2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වාත්තීය සමිති

(2010 ජුනි 23, W3Lankaහෙට නැගෙනහිර පළාතේ විදුහල්පතිවරු වර්ජනයක් කරති. වැඩි වන ජීවන වියදම හමුවේ පඩි වැඩි කරන ලෙස ඉල්ලා නොවේ. අවිධිමත් මාරු කිරීම් විධිමත් කරන ලෙස ඉල්ලා ය. 


රජයේ සේවකයන්ට තිබෙන්නේ මෙවැනි ප්‍රශ්න මිස වැටුප් පිළිබද ප්‍රශ්න නොවේ. වැටුප් ප්‍රමාණවත් නැත. එහෙත් රජයේ සේවකයෝ සිය වැටුපේ අඩු කොටස පියවා ගැනීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරති. විදුහල්පතිවරු නම් ළමයින් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී හෝ ගුණාත්මක යෙදවුම්වලින් භාණ්ඩ මිළ දී ගැනීමේදී මාටියා ගසති. ගුරුවරු ටියුෂන් කරති.  වෙනත් රජයේ සේවකයෝ බොරු අතිකාල කරති. නැතිනම් පගා ගසති. 


රජයේ සේවකයන් යනු ඇත්තෙන් ම රැකියාවෙන් පමණක් ජීවත් වන කම්කරු පිරිසක් නොවෙති. ඔවුන්ගෙන් බහුතරය සුළු ව්‍යාපාරිකයෝ ය. රජයේ රැකියාව යනු ඔවුන්ගේ එක් ආදායම් මාර්ගයක් පමණි. කරන්නට තිබෙන වැඩ ප්‍රමාණය අඩු නිසා එහිදී ලැබෙන වැටුප අඩු වුව ද ඔවුහු මැසිවිලි නො නගති. 


ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම සැදුම් ලබන්නේ මේ අන්දමේ රජයේ සේවකයන්ගෙනි. එහෙත්, වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ මෙය කම්කරු ව්‍යාපාරයක් ය කියා ය. 


පසුගිය දිනෙක මෙම ලේඛකයා කොළඹ සිට එන ගමන් බසයේදී වරාය කම්කරුවකු සමග කතා කරමින් පැමිණියෙමි. ඔහු කියන පරිදි ළඟදීම වරාය කම්කරුවෝ වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙති. හේතුව කුමක්ද?  හේතුව, අතිකාල කප්පාදුව නිසා වරාය කම්කරුවකුගේ වැටුප අඩු වීමයි. අඩු වීම කීවාට මේ අඩු වීම මෙසේ ය. කලින් ඔවුහු අතිකාල කරනවා ය කියා අඩු මිළට ලැබෙන රට මත්පැන් බී කැරම් ගසා ගෙදරදී නිදා ගන්නවාට වඩා කලින් නිදාගෙන රු. ලක්ෂයකට වැඩි වැටුපක් ලබා ගත් මුත් දැන් එය රු. හැටදාහට පමණ අඩු වී තිබේ. 


අපේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ ලංකාවේ විප්ලවයේ අවුරෝරා නලාව පිඹිනු ඇත්තේ මේ කම්කරුවන් ය කියා ය. අහෝ දුකකි!


පසුගිය සමයේ අප සමග හිතවත්ව සිටි දුම්රිය කම්කරු පිරිසක් සමග එක්ව දේශපාලනය කිරීමට අප උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් අප බැහැර කළේ අප මධ්‍යම පංතික සුදු කරපටි සුළු ධනේශ්වරයන් ය යන අදහස මත පිහිටා ය. තමන් රුසියානු සාහිත්‍යයේ සදහන් වන දුම්රිය කම්කරුවන් වැනි පිරිසකැයි හිස උදුම්මාගෙන සිටි මේ කම්කරුවන් වැඩ කිරීම වෙනුවට වැඩපළේ කළේ දේශපාලනය කතා කිරීමයි. වරක් ඔවුන්ගෙන් එක් අයෙක් මෙම ලේඛකයාගේ වැටුප කීයක්දැයි අසා ආඩම්බරෙන් කතා කළේ තම වැටුප ඊට වඩා බොහෝ සෙයින් ඉහළ බව පෙන්වා දෙමිනි. 


මේ කම්කරු පංතිය සමග විප්ලව කරන්නට සිතා සිටින ජවිපෙ හා ප්‍රධාන වශයෙන් රජයේ සේවකයන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සමිති මහා සම්මේලනය පසුගිය දිනවල තරගෙට මෙන් උත්සාහ කළේ රජය පසුගිය ඡන්ද කාලයේ පොරොන්දු වූ රු. 2500 ලබා ගැනීම සඳහා සටන් ක්‍රියාමාර්ගයකට පිවිසීමටයි. එහෙත් ඒ සටන් රැල්ල සෝඩා බෝතලය කැඩූ කලක මෙන් එක පාරට ම බැස ගියේ ය. ඒ ඇයි? 


වෘත්තීය සමිති මහා සම්මේලනයේ රු. 2500 දිනා ගැනීමේ සටන කැඳවන මහා සම්මේලනයට නායකයන් ද සමග වෘත්තීය සමිති සාමාජිකයන් 50ක්වත් සහභාගි වූයේ නැත. සම්මේලනය ඉවර වී වෘත්තීය සමිති නායකයෝ බොන්න ගිය හ. 


ජවිපෙ සාමාජිකයන් ටික අයින් කර බැලූ විට ජවිපෙ උද්ඝෝෂණයට ද රජයේ සේවකයන් සහභාගි වුණේ අල්පයකි. 


රජයේ සේවකයන්ට උවමනා රු. 2500ක් නැත. මේ රටේ ජනතාව තව විශාල බදු බරක් උසුලන්නට සූදානම් බව වෘත්තීය සමිති නායකයන් නො දැන සිටියත් ආණ්ඩුව නම් දනියි. 


ආණ්ඩුව භය නැතිව අලුත් බදු පනවන්නේ එබැවිනි. පිටි කිලෝවලට රු. දහයකි. සීනි කිලෝවට රු. පහකි. ‍ඉන්ධනවලට හා ගෑස්වලට ද නව බදු පැනවීම පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටියි. 


මධ්‍යම හා ඉහළ මට්ටම්වල රජයේ සේවකයන් කල්පනා කරමින් ඉන්නේ මේ ගැන නොව රජය තමන්ට ද තීරු බදු නැතිව වාහනයක් ආනයනය කර ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දෙනු ඇද්ද කියා ය. පහළ මට්ටමේ රජයේ සේවකයන් කල්පනා කරන්නේ මරුති 800 කාරයක මිළ කීයකින් අඩු වී තිබේ ද කියා ය. 


කම්කරුවන් හෝ වැඩ කරන ජනයා ඉන්නේ රජයේ සේවයේ නොවේ. රජයේ සේවකයන් යනු සැබෑ කම්කරුවන් සූරා කන පීඩාකාරී අතරමැදි ස්ථරයක් පමණි. ඔවුන් ඉස්සරහට දමාගෙන විප්ලව කරන්නට සිහින මවන ලංකාවේ වාමාංශිකයන් වහා ම යැවිය යුත්තේ මානසික සායනයකටයි. 


ඕනෑ නම් වෘත්තීය සමිති මහා සම්මේලනයට ඒ වෙනුවෙන් ව්‍යාපෘතියක් සකසා ෆ්‍රෙඩ්‍රික් ඊබට් පදනමෙන් මුදල් ලබා ගැනීමට වුව පුළුවන. 

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Excellent article. I totally agree

    ReplyDelete
  2. Excellent analysis.
    The government service is definitely not the proletariat. This is in fact an aspiration class. As you have written, they are only looking for more rungs in the ladder to prosperity.
    -Rasika Suriyaarachchi

    ReplyDelete
  3. Ela..ela...100% true... this ia reality..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා