ධනාගාරවල ඇත්තේ කෲර පාලනයකි. බන්ධනාගාර නිලධාරියකුට පහර දීමට හෝ පැන යාමට හෝ උත්සාහ දරන්නකුට දැඩි දඬුවම් හිමි වේ. සාමාන්‍යයෙන් මෙම දඬුවම් වන්නේ දෙපයින් හෝ දෑතින් හෝ එල්ලා පහර දීම හා බංකුවක බාවා පිරිසක් සිරුර මත නැඟ සෙසු අය යටි පතුල්වලට තදින් පහර දීම වැනි දේ ය. මෙවැනි දණ්ඩනයකට ලක් වූවකු දින ගණනක් තට්ටමෙන් ඇවිදිනු ලේඛකයා දැක තිබේ. පැන ‍යාමට තැත් කර හෝ පැන ගොස් හෝ අසු වූවකුගේ නම් පාද බිඳ දමනු ලැබේ.


ඇමරිකාවේ සිරගෙයක කතාවක් රැගත් ටිම් රොබින්ස් හා මෝගන් ෆ්‍රීමන් ප්‍රධාන චරිත රඟන ෆ්‍රෑන්ක් ඩැරබොන්ට් අධ්‍යක්ෂණය කළ Showshank Redemption නම් චිත්‍රපටය ලේඛකයාට සිහිපත් වේ. එහි සිරකරුවන් මුහුණ දෙන තත්වය මුළු ලෝකයේ ම සිරකරුවන්‍ට පොදු ය. ලංකාවේ ඒ සියල්ල මදිවාට සිරගෙවල් යනු තදබද අපායන් ය. ලංකාවේ සිරකරුවන්ට නිදාගන්න පැදුරක්, කන්න පිඟානක්, වතුර බොන්න, කෝප්පයක් හෝ අඳින්න ජම්පරයක් හෝ හරි හැටි සැපයෙන්නේ නැත. 




බන්ධනාගාරවල තදබදය නැති කිරීම සඳහා රජය ගත් පියවරක් නැත. එහෙම තිබියදී පසුගිය දින 20ක් තුළ පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් අලුතින් 11,000ක් බන්ධනාගාරවලට ගාල් කරන ලද බව පොලිස්පති උදම් අනයි. 



සිරගෙවල්වල සිදු වන නීති විරෝධී ක්‍රියා සියල්ල ම බන්ධනාගාර නිලධාරීන්ගේ දැනුවත්භාවයෙන් යුතුව දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන ඒවා ය. වැලිකඩින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට තාප්පය උඩින් කුඩු එන ආකාරය ලේඛකයා මීට කලකට ඉහතදී දෑසින් ම දැක ඇත. එම කටයුතු සිදු වන්නේ මනා සම්බන්ධීකරණයකිනි. ඒවා මෙහෙයවන සිරකරුවෝ බන්ධනාගාරයේ බලවත් අයයි. ඔවුහු බන්ධනාගාරයේ පහළ සිට ඉහළ දක්වා නිලධාරීන්ට සන්තෝසම් ගෙවති. 



ඒවා ලංකාවේ සිරගෙවල් නම් වන අමානුෂික තදබද මිනිස් කූඩු තුළ තුලනය පවත්වාගන යාම සඳහා අවශ්‍ය දේ ය. බන්ධනාගාර තුළ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සියල්ල කුඩු නොමැතිව එක වර ගිලන් වුවහොත් ඒ 'මාස් සික් එක' බන්ධනාගාරයට විශාල ප්‍රශ්නයක් වනු ඇත.  


හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට මත් ද්‍රව්‍ය ලබා ගත හැකි මාර්ග හිටි හැටියේ අවහිර කිරීමෙන් ඔවුහු වියරු වැටෙති. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළ යුතු ය. එය පහසු වැඩක් නො වේ. 


දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන්ට මතට ඇබ්බැහි වන්නට පහසුකම් සලසා හිටි හැටියේ ඒවා වෙත ප්‍රවේශය අහිමි කිරීම භයානක ක්‍රියාවකි. 


බන්ධනාගාර නිලධාරීන් දූෂිත බව හුවා දක්වමින් ඔවුන්ගේ බල සීමාව තුළට පොලිසිය මැදිහත් කරවීමට ගත් අමනෝඥ උත්සාහයකට බන්ධනාගාර නිලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ අසහනයට පත්ව සිටි සිරකරුවන් පොලිසියට එරෙහිව උසි ගැන්වීමෙනි. 


සිරකරුවන් සාමාන්‍යයෙන් පොලිසිය සමග ජම්මාන්තර ය. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති විජිත් විජිතමුනි සොයිසා ද මාධ්‍යවලට මේ බව කියා තිබිණි. අපරාධ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු හා ජනාධිපති මහින්ද රාජපක්ෂ වැනි අය බන්ධනාගාරවල තත්වය හොඳින් දනිති. 


කුඩු විකිණීමෙන් ධනවත් වූවන් හා ඔවුන්ගෙන් වාසි ලැබූවන් මහ පුටුවල වැජඹෙන ලංකාවේ කුඩු විකිණූ හා පාවිච්චි කළ වරදට  දැඩි දඬුවම් විඳින්නට සිදු වූවෝ ලද අවස්ථාවෙන් සිය ප්‍රතිචාරය දැක්වූ හ. 


මේ වනාහි හිටිවන ඇති වූ කැරැල්ලක් වුව ද එය රාජපක්ෂ රෙජිමට හා පොලිස් රාජ්‍යයට එරෙහිව ලුම්පන් රාජ්‍ය සේවකයන්ගේ හා ලුම්පන් සිරකරුවන්ගේ කැරැල්ලක් ලෙස දේශපාලනිකව කියවිය හැකි ය. 


කන්නට, බොන්නට, සංසර්ගයේ යෙදෙන්නට, විනෝද වන්නට, සතුටින් ජීවත් වන්නට ජනතාවට නිදහස නො දී ඒ සැප තමන් පමණක් සින්න කර ගනිමින් අන්තවාදීන් අතර ජනප්‍රිය වන්නට උත්සාහ කරන ලංකාවේ පාලක රෙජිමේ මර්දනකාරී පාලනයට එරෙහි පළමු වෙඩි මුර දැල්වෙන්නේ ඔවුන් ඔසවා තැබූ පංති පදනම්වලින් ම වීම දෛවයේ සරදමකි. 


මෙය ද සරසවි සිසුන්ගේ වැනි ම වූ නිදහස උදෙසා සටනකි. වෙනස ඇත්තේ මේ ඉල්ලන්නේ අමු ම අමු වල් බූරු නිදහස වීමයි. එය මේ රටේ නො තිබුණ එකක් නො වේ. එසේ ම පාලකයෝ දැනටත් එය භුක්ති විඳිති. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. Read the article, your argument looks rational, please suggest solutions too, MR might read your blog and implement them !

    ReplyDelete
  2. සිපිරි ගෙයි සොයුරනි.. ඔබට අපේ ආචාරය..!

    - බුද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා