ආදරයෙන් හෝ වෛරයෙන් තොරව දෙවන ධුර ප්‍රාප්ති දිනයේ එතුමාට විවෘත ලිපියක් | An open letter to the Sri Lanka President on the first day of his second term office

(2010 නොවැම්බර් 19, W3Lankaඑතුමා අද දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි. 2010 ජනවාරි 26දා එතුමාට ඡන්දය දුන් ජනයා පවා මේ පදවි ප්‍රාප්ති සැණකෙළිය දෙස බලා සිටින්නේ උදාසීනව බව එතුමන් වට කරගෙන සිටින කපටීන් එතුමන්ට කියන බොරු නිසා එතුමන්ට තේරෙන්නේ නැතුව ඇත. එතුමන්ට ඡන්දය දුන් අය පවා කඩෙන් බඩු අරගෙන ගෙදර එන්නේ ගලේ පැහැරූ බළලුන් පරිද්නේ මූණ විරිවිට්ටන් කරගෙනයි. 


ඉදිරි අයවැයෙන් හෝ සහනයක් ලැබෙතැයි එතුමාගේ සහායක පදනම වූ රජයේ සේවකයන්ට විශ්වාසයක් නැත. පඩි වැඩි කළත් අනෙක් පැත්තෙන් සෑහෙන්න බදු වැඩි කරනු ඇති බව ඔවුහු දනිති. 


මෙම ලේඛකයා එතුමාට ඡන්දය දුන්නේ නැත. එහෙත්, ලේඛකයාට එතුමා සමග කිසිදු තරහක්, වෛරයක් ද නැත. එහෙම එකක් තිබෙන බව පෙන්වීමෙන් ලේඛකයාට වෙන ඇතැම් ජනමාධ්‍යවලට මෙන් මුදල් ලැබෙන්නේ ද නැත. එහෙයින් එතුමා දෙස තරමක් මධ්‍යස්ථව බලා අදහසක් ලියන්නට තරම් ලේඛකයා නිදහස් ය. 


එතුමා සම්බන්ධයෙන් ලේඛකයාට ඇති ප්‍රබල ම විවේචනය වන්නේ එතුමා සිංහල ජාතිවාදීන්ට යට වීමට කලින් දැක්වූ කැමැත්තයි. එහෙත්, එතුමා ජාතිවාදියකුට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත, සුළු ධනේශ්වර චින්තනයකින් මෙහෙයවෙන්නකු බව ලේඛකයාගේ විග්‍රහයයි. 


බයිං ඇන්ඩ් සෙලිං කරන, සේවා සපයන ශක්තිමත් රාජ්‍ය ව්‍යවසාය අංශය හා එයින් වැටුප්, දීමනා, කොන්ත්‍රාත්, නියෝජිතායතන ආදිය හරහා ලාභ ලබන නිලධාරි හා කොන්ත්‍රාත්කාර ස්ථරයක් මත එතුමා සිය පදනම ගොඩනඟාගෙන ඇත. 


මෙම පංතිය ජාතිකවාදී නිෂ්පාදන ධනේශ්වර පංති‍යට වඩා 1977න් පසු බිහි වූ බල්ලො මරා හෝ සල්ලි හෙවීමට කැමති බයිං ඇන්ඩ් සෙලිං නියෝජිතායතන ධනපති ‍ස්ථරයට සමීප ය. එසේ ම, එතුමාගේ පංතියේ පහළ ස්ථර අඩුවෙන් වැඩ කර මහජන මුදලින් වැඩි වැටුප් අපේක්ෂා කරන රාජ්‍ය අංශයේ පහළ මට්ටම දක්වා විහිදෙයි. 


මෙම සමාජ ස්ථරය ලංකාවේ අතිශය බලවත් ය. විශේෂයෙන් ම ජනමතය හැසිරවීමෙහි ලා ඔවුහු බුහුටි ය. ලංකාවේ ජන විඥානය උපදින්නේ මේ පංතියෙනැයි කීවාට වරදක් නැත. සම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පංතියේ ඇඟක් ද, ජාතිකවාදී ධනපති හිසක් ද තිබුණු එකකි. 


එක්සත් ජාතික පක්ෂ‍යේ වෙනස වන්නේ එය ලිබරල් ධනේශ්වර හිසක් ද, දිළිඳු පංති ඇඟක් ද තිබුණු එකක් වීම ය. 


අප ඉහත කී සුළු ධනේශ්වරයේ පහළ ස්ථරය මත පදනම් වන ප්‍රධාන සමාජ ව්‍යාපාර දෙකක් ලංකාවේ තිබේ. එනම්, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයයි. මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයා හා රාජපක්ෂ පවුල බලය කරා ඔසවා තබන්නේ මෙම බලවේග දෙක විසිනි. 


2004දී මහින්ද රජපක්ෂට අගමැතිකම අහිමි වන්නට ඔන්න, මෙන්න තත්වයක සිටි අතර, එය ලැබුණේ අද දි.මු. ජයරත්නට එය ලැබී තිබෙන හෝ රත්නසිරි වික්‍රමනායකට හෝ ඩී.බී. විජේතුංගට හෝ එය ලැබුණු ආකාරයටයි. 2005දී ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ ඔහු දේශපාලනික වශයෙන් අවසන් ගමන් යැවීමට ය. එහෙත්, 2004දී ඔහු අගමැති කරන්නට අකැමැති වූ ජවිපෙ, ශ්‍රීලනිපය විසින් කර අරින ලද සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කඩේ යවා ගන්නට හා කොටි සංවිධානය ලවා දෙමළ ඡන්ද වර්ජනය කරවා ගන්නට හැකි වීම නිසා එතුමාට ජය ගන්නට හැකි විය.


2005 සිට මේ දක්වා කාලය තුළ එතුමා සුළු ධනේශ්වර පංතියේ ඉහළ සිට පහළ දක්වා තමන්ගේ ම පදනම් ගොඩනගාගෙන තිබේ. ඒ පංතිය ඇමතීම හා කඩේ යැවීම (manipulate කිරීම) සඳහා දැන් එතුමන්ට තමන්ගේ ම ක්‍රම සහ විධි තිබේ. 


ජාතික ගැටලුව හා ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් එතුමාගේ වැඩපිළිවෙල ඇත්තෙන් ම එඩිතර, ස්වාධීන එකක් වූ බව පිළිගත යුතු ය. කිසිදු ජාත්‍යන්තර බලවේගයකට අසු නො වී කට්ටි පනිමින්, සිංහල හා දෙමළ නායකයන්ගේ ස්වාධීන තීන්දුව අනුව යුද්ධයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීම 100%කින් ම කිරීමට එතුමා එඩිතර විය. 


යුද්ධ කරන්නට තීන්දු කළ දෙමළ නායකයන්ට පරාජයේ ඉරණම ලෙස දැන් මානව හිමිකම් ගැන කතා කරන්නට සිදු වී තිබේ. යුද්ධයේ කෲරත්වය විසින් නිර්මානය කරන ලද හොල්මන් එතුමාගේ ජීවිතය පුරාවට ද පසුපසින් හොල්මන් කරනු ඇත. එහෙත්, එතුමා ද, ඉතිහාසයේ නිර්මානයක් මිස ඉතිහාසයට උඩින් පාත් වූ අද්භූත ජීවියෙක් නො වේ. ප්‍රභාකරන් සම්බන්ධයෙන් ද ලේඛකයාට කීමට ඇත්තේ ඒ කාරණයම ය. මේ දෙන්නා සිංහල හා දෙමළ ජාතිවාදයන්ගේ උපරිම නායකත්වයෝ ය. එකෙක් මකා අනෙකා නැඟී සිටියේ ය. ජාතිකවාදී දේශපාලනයේ තුලනය එයින් වෙනස් විය. 


මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් හෙවත් paradigm shift ඇති කළ කෙනෙකි. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධ අතීත කතිකාවන් වලංගු නැති බව ඔහු පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ ඔප්පු කර ඇත. 


ජාතික බෙදුම් රේඛාවන් විනිවිද යමින් හෝ අකා මකා දමමින් හෝ අනාගත සමාජය නිර්මානය කිරීමේ ලා මහින්ද චින්තනය වනාහි රනිල් වික්‍රමසිංහගේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනේ ඡායා පිටපතකි. ‍එනම් දැවැන්ත ධනේශ්වර ආර්ථික සංවර්ධනයකට ලංකාව නිරාවරණය කිරීමයි. එකම වෙනස වන්නේ රනිල් මෙන් නව ලිබරල් චින්තනයක් හා පෞද්ගලික අංශයේ එංජිමක් මෙම කාර්යයට සම්බන්ධ කර නො ගැනීමයි. ඒ වෙනුවට ඇත්තේ ආඥාදායකත්වයක් හා රාජ්‍ය අංශයේ ආධිපත්‍යයකි. 


රනිල් මේ වැඩසටහන සැකසුවේ ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා බටහිර සහයෝගය මත ගොඩනඟන සංවර්ධනයක් වෙනුවෙනි.එතුමාට එම සහයෝගයන් නැත. 


ආධාර නැති නිසා, එතුමා විවෘත වෙළඳපොලෙන් මහා පරිමාණයෙන් ණය ගනියි. එතුමාගේ පංති පදනම තව තවත් ධනවත් වන්නේ මේ ණය මුදල් සූරා කෑමෙනි. 


එතුමා කිසියම් වැඩවසම් ගම්බාර මානසිකත්වයෙන් ද යුක්ත අයෙකැයි ලේඛකයාට සිතේ. හම්බන්තොට මළ විකාරයක් වෙමින් පවතින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මළ විකාරය නම් හම්බන්තොට සිදු වෙමින් පවතින, එහි දිළිඳු ජන ජීවිතයට ඓන්ද්‍රිය සම්බන්ධයක් නැති ගොඩනැඟීම් ය. ලාංකීය ආර්ථිකය නැංවීමට වඩා හම්බන්තොට කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම කෙරෙහි ඇති ගම්බාර ෆැන්ටසිය භෞතික කිරීම පිණිස ඔහු දරන වෙහෙස වෙනුවෙන් ලාංකීය ජාතියට ගෙවන්නට සිදු වන වන්දිය සුළු පටු එකක් නො වේ. 


දෙවන ධුර කාලයේදී එතුමා මුහුණ දෙන තියුණු ම අභියෝගය වන්නේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි ගමන චිරස්ථායී කර ගැනීමයි. නිදසුනක් ලෙස හම්බන්තොට වරායේ දෙවන හා තෙවන අදියර සාර්ථක කර ගන්නට නම් බංකරිං හෙවත් නැව්වලට සැපයුම් කිරීමේ ව්‍යාපාරය ඔස්සේ හෝ පළමු අදියරේ වරාය ලාභ ලබන තත්වයකට ගෙන ආ යුතු ය. නැතිනම් එය තවත් සුදු අලියෙකුගේ තත්වයට පත් වනු ඇත. ලබන අවුරුද්දේ විවෘත වන බව කියන එක් මීටරයකට ණයට ගත් මුදල් රු. ලක්ෂ හතකට වඩා වැය වූ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නට ආයෝජකයන් හා සංචාරකයන් මෙරටට පැමිණිය යුතු ය. ඒ ඔබේ ම ආර්ථික සිද්ධාන්ත අනුවයි. 


කෙසේ වෙතත්, මේ වරායට අත ගැසීම එඩිතර ආරම්භයක් බව කිව යුතු ය. ලංකාවේ ජනතාවගේ ප්‍රාර්ථනය විය යුත්තේ හම්බන්තොටට නැව් නො ඒවා යන්න නො වේ. මක් නිසා ද ඔවුන් සිය අනාගත පරම්පරා ගණනක් ඒ වෙනුවෙන් උගස් කර ඇති නිසා ය. ආර්ථික සංවර්ධයක් ඇති කිරීම සඳහා දැක්මක් ඇති ඕනෑම රාජ්‍ය නායකයකුට හම්බන්තොට වරාය සම්පතකි. මත්තල ඉදි කරන ජාත්‍යන්තර ගුවන් තොටුපළ නම් දැනට බාල පුතාට කාර් රේස් හා ගුවන් යානා පැදවීම පුහුණු වන්නට හොඳ ය. 


එතුමාගේ දෙවන ධුර කාලයේ තිබෙන තවත් අභියෝගයක් වන්නේ තම පංතියේ ධන උල්පත වූ රාජ්‍ය  ව්‍යවසායවල පාඩු අවම කිරීමයි. රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන තරමට ඒ පාඩු පියවීම සඳහා මහජනතාවගෙන් බදු අය කිරීමට සිදු වේ. බදු වැඩි වන තරමට එතුමාට ජනතා විරෝධය වැඩි වේ. 


ජනතා විරෝධය සමනය කිරීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ නැංවිය යුතු ය. තව තවත්, රාජ්‍ය අංශයේ රැකියා නිර්මානය කිරීමෙන් සිදු වන්නේ අඩු පඩියට වැඩ කරන අතෘප්තිමත් රාජ්‍ය සේවක පිරිසක් හා ඔවුන් නඩත්තු කිරීම පිණිස කොඳු කඩා ගත් මහජනතාවක් නිර්මානය කිරීමයි. 


කළ හැකිව තිබෙන දෙයක් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට යම් වැඩ පිළිවෙලක් ඇති කිරීමයි. ඒ ක්ෂේත්‍රය කඩා වැටී ඇත්තේ බැංකුවලින් දෙන ණය පොලිය ඉහළ යාම හා නියාමනයක්, උපදේශනයක්, සේවා සම්පාදනයක් නැතිකම නිසා ය.  


ලංකාවේ ගෑනු හිඟ පඩියට වැඩි වැඩියෙන් අරාබි ගෘහ සේවය පිණිස පිටරට පැටවීම හැර දැනට නම් වෙනත් විසඳුම් ක්‍රියාත්මක වන බවක් නො පෙනේ. 


සංචාරක කර්මාන්තය වෙනුවෙන් තබා ඇති බර ද තවම එතරම් සුබවාදී ප්‍රතිඵල අත් කර දී නැත. මීගමු කලපුවට මුහුදු ගුවන් යානා බැස්සවීම කලපු ධීවරයන්ගේ ජීවනෝපායට වඩා ප්‍රමුඛ කොට සැලකීම නිසා ඇති වී තිබෙන කලබැගෑනියෙන් එතුමා පාඩමක් ඉගෙන ගත යුතු ය. පළමුව කළ යුතුව ඇත්තේ තිබෙන සංචාරක යටිතලය තුළ කලින් ලංකාවට පැමිණි වියදම් කරන ධනවත් සංචාරකයන් යළි ආකර්ශනය කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එය හුදෙක් ම සංචාරක මාකටිංවලින් පමණක් කළ නො හැකි ය. මන්ද, මෙවැනි සංචාරකයන් ගොනාට ඇන්දවීම ලෙහෙසි නැති නිසා ය. ශිෂ්ට මිනිසුන් ජීවත් වන රටක් ලෙස ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම පටන් ගත යුත්තේ එතුමන් වටා රොක් වී සිටින පිරිසෙනි. ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, චීනයෙන්, රුසියාවෙන් එන මිනිසුන්ගෙන් සංචාරක හිස් ගෙඩි සංඛ්‍යාව වැඩි කර පෙන්වීමෙන් කර්මාන්තයට වන සුගතියක් නැත. 


ආර්ථිකය තුලනය කිරීම සඳහා ලංකාවට විශාල වශයෙන් ඍජු විදේශ ආයෝජන අවශ්‍ය බව එතුමා ද පිළි ගන්නා කරුණකි. තිබෙන විදේශ ආයෝජනයත් රජයට පවරා ගන්නා හා අතිශය කෑදර ලෙස වාසි ඉල්ලා සිටින පාලක පවුලේ අන්තේවාසිකයන්න්ගේ ආශිර්වාදයෙන් තොරව ව්‍යාපාර ආරම්භ කිරීම දුෂ්කර පසුබිමක් තුළ ඍජු විදේශ ආයෝජන ද සිහිනයක් පමණි. 


හුණුවටයේ කතාවේ අසඩක් ෂව්වාට කියන එක් බසක් මෙසේ ය: "අපේ වසන්ත කාලෙ ඉවරයි ෂව්වා!"


ආදරයක් හෝ වෛරයක් හෝ නැතිව අප පවසන්නේ එතුමාගේ ද වසන්ත කාලය අවසන්ව ඇති බවයි. වැල්ලේ පවා කැරකෙමින් තිබූ බමරය එසේ නො කැරකෙන බව පෙන්වන මෑත කාලීන සිද්ධියක් කෙරෙහි එතුමාගේ අවධානය යොමු කරමි. ඒ වනාහි හම්බන්තොට ක්‍රීඩාංගනයක 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සිහිනය පවා කඩාකප්පල් කළ මංජු වන්නිආරච්චි නම් ප්‍රෝඩාකාර බොක්සිං ක්‍රීඩකයාට දුරකථන ඇමතුමක් දී හා නව දිල්ලියට ගොස් අතට අත දී ඔබතුමා කර ගත් අත පුච්චා ගැනීමයි. 


ඉදිරියට සාපේක්ෂව ආ මඟ රෝස මල් අතුල එකකි. ඉතිහාසයේ කුණු බක්කිය හෝ සිංහාසනය ඔබ විසින් ම තෝරා ගනු ලබන සය වසරකට අපි ඔබට ආයුබෝවන් කියමු. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මටනම් හිතෙන්නේ ජනාදිපති මහින්දට වැඩිපුරම තියෙන්නේ Luck එක කියලා. ත්‍රස්තවාදය පරාජය කරන්න උනත් ලෝක දේශපාලනයේ සිදුවූ වෙනස්කම් සහ LTTE එක තුලම ඇතිවූ වෙනසකම් බලපෑවා. ඒවගේමයි කොයි වැරැද්ද කලත් මිනිහගේ අත පිච්චෙන්නේ නැති එකත් මිනිහට කඩේ යන්න ඇති තරම් ඉන්න එකත්. ඔබ ඔහුට වයිර හෝ ආදරය නොකරනවා වාගේම , මමත් ඔහුගේ 50% හොඳකුත් 50% වැරදිත් දකිනවා. දැන් තියෙන ඊළඟ ප්‍රශ්නය අපිට තියෙන විකල්පය මොකක්ද කියන එකයි. මොනවා උනත් විකල්පයක් තියෙනවනම් එය පවතින දේශපාලන සහ ආර්ථික වට පිටාවට ගැලපෙන කෙනෙක් විය යුතුයි. ඔය වෙලාවට තමයි දන්නා යකා නොදන්නා සුරගනට වඩා හොඳයි කියලා හිතෙන්නේ.

    ReplyDelete
  2. බොහෝ දුරට අතාර්කික (irrational) විශ්ලේෂණයකි. නිරීක්ෂණ ඇසුරින් නිගමන වලට බහිනවා වෙනුවට පූර්ව විනිශ්චයන්ට තොරතුරු පුරවන්නට ගිය විට මෙවැනි අබග්ග වේ.

    ලේඛකයා සමහරවිට නොදන්නාකම නිසා වැරදි කාරණා ලියා ඇත. උදාහරණයක් හැටියට හම්බන්තොට වරාය හම්බන්තොට ජන ඓන්ද්‍රීයව බලනොපාන බවට කරන වැරදි ප්‍රකාශයයි. වරායක් මතු නොව දුම්රිය පළක් පවා යම් ප්‍රදේශයක දියුණුවට බලපායි. ගම්පහ එක උදාරණයකි. හම්බන්තොට වරාය තවම විවෘතව නැති පරිසරයක පවා හම්බන්තොට සමාජ ආර්ථික තත්ත්වයන් ඉහළ නැංවී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්නා දෙයි.

    හම්බන්තොටට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් වැටී ඇත්තේ ලොව ප්‍රධානතම මුහුදු මාර්ගයකි. (http://www.sangam.org/2007/10/images/indian_ocean_sea_lanes.gif) එබඳු අවස්ථාවක චීනය (ණයට හෝ) ඊට මුදල් සැපැයීමට කැමැති පරිසරයක වරායක් නොහදනු ඇත්තේ අමු මැට්ටකු පමණෙකි. නිසි කළමණාකරණය තුළින් ඉන් ලාභයක් ලබා ගැන්ම අභියෝගයක් බව ඇත්තක් වුවද, අභියෝග භාර නොගන්නේ නම් අපට සිදුවනු ඇත්තේ අසංවර්ධිත රටක මේ බ්ලොග් රචකයා මෙන් හැමදාම ආණ්ඩුවට බනිමින්, හූල්ලමින් ඉන්ටය.

    කොළඹ සිට දකුණට අධිවේගී මාර්ගයක් අවශ්‍ය වන්නේ සංචාරකයින්ට නොව භාණ්ඩ ප්‍රවාහණයටය. 1971, 1988 ජවිපෙ කැරළි දෙකම ආරම්භ වූයේ දකුණින් වන අතර මේ අවස්ථා දෙකෙහිදීම පශ්චාත් පරීක්ෂණ වලින් බැස ගන්නා ලද පොදුවේ පිළිගන්නා ලද නිගමනය වුයේ දකුණ සංවර්ධනය කළ යුතු බවය. දැන් එය වෙමින් පවතී. දශක ගණනක් තිස්සේ අපේක්ෂා කළ සංවර්ධනය සැබැවින්ම සිදුවන විට ඊට විරුද්ධ වන්නෝ කවරහුද?

    මීගමු කලපුවේ ධීවරයින් ගැන කියන්ට ඇත්තේ හැම තැනකම ගඟක් හරහා පාලමක් දාන විට තොටියන් ඊට විරුද්ධ වන බවය. එහෙත් ඉන් ගම්‍ය වන්නේ පාලම් නොතැනිය යුතු බව නොවේ.

    මා නිරීක්ෂණය කරන ආකාරයට රාජපක්ෂ දැන් රඟපාමින් ඉන්නේ දෙවන ලෝක යුද්ධයට පසු ස්ටාලින්ගේ භූමිකාවමය. කලක් මගේ සිතේ පැවති බියක් වූයේ ඔහු දෙවන ලෝක යුද්ධයට පෙර ස්ටාලින් ගේ භූමිකාව රඟපානු ඇත කියායි. එය නම් දරුණු ලෙස බිය වන්නට කාරණාවකි. නමුත් දෙවන ලෝක යුද්ධයට පසුව ස්ටාලින් ක්‍රියාකොට ඇත්තේ පරිණත නායකයකු ලෙසයි. නැඟෙනහිර යුරෝපය සූරා කමින් හෝ ඔහු රුසියාව නැංවූ අතර 1954දී ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවමින් ලොව මවිත කරන්ට සෝවියට් දේශයට හැකිවූයේ එනිසාය. පූර්ණ එකඟතාවයක් නැතද රාජපක්ෂ මේ භූමිකාව දිගටම රඟන්නේ නම් රටට බොහෝ දෙනකු සිතනවාට වඩා යහපතක් වනු ඇත.

    ReplyDelete
  3. ''ත්‍රස්තවාදය පරාජය කරන්න උනත් ලෝක දේශපාලනයේ සිදුවූ වෙනස්කම් සහ LTTE එක තුලම ඇතිවූ වෙනසකම් බලපෑවා''.ඉතා නිවැරදියි.
    w3 lanka,
    ඔබ අවධාන​යට ලක් නොකළ තවත් පැත්තක් තිබේ.BRIC සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ ලෝක බලවතා වන අමෙරිකාවට අභියෝග කිරිමත් වසර 50ක් තුළ අමෙරිකාව පරයා නැගි සිටිමත් අරමුණු කොටගෙනයි.එම සංවිධානයට අයත් ප්රබලතම රටවල් දෙක වන ඉන්දියාව සහ චිනය යන රටවල් ප්රධාන තැන උදෙසා තමතමන් අතර තරගයක් ආරම්භ කොට ඈත.අමෙරිකාව තමන් ඒ තැනට පත් වූයේ සංගතාධිකාරය,කොන්ග්රසය හා සහයෝගිමත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව,ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන හැසිරවීම ද උපයෝගී කොටගෙන ඉන්ජිනේරු,උපදේශන,තක්සේරුකරන මහා පරිමාන ආයතන ආර්ථික ඝාතකයන් ලෙස යොදා ගනිමින් තුන්වන ලෝකයේ රයවල් ණය උගුල් වලට හසුකරගැනිම හරහායි.(උදා ඉක්වදෝරය,පැනමාව,)චීනය හෝ ඉන්දියාව (බොහෝ දුරට චීනය) මේ තැනට පත් විමේදි ඔවුන් අනිවාර්යෙන්ම සිදු කරනු ඈත්තේ සහ දැනට පෙනෙන පරිදි සිදු කරන්නේද මෙම ආර්ථික ඝාතක ක්රියාවලියයි.ආසියාව තුළ මීට හසුකරගත හැකි සහ යුතු හොදම රට ලංකාවයි.දැනට පෙනෙන පරිදි රාජපක්ෂ ආණ්ඩුව චීනයට මේ සදහා සියලුඅවස්ථාවන් ලබා දෙන බව සැලකිල්ලට ගත යුතුය.මෙය ආරම්භය පමණක් පෙන්වන නමුත් ඉදිරියේදි භයානක ප්රතිඵල නොඅනුමානවම අත් කර දෙනු ඈත.

    ReplyDelete
  4. හුණුවටයේ කතාවේ මට මතක විදිහට මෙහෙම දෙබසකුත් තියෙනවා

    "යුද්දේ ඉවරයි, සාමයෙන් ප්‍රවේශම් වෙයල්ලා"

    ReplyDelete
  5. හම්බන්තොට වරාය සැදීම එඩිතර ආරම්භයක් වශයෙන් ලේඛකයා දකී . එම එඩිතරකම මෝඩ තගාගේ එඩිතරකමට සමානබව මම සිතමි. මේ වරායට චීනෙන් ණය ලැබුනත්එය ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදුකල එකක් නිසා වැයකල මුදල ගැන පාරද්‍රශ්‍යභාවය ගැන ප්‍රශ්ණ තිබෙි . කොළඹ වරායටද රුපියල් කෝටි 450 ක් ගෙවා චීනෙන් උපකරණ ගෙන්වීමට සියල්ල සුදානම් කර ඇත. ණය දෙන්නේ චීනය නොවේ ලංකා බැංකුවයි. එසේනම් ජාත්‍යන්තර මිලගනන් වලට වඩා වැඩි මුදලකට ඇක්සස් ආයතනය හරහා චීනෙන් බාලබඩු ගෙන්වන්නේ ඇයි!. අපේසල්ලි ගෙවා ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සංවර්ධනයේ මුවාවෙන් මේ කරන ජාවාරමේ වන්දයි ගෙවන්ට වන්නේ ජනතාවටයි.

    ReplyDelete
  6. Some times you talking nonsense
    (I am not supporting any political group)
    You have to write something believable to attract readers!!

    ReplyDelete
  7. හම්බන්තොට වරායට අත ගැසීම එඩිතර ආරම්භයක් නොව මුග්ධ ආරම්භයකි. සේවා සපයන වරායක තිබිය යුතු අවම සේවාවන් වන්නේ (අ ) ඉන්ධන (ආ) ආහාර (ඇ ) ජලය. යෝජිත හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ මේ සඳහා ඇති සූදානම කුමක්ද? (අ ) ඉන්ධන පිරිපහදුවක් අලුතින් ස්ථාපනය කල යුතුය (ආ, ඇ ) අප දන්නා පරිදි හම්බන්තොට යනු ලංකාවේ ඇති ශුශ්ක කලාපයන් 2න් එකකි!

    ඊනියා පොදු ජනතාව තුල පොරත්වය පිලිබඳ සංකල්පයක් ඇත. එනම් හරි හෝ වැරදි තමා සිතන දේ කල යුතුය යන්නයි. ජනපතිගේ එඩිතරකම ලෙස අප දකින්නේ ඒ හැර අන් කිසිවක් නොවේ. ජනපතිගේ පවතින ජනප්‍රියත්වයේ රහස ද එයයි.

    ශ්‍රී ලංකාව තුල එඩිතර මෙගා ව්‍යාපෘති මෙතෙක් සාර්ථක වී නැත (ඊට හේතු ගනනාවක් ඇත ). සාපේක්ශව සැලසුමක් සහිත වූ මහවැලිය නමැති එඩිතර ව්‍යාපෘතිය ලබා දුන් ප්‍රථිපල අපි ඉතා හොඳින් දනිමු. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එවන් සැලසුමක් හෝ නොවූ බව පැහැදිලිය. ඉතින් අපි ප්‍රාතිහාර්යයක් (ආශ්චර්යයක්) බලාපොරොත්තු වෙමු!

    ජනපති ඔබද මාද ඇතුලු ශ්‍රී ලාංකිකයා උගසට තබා සහ තව තවත් තබමින් ඇති බව ඉතා පැහැදිලිය. ඔබ වෛරයෙන් තොරව ලියන්නේ එතුමාටය!

    - Dimithry

    ReplyDelete
  8. Have you done science for AL or at least OL??
    There is something called facts and figures, research and evidence..
    Write something based on common sense at least!
    Just because you have a PC and hand, dont write crap..!
    Frankly I dont think SL will be very much better than this even after 50 years..
    We wish if we had a leader who could plan for at least 25 years and start rebuilding the nation, but unfortunately we dont !
    MR, you have lot to learn, and lot to correct !

    ReplyDelete
  9. @Dimithry,

    සිංගප්පුරු වරාය කලාපයේ ඇති වැඩිම නැව් ගමනාගමනයෙන් යුතු එකකි. සිංගප්පූරුව ඉන්ධන ලීටරයක් වත් නිෂ්පාදනය නොකරයි. කෘෂිකර්මාන්තයක් කියා ඉලව්වක් නැත. මෑතක් වන තුරු නැව් වලට තියා බොන්ට ජලය ලබා ගත්තේද යාබද මැලේසියාවෙනි. :-)

    බල්ලෝ බුරති. ඒ උන්ට කටක් මිස මොළයක් නැති නිසාය. ජේවීපී කාරයින්ද ඒ වගේමයි.

    - Taboo

    ReplyDelete
  10. let me give you a break down of cost of living in some developed countries .

    Singapore :
    Salary ( manual labours )
    5$ *8 hours a day ( 40*26) or more
    1040 $

    Cost of living
    a loaf of bread - 1$- 3 $
    rice and curry at a Chinese stall - 3-4 $
    Rice and curry at an Indian stall - 5$
    HDB house on a long term lease ( for Locals) - 300-400$ for foreigners (about 300$ for shared accommodation)
    Transport - 100$ a month (public transport)
    average cost of living is about 1000$ a month for a local this can be cut down to less than 600 if you cook your own food .

    *. and white collar workers earn an average salary of 3000$ or more, making them enjoy a first class lifestyle .

    In Minneapolis /MN USA

    Manual labours ( 10 an hour)
    weekly income 40 * 10 (400)
    monthly income 1600$

    1 bed room apartment within 10km radius to the city 300-500$
    breakfast at the restaurant next door - 5- 10 $
    a car can be purchased from 1500$ onwards ( a good 1 at around 10k or more)
    gas and utility expenses - about 200 $ a month

    and a professional can earn about 4k or more .

    Malaysia ( 2ndworld country with good standards of living)

    Salary ( about 800 RM minimum = 24,000LKR ) or more

    a 2bedroom apartment within 15 km radius from KL can be found for 350RM
    a packet of 10KG rice bag is about 14RM = that’s about (42 Sri Lankan Rupees )
    a quality meal at an nasi kandar = 5RM (about 150 Sri Lankan rupees)
    price of a proton or perodua used car ( starts from 8k - about 240,000LKR)
    1l of gas is (about 3 RM - thats 90 Rupees)

    Salary of a professional is more than 1500Rm a month - (45,000LKR) and a car can be purchased on 9 years lease with 0 RM down paymnents ( average monthly instalment is about 9000LKR for a small car )

    I know for sure that cost of living in Malaysia is cheaper than sri lanka except public transportation costs .

    the truth is that people in our country ( majority ) is going through terrible economic hardships and we have to admit it and find solutions without applying plaster solutions .


    - CHAMALKA

    ReplyDelete
  11. පුදුම වැඩේ කියන්නෙ ටැබූ හිතන විදිහට අපිට හිතෙන්නෙම නෑනෙ. එක්කො අපි මොඩයො, නැත්නම් මොළේ ඇලේ ගිහින්.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  12. @Anonymous

    The writer has done science at Advanced Level. Have you doe thinking at any level of your life? There is something called opinions. Opinions are neither for embracing or disgracing but for discussing.

    ReplyDelete
  13. @ශාන් - බුමුතුරුණු,

    ටැබූ කරන්නේ අයිඩියොලොජි එකක් හිතේ තියාගෙන එය පුරවන්ට දත්ත හෙවීම නොවේ. මුලින් දත්ත හොයා ඉන්පසුව ඒ දත්ත ඇසුරින් නිගමනයට බැසීමය. w3lanka හෝ ඉහත අසුබවාදීව කමෙන්ට් කළවුන් අනුගමනය කළේ පළමු ක්‍රමයයි. වෙනස ඒකය.

    හම්බන්තොට වරාය ගැන ඇසූ විගස ටැබූ ඔහු නොදත් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගන්ට බැලුවේය.

    1. එහි ආණ්ඩුව කියන තරමට ආර්ථික විභවයක් ඇත්ද?
    2. ඇත්තටම හම්බන්තොට නුදුරින් ඔය කියන ජාතියේ ප්‍රධාන මුහුදු මාර්ගයක් තිබේද?
    3. අප ගෙන්වා ගන්ට අදහස් කරන නැව් වල ඉන්ධන ධාරිතාව අනුව සිංගප්පුරුව හා ඩුබායි වැනි ප්‍රධාන වරායන් දෙකක් අතර යාත්‍රා කිරීමේදී මඟ නැවතුමකදී ඉන්ධන ලබා ගැනීම ඔවුන්ට ලාභදායක විසඳුමක්ද? (නැව් කුඩා නම් ඔව්; විශාල නම් කාලය නාස්ති නොකර ලොකු ඉන්ධන ප්‍රමාණයක් ගෙන යාම ලාභදායකය.)
    4. අපද ඉන්ධන බැහැරින් ගෙන්විය යුතු නිසා ලාභදායී ලෙස ඉන්ධන සැපැයීමට අපට හැකියාවක් ඇත්ද?
    5. එහි ප්‍රමාණය හා පහසුකම් අනුව භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකිරීමට මේ වරායට හැකියාවක් ඇත්ද?
    6. (ඉතා වැදගත්) මේ වරාය නිසා කොළඹ වරාය දැනට ලබන ආදායමේ අඩුවක් වේද?
    7. සෝමාලියාව හා මලක්කා වැනි ප්‍රදේශයන්හි බහුල මුහුදු කොල්ලකරුවන් මේ කලපය ආශ්‍රිතව බිහිවීමට ඉඩ ඇද්ද? ඒ නිසා ආර්ථික විභවය නැතිවේද?
    8. (ඉතා වැදගත්) මේ වරායේ ආර්ථික විභවය ඊට යට කරන දැවැන්ත මුදල් කන්දරාව සාධාරණීකරණය කරන්නේද?

    මින් සමහරකට ඔහු පිළිතුරු සොයාගෙන ඇති අතර අනෙක්වාට පිළිතුරු සොයමින් සිටී. හම්බන්තොට වරාය ගැන තවම නිගමනයක් දෙන්ට ඔහු පැකිළෙන්නේ එහෙයිනි. (මෙතෙක් හමුවූ තොරතුරු නම් සුබවාදීය, ආයෝජනය සම්බන්ධයෙන් හැර.)

    හම්බන්තොට වරාය පතුරු ගසන ඉහත සියල්ලන් එසේ කරන්නේ ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සොයාගෙන නොව එය ඔවුන්ගේ අයිඩියොලොජි එකට පටහැනි නිසාය. w3lanka හෝ ඉහත එකකු හෝ මේ ප්‍රශ්න අසා පිළිතුරු සොයන්නට වෑයම් කළේයැයි මම නොසිතමි. ඔවුන් කරන්නේ දැවැන්ත ව්‍යාපෘති වලට විරුද්ධ වන්ට කවුරුන් හෝ කියා ඇති නිසා මීට විරුද්ධ වී ඉන්පසුව තමන් හරිය ඔප්පු කරන්ට සාධක සෙවීමයි.

    ටැබූ සිතන විදිය පැහැදිළි කරන්ට දුන් අවස්ථාව ගැන ස්තූතියි.

    - Taboo

    ReplyDelete
  14. දිමිත්‍රි,

    යෝජිත හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ මේ සඳහා ඇති සූදානම කුමක්ද? (අ ) ඉන්ධන පිරිපහදුවක් අලුතින් ස්ථාපනය කල යුතුය (ආ, ඇ )

    අලියා ගත් පසු හෙණ්ඩුව ගැනීම ලොකු දෙයක් නෙවෙයි නේද? වරායක් නැතුව තෙල් පිරි පහදු ගොඩ නැගීම ආරම්භ කලේනම් ඔබ එය විවේචනය නොකරන්නේ ද ?. විකාරයක් සේ නොදකින්නේ ද?.
    -rayan

    ReplyDelete
  15. @W3Lanka,

    Opinions are important only when there is insufficient information to prove (or deny) something.

    Aristotle had an ‘opinion’ women have less number of teeth than men. As we have enough data to prove it, that ‘opinion’ has no value.

    You ‘opinion’ is that Hambanthota port will have no effect on the lives of the people of Hambanthota. The data proves otherwise. What should we trust? Your opinion or data?

    - Taboo

    ReplyDelete
  16. හරියටම හරි Taboo..
    මෙතෙන්ට එන ගොඩක් දෙනෙක්, ආණ්ඩුවේ හැම දේටම විරුධයි හො හැම දේටම එකගයි. හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග, ගල් අගුරු විදුලි බලාගාර ආදිය මේරටේ කාලයක් තිස්සේ සංවාදයට බදුන් වෙච්ච කාරණාබව අද ගොඩක් දෙනෙකුට අමතකයි. මේව එකක්වත් මහින්දගේ සංකල්පනා නෙවෙයි. ඒත් මේවට අත ගහන්න හයිය තිබ්බේ මහින්දට විතරයි.
    පැරකුම්ට අනුව නම් රටේ සංවර්ධනය එක රැයින් අතුරු ආබාධ නැතිව සිද්ද වෙන්න ඕනේ. මීගමු කලපුවට see-plane එන එකට ධීවරයො විරුද්ධයි. හැබයි මීගමුවේ සංචාරක වි‍යාපරයේ නියැලෙන්නගෙන් කවුරුත් කවුරුත් මේ ගැන අහල බැලුවද ?. හැමොම සතුටු කරන්න පුලුවන් සංවර්ධන ක්‍රමයක් ගැන පැරකුම්ගේ අදහස් දැන ගන්න කැමතියි.
    හැබයි මත්තල ගුවන් තොටුපල ගැනනම් පැරකුම් හරි කියල මට හිතෙනවා (කරුණු හරි හටි නොදන්න නිසා අදහස් පල කරන්න තාම කල් වැඩි උනත්)
    මංජුගේ ප්‍රශ්නෙට මහින්ද අත පුච්චගත්තේ කොහොමද කියල නම් තේරෙන්නේ නෑ. මහරජාණො උනත් දිවැස් නෑනේ
    - rayan

    ReplyDelete
  17. @ rayan;

    අලියා ගත් පසු හෙණ්ඩුව ගැනීමෙන් පලක්වන්නේ අලියා Elephas maximus වර්ගයේ නම් පමනි. ඌ සුදු අලියෙක් නම් හෙන්ඩුවක් ගැනීමෙන් ඇති පලක් නැත. නැනවත් විය යුත්තේ හෙන්ඩුව නොව අලියා ගැනීමට පෙරය!

    - Dimithry

    ReplyDelete
  18. @දිමිත්‍රි,

    අලියා සුදු අලියෙක් යැයි තීරණය කලේ කෙසේදැයි පැහැදිලි කරන්නේ ද? මතුපිටින් බලාද ? සුදු කණ්නඩියකින් බලාද ? කවුරුත් කිවු නිසාද, නැත්නම් සැබෑ biological test එකකින්ද ?

    -rayan

    ReplyDelete
  19. We cannot blame the writer - irrational. Of course he is irrational as his article is based on his own value perceptions. The article presents an opinion which is biased. All Opinions are value based not rational. (The opinion it self explains why he did not vote for MR!!!).

    However, his opinion has a very sensible analysis, especially, on the MR's association with the power elites who help him to control the masses psychologically. To me he represents the totalitarianism of both Hitler and Stalin. As Hannah Arendt noted in her analysis on "Totalitarianism" they used ethnic and class consciousness to depict "I am in you; You are in me" to the masses...This is going on in the country today. Listen to the songs sung for "Maharajanani".

    Writer's prediction is correct. The success of psychological manipulation of the elites depend on "how he delivers the goods to the masses who are now just treating these pageantry politics silently".

    One more thing, the Southern Development Program including, the Hambantota Harbor was first came out during JR's time through the Southern Development Authority (SDA) under Naveen Gunaratna. SDA published a colorful booklet titled "Why Hambantota?" comparing its benefits with Colombo, Gall and Trinco Harbors. It was prepared by Master Drivers Ltd., If the writer takes old Ravaya papers he can find several critical articles on the Harbor project.

    ReplyDelete
  20. taboo
    සිංගප්පුරුවේ සිට මැලේසියාවට තියෙන්නේ හුවක දුරක් . ඒත් හම්බන්තොටට හුවක දුරින් වතුර තියනවද කියන එක ප්‍රශ්නයක් . මම කියන්නේ මේකට විසදුමක් තිබිය යුතුයි. හැබැයි ඒක ලේසි එකක් නොවෙන බවයි පේනන්නේ. අනෙක අපිට හම්බන්තොට මාකට්කරන්න වෙනවා මොකද නැව් සමාගම් වතුර , ඉන්දන ගන්නේ ගිවිසුම් අනුව , ඒකට තරගයක් දෙන්න අපේ ලොකේශන් එක හොඳයි . අනෙක් ඒවාත් Develop කරන්න ම්නෑ. අද ජනාධිපතිතුමාගේ කතාවේ දී කියව්නා දුශනය සහ අකර්යක්‍ෂමතාවය නැති කරන්න උවමනා බවක්. බලමු සුභවාදීව ඇත්තටම එහෙම වෙයිද කියල.

    ReplyDelete
  21. @Taboo Subjects

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වන ඉදි කිරීම් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම්වල හා මුදල් සංසරණයේ වැඩි වීමක් සිදු විම සමග ජනයාගේ ආදායම් ද වැඩි වීම අපේක්ෂා කළ හැකි ය. එහෙත්, චිනුන්, ඉන්දියානුවන් පිටරටවල කොන්ත්‍රාත් කරන විට තම රටේ අතිරික්ත ශ්‍රම බලකායට රැකියා ද එතැනින් බලාපොරොත්තු වෙන බව ද ඇත්තකි. පොලියට දුන් ණයෙන් සැලකිය යුතු පංගුවක් මෙවැනි ක්‍රම හා විධි හරහා ඔවුන් ආපසු සිය රට ගෙන යන බව ද දත්තයකි.

    මේ ඉදි කිරීම් අවසන් වූ පසුවත් ජනයාගේ ආර්ථිකය ශක්තිමත් වීම ස්ථායී විය යුතු ය.

    සිදු වන ඉදි කිරීම් විසින් හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය නංවා ඇති ආකාරය පිළිබඳ ඇති දත්ත ඉදිරිපත් කර නැති නිසා ඔබගේ කමෙන්ටුව ද තවත් මතවාදයක් පමණි.

    සංවර්ධනය යනු ජනයාගේ සහභාගිත්වයෙන්, ජනයා විසින්, ජනයා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කරන්නක් මිස කිසියම් ශාස්තෲවරයකු විසින් කරන ‍හා ඔහුට ආවඩන අය විසින් අගයන දේශනාවක් නො වේ. සවිස්තර ලිපියක් ලසුව ලියමි.

    ReplyDelete
  22. @serendipity,

    එකොළොස් වන සියවසේ ලොරි තිබුණේ නැත. නැව් දිව්වේ රුවලින්ය. මේ සියළු බාධක මැද පරාක්‍රමබාහු I මහවැලි ගඟ දිගේ පොළොන්නරුවට 'නැව්' ගෙන්නා ගෙන සහල් පමණක් නොව ඇතුන්ද බුරුමයට, සියමට හා වර්තමානයේ මැලේසියාව හා ඉන්දුනීසියාව යන ප්‍රදේශ වලට අපනයනය කළේය. (ඇතුන් බාගයක් දීර්ඝ මුහුදු ගමනේදී මැරෙන්ට ඇතැයි සිතමි.) පරාක්‍රමබහු එදා ඒතරම් දෙයක් කළා නම් අද අපට ඇති තාක්ෂණය අනුව හම්බන්තොට වරායක් වත් කර ගන්ට බැරිය කීම 'බැරි බැරියාව' සහජයෙන්ම උරුම වූ නිකමකුට මිස මොළයක් ඇත්තකුට කළ හැකි ප්‍රකාශයක් නොවේ.

    උතුරේ යුද්ධය දිනන්ට බැරි බව කී බොහෝ දෙනෙක් වූහ. (මම ද එක් යුගයක ඒ මිථ්‍යාව විශ්වාස කළෙමි.) කණ්ඩලම හෝටලය කළොත් මහා පරිසර විනාශයක් වේ යැ යි කියූවෝ වූහ. මහවැලිය කළොත් පෘථිවි පෘෂ්ඨය ඉරිතලා භූමි කම්පා ඇති වේය කියූවෝ වූහ. මිනිසා හඳට ගියොත් අල්ලා කෝප වී පොළොව විනාශ කරයිය කීවෝ වූහ. රූපවාහිනිය නිසා පොත් කියැවීම නැතිවෙතැයි කියූවෝ වූහ. පරිගණක නිසා රැකියා අවස්ථා නැතිවෙතැයි කියූවෝ වූහ.

    මේ ඒ ඒ යුගයන්හි දිමිත්‍රිලාය, අජිත් පැරකුම්ලාය. ඔවුන්ගේ ඉතිහාසය දන්නා අප මේ 'අනාවැකි' ගැන කලබල විය යුතු නැත. මේ දත්ත මත පදනම් වූ කතා නොව තරහට ඉරිසියාවට කියන දේවල්ය. විමල් වීරවංශද කාලයක් ඔහොම කතා කීවේය. දැන් ඔහු නැති නිසා කවුරුන් විසින් හෝ ඒ අඩුව පිරවිය යුතුය සිතමි.

    - Taboo

    ReplyDelete
  23. serendipity
    දැනට කෙරීගෙන යන උමා ඔය project එකෙන් කෙරෙන්නේ හම්බන්තොටට වතුර ගේන එක නේද ? මේක කොයි තරම් දුරට සාර්තකව කෙරෙනවද කියලනම් දන්නේ නෑ.

    ReplyDelete
  24. serendipity

    දැනට කෙරීගෙන යන උමා ඔය ප්‍රොජෙcට් එකෙන් කෙරෙන්නේ හම්බන්තොටට වතුර ගේන එක නේද ? මේක කොයි තරම් දුරට සාර්තකව කෙරෙනවද කියලනම් දන්නේ නෑ.

    ReplyDelete
  25. ගෝලීය ප්‍රාග්ධනය ගමට ගලා එන විට ඊට විරුද්ධ වන්නන් කිහිප දෙනෙක් සිටින බව මගේ හැගීමයි.

    වැඩවසම්වාදීන් හා සම්ප්‍රදායිකයන්

    ග්‍රාම්‍ය වාමාංශිකයන්

    දියුණු මාක්ස්වාදීන්

    ධනපතියන්

    මොවුන් ගෝලීය ප්‍රාග්ධනයට විරුද්ධ වූවාට සියල්ලන්ට එකම වේදිකාවක සිට ඊට විරුද්ධ විය නොහැක. මන්ද ඒ විරුද්ධ වීමේ පදනම එකිනෙකින් වෙනස් නිසාය.

    ගෝලීය ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ධනේශ්වර අදහස වන්නේ එය සර්ව සුභවාදී බවය.Trickle Down Effect නිසා සියළු ගැටළු විසදෙන බව ඔවුහු පවසති. වැඩවසම්වාදීන් ද සම්ප්‍රදායිකයන් ද ග්‍රාම්‍ය වාමාංශිකයන් ද තමන්ටම ආවේනික පදනමකින් ගෝලීය ප්‍රාග්ධනය ගමට එනවාට විරුද්ධය.

    එහෙත් මා නියෝජනය කරන්නේ දියුණු මාක්ස්වාදී මතයයි. ඒ නිසා ගෝලීය ප්‍රාග්ධනයට මම එරෙහි නොවෙමි. ඒත් අවශ්‍යයෙන්ම පැවසිය යුත්තේ ගෝලීය ප්‍රාග්ධනය ලොකුම සේවය කරන්නේ ධනපතියන්ටම පමණක් බවය. ඒ නිසා එය ධනපති සංවර්ධනයකි. අත පල්ලෙන් වැටෙන්නා වූ දෙය (Trickle Down Effect) ලෙව කෑම මහ ලොකු සංවර්ධනයක් යැයි මම නොසිතමි.එය එක්තරා සංවර්ධනයක් බව ඇත්තකි. එහෙත් ඒ සදහා මුළු සමාජය කරන්නා වූ ආයෝජනයට සමානුපාතිකව සංවර්ධනයක් පීඩිත පංතියට ලැබෙන්නේ නැත.

    එහෙත් ඒ නිසාම ගෝලීය ප්‍රාග්ධනයට මම එරෙහි නොවෙමි. එය පිළිගනිමින්ම ඒ තුළ පීඩිතයන්ගේ පංගුව වැඩි කර ගැනීම සදහා උපරිම ලෙස සටන් කිරීම මගේ උපක්‍රමයයි.ධනේශවර සංවර්ධනය සමාජවාදී සමාජයක තිබිරි ගෙය වන්නේ එවිටය.

    ටැබූ වැන්නන් බලා ඉන්නේ අත පල්ලෙන් වැටෙන දේ ලබාගෙන සංවර්ධනයේ මහත් ඵල මහානිසංස දැක ගැනීමටය. ඒ නිසා ලිහා බැලූ මල්ල ඔබ ඔබා බලති. දත්ත එකතු කරමින් හරව හරවා අලුත් මානයන් සොයති. කිරෙන් බැද්දත් තෙලෙන් බද්දත් කොබෙයියා බොල කොබෙයියා කිව්වා සේ ගෝලීය ප්‍රාග්ධනය කොහොම බැලුවත් වාසි වන්නේ ධනපතියාට ය.

    නො එසේනම් අගමැති වජ්පායිගේ "දිදුලන ඉන්දියාව"ට එරට ජනතාව පයින් ගසන්නේ නැත.

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. mama hambanthota ......warayawal hadunata mata monawada labune?

    ReplyDelete
  28. I think the main reason for MR’s success is the way he manages the media and other alternative views, now there is no voice against him all major print and electronic media promoting the government (in fact government mean MR and MR mean the government, now there is no segregation of power between the parliament, judiciary and the executive) he can do whatever he likes and he can stop what he doesn’t, there is no way to promote an alternative idea or view or any other person without his wish. See how he managed to passed the Casino Bill, if this was happened under a UNP regime this would have been a big deal, now people even don’t talk about this, (I personally support gambling) as this was done by MR it is ok to the people and this mentality was created by the media . MR successfully able to silence all powerful voices against him either by providing bribe to journalist or using power. The only way to bring MR government down is an internal conflict in the family, as long as he can manage his family he will be in power until he dies.

    ReplyDelete
  29. @ shan

    Trickle down effect කියන එකට විධිමත් සිංහල වචනයක් තියෙනවාද?

    ReplyDelete
  30. රාජපක්ෂගේ දෙවන ධූරකාලය මුලුමනින් පදනම් වෙන්නෙ ඔහු විසින් පොරොන්දු වෙලා තියෙන "සංවර්ධන සංග්‍රාමය" පිලිබද සිහිනය උඩ.මේක කොටි සංවිධානය යුදමය වශයෙන් අතුගා දමනවා වගේ සරල නැති එක රාජපක්ෂගේ අවාසනාව.කඩිනම් මහවැලි ව්‍යාපෘතියේ ඉදල පසුගිය වසර 40 ම ගෙවිලා ගියේ සංවර්ධනය දෝත පුරා බෙදන මෙගා ප්‍රජෙක්ට් පිලිබද අඩ බෙර මධ්‍යයේ.

    රජය මැදිහත්වී දියත් කරන්නට යෙදුන මෙගා ව්‍යාපෘති කිහිපයක දිස්නයෙන් බොහෝ අය වශී වී තිබෙන බව පෙනුනා වුනත් ඒ සියලු දෙනා අමතක කරන කරුන තමයි ලංකාවෙ තියෙන්නෙ ධනය නිෂ්පාදනය වීම පිලිබද ප්‍රශ්නයක් වගේම ඊටත් වඩා නිෂ්පාදිත ධනය බෙදීයාම පිලිබද ප්‍රශ්නයක් බව.නිෂ්පාදන සම්බන්ධතා හැඩගැහිලා තියෙන ආකාරය උඩ ශාන් පෙන්වලා දීල තියෙන විදිහේ "අහුලා ගෙන කන යමකින් සතුටු වීමක්" හැරෙන්න බහුජනයාට ලැබෙන දෙයක් නැහැ.මේ අලුත් දෙයක් නෙමෙයි.දකුනු අමෙරිකාවෙ ඉන්දියාවෙ - පහුගිය අවුරුදු 40 ලංකාවේ නැවත නැවත පට්ට ගහපු පරන සංවර්ධන මාදිලියමයි.

    මීට අමතරව කිව හැකි දෙයක් තියෙනවා.රාජපක්ෂ සීඝ්‍රව කරගෙන යන ධනේශ්වර සංවර්ධන වැඩපිලිවෙල උඩ දේශීය ධනහිමි ස්ථරයක් ශක්තිමත් වීම ක්‍රමානුකූලව සිදුවෙමින් තිබෙනවා.දේශපාලන හිතවත්කම් උඩ උතුරු නැගෙනහිර "මුදාගත්" භූමියේ හෝල් සේල් ඉඩම් ගනිමින් ඉන්නේ මේ ස්ථරය.මේ ස්ථරය දැනට රාජපක්ෂගේ අධිකාරිවාදය සමග සෙට් වුනාට අනාගතයේදී තත්වය වෙනස් වෙන්න පුලුවන්.පිලිපිනයේ මාකෝස් යටතේ ධනවත් වූ අය 87 පෙරලා ("ප්‍රජාතන්ත්‍රවාදය" වෙනුවෙන් ) ඔහුව වට්ටන්නට ඉදිරිපත් වුනා වගේ යූඇන්පිය සමග එකතු වී අනාගතයේදී රාජපක්ෂ වට්ටන්න වුනත් මේ ස්ථරය කටයුතු කිරීමේ ඉඩක් තිබෙනවා.

    ReplyDelete
  31. @ ටැබූ

    ශාන් සහ රාමා විසින් ඉතා විධිමත් සහ පැහැදිලි පිලිතුරු ලබා දී ඇති බැවින් මම ඒ ගැන නොවෙහෙසෙමි. ජනපති හෝ ඔහුගේ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කරන්නන් සැවොම ජවිපෙ පාක්ශිකයන් නොවන බව පමනක් නැවත අවධාරනය කරමි. මිනිසුන්ගේ ප්‍රතිචාරයන් හුදෙක් ඔවුන්ගේ චෛතසිකයන් වන තරහව හෝ ඊර්ශ්‍යාව වැනි දේ මත පදනම් වේ යැයි කීම නම් මතුපිට අතගෑමකි. හම්බන්තොට වරායට දක්වන විරුද්ධ වීම මත අප නවීන තාක්ශනයේ විරෝධීන් ලෙස හංවඩු ගැසීමට ඔබ තැත් කරයි. මේ නම් අරුම පුදුම තර්ක ශාස්ත්‍රයකි.

    ඔබේ නිගමන පදනම් වන දත්ත ඔබ එකතු කරන්නේ රජයට පක්ශ මූලාශ්‍රයන්ගෙන් නම් ඔබට රජයේ අනුග්‍රහය ලබන ඕනෑම දෙයක් ගැන ඉතා ධනාත්මක නිගමනයකට පැමිනිය හැකි බවට සැක නැත. වර්තමානයේ දත්ත සම්පාදනය කිරීමේ අධිකාරිය බොහෝ විට ඇත්තේ ඔවුන් අතය. ඔබේ අයිඩියොලොජිය නම් ඔබට අයිඩියොලොජියක් නැතැයි සිතා සිටීමය.

    මා හම්බන්තොට වරාය ගැන නිගමනයට පැමිනියේ සමහර විට ඔබ තරම් විධිමත් ලෙස නොවුනත් මා සොයාගත් කරුනු අනුවය. කීර්තිමත් ආර්ථික විශේශඥයකු වන ආචාර්ය රොහාන් සමරජීව සති කීපයකට පෙර රාවයට පල කල අදහස් ඒ අතරින් ඉතා තර්කානුකූල බව කිව යුතුය. ආචාර්ය සමරජීව මාක්ස්වාදියෙකු නොවේ.

    ඔබ ලංකාවේ හම්බන්තොට වරාය, සිංගප්පූරු වරාය සමග සසඳයි. සිංගප්පූරුවේ ඉන්ධන, ජලය හා ආහාර කලමනාකරනය ශ්‍රී ලංකාවේ එය සමග සැසඳිය හැක්කේ මුග්ධයකුට පමනි. දෙබර වැව ක්‍රීඩාපිටිය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ තත්වයට නංවාලිය නොහැකිය. එය නොහැක්කේ බැරිබැරියාව නිසා නොවේ!

    කන්ඩලම හෝටලය, නොරච්චෝලෙයි හෝ ඉහල කොත්මලේ ව්‍යාපෘති යථාර්තයන් බවට පත් වූයේම ඒවාට එරෙහි දැවැන්ත ප්‍රශ්න කිරීම් නිසා බව අප වටහා ගත යුතුය (ඒවා පසුපස එන්ජීඕ සිටීම සත්‍ය නමුත් අද ඒවා අවශේශ කාරනාය). ඒවා හුදු විරෝධතාවන් නොව එම ව්‍යාපෘති නිවැරදි මගට ගෙන ඒමට හේතු වූ මග පෙන්වීම් ද වූ බව මතක් කල යුතුය. එවැනි පුලුල් අවධානයකට ලක් නොවුනු දක්ශින අධිවේගී මාර්ගය නිසා අද ඇතිවී ඇති ව්‍යසනකාරී තත්වය කිසිවෙකුට රහසක් නොවේ.

    - Dimithry

    ReplyDelete
  32. ඉහත කිසිම කෙනකු සමඟ වාද කොට පලක් නොවන්නේ ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ (යල් පැණ ගිය) අයිඩියොලොජි මත මිසක දත්ත මත කතා නොකරන නිසාය. ඇත්තටම ඔවුන්ට ඊට හැකියාවක් නැත. ශාන්, රාමචන්ද්‍ර වැනි අය කලා විෂයයන් හැදෑරු පිරිසකි. මොවුන්ට විද්‍යාත්මක ක්‍රමය ගැන අවබෝධයක් නැත. කොහෙන් හෝ අයිඩියොලොජියක කෑල්ලක් අල්ලාගෙන ඊට දත්ත පූට්ටු කිරීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතයි. (රාමචන්ද්‍රට අනුව සුනිල් හඳුන්නෙත්තිට යාපනයේ ගසා ඇත්තේ ඇපාතයිඩ් නිසාය! මෙවැන්නන්ගේ බුද්ධිය ගැන තවත් කතා කළ යුතුද?)

    "විධිමත් ලෙස" පිළිතුරු දී ඇතැයි කියන මේ පුද්ගලයන් දෙදෙනාගේ කමෙන්ටු වල එකම ඉලක්කමක් වත් නැත! ඇත්තේ ඔවුන්ම මිස වෙන කවරකු හෝ නොපිළිගන්නා මෝඩ අයිඩියොලොජියකි. (ඇත්තටම උසස් පෙළ දක්වා වත් ගණිතය හැදෑරූ බව කියන w3lanka මීට බොහෝ ඉදිරියෙන් සිටී. ඔහුගේ බොහෝ පෝස්ට වල අදාළ දත්තයන් ඇත.)

    මා මතුකළ ප්‍රශ්න අටට පිළිතුරු සොයා නොගෙන කරන මොනයම්ම හෝ වාදයක් අර්ථ විරහිතය. කවරකුට හෝ ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඇත්නම් කතාකරමු. නැතිනම් මේ දෙකේ පන්තියේ ළමයින් පිරිසක් සමඟ ත්‍රිකෝණමිතිය ගැන කරන වාදයක් වනු ඇත.

    රාවයේ මහාචාර්ය රොහාන් සමරජීව ගේ ලිපිය මම තවම කියවා නැත්තෙමි. එහෙයින් ඒ ගැන යමක් ප්‍රකාශ කළ නොහැකිය.

    අවසාන වශයෙන් ජේ.වී. පී කාරයින් මාක්ස්වාදීය මා කොතැනකවත් කියා නැත. ජේ. වී. පී. කාරයින් යනු මැට්ටන් පිරිසකි. උන්ට තේරෙන මාක්ස්වාදයක් නැත. මාක්ස්වාදය යනු ටිල්වින් සිල්වා, සෝමවංශ අමරසිංහ වැනි ඉරට්ටේ මෝඩයින්ගේ දැනුම් පථයෙන් එපිට ඇති දෙයකි. ජවිපෙ මාක්ස්වාදී කීම මාක්ස්ට කළ හැකි ලොකුම අගෞරවයයි.

    - Taboo

    ReplyDelete
  33. Trickle Down Effect එකට මම කියන්නෙ අත පල්ලෙන් වැටෙන දේ කියල. ආර්ථික විද්‍යාත්මක වචනෙ නම් මම දන්නෙ නෑ සහෝ. පැරා නම් දන්නව ඇති. ටැබූ සහෝදරයත් දන්නවා ඇති

    ReplyDelete
  34. අනේ පව්, මහ ලොකු විද්‍යාත්මකව සිතන ටැබූට වෙච්ච දෙයක්, ටැබූ මා ගැන කළු ද සුදු දැයි දන්නේ නැත. හමුවී දේශපාලනය ගැන කතා කරමුයි යෝජනා කළ විට මග හරියි. එහෙත් මගේ අධ්‍යාපනයක් ගැන කතා කරයි. දැන් ටැබූ මා කලා විෂය හැදෑරුවෙකු යැයි කියන්නේ ඒ ගැන විධිමත් සොයා බැලීමකින්ද?

    නැත, කිසිසේත් නැත. මනෝරාජිකවය. අනුන්ට චෝදනා කරන ටැබූ ද කරන්නේ නිසි සොයා බැලීමකින් තොරව මතවාද නිර්මාණය කිරීමක් නොවේද?

    දත්ත මත පදනම්ව අදහස් පල කරනවා යැයි කියන මිනිහා ද කරන්නේ තමන්ගේ අයිඩියොලජියට ගැලපෙන ලෙස පරිසරය සකස් කිරීම නොවේද?

    මා උසස් පෙළ දක්වා නොව විශ්ව විද්‍යාල උපාධියට ද කළේ විද්‍යා විෂයන්ය. පළමු වසරේ දී භෞතික විද්‍යාවත්, ශුද්ධ ගණිතයත්, ව්‍යවහාරික ගණිතයත් ඉගෙන ගත්තෙමි. අනතුරුව ව්‍යවහාරික ගණිතය අත්හළ මම ඒ වෙනුවට ආර්ථික විද්‍යාව, කළමනාකරණය හා පරිසර විද්‍යාව හැදෑරීමි.

    මට ඇති උපාධියට භෞතික විද්‍යාව, ශුද්ධ ගණිතය, ආර්ථික විද්‍යාව, කළමනාකරණය හා පරිසර විද්‍යාව ඇතුලත්ය.

    එසේම මම දැනට තොරතුරු තාක්ෂණ උපාධිය ද මානව සම්පත් කළමනාකරණ උපාධියක් ද හදාරමි.

    මේ සියල්ල මා පවසන්නේ මගේ ලොකුකම් කීමට නොවේ. අදහස් පළ කිරීමේ ලා ටැබූගෙ දුප්පත්කම ඔප්පු කිරීමටය. නිසි සොයා බැලීමකින් තොරව මගේ අධ්‍යාපනය ගැන කතා කරන මිනිහා දේශපාලනය ගැන මහන්සි වී හදාරයිද?

    අනෙක විද්‍යාත්මක මත පළ කිරීමකට සංඛ්‍යාලේඛන අවශ්‍යමද? අනේ පව්.

    මා ඉගෙන ගත් හා ඉගෙන ගනිමින් සිටින ශුද්ධ විද්‍යා විෂයන් වලින් හෝ සමාජීය විද්‍යා විෂයන් වලින් හෝ ටැබූ පවසන අන්දමේ ඊනියා විද්‍යාත්මක විශ්ලේෂණ අඩංගු නොවේ. ටැබූ කරන්නට හදන්නේ ද මහ ඇදුරු නලින් ද සිල්වා කරන්නා වූ දේමය. නලින් ද සිල්වා දේශපාලන මතවාදයන් ගණිතමය න්‍යායන් මගින් විග්‍රහ කර තම බක පණ්ඩිතත්වය ලෝකයාට පෙන්වයි. නූගත් අහිංසකයන් සිතන්නේ නලින් ද සිල්වා බුද්ධිමතෙකු බවයි. ඒත් මහ ඇදුරු උනත් නලින් ද සිල්වා ද ඇල්ලේ ගුනවංශ මෙන්ම පට්ට වර්ගවාදියකු බව අපි දනිමු. පිල් විදහා නටන මොනරා තමන්ගේ හෙලුව බලන් සිටින්නන්ට පෙනෙන බව නොදනී. නලින් ද සිල්වා ද නොදනී. ටැබූ ද නොදනී.

    කුණු රසයට සමාජය කැමතිය. කුණු රසය උඩට අදිමින් සිටීම ඔලු ගෙඩි ගණන් වැඩි කර ගැනීමට හොදය. තමන්ගෙ බ්ලොග් අවකාශය තුළ කුණු කතා දිග හරිමින් ඒ කුණු රසය විදින්නට එන ජනතාව දැක චූන් වී කියන ඔටෝ චූන් කතා සමාජය කරන සේවයක් නැත. ටැබූ විද්‍යාත්මක විශ්ලේෂණයක් ගැන දන්නා මළ ඉලව්වක් නොමැති බව ඔහුගේ අදහස් වලින් පෙනේ. සමහර විට මා ද දන්නා මළ ඉළව්වක් නොමැති බව ටැබූට පෙනිය හැකිය. මළ ඉළව්වක්වත් නොදන්නේ කව්දැයි අප දෙස බලා සිටින්නන් කදිමට තේරුම් ගන්නවා ඇත.

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  35. බ්ලොග් අවකාශයේ රජයන ටැබු අයියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    වලි ඇදගන්න පිටියක් සොයමින් සිටියා
    වලිය ඇදෙන මුත් කෝ මේ බ්ලොග් දෙයියා?

    - ‍ටැබූගේ නිහැඩියාව නිසා හිත පෑරුන ප්‍රේක්ෂකයෙක්

    ReplyDelete
  36. "කුණු රසයට සමාජය කැමතිය. කුණු රසය උඩට අදිමින් සිටීම ඔලු ගෙඩි ගණන් වැඩි කර ගැනීමට හොදය. තමන්ගෙ බ්ලොග් අවකාශය තුළ කුණු කතා දිග හරිමින් ඒ කුණු රසය විදින්නට එන ජනතාව දැක චූන් වී කියන ඔටෝ චූන් කතා සමාජය කරන සේවයක් නැත. ටැබූ විද්‍යාත්මක විශ්ලේෂණයක් ගැන දන්නා මළ ඉලව්වක් නොමැති බව ඔහුගේ අදහස් වලින් පෙනේ."

    100% එත්ත
    taboo ට නියම චරිත සහතිකයක් තමයි මේ

    ReplyDelete
  37. @Taboo Subjects

    ටැබූසමහ මමද එකඟ වෙමි. වරාය ඇති තැන අන් කිසිවක් නැතැයි කියමින් වාද විවාද කරනා මංගල සමරවීර වැන්නවුන් නොවී හම්බන්තොට සිට කොළඹට එන මාර්ගයේ සිට ලැලි පෙට්ටි කඩවල එළවළු විකුණන මිනිසුන්ගේ නිෂ්පාදන පිටරට පැටවීමට ක්‍රියාමාර්ග සාදා දීමට යම් කෙනෙකුට හැකිනම් අති විශාල මිනිසුන් ගණනකගේ ජීවිත හොඳ තත්වයකට හැරවීමට ඔබටත් හැකිවේවි.
    ලිපියේ ඇති බොහොදෑ සමග එකඟ වෙමි. මුලින් ලංකාහෙල්ප් කියා ඇති ආකාරයට මම මේ අවස්ථාවේදී 55%ක් හොඳද 45%ක් නරකද දකිමි. ඔබ කිවූ ආකාරයට සිංහාෂණයද කුණු බක්කියද යන්න ඔහුගේ ‍තෝරාගැනිමය. එය තීරණයවන්නේ පසුගිය වසර 5ට වඩා ඉදිරි වසර 6තුළදීය.

    ReplyDelete
  38. Taboo said ‘සිංගප්පුරු වරාය කලාපයේ ඇති වැඩිම නැව් ගමනාගමනයෙන් යුතු එකකි. සිංගප්පූරුව ඉන්ධන ලීටරයක් වත් නිෂ්පාදනය නොකරයි. කෘෂිකර්මාන්තයක් කියා ඉලව්වක් නැත. මෑතක් වන තුරු නැව් වලට තියා බොන්ට ජලය ලබා ගත්තේද යාබද මැලේසියාවෙනි. :-)’

    It is absolutely WRONG! Singapore does produce Petrol. SPC or Singapore Petroleum Company, an affiliated company of PetrolChina, founded in 1969, is involved in exploring, production, refining and distributing & marketing crude oil based products. In-fact Singapore is considered to be the largest petrol-refining base in the region and it mainly uses Tapis crude oil from Malaysia.

    Also another company called Singapore Refining Company or SRC, which is another affiliated company of SPC is involved in Petrol refining activities in Singapore.

    Sources:
    http://www.etawa.asn.au/downloads/stage2/Petrolprices.pdf
    http://en.wikipedia.org/wiki/Singapore_Petroleum_Company
    http://www.spc.com.sg
    http://www.spc.com.sg/ourbusiness/our_activities.asp
    http://www.src.com.sg
    http://www.src.com.sg/refinery.html

    Taboo, has accelerated licking MRs ass, since recently. Even I have no idea about the reason behind that, it’s obvious that he had undertaken a serious bleaching program on behalf of MR.

    බල්ලෝ බුරති. ඒ උන්ට කටක් මිස මොළයක් නැති නිසා !!!

    TRUE!!!

    ReplyDelete
  39. මහින්දට හම්බන්තොට හෙල්ප්,හම්බන්තොට මහින්දට හෙල්ප්.හෙල්පින් හම්බන්තොට.කට්ටිය එකතු වෙලා වචන සංග්‍රාම කලාට ඇත්තෙයි බොරුවෙයි අරුත හම්බන්තොටයි.හම්බන්තොටට දෙවි පිහිටයි,රාජපක්ෂලායි ප්‍රේමදාසලයි දෙගොල්ලෝම හම්බන්තොට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා