නායකයාගේ දේශපාන දිවියට සතළිස් වසකි. ශ්‍රී ලංකාකාරයෙනි, එන්න, අපි නටමු! ගී ගයමු! උඩ පනිමු! රනිල්ට හූ කියමු!

(2010 ජුනි 07, W3Lankaඑක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ජනප්‍රිය මාතෘකාවකි. 


එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්නට බැරි නායකයා වෙනත් අයට අවස්ථාව ලබා නොදෙන නිසා බව ද, සිය හිතවතුන්ගෙන් සමන්විත කල්ලියක් හරහා පක්ෂය මෙහෙයවන බව ද, නායකත්වය ඡන්දයෙන් තෝරන්නේ නම් සජිත් ප්‍රේමදාස නායකයා වන බව ද, එහෙත්, එසේ වන්නට රනිල් ඉඩ නොදෙන බව ද, වැරදිලාවත් සජිත් ප්‍රේමදාස දිනුවොත් අප්පට සිරි වන්නට එජාපය නැගලා එන බව ද හෙට ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් පිහිටුවා තමන්ටත් රට කන්නට අවස්ථාව ලබා ගත හැකි බව ද යූඑන්පීකාරයෝ සාකච්ඡා කරති. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කවුරුත් කතා නො කරති. ඒ එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන නිසා ද? නැත. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට කට අරින්නටවත් පුළුවන් තරමේ ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නැති නිසා ය. 


ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන පක්ෂයේ නායකයෙකු කතා කළොත්, කතා කරන්නාගේ දූෂණ වංචා පිළිබඳ ලිපිගොනු මිටියක් පසුදා පත්තරවලට ලැබෙනු ඇත. තමන් රජුන් තනන්නෙකැයි සිතා සිටි මංගල සමරවීරට වූ දෙය ශ්‍රී ලංකාකාරයන්ට පාඩමක් විය. එතැන් සිට සියලු දෙනා වැඩේ කර ගන්නට උත්සාහ කරන්නේ හීන් නූලෙනි. එහෙත්, පවුලෙන් පිට කොයි කාටත් හිමි තැන පෙන්වා දෙමින් රජ‍ ගෙදර ලැග හිඳිමින් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප ලේකම්කමට ඇහැ ගසාගෙන සිටි ඩලස්ට ද අන්තිමේදී ඉලක්කය වැරදුණේ ය. 


දැන් ශ්‍රීලනිපයේ තත්වය අද අරලියගමන්දිරයේදී පැවැත්වෙන පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රදර්ශනය කෙරේ. මේ පක්ෂයේ සංවිධාන ව්‍යූහය තිබෙන්නේ පක්ෂ කටයුතු පිළිබඳ තීරණය කරන්නට නොවේ. ඒවා රාජපක්ෂ පවුල විසින් තීරණය කර හමාර ය. පක්ෂ නායකයා අද එය සමස්ත ලංකා කාරක සභාවට දැනුම් දෙයි. 


සම්ස්ත ලංකා කරක සභාව විසින් කරන බව කියන අලුත් ම හා අමුතු ම වැඩක් වන ස්වර්ණ තිළිණ ප්‍රදානය ද ඇත්තෙන් ම සංවිධානය කර තිබෙන්නේ පාලක පවුල විසිනි. මේ සම්මාන උළෙලේදී මහින්ද, බැසිල්, නාමල් යන රාජපක්ෂ පවුලේ අයට ස්වර්ණ සම්මාන හිමි වන අතර, පසුගියදා ජනාධිපති විසින් සිය දේශපාලන පුත්‍රයා ලෙස හඳුන්වා දෙන ලද ශ්‍රීලනිප පාක්ෂිකයකු නොවන විමල් වීරවංශට ද මෙහිදී සම්මාන පිරිනැමේ. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා වැනි ජ්‍යේෂ්ඨයන් කීපදෙනෙකුට ද සැනසිලි තෑගි හිමි වී තිබේ. 


ශ්‍රීලනිපය අද රාජපක්ෂ පවුලේ තවත් එක් චංචල දේපලකි. රාජපක්ෂ පවුල් ආධිපත්‍යය මිස ශ්‍රීලනිපය කියා පැහැදිලි දෙයක් ද අද නැත.


ශ්‍රීලනිපයක්  නො පවතී නම් එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ කතා කිරීම ද තේරුමක් නැත. එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්ලේෂණය කිරීමට සිටින අසංඛ්‍යයක් විචරකයන්ගේ කටේ මේ කාරණයේදී පිට්ටු එබැවිනි. පවුලක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කිරීම පවුලේ වැඩකි. එය රාජපක්ෂ පවුල විසින් විසඳ ගන්නවා ඇත. 


අපේ නායක මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාන දිවියට සතළිස් වසකි. ශ්‍රී ලංකාකාරයෙනි, එන්න, අපි නටමු! ගී ගයමු! උඩ පනිමු! රනිල්ට හූ කියමු!


හූ, හූ, කෝ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය!

Comments

  1. මහින්ද සහ නඩයට රට හදන්න පුළුවන්නම් රනිල්ට හු විතරක් නෙවෙයි ගූත් ගහන්නම්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා