ණය අර්බුදය අත ළඟ ද? Is Sri Lanka nearing the debt crisis?

(2010 ජුනි 14, W3Lankaශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු ආර්ථික සංවර්ධනයේ සැලසුම්කරු ලෙස සැලකෙන මහතීර් මොහොමඩ් සිය ප්‍රධාන දේශනයේදී ලංකාවට වැදගත් අවවාදයක් දුන්නේ ය.


ලංකාව ණය අර්බුදයකට මුහුණ දීම වළක්වා ගැනීම සඳහා ආයෝජන මූලික වර්ධනයක් ඉලක්ක කළ යුතු බව හා ණය ගැනීම අවම කළ යුතු බව ඔහු පැවසී ය.


ලංකාවේ රජය නො කරන්නේ ද මෙය ම ය. රජය ණය ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කරයි. මෙම ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් ඍජුව ම රජ පවුල විසින් හසුරුවනු ලබන අතර යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන අරමුණ කොමිස් ය. පාරවල්, පාලම්, විදුලි බල පද්ධති, වරාය ආදිය සෑදෙන්නේ දෙවනුව ය.


මැලේසියාව කළේ එහෙම නොවේ. මැලේසියාව පාරවල් හැදීම වැනි කාර්යයන්වලට පවා ආයෝජකයන් යොදා ගත්තේ ය. එම සමාගම් එකී පාරවල් ඉදි කළේ ගමන් කිරීම සඳහා මුදල් අය කරන පාරවල් ලෙසයි. ඒවා නඩත්තු කරන්නේ ද එම සමාගම් විසිනි. ලංකාවේ ගමන් කිරීම සඳහා මුදල් අය කරන දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි පාරවල් පවා හදන්නේ රජය විසිනි.


ලංකා රජය විදේශ ආයෝජන ගෙන්වා ගැනීම පසෙකින් තිබියදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එමිරේට්ස් සමාගම සතු අඩකට කිට්ටු කොටස් ප්‍රමාණය වැනි දැනට තිබෙන විදේශ ආයෝජන ටික ද සියතට ගෙන විදෙස් ආයෝජකයන් රටින් පැන්නීමට කටයුතු කරමින් සිටියි. ඇපලෝ රෝහලේ වැඩි අයිතිය රජයට පවරා ගැනුණු ආකාරය තවත් නිදසුනකි. 


ලංකාවේ රජය යනු කිසි සේත් ම මහජන ආයතනයක් නොවේ. එය වනාහි මහජන කැමැත්ත ප්‍රචණ්ඩත්වයෙන් හා කූට අන්දමින් ගරාගෙන, එය පදනම් කරගෙන පවතින, ‍රජ පවුලේ ප්‍රධාන සමාගමයි. 


ලංකාව ආසියානු කලාපයේ යටිතල පහසුකම් අතින් දුර්වල ම රටවල් අතරින් එකකි. විශේෂයෙන් ම සල්ලි කන ‍යකෙකු වන විදුලි බල මණ්ඩලය හේතුවෙන් ලංකාවේ විදුලි මිල අධික වීම ආයෝජනවලට බලපායි.


වරාය අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව ද අපනයනය ඉලක්ක කර ගත් කර්මාන්ත සඳහා ආයෝජන අධෛර්යිවත් කරය.


ලංකාවේ ආණ්ඩුව පිටරටවලින් ණය ගනිමින්, එයින් වැඩි හරිය ඵලදායී නො වන සහනාධාර හා අකාර්යක්ෂම, සේවක අතිරික්තයකින් යුත් රාජ්‍ය අංශය නඩත්තු කිරීම වැනි දේ සඳහා නාස්ති කරමින් සිටියි. 


යුද්ධය නිමා වී වසරකට වඩා ගත වී ඇති නමුදු ලංකාවට සලකිය යුතු ‍තරම් විදෙස් ආයෝජන ගලා ආවේ නැත.


2009 වන විට ලංකා‍වේ රජයට ගත් ණය හා පොලිය ගෙවන්නට දළ දේශීය නිෂ්පාදිතයෙන් 86%ක් වෙන් කරන්නට සිදු විය. මැලේසියාවේ මෙම ප්‍රතිශතය 46%කි.


ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 36.5%කි. මැලේසියාවේ මෙය 2.9%ක් පමණි.


ලංකාවේ ජාතිවාදයෙන් තෙම්පරාදු වූ බාගෙට තැම්බුණ බැසිලියානු නව ලිබරල්වාදය මැලේසියාවෙන්වත් පාඩමක් උගනීමට අසමත් වේ නම්, ආසියාවේ ආශ්චර්යය මැවීම කෙසේ වෙතත්, ණය අර්බුදයෙන් ගැලවී ගැනීමටවත් නොහැකි වනු ඇත.


Bookmark and Share
You may also like to visit our English Blog Lanka Polity

Popular posts from this blog

එක්සත් ජනපද මැතිවරණයෙන් ලංකාවට මොකක් වෙයිද?

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ධම්මික පැණිය හා පැණි දේශපාලනය