කොරියාවේ ගල් වන මල්ලිලා නංගිලා වෙනුවෙන්

කොරියා සිහින විභාගය - Sunday Times photo
ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුත් කොරියාවේ රැඳී සිටින 4000ක් ශ්‍රී ලාංකිකයන් නිසා මේ වන විට ගැටලුවක් ඇති වී තිබේ. ඔවුන්ගේ නීති විරෝධී රැඳී සිටීම නිසා අලුතින් එහි යන්නට සිටින පුද්ගලයන්ට අවස්ථාව නො ලැබෙන තත්වයක් මතු වී තිබේ.

මේ අතර සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඊශ්‍රායල් රජය ද ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇත. එසේ රැඳී සිටීමෙන් ලාංකිකයන්ට ඊශ්‍රායල රැකියා වෙළඳපොළ ද අහිමි වෙතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බිය පළ කර සිටී.

ඊශ්‍රායලයේ නම් වැඩිපුර ලාංකිකයන් සිටින්නේ සත්කාරක සේවයේ ය. එහෙත්, දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් වැඩි දෙනෙක් යෙදී සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවල ය. 

ඔවුන් සිය සේවා ගිවිසුම අවසන් කර ලංකාවට එන්නේ කිසියම් නිෂ්පාදන ක්ෂේත්‍රයක විශේෂඥ පුහුණුවක් සහිත කම්කරුවන් ලෙසයි. 

එහෙත්, ලංකාවට පැමිණි පසු මේ බොහෝ දෙනෙක් කරන්නේ කඩ දැමීම, කඩ කාමර කුලියට දීම, ත්‍රිරෝද රිය හෝ වෙනත් වාහන සේවා සැපයීම, පොළියට දීම, ජෝඩුවලට කාමර කුලියට සැපයීම වැනි නිෂ්පාදන ආර්ථිකයට ඍජුව සම්බන්ධ නො වන කාර්යයන්හි ය. මේවා හැම විටම සාර්ථක වන්නේ නැත. 

කොරියාවේ හොරෙන් රැඳී සිටින ලාංකිකයන්ගෙන් මේ ගැන ඇසූ විට ලංකාවට ඇවිත් කුමක් කරන්නදැයි අසති. 

රජය කළ යුතුව තිබෙන්නේ විදේශ සේවයෙන් පසු ලංකාවට ආපසු එන පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් නිසි වැඩසටහනක් හැදීමයි. ඔවුන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත යොමු කර, ඔවුන්ට දියුණු වීමට අත දිය හැකි ක්‍රමවේදයක් නිර්මානය කළ යුතු ය. එම කර්මාන්තවලට සහන සැපයිය යුතු ය. නිසි මාර්ගෝපදේශන හා නියාමන ක්‍රමවේද ඇති කළ යුතු ය. 

එසේ නැතිව ගිය තැන්වල ගල් වෙන්න එපා යයි කී පළියට කිසිවක් සිදු වන්නේ නැත. විදේශ සේවයේ යෙදී සිටින සහෝදර සහෝදරියන් මේ ගැන සිය හඬ අවදි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පිස්සුද පැරා ඒ රටවල් වල උන් ගන්න පඩිය මෙහේ ජීවීතේට හොයන්න බෑ. අනික නිදහස. එහෙනම් ජපානයේ, ඇමරිකාවේ, එංගලන්තේ කොච්චර ඉන්නවද..? කිසියම් පිරිසක් ඉලක්ක කරගෙන විශේෂ වැඩපිලිවෙලවල් හදලා වැඩක් නෑ. කරන්න ඕන රටේ හැම එකාටම ජීවත් වෙලා ආතල් එකෙත් ඉන්න පුළුවන් පඩියක් ගන්න විදියට රට දියුණු කරන එක.

    රට කරවන උන්ට රට කෙරේ ආදරයක් නැති එකේ. ඒ මිනිස්සු අනුන් ගැන හිතයිද.. මම දන්න තරමින් ඊශ්‍රායලයේ සේවය කොට අවුරුදු පහ ඉවරවෙලා ලංකාවට ආපු පිරිස බොහෝම අඩුයි. හෙල්මට් දාලා හරි ආයෙත් ඒ රටටමයි යන්නේ. මොකෝ හොඳට හම්බ කරන්න පුළුවන් වීම. සාත්තු සේවයට ගියාට. වෙනත් රැකියාත් ඕනා තරම් තියෙනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් පට්ට ලාබයි. මුළු පඩියම වගේ ඉතීරියි.. ඉතින් ඒවා දාලා මෙහේ ඇවිත් ආච්චිලට හාල් ගරන්නය.

    ReplyDelete
    Replies
    1. ගයිඩ් ජොබ් එකක් කරන්න බැරිද?

      Delete
  2. උන් හැමෝටම බ්ලොගක් කරන්න කියමු, අර ඔමා වගේ

    ReplyDelete
  3. //රජය කළ යුතුව තිබෙන්නේ විදේශ සේවයෙන් පසු ලංකාවට ආපසු එන පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් නිසි වැඩසටහනක් හැදීමයි. ඔවුන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත යොමු කර, ඔවුන්ට දියුණු වීමට අත දිය හැකි ක්‍රමවේදයක් නිර්මානය කළ යුතු ය. එම කර්මාන්තවලට සහන සැපයිය යුතු ය. නිසි මාර්ගෝපදේශන හා නියාමන ක්‍රමවේද ඇති කළ යුතු ය//

    බම්බුව!

    ReplyDelete
    Replies
    1. රාජ් පැරාට විරුද්ධයි වගේ පෙන්නන්න කරපු උත්සාහයක්.

      අනිත් අයට පේන්නවත් පැරාට විරුද්ධ වෙන්න බැරි තරම් පැරාගේ බොක්කෙ ෆිට් එකක් වන රාජ්ට අපේ විප්ලවීය ආචාරය!!!

      Delete
  4. පැරා මෑතදී ඉදිරිපත් කල හොඳම සාධනීය මතය.....!

    ReplyDelete
    Replies
    1. බංබුව තමයි, පැරාගෙ ආර්තික විද්‍යා දැනුම බිංදුවයි

      Delete
    2. හපොයි .. දුමියෝ , ඔහොමත් නිගරු කරනවද ?? ඒ කියන්නේ මුන්නහේ මෙතෙක් මාස ගණනක් ලියපු ලිපි ගොමස් කඩ වැදගැම්මකට නැහැ කියන එකද ??

      Delete
  5. great proposal. කවුරු හරි මේක දාන්නකො පත්තරේ

    ReplyDelete
  6. ඊශ්‍රායලයට ‍රැකියාව සඳහා යන ශ්‍රමිකයින් වර්ග දෙකක් ඇත. සාත්තුසේවය (වැඩිහිටියන් සහ රෝගීන් ‍රැකබලාගැනීම) සඳහා වසර හතර හමාරක පමන වීසා කාලයක් සහිත ශ්‍රමිකයින් සහ කෘෂිකර්මාන්තය සඳහා මාස හයක වීසා කාලයක්සහිත ශ්‍රමිකයින් වශයෙන්. පසුගිය සමයේ නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ සාමාජිකයින් කෘෂිකාර්මික කටයුතු සඳහා තාවකාලික වීසා පදනම මත ඊශ්‍රායලයට ගොස් ගල් වීමයි ගැටලු කාරී වන්නෙ. සාත්තුසේවය සඳහා යන ශ්‍රමිකයින්ට අවශ්‍යනම් තමන් සාත්තුකරන රෝගියා හෝ වැඩිහිටියා මියයනතෙක්ම ඊශ්‍රායලයේ ‍රැඳී සිටීමේ හැකියාව ඇත. බොහෝවිට තමන්ගේ සාත්තුසේවිකාව හෝ සේවකයා රෝගියාව හෝ වැඩිහිටියාව හොඳින් ‍රැක බලාගන්නේනම් රෝගියා හෝ වැඩිහිටියා සහ ඤාතීන් එම සේවකයා හෝ සේවිකාවට වසර දහයක් කාලයක් වුවත් සේවය කිරීමට වීසා ලබාදේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි,, දැන් වීසා කාලසීමාව අවුරුදු 7 ක් කරලා තියෙන්නේ,,, ඔය ෆාම් වල වැඩට ආපු නිල් බලකායේ අය එන්නෙම මෙහෙ ඇවිත් පයින්න බලාගෙන මිලියන දෙකක් දීලා එනවට වඩා ලේසිනේ..

      Delete
  7. මේකට හේතුව ලංකාවේ මධ්‍යම පාන්තිකයට අභිමානයෙන් ජීවත්වෙන්න ක්‍රමයක් නැතිකම...
    ඇමරිකානු, යුරෝපීය හෝ අග්නිදිග ආසියානු රටක් මධ්‍යම පාන්තිකයෙක් විදින ජීවිතයෙන් කාලක් විදින්න ලංකාවේ උන්ට අපාදුක් විදින්න වෙනවා...
    වාහනයක් ගැනීම, මධ්‍යම ප්‍රමානයේ නිවසක් සාදාගැනෙම, ලමයෙකුට හොද පාසැල් අධ්‍යාපනයක් ලබාගැනීම,උසස් අධ්‍යාපනය වගේ දේවල් තවම මේ රටේ ලක්සරීස්..
    ඒ මදිවට රාජ්‍ය සේවකයා, පොලීසිය, දේශපාලුවා ඔක්කොම ඔලුවට අත හෝදනවා..

    සිංගප්පූරුවෙත් 70 දශකයේ මෙහෙම තත්වයක් තිබුනා.. ලී ක්වාන් යූ කලේ 5-C කන්සෙප්ට් එකෙන් රට දියුනු කරපු එක.. ඒ කියන්නේ
    Car - වාහනයක්
    Cash - මුදල්
    Club - විනෝදය
    Credit Card - ක්‍රෙඩිට් කාඩ්
    Condominum - තට්ටු නිවසක්
    යනදේවල් සිංගප්පූරුවේ අති බහුතරායට ලේසියෙන් ලබාගත හැකි ක්‍රමයක් හදපු එක..

    ඒ සමගම දූශනය නැතිකලා, නීතියේ ආධිපත්‍ය පිහිටෙව්වා, රටේ යටිතල පහසුකම් හැදුවා, අධ්‍යාපනය/ සෞඛ්‍ය පහසුකම් ඉන්ටනැෂනල් ලෙවල් එකට දියුනු කලා...

    එතකොට මිනිස්සු රට හැරල යන එක නවතිනවා..

    ReplyDelete
  8. දින සියය ඉවරයි...... 1 අපේ රට දැන් කේතුමතීපුරයක්. 2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්. 3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව. 4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම. 5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ. 6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල - 7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්. 8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල. 9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල. 10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල. 11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ. 12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි. 14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා. 15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා. 16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ. 17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්. 18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා 20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ? 22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ.. 24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා 25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ.. 26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
    Bukiyen

    ReplyDelete
    Replies
    1. මේ පිල්ලියට මෙවැනි ස්තෝත්‍ර පසුගිය වසර හයක කාලය තුල මතක් නොවූයේ මක් නිසා ද?

      Delete
  9. මමත් දැන් අවුරුදු 12 ක් ඉන්නේ දකුණු කොරියාවේ. මම නං ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මෙහෙට ශ්‍රමිකයන් එවීම පටන් ගන්නත් කලින් ආවේ පෞද්ගලිකව. ඒ වගේම දැන් දකුණු කොරියාවේ සේවය කරනා ලාංකිකයන් සංඛ්‍යාව 25,000 කට ආසන්නයි.
    මීට වසර කිහිපයට කලින් නම් කොරියාවට යාම සදහා රැකියා කෝටාව ලෙස වසරකට 3000ක් - 5000ක් අතර වගේ ප්‍රමාණයක් ලැබුනා. ඒත් පහුගිය මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ලංකාවේ සිදුවූ මානව හිමිකම් කඩවීම වැනි කාරනා නිසා කොරියා රජය අපේ අයට එහෙ දෙන රැකියා කෝටාව අඩු කරමින් තිබුනේ. මේ පාර අපි දැක්කා ප්‍රවෘත්ති වලට පෙන්නුවා කොරියන් රැකියා බලාපොරොත්තුව කොරියන් භාෂාව ලියු ලංකීක තරුණයන් දසදහස් ගණනක් සිටින්නවා. ඒත් මේ පාර කොරියාවට ගන්නේ ශ්‍රමිකයන් 1000 ක් විතරයි. එයිනුත් වැඩියෙන් පඩි/ පහසුකම් ලැබෙනා කර්මාන්ත ශාලා වල රැකියා සදහා ගන්නේ ලාංකික ශ්‍රමිකයන් 100 යි. ඉතිරි 900 යම වෙන්කර ඇත්තේ ධිවර රැකියා සදහා. ධිවර රැකියා සදහා කවුරුවත් යන්නේ නෑ,මොකද ඒවායේ පඩියත් අඩුයි,අනික මාසයක් විතර ඉන්න වෙන්නේ දියඹේ. ඒක කටුකයි.
    මීට කලින් වසර වලදී නම් ලාංකිකයන් ගත්තේ කර්මාන්ත ශාලා වලට. ඒත් දැන් දැන් ඒක අඩුවෙලා ගිහින් තියෙන්නේ. ඒකට හේතුව තමයි දේශපාලන හෙන්චයියන් විවිද අකටයුතුකම් සිදුකොට,සැබෑ දක්ෂයන් කපා දමා කොරියන් රැකියා සදහා පැමිණීම. ඔවුන් මෙහෙ පැමිණ සිටියට හරියට භාෂාව දන්නෙත් නෑ, නිවැරදිව වැඩ කරන්නෙත් නෑ. ඉතින් ඒ නිසා වැඩි පඩි හම්බවෙන කර්මාන්ත ශාලා වලින් දැන් දැන් ලාංකිකයන් ප්‍රතික්ෂේප කරනවා. කොරියාවේ රැකියා සදහා රටවල් දහයකින් පමණ ශ්‍රමිකයන් ගෙන්වා ගන්නවා. ඒ උදවිය අතුරින් කලින් නම් ලංකාවේ ශ්‍රමිකයන් කීවාම කොරියාවේ හොද පිළිගැනීමක් තිබුනේ. ඔය සියලුම රටවල් අතරින් හොදම ශ්‍රමිකයන් ඉන්නේ ලංකාවේ කියලයි කිව්වේ.
    දැන් නම් ආයේ කොරියාවේ රැකියා සදහා ලාංකිකයන්ට එන්න තියෙන ඉඩ කඩ ඉතාම අඩුයි. පහුගිය කාලේ අපි දැක්කා හිටපු රජයේ ප්‍රභාලයෝ කියනවා කොරියන් රැකියා නැතිවෙන්නේ ලංකාවේ සිටිනා කොරියන් විභාගය සමතුන් විදේශ සේවා කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කරපු නිසාලු. අපි කිහිප දෙනෙක් මේ ගැන කොරියන් නිලධාරීන්ගෙන් ඇහැව්වා, ඔවුන් පැහැදිලිව කිව්වේ කොරියන් රැකියා කෝටාව ලංකාවට අඩුවෙන්නේ කොරියන් විභාගය ලංකාවේදී පැවැත්වීමේදී සිදුවන වංචා, ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම් වැනි කරනා නිසා කියලයි. ඒ වගේම දැන් කොරියාවේ සිටිනා ලාංකිකයන් 25,000 කට ආසන්න සංඛ්‍යාවට නැවත හරවා ලංකාවට නොයවන මුත් අලුතින් කොරියා රැකියා සදහා ලාංකිකයන් ගැනීම නම් බොහෝ දුරට නවතෙනු ඇතැයි කියයි එම නිලධාරින කිවේ. කොරියන් රැකියා වලින් ඉහගෙන කන්න ගිය හින්ද දැන් ඒකත් අර යුරෝපයට ලංකාවේ මාළු යැවීම තහනම් උනා වගේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  10. අනික නම් දකුණු කොරියාවේ සේවය සදහා ලංකාව ඇතුළු රටවල් කිහිපයකම උදවිය ගේනවා ගන්නවා. එයින් චීනය වැනි රටවල අයට අවශ්‍ය නම් ඕනා කාලයක් දකුණු කොරියාවේ රැදී සිටිය හැකියි.

    දැන් මේ පත්වෙලා ඉන්න නව රජය දකුණු කොරියාව සහ දකුණු කොරියාවේ හොදම මිතුරා වන ඇමරිකාව සමගත් සමීප නිසා එයින් වාසියක් ගන්න පුළුවන් වෙයි. ලංකා රජයට පුළුවන් දකුණු කොරියානු රජය සමග කතාකරලා ලංකාවේ අයට වසර 5 කට වඩා වැඩි කාලයක් එහෙ රැකියාව කරන්න අවශ්‍ය නීතිමය පහසුකම් ලබාදෙන්න. මොකද ලංකාවේ කලින් තිබුණු පාලනය වෙනස් වෙලා මේ පාලනය ආපු ගමන් කොරියාව අපිට ලබා දෙන රැකියා ප්‍රමාණය 4000 ක් දක්වා මේ වසරට වැඩි කලා. කලින් මේ පාර ගන්න හිටියේ 1000 යි. ඒ අයත් එක්ක කතාබහ කලොත් ලංකාවට වාසියක් ගන්න පුළුවන් වෙයි. මොකද කොරියාවේ සේවය කරන අපේ අය එක මාසෙකට අඩුම ගානේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක් වත් ඉතිරි කරනවා,ඒ මුදල් එන්නේ ලංකාවට. මැදපෙරදිග සේවය කරන අපේ අයට ලැබෙනවා වගේ දෙතුන් ගුණයක පඩියක් මෙහෙ ලැබෙනවා.

    ReplyDelete
  11. //රජය කළ යුතුව තිබෙන්නේ විදේශ සේවයෙන් පසු ලංකාවට ආපසු එන පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් නිසි වැඩසටහනක් හැදීමයි//

    අර බැසිල් ශ්‍රමිකයාට කලා වගේ ආපහු ආපු එකාව හිරේ දාලා, ඌ හම්බුකරන් ආපු සල්ලි ටික රාජසන්තක කිරීමේ වියාපාරයක් පටන්ගත්තොත් නරකද පැරෝ?

    ReplyDelete
    Replies
    1. //අර බැසිල් ශ්‍රමිකයාට කලා වගේ ආපහු ආපු එකාව හිරේ දාලා, ඌ හම්බුකරන් ආපු සල්ලි ටික රාජසන්තක කිරීමේ වියාපාරයක් පටන්ගත්තොත් නරකද පැරෝ?//

      රජය කළ යුතුව තිබෙන්නේ හොරා කෑමෙන් පසු ඇමරිකාවට ආපසු එන කම්බා හොරු වෙනුවෙන් නිසි වැඩසටහනක් හැදීමයි

      ඇමරිකාවට තමා කියන්න ඕනේ

      Delete
  12. //එසේ නැතිව ගිය තැන්වල ගල් වෙන්න එපා යයි කී පළියට කිසිවක් සිදු වන්නේ නැත.// මේක නම් ඇත්ත. ලංකාවෙන් ආපු අය විතරක් නෙමේ ලෝකේ කොහෙන් අපු කෙනෙක් වුනත් මේ රට දාලා යන්න කැමති නැහැ.. මේ රටට එන්න ඒජන්සි කාරයෝ ගන්න මිලියන දෙකක් වගේ වෙන ගාස්තු ගෙවල ඇවිත් අවුරුදු පහෙන් ආපහු යන්න කවුද කැමති,, පිලිපීනය වගේ රටවල් ඒ රටෙන් මෙහෙට එන අයට උදව් කරනවා එන්න ක්‍රම පහසු කරනවා අපේ රටේ ඒකටත් එක්ක පිට රටකට යන්න තියෙන ආසාවත් නැති කරලා එවන්නේ ඊශ්‍රායලයට එන්න තීරණය කරපු දා ඉඳන් සල්ලිම තමයි මේ රටට අඩිය තියන කල් ඒ වියදම් වෙච්ච සල්ලි හොයන්න සමහරුන්ට අවුරුදු 2 හමාරක් වගේ යනවා. පිටරටකට යන්න කලින් අහිංසක මිනිස්සුන්ගෙන් කොල්ල කන සල්ලි ප්‍රමාණය සුළු පටු නැහැ පියවරෙන් පියවර කීවොත් ඒජන්සි ගාස්තු හැර රජය මිනිස්සුන්ගෙන් ගන්න මුදල් ප්‍රමාණය ලක්ෂ ගානක්.

    ගල් වෙන්න හේතු අනන්ත තියෙනවා මිනිස්සුන්ට.

    ReplyDelete
  13. ///එහෙත්, දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් වැඩි දෙනෙක් යෙදී සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්තවල ය.//// නැහැ මහා පරිමාණ කර්මාන්ත ශාලා වලද සැලකිය යුතු පිරිසක් වැඩ කරනවා.....(උදා සැම්සුන්,කියා. හයිහුන්ඩායි වැනි ඒවා තුලත් )

    කතා කරන්න අකමැති දෙයක් මේ ගැන මමත් . වීසා නැතැව ඉන්න අය කොරියාවෙ ඉන්නෙත් කැමැත්තකින් නෙමයි. එයාලත් ආසයි අම්මලා තාත්තල බලන්න.. දුව පුතා පාසලට එක්ක යන්න නැත්තම් එයාලා එක්ක කොහේ හරි ඇවිදින්න යන්න. ...........

    එහෙමත් දුක් විදලා මුදල් සොයන් ලංකාවට ඇවිත් හිරේ ඉදලා හරි ගිහින් ගෙදර අය එක්ක සතුටන් ඉන්න තියනව නම් ගල් වෙච්ච කෙනෙකුට හිතෙන්නත් පුලුවන්


    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා