ලොකු පුතා හෙවත් විමල්ගේ පරාවර්තනය | Wimal's new turn

(2010 ජුනි 15, W3Lankaඅපේ කරනම්කාර දේශපාලන මිත්‍රයා විමල් වීරවංශ අල්ලන්නට හදන අලුත් අඩව්ව ගැන විමසිලිමත් වීම දේශපාලනික වශයෙන් වැදගත් බව පෙනේ.


විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කළ දිගු ඉතිහාසයක් හිමි විමල් හිටි හැටියේ ම විධායක ජනාධිපති ක්‍රමයේ නරක තවත් වැඩි කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිට සිය පුත්‍රයා ජනාධිපති අනුප්‍රාප්තිකයා බවට පත් වන තෙක් කල් ගැනීම සඳහා දෙවරකට වඩා එම ධුරය හෙබවීම සඳහා ඇති බාධක ඉවත් කිරීම සඳහා ගෙන එන සංශෝධන ද හොඳ වී තිබේ.


එපමණක් නොව, විමල් 'දැනට පවත්නා අන්දමින්' ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමට ද විරුද්ධ ය.


විමල්ට ද අනෙක් හැම මලට මෙන් ම නාමලට හා නාමලගේ තාත්තාට වඩා ප්‍රමුඛ තමන් ම ය.  ගම්වල සදාකාලිකව පෝස්ටර් අලවමින් පක්ෂයට දර දිය අදින මෝඩ ගැමියන්ගේ කර පිටින් මෙතෙක් දුර ආ ගමනේ මේ වන විට විමල් සිටින්නේ ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ ඉහළ ම තැනකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකයන් වී සිටින සිරිසේනලා, සිරිපාලලා වැනි දේශපාලන බබාලා සමග තබා බැලූ විට විමල් අම්බානක දක්ෂයෙකි.  ඔහුට තරගයක් දීමට හැකි යමෙක් ආණ්ඩුවේ වේ නම් ඒ වනාහි චම්පික රණවක පමණි. චම්පික උගතෙකි. ලංකාවේ මිනිසුන්ට උගත්කම වැදගත් නිසා තමන් චම්පිකට වඩා වැදගත් බව විමල් දනියි.


මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම් ආදිය සමග නම නො කියවීම නිසා විමල් තවමත් නො ඉඳුල් චරිතයකි. ඔය සාමාන්‍ය දූෂණ ලංකාවේ මිනිසුන් ගණන් ගන්නේ නැත.


විමල්ගේ සුවිශේෂත්වය වන්නේ දේශපාලන සූදුවෙහි ඇති බිය නැතිකමයි. සරත් ෆොන්සේකාට එරෙහිව විමල් ගත් ස්ථාවරය මෙයට නිදසුනකි. තමන් මෙතෙක් දුර ආ සංකීර්ණ දේශපාලන මාවතෙහි ආපසු හැරීමක් නැති බව විමල් දනියි. 


දැන් ඇත්තේ ලංකාවේ අනාගතය නාමල ද බෑ-සිල ද යන්න තීරණය කෙරෙන යුගයකි. වී-මල නාමල දිනවන වැඩසටහනට ආවඩන බව පෙනෙන්නට තිබේ. නාමල, බෑ-සිල හෝ වී-මල හෝ මෙන් තැම්බී තෙම්පරාදු වූ මලක් නොවේ. ඒ නිසා නාමල ස්වභාවයෙන් ම නා ගැනීමට බර මලකි. ඒ බව නාමල අයිෆා උළෙලේදී ප්‍රදර්ශනය කළේ ය. ජෛව විද්‍යාත්මක පුත්‍රයා නාන කල දේශපාලන පුත්‍රයාට වැඩි අවස්ථාවක් හිමි විය හැකි බව වී-මල දනියි. 


මේ වන විට ලංකාවේ රජය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් දියත් වන නව ලිබරල් ධාරාවයි. ගොඩගැසෙමින් තිබෙන ණය කන්දරාව හමුවේ විදෙස් ආයෝජකයින්ගේ දෙපතුල් ළඟ වැඳ වැටීම හා දේශීය සම්පත් විකුණාගෙන කෑම හැර අන් විකල්පයක් ලංකාවට නැති සංදර්භයක් තුළ මහින්ද චින්තනයේ බොල් ජාතිකවාදය හකුළා ගැනීමට සිදු වී තිබේ.


මහ මැතිවරණයෙන් පසු නව ලිබරල් දේශපාලන ධාරාව යම් කඩා වදින ප්‍රවේශයක් පෙන්නුම් කළමුත් මේ වන විට එය ද මන්දගාමීව ඇත. 


හේතුව, රටේ ආර්ථිකයට වඩා මේ පිරිස්වලට ප්‍රමුඛ වන්නේ තම තමන්ගේ හා තම සමීපස්ථ පවුල්වල බලය වන නිසා තමන්ගේ ම ආර්ථික උපාය මාර්ග තමන් ම කඩාකප්පල් කරන්නට මේ පාලකයන්ට පුළුවන. නිදසුනක් ලෙස, ඉන්දියාව සමග දීර්ඝ කාලයක් තිස්සේ රජය සාකච්ඡා කරමින් තිබෙන සීපා ගිවිසුම ගැන තමන් කිසිත් නො දන්නා බව කීමට ජනාධිපතිට පුළුවන් ඒ නිසා ය.


ලංකාව මේ වන විට ඉන්දියාව සහ චීනය සමග අපූරු, එහෙත් භයානක සෙල්ලමක් කරමින් සිටියි. ඒ වනාහි ඉන්දියාව හා චීනය අතර ඇති සීතල යුද්ධයේදී ලංකාව ගනිකාවකගේ භූමිකාව රඟපෑමයි. ඉන්දියාව වෙත ගොස් අරයා මට මේවා දෙනවා කිව්වා, ඔයා මට මොනවද දෙන්නේ යි කියමින් තො‍ඳොල් වන ලංකාව චීනයට ද එසේ ම කියයි. ලංකාව හිතාගෙන ඉන්නේ තමන් ඉන්දියාවත්, චීනයත් යන දෙරට ම ගොනාට අන්දවනවා ය කියා ය.


බටහිරත්, ඉන්දියාවත් ගොනාට අන්දවන බව සිතමින් ජාතින්ගේ ප්‍රශ්නය මග හැර යමින් සිටි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට අන්තිමේදී සිදු වුණේ ඉන්දියාව කියන විධියට කරන්නැයි බටහිරින් අසා ගන්නටයි.


අප කතා කරන්නේ විමල් ගැනයි. විමල්ගේ ඉන්දියන් විරෝධය කොතරම්ද යත්, විමල් දැන් සංචාරක වීසා ලබාගෙන ගොයම් කපන්නට ලංකාවට හොරෙන් එන දිළිඳු ඉන්දියානුවන් පවා සලකන්නේ පරම සතුරන් ලෙසයි. තමන් ද කලක් අයත්ව සිටි පංතියට අයත් මේ මිනිසුන් ලංකාවට එන්නේ ලංකාවේ ගොයම් කපන්නන් හිඟ නිසා බව හා ඉන්දියාවේ දිළිඳුකම නිසා බව විමල්ට අමතක වී ඇත. ඉන්දියාවේ කුලීකාරයා කොල්ල කනවා යි විමල් සිතන මුදල ගොයම් කපන සුනාමි මැෂිමෙන් චීනයේ සමාගම්වලටත්, එයට ගසන ඉන්ධනවලින් අරාබියේ සිටින බහු ජාතික තෙල් සමාගම්වලටත් යාම විමල්ට කොල්ලයක් ලෙස නො පෙනේ.


ජාතිවාදයේ සරණ ගිය බාගෙට තැම්බුණ මාක්ස්වාදීනට 'සකල දේශවාසී නිර්ධනයනි එක්වව්!' යන කොමියුනිස්ට් ප්‍රකාශයේ මාක්ස්ගේ සටන් පාඨය පෙනෙන අන්දම සඳහා විමල්ගේ ඉන්දියානු කම්කරු විරෝධය නිදසුනකි.


කෙසේ වෙතත්, විමල් ඉන්දීය විරෝධී ආස්ථානය නඩත්තු කරන්නේ මහ රජුගේ ආශිර්වාදය මත බව නිසැක ය. එක පැත්තකින් විමල් ලවා ඉන්දියාවට බැන්නවූ විට ජවිපෙ තම පදනම විමල් විසින් ඩැහැ ගනු ඇතැයි බිය වී විමල්ට වඩා හයියෙන් ඉන්දියාවට විරෝධය පළ කරන්නට යන බව මහ රජු දනියි. එවිට ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි ඉන්දියාව කරන බලපෑම මග හරවා ගැනීමට හේතුවක් සොයා ගත හැකි ය.  


පාලකයන්ට මේ වන විට තිබෙන ලොකු ම ප්‍රශ්නය මීළඟ ජනාධිපති තමා ද නැතිනම් තම සමීපස්ථ පවුලේ අන් කිසිවෙක් ද, වෙන කවුරුවත් එතැනට පත් වීම වළක්වන්නේ කෙසේද යන්නයි. දෙවන පෙළ දේශපාලනය දැන් මෙම බෙදුම් රේඛාවෙන් බෙදී වෙන් වෙමින් තිබේ. ඊට වඩා බැරෑරුම් දෙයක් දැනට නම් ලංකාවේ සිදු වනු නො පෙනේ. 


Bookmark and Share
You may also like to visit our English Blog Lanka Polity

Comments

  1. මා මීට බොහෝ කළකට පෙර මගේ මිතුරන්ට අනාවැකියක් කීවේය. එනම් විමල් කවදා හෝ නවතිනේ එජාප යේ බවයි. අනිවාර්යයෙන් එය සිඳුවනවා ඇත. ඔබ එක දෙයක් ගැන වැරදි අවබෝධයකින් ඇත. එනම් නාමලට වැඩිපුර ආවඩනවා යන්නයි. නැත කොහෙත්ම නැත. නියමාකාරයෙන් බැසිල් නාමල් දෙදෙනාටම එකම ඉනාව දී ඇත. එපමණක් නොවේ ගෝඨාද ඉනාව කා ඇත.

    තවත් අනාවැකියක් කීමට හැක. රජකම සඳහා සිරිසඟබෝ කාළයේ සිඳුවූවා වැනි දෙයක්, සමහර විට සිඳුවිය හැක. එය පැහැදිලිව දන්නා විමල් සියල්ලන් සමඟ ශේප් නාය අනුගමනය කරයි.. එසේ නොවී ජනරාල හෝ රනිල් බලයට පැමිනියද, එම ආන්ඩුවල ප්‍රධාන චරිතයක්ද වනවා ඇත. පක්ෂයක් අටව ගත්තේ මේ සඳහායි. කවුරු මොනවා කීවද, අනාගතය දැකීමේ පුදුම හැකියාවක් මොහුට ඇත. දේශපාලන වශයෙන් හෙලා දකින පුද්ගලයෙක් වූවද. ඉගෙනගැනීමට බොහෝ දේ ඇති පුද්ගලයෙකි...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. this kind of wild political leaders has been fabricated by the miserable J V P.now on jvp has a responsibility to eliminate this kind of wild political animal politicaly.

    ReplyDelete
  4. paulata salakanawa kiwama itin mokada kiyala tamai ahanna wenne. balaya tiyena aya balaya sahitawa eka karanawa.neti unut neti pramanayen eka karanawa. wiwechanaya enna one paule sambandayata misa balayata novei

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා