ලාභය හා ප්‍රාග්ධන සමුච්චකරණය වෙනුවෙන් සොබාදහම සූරා කෑම හා ලංකාවේ අලි මිනිස් ගැටුම

(2010 ජුනි 13, W3Lankaදෙවියන් හෝ සොබා දහම හෝ වෙනත් බලවේගයක් විසින් පෘථිවිය බිහි කර සත්වයන් පරිණාමය කර සොබා දහමට අභියෝග කරන මිනිසා බිහි කළේ ය.


මිනිසා පෘථිවිය බෙදා වෙන් කර ඔප්පු තිරප්පු ලියා ගත්තේ ය. අනෙක් සතුන් මේ පෞද්ගලික දේපල ලෝකයෙන් බැහැර කරන ලදී.  


අලියා යනු දවසකට කිලෝමීටර පනහකට වඩා සංචරණය කරමින් කෑම සපයා ගන්නා සතෙකි. ඌ පාරම්පරිකව ගමන් බිමන් ගිය මාර්ගමැදින් මිනිස්සු ගෙවල් හා ගොවි බිම් තනා ගත්හ. ඒ මිනිසුන් කියන්නේ තමන්ටත් ජීවත් වන්නට තැනත් තිබිය යුතු ය කියා ය. එබැවින් වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අලින් කැළෑවලට පන්නා ආපසු එන්නට බැරි වන පරිදි විදුලි වැට ඉදි කර සිර කළ යුතු ය. නැතිනම් ගම් වැසියන්ට අලින් මැරීම සඳහා ලයිසන් තුවක්කු දිය යුතු ය. 


ජනමාධ්‍යකරුවෝ මෙය අලි මිනිස් ගැටුම ලෙස නම් කරති. රජය විසඳුමක් දිය යුතු බව බෞද්ධ නායකයෝ කියති. රජය දැන් අලින්ට පක්ෂ ය. මන්ද, අලින් යනු සුද්දන්ට පෙන්වා විදේශ විනිමය උපයා ගත හැකි වෙළඳ භාණ්ඩයකි. මධ්‍යම මට්ටමේ ආදායම් සහිත රටක් නිසා දැන් ලංකාවේ රජයට හා රාජ්‍ය නොවන සංවිධානවලට දැන් දිළින්දන් විකිණීමට ලැබෙන අවස්ථාව සීමිත ය. 


ඊයේ දිවයින පුවත්පතේ පළ වූ මෙම වාර්තාව බලන්න. 


හඳුන්ගමුව ප්‍රදේශයේ උපවාසයක නිරතව සිටි පුද්ගලයකු පිළිබඳව කරුණු වාර්තා කිරීම සඳහා ගිය ජ්‍යෙෂ්ඨ වනජීවී නිලධාරීන් දෙදෙනකු ඇතුළු සිව්දෙනකුට අමානුෂික ලෙස පහර දුන් දෙසීයකට අධික ගම්වාසීන් පිරිසක්‌ පොලිසියේ 150 ක්‌ පමණ දෙනා බලා සිටියදී පෙරේදා (10 දා) එම නිලධාරීන් පැය 10 කට අධික කාලයක්‌ සිරකොට තබාගෙන ඇත.
වනජීවී නිලධාරීන් මෙසේ උපවාසකරු මුණගැසීමට ගොස්‌ ඇත්තේ වල්අලියකු විසින් ඔහුගේ නිවස කඩා දැමීම නිසා කළ උපවාසය පිළිබඳව කරුණු විමසීම සඳහාය.
සිද්ධියෙක්‌ තුවාල ලැබූ වයඹ හා උතුරුමැද කලාප භාර නියෝජ්‍ය වනජීවී අධ්‍යක්‍ෂ තවුෆික්‌ මහතා දැඩි කම්පනයෙන් හා තුවාල සහිතව විල්ගමුව රෝහලටත් ඉන් අනතුරුව හෙට්‌ටිපොල රෝහලටත් ඇතුළුකර පෙරේදා (10 දා) රාත්‍රි පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව වනජීවී ආරංචිමාර්ග පැවසීය.


සීගිරියේ බඹරුන් එළවා දමන ලදී. බඹරුන් නැති කල මල් පරාගනය කරන්නට සිදු වන්නේ ද දේශපාලනඥයන්ටයි. 


සමස්ත විශ්වය ම එක් දැලක හුයෙන් සුසැදි  බව රතු ඉන්දියානු නායක සියැටල් ධනවාදයේ හිරු ඇමරිකාවට උඩින් පායා එන දිනවල කියා දුන්නේ ය.


ධනවාදයේ සවන් යොමු වන ආචාර්ය පට්ටම් සියැටල්ට නො තිබුණු හෙයින් ධනවාදීහු ඒ පාඩම පිළිකෙව් කර සොබා දහමේ තුලනය බැරෑරුම් ලෙස බිඳ දමන සංවර්ධන උපාය මාර්ගයක් දෙසිය වසරක් තිස්සේ අනුගමනය කළ හ. දැන් ඔවුහු ලෝක විනාශය ද වෙළඳ භාණ්ඩයක් කර ඇත. ලෝක විනාශය විකුණන සංවිධාන, ආගම් හා කලාකරුවෝ එයින් ද ලාභය උපයති. 


ලංකාවේ ජනයා ෆ්‍රැන්සිස් බේකන් හඳුනන්නේ 'කියවීම මිනිසා සම්පූර්ණ කරන බව' කී ප්‍රාඥයා ලෙසයි. එහෙත්, මිනිස්සු කියවා සම්පූර්ණත්වයට පත් නො වූ හ. 


මධ්‍යතන යුගයේදී ස්ත්‍රී නායිකාවන් මායාකාරියන් ලෙස හඳුන්වා පල්ලිය විසින් දඩයම් කළ ආකාරය ආදර්ශයක් ලෙස දක්වමින් බේකන් පවසන්නේ සොබා දහම යනු යාන්ත්‍රික උපකරණ මගින් වධයට භාජනය කළ යුතු ස්ත්‍රියක බවයි. ධනවාදය මේ දේ නම් අකුරට ම කළේ ය. 


ලාභය හා ප්‍රාග්ධන සමුච්චකරණය වෙනුවෙන් සොබාදහම සූරා කෑමේ ආදීනව දැන් ලෝකයාගේ නෙත් හමුවේ ඇත. මෙම ගැටුම විසින් ධනවාදය පමණක් නොව මිනිස් වර්ගයාගේ සමස්ත පැවැත්ම ම අභියෝගයට ලක් කර තිබේ. ධනවාදය සිය අසාර්ථකත්වය ප්‍රදර්ශනය කරන ප්‍රමුඛ ම ස්ථානය මෙයයි. 


මෙම තත්වය ලෙනින්, මාක්ස්, එංගල්ස් වැනි දාර්ශනිකයන් විසින් පවා නිවැරදිව විග්‍රහ කර නැත. ඒ ඔවුන් ජිවත් වූ යුගයේ මෙම ප්‍රශ්නය මෙතරම් ප්‍රමුඛ එකක් නොවූ නිසා විය හැකි ය. 



Bookmark and Share



You may also like to visit our English Blog Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා