සිංහලයාගේ ප්‍රශ්නය - 2

(සිංහලයාගේ ප්‍රශ්නය - 1  ලිපිය මෙතැනින් කියවිය හැකි ය.)

සිංහල බෞද්ධයන් ආරක්ෂා කර ගන්නට නම් රටේ සෙසු ජාතීන් ද ආරක්ෂා කර ගත යුතු බව ගම්පොළ පැවති රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ලංකාවේ බෞද්ධ ආගමික අන්තවාදී ව්‍යාපාර නිරන්තරයෙන් ම විකුණන්නේ සිංහල බෞද්ධයාට ලෝකයේ වෙනත් රටක් නැති බව හා නුදුරු අනාගතයේදී ම සෙසු ජාතීන් විසින් සිංහල බෞද්ධයා මෙම දිවයිනේ සුළුතරයක් බවට පත් කරනු ඇති බව ය.

මේ බිය නිර්මානය වීමට මූලික හේතුව වන්නේ මුස්ලිම් ජනයාගේ ජනගහණ වර්ධන වේගය සෙසු ජාතීන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමයි. මුස්ලිම් ජනගහණයේ වර්ධන වේගය අනුව, වැඩියෙන් ම තර්ජනයට ලක් වන්නේ සිංහලයෝ නොව, දෙමළ ජාතිකයෝ ය. මන්ද, යුද්ධයේ හා මහා පරිමාණ සංක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතියේ ජනගහණ වර්ධන වේගය ඉතා අඩු බැවිනි. ලංකාවේ ජනගහණ වර්ධනය පාලනය කළ යුතු ය. එකී පාලනය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිය ද සංවේදී විය යුතුව තිබේ.

තව වසර සිය ගණනකින් හෝ මුස්ලිමුන් ජනගහණයෙන් තමන් පසු කර යනු ඇතැයි බියක් ඇතිනම් සිංහලයන් විසින් කළ යුතුව තිබෙන කාර්යය වන්නේ අතීතයේදී කළාක් මෙන් එක්කෝ මුස්ලිමුන් තම ජනවර්ගය තුළට අවශෝෂණය කර ගැනීම ය. එහෙම නැතිනම්, සියලු ජනවර්ගයන් වඩා පුළුල් අනන්‍යතාවක් තුළ ප්‍රතිසංවිධානය වන දේශපාලනික වැඩපිළිවෙලක් අනුගමනය කිරීම ය. එහෙම නො කර බිය වීමෙන් පමණක් මෙය විසඳා ගන්නට බැරි ය.

අනෙක් පැත්තෙන්, ඇතැම් සිංහල බෞද්ධ නායකයන් යෝජනා කරන ආකාරයට වැඩි වැඩියෙන් ළමයින් හැදීම ද ප්‍රායෝගිකව කළ නො හැකි දෙයකි. මෙය මුස්ලිම් ජනයාට වුව අදාළ වේ.

සිංහල බෞද්ධයන්ට ලෝකයේ වෙනත් රටක් නැති බව ඇත්තකි. සිංහල බෞද්ධයන්ව ලෝකයේ වෙනත් රටවලින් සරණාගතයන් ලෙසවත් භාර ගන්නේ නැත. ඔස්ට්‍රේලියාව පවා බෝට්ටුවලින් යන සිංහල බෞද්ධයන් හරවා එවයි. දෙමළ ජාතියට නම් ලංකාවෙන් පිට දුරස්ථ පුරවැසි ප්‍රජාවක් හෙවත් ඩයස්පෝරාවක් ඇත. අද දෙමළ ජාතිය හා ඔවුන්ගේ ජාතික විමුක්ති අරගලය තීරණය වන්නේ මෙම ඩයස්පෝරාවේ උවමනා එපාකම් මත ය. මේ ඩයස්පෝරාවේ මූලික අරමුණ බටහිර සංවර්ධිත රටවල තම ජීවිතය පවත්වාගෙන යාමයි. ඔවුන්ගේ නෑයෝ තවමත් ඊලමෙහි ජීවත් වෙති. ඒ නෑයින්ටත් බටහිරට සංක්‍රමණය වන්නට උවමනා ය. ඔවුන්ට එහි යන්නට නම් ලංකාවේ ආතතියක් තිබිය යුතු ය. තව පරම්පරා කීපයක් ගිය විට  එහි ගිය මුල් පරම්පරාවල දරුවෝ සම්පූර්ණයෙන් ම ලංකාවෙන් වෙන් වී ඒ ඒ රටවල සමාජ දේහයේ පූර්ණ කොටස්කරුවන් වනු ඇත. දෙමළ ප්‍රශ්නයේ එක් කොටසක් එසේ විසඳෙනු ඇත. එහෙත් ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ඉතිරි වනු ඇත. එහෙත්, ඩයස්පෝරාවත්, ලංකාවේ දෙමළ ජනයාත් අතර පරතරය වැඩි වන්නට, වැඩි වන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම පහසු වනු ඇත.

ඩයස්පෝරාවේ ඉල්ලීම වන්නේ ඊලාම් රාජ්‍යය නම් මස් රාත්තලයි. එයට හේතුව කුමක් ද? මූලික හේතුව එය දිනා ගැනීමට නො හැකි එකක් වීමයි. ඊලමක් නො හැදෙන නිසා ඔවුන් ආපසු එන්නට උවමනා නැත. දිගට ම එහි ම සිටින්නට පුළුවන. එවැනි අරමුණක් වෙනුවෙන් සටන් කිරීම යනු තමන් දැනට සිටින රටවල ම දිගට ම සිටීමේ  මාර්ගයකි.

ලංකාවේ මුස්ලිම් ජනයා ගතහොත්, ඔවුන් ද සිංහලයන් වැනි ම වූ ඩයස්පෝරාවක්වත් නැති පිරිසකි. ඔවුන්‍ට ලෝකයේ වෙනත් රටවල් තිබේ යයි කීම ප්‍රලාපයකි. එය හරියට බෞද්ධ වීම නිසා ලාංකිකයන්ට බුරුමයේ, තායිලන්තයේ, චීනයේ හෝ ජපානයේ අයිතියක් ඇති ය කියනවා වැනි ම වූ ගොන් ප්‍රකාශයකි.

ලංකාවේ ජීවත් වන කිසිදු ජාතියකට වෙනත් රටක් නැත. තිබෙන්නේ මේ රට පමණි. එහෙයින් ඔවුන් තමන්ගේ භූමියේ හිමිකම රැක ගන්නට සටන් කරති. ඒ සටන දෙමළ ජනයා කළා වැනි සන්නද්ධ අරගලයක් හෝ මුස්ලිම් ජනයා කරනවා යයි සිංහලයන් සැක කරන ජනගහණ හෝ ආර්ථික හෝ සටනක් විය හැකි ය.

මේ සියලු ජාතීන් වඩා පුළුල් ලාංකික ජාතික අනන්‍යතාවක් වෙනුවෙන් සටන් කරනවා නම් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි ය. එවිට මේ රට අපේ ය. ඒ කියන්නේ ලාංකිකයන්ගේ ය.

එහෙත්, ලාංකිකයා යනු සිංහල බෞද්ධයා නො වේ. ලාංකිකයා හැදෙන්නේ සියලු සිංහලයන්ටත්, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, වැදි ආදී සියලු ජනයාටත් සම අයිතිවාසිකම් තිබෙන අනන්‍යතාවක් විය යුතු ය. මේ රට අයිති සිංහල බෞද්ධයන්ට පමණි, උතුර දෙමළ ජනයාගේ ය, නැගෙනහිර මුස්ලිමුන්ගේ ය ආදී අදහස් මේ ජාතික සමගිය ‍ගොඩනැගීමට බාධාවකි.

අප රනිල්ගේ අදහස අගයන්නේ එක් හේතුවක් මත ය. සිංහල බෞද්ධයා මේ භූමියේ බලවත් ම ජාතියයි. ඔවුන්ට‍  සෙසු ජාතීන්ට නැති හිමිකමක් වන ඔවුන්ගේ ආගම රාජ්‍ය ආගම ලෙස පිළිගැනීමට ලක් වීමේ වරප්‍රසාදය ද තිබේ. එමෙන් ම, රාජ්‍යය තුළ ද ඔවුන් ඉතා ප්‍රබල ය. කෙතරම් ප්‍රබල ද යත් සිංහල බෞද්ධයකු නො වන අයකුට ලංකාවේ ජනාධිපති ධුරය ලබා ගැනීම ඉතා දුෂ්කර ය.

ඉතින් සිංහලයින් මේ රටේ සිටින දුර්වල සුළු ජාතීන් තමන් යටපත් කරනු ඇතැයි බිය විය යුතු ද? නැත. එහෙත්, සිංහලයා තම විනාශය කැඳවා ගන්නේ මේ බිය හේතුවෙනි. මේ බිය හේතුවෙන් ඇති කර ගන්නා වාර්ගික ගැටුම් හේතුවෙන් සුළු ජාතීන්ගේ ජාතික සමානාත්මතාවේ, මානව හිමිකම්වල හා ප්‍රජාතන්ත්‍රවාදයේ නා‍මයෙන් විදේශ බලවේගවලට ලංකාවට මැදිහත් වන්නට අවස්ථාව සලස්වා දෙයි. බේරුවල සිද්ධීන් මෙන් ම, දැන් උතුරු පළාත් සභාවේ හමුදා ආණ්ඩුකාරයා සම්බන්ධව සිදු වන දේ ද සිංහල බෞද්ධයන්ගේ අමනෝඥ ක්‍රියා ලෙස සැලකිය හැකි ය. උතුරු පළාත හමුදාහරණය කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුව තිබෙන සංදර්භයක් තුළ ලංකාවේ ආණ්ඩුව උතුරේ මහජන ඡන්දයෙන් බලයට පත් දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුවේ ඉල්ලීමට සවන් දිය යුතු ව තිබිණි.

අප කියන්නේ මෙයයි. සිංහලයන් සිය බහුතර බලය හා ශක්තිය භාවිතා කළ යුත්තේ සුළු ජාතීන් සම්බන්ධයෙන් බියෙන් හා සැකයෙන් ජීවත් වීමට නො වේ. සුළු ජාතීන්ගේ ජාතිවාදී ප්‍රවණතාවලට තටු ලැබෙන්නේ මහ ජාතිය ජාතිවාදී වන නිසා ය. සිංහලයන් උත්සාහ කළ යුත්තේ වඩා පුළුල් වූ ලාංකික අනන්‍යතාවක් තුළ ලංකාවේ සියලු ජාතීන් නැවත අර්ථකතනය කර ගන්නට ය. 

Refer: Logical base for Sinhalese's fear of Muslim domination


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සිංහල ජාතිය ගැන කටමැත දොඩවන ජාතිවාදී සංවිධාන කියන පලියට ළමයි හදන්න ගියොත් ඒකෙන් විඳවන්නෙත් කාන්තාවන්. මේ ජාතිවාදයයි පුරුෂාධිපත්‍යයි දෙකම කාන්තාවට මාරකයන්. සියල්ලට පෙර සිංහල දෙමළ හෝ මුස්ලිම් කියලා හිතන්නේ නැතිව නූතන යුගයක් කරා ගමන්කරන විදිහ ගැන කල්පනා කරන්න ඕනේ සම්ප්‍රදායික අදහස් වල හිර වෙන්නේ නැතිව. එතකොට ඔය ජනගහන වර්ධනය ගැන ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හිත හොඳ ගැහැණු හැමදාම බඩින් කියන්නේ...වැඩිපුර ළමයි හදන්න බැහැයි කියන ගැහැණුන් එහෙනං නරකයි නේද​? ජාතියෙ අවශ්‍යතාවය තෙරුම් ගන්න...නිකන් නරක නාම් ගව ගන්නේ නැතුව අවුරුද්දට එකක්වත් බාන්න බලන්න​...පිංසිද්ද වෙයි

      Delete
    2. SAMAHARAWITA DENN PRAMADA WEDIDA MAMADANENE,wiyayuthuwathibune,muslimjathiya bahuthara sinhajathiyata Awashoshanaya weema needa? (ownata pihitauna 2 Rajasinha Rajuge illeema wuyeda eyai) Burger,saha an sulu Jathika prajawanta thama agamika ananyathawa rekagana eyakalahekiwa thibenawa.

      Delete
    3. ඉස්සර ආදිකාලේ සම්ප්‍රදායික මෝඩ අදහස් වල එල්බගත්තු කාන්තාවන් දැන් අඩුයි. මේ කාලේ ඉන්න කාන්තා පරපුරට ළමයි හදන එකටයි පිරිමියාගේ කාම ආසාවල් සංසිඳුවනවටයි වඩා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි ගැලවෙන්න ඕනේ කාටත් යහපතක් නැති සම්ප්‍රදායිකත්වයෙන්.

      Delete
    4. බොහෝ දේවල් වලින් ටිකක් කිව්වා නම් මේක කියවන කාන්තාවන්ට ඒවා කරන්න පුළුවන් වෙයි. අපි බොහොම ලොකු දේවල් ගැන කියවනවා මිසක් කරන්න පුළුවන් පොඩි දේවල් ගැන උපදෙසක් දෙනවා අඩුයි නේ.

      Delete
    5. ඔයාගේ අදහස හරි වනිතා.අද ටිකක් සැරත් අඩුවෙලා.

      Delete
  2. සරල ගණනයක්.

    ලංකාවේ වර්තමාන ජනගහණය මිලියන 20ක්ය සිතමු. මින් 75% ක් හෙවත් මිලියන 15ක් සිංහලයන්ය සිතමු. සියයට 9%ක් හෙවත් මිලියන 1.8ක් මුස්ලිම්ය සිතමු. සිංහල ජනගහණය වසරකට 1% බැගින්ද මුස්ලිම් ජනගහණය 2% බැගින්ද වැඩිවේය සිතමු. පහසුව තකා ඉතිරියේ වර්ධනය සියයට බින්දුවක් සේ ගනිමු.

    මේ වර්ධන වේග මේ ආකාරයෙන්ම පැවතුනොත් යම් කාලයකට පසුව අනිවාර්යයෙන්ම සිංහලයා සුළු ජාතියක් වනු ඇත. ඒ වසර 215කට පසුවය. මේ වන විට අද ජීවත් වන්නන්ගේ මී මුනුබුරු මිනිබිරියන් පවා මැරී ගොස් අවසාන වනු ඇත. ඒ නිසා මේ අවස්ථාවන් ගැන මුහුදට ආලෝක වර්ෂයක් තියා අමුඩ ගැසීම ගැන ප්‍රශ්න මතුවේ.

    ඊට අමතරව,

    1. මේ වර්ධන වේග මෙසේම පවතීය කියන්නේ කවුද? ජනගහණ වර්ධනය නිසා මේ වේග අඩු නොවේද? (උදාහරණයක් හැටියට සිංහලයා සුළු ජාතියක් වන අවස්ථාවේ මේ ප්‍රජාවන් දෙකේම ජනගහණය මිලියන 127 බැගින් වනු ඇත. ඒ කියන්නේ රටේ ජනගහණය මිලියන 250 ටත් වැඩිය. මේ විය හැක්කක්ද?)

    2. ඉදිරි අවුරුදු දහයක් ගැන හෝ අපට අනාවැකි කිව හැකිද? ලෝකයේ හැම තැනෙකම ආගම් අත හැරීමේ වේගය ඉහළය. ඇමෙරිකාවේ දැනටමත් 10% ආගම අතහැර දමා තිබේ. එනිසා මෙසේ වන අවස්ථාවක වුවද මේ වර්ග භේද මෙසේම තිබේය කිව හැකිද?

    සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට!

    ReplyDelete
    Replies
    1. Allah huakbar!

      Delete
    2. උත්සාහය අනර්ඝයි.

      තවදුරටත් විස්තර සහිත වුනා නම් අගය තවත් ඉහලයි. ඒ කිව්වේ පවුලක සාමාන්‍ය ළමයි ගාන 2 වූ විට, 3 වූ විට ආදී වශයෙන්.මෙහෙම එකක් දුන්න නම් තමන් හිතන ගණන් දාල හදා ගන්න පුළුවන් නේ. සිංහල පවුලේ ළමයි 2 මුස්ලිම් පවුලේ 2 උනොත් කොහොමද, නැත්නම් සිංහල පවුලේ 3 මුස්ලිම් පවුලේ 5 උනොත් කොහොමද කියලා.

      Delete
    3. එල මචන්. මේ ඕක වටිනා ගණනය කිරීමක්.

      Delete
  3. ලංකාවේ භූමි ප්‍රමාණයට හා සම්පත් වලට ඔරොත්තු දෙන ගාණට වඩා ජනගහණයක් දැනටමත් ඉන්නව.

    ReplyDelete
  4. //මේ බිය නිර්මානය වීමට මූලික හේතුව වන්නේ මුස්ලිම් ජනයාගේ ජනගහණ වර්ධන වේගය සෙසු ජාතීන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමයි.//

    මුස්ලිම් ජනයාගේ ජනගහන වර්ධන වේගය සෙසු ජනයාට වඩා ඉහල බව පැවසීම අසත්‍යයකි. මෙම මතය නිතර පැවසීම නිසා දැන් සත්‍යයක් ලෙස සමාජ ගත වී ඇති නමුත් ජනගහන සංඛ්‍යා ලේඛන ගත් කල පෙනී යන්නේ ඉහල වර්ධන වේගයක් ඇත්තේ බෞද්ධ ජනයා ගේ බවයි. විකිපීඩියා පිටුවේ එම සංඛ්‍යා පහසුවෙන් බලාගත හැකිවන පරිදි සකසා ඇත. (විකිපීඩියා ලිපිය සකසා ඇත්තේ ශ්‍රී ලංකා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවෙන් ලබා ගත දත්තයන්ගෙනි )
    http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka#Religion

    ලංකාවේ ජන සංගණනය ආරම්භ වුයේ 1881 වර්ෂයේදීය. එකල බෞද්ධ ප්‍රතිශතය 61.53%ක් වූ අතර 2012 වනවිට එම සංඛ්‍යාව 70.19%ක් වන තෙක් වර්ධනය වී ඇත. එම කාල පරාසය තුල මුස්ලිම් ජනයා වර්ධනය වී ඇත්තේ 7.17% සිට 9.71%ක් පමණි. සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය අධික යැයි පවසන්නේ 1981 වසරේ ප්‍රතිශතයෙන් 2012 වසරේ ප්‍රතිශතයේ වෙනස ගනිමිනි. එනම්:
    බෞද්ධ ප්‍රතිශත වෙනස = 70.19% - 69.30% = .89
    මුස්ලිම් ප්‍රතිශත වෙනස = 9.71% - 7.56% = 2.15

    මෙහි 2.15> 0.89 බව පෙන්වාදෙන සිංහල බෞද්ධ අන්තවාදීන් වෛරය සහ බිය පතුරති. නමුත් ප්‍රතිශත වල වෙනස මෙසේ සංසන්දනය කිරීම ගණිතමය වශයෙන් අර්ථ විරහිත වන බවට තේරුම් ගැනීමට එතරම් ගණිත ඥානයක් අවශ්‍ය නොවේ. අති මහත් බහුතරයක සුළු ප්‍රතිශත වර්ධනයක් වුව සුළුතරයකගේ විශාල වර්ධනයකට වඩා විශාල විය හැක. ජනගහන වර්ධනය සම්බන්ධයෙන්ද සිදුවන්නේ මෙයයි.

    1981 සිට 2012 දක්වා වර්ධනය සංඛ්‍යාත්මකව මෙසේය
    බෞද්ධ සංඛ්‍යාවෙහි වර්ධනය = 14,222,844 - 10,288,300 = 3,934,544
    මුස්ලිම් සංඛ්‍යාවෙහි වර්ධනය = 1,967,227 - 1,121,700 = 845,527

    පසුගිය දශක දෙක තුලදී පමණක් බෞද්ධයන් මුස්ලිම් පිරිසට වඩා 4.5 ගුණයකින් වර්ධනය වී ඇත. ඊට පෙර එම වර්ධනය ඊටත් වැඩිය. සත්‍යය මෙයයි. මුස්ලිම් ජනයාගේ ජනගහන වර්ධන වේගය සෙසු ජනයාට වඩා ඉහල බව පැවසීම අසත්‍යයකි.

    ReplyDelete
    Replies
    1. ඔබද අන්තවාදියෙකි.

      Delete
    2. කියවගෙන යනකොට පොඩ්ඩක් පැටලුනා. පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

      /අති මහත් බහුතරයක සුළු ප්‍රතිශත වර්ධනයක් වුව සුළුතරයකගේ විශාල වර්ධනයකට වඩා විශාල විය හැක./

      එකඟයි. බහුතරය සිංහලයන් නිසා සිංහලයන්ගේ කුඩා ප්‍රතිශත වර්ධනයක් වුවත් මුස්ලිම් සුලුතරයගේ විශාල ප්‍රතිශත වර්ධනයකට වඩා සංඛ්‍යාත්මකව විශාල විය හැකියි. එහෙත් බහුතරය සහ සුළුතරය යනු ප්‍රතිශත පිලිබඳ දෙයක් නිසා ප්‍රතිශත වර්ධනය අදාළ නොවන්නේ කෙසේද?

      1981 දී සිංහල ප්‍රතිශතය සහ මුස්ලිම් ප්‍රතිශතය කොපමණද? 2012 දී මෙය වෙනස් වී ඇත්තේ කෙසේද?

      Delete
    3. තව අවුරදු 30කින් සිංහල 70.19+.89=71.08 සහ මුස්ලිම් 9.71+2.15=11.86 වෙනවද? එහෙමම ගියොත් 60 කින් සිංහල 71.08+.89=71.97 සහ මුස්ලිම් 11.86+2.15=14.01 ද? එහෙම බැලුවම තව සෑහෙන කාලෙකින් මුස්ලිම් මිනිස්සු බහුතරය වෙනවද?

      Delete
    4. //තව අවුරදු 30කින් සිංහල 70.19+.89=71.08 සහ මුස්ලිම් 9.71+2.15=11.86 වෙනවද? එහෙමම ගියොත් 60 කින් සිංහල 71.08+.89=71.97 සහ මුස්ලිම් 11.86+2.15=14.01 ද? එහෙම බැලුවම තව සෑහෙන කාලෙකින් මුස්ලිම් මිනිස්සු බහුතරය වෙනවද?//

      එහෙම වෙන්නෙ නෑ මචන්. තව අවුරුදු 60කින් සිංහල 70% අසාන්න ගානක සහ මුස්ලිම් 10% අසාන්න ගානක. තව අවුරුදු 60ක් හිටියොත් බලපන්.

      Delete
    5. //එකඟයි. බහුතරය සිංහලයන් නිසා සිංහලයන්ගේ කුඩා ප්‍රතිශත වර්ධනයක් වුවත් මුස්ලිම් සුලුතරයගේ විශාල ප්‍රතිශත වර්ධනයකට වඩා සංඛ්‍යාත්මකව විශාල විය හැකියි. එහෙත් බහුතරය සහ සුළුතරය යනු ප්‍රතිශත පිලිබඳ දෙයක් නිසා ප්‍රතිශත වර්ධනය අදාළ නොවන්නේ කෙසේද? //

      ප්‍රතිශත අදාළ වන නමුත් එවැනි කුලක දෙකක් සංසන්දනය කිරීම අර්ථ විරහිත වේ. මේ උදාහරණය සලකන්න. මම අද අලුත් ආගමක් ආරම්භ කර, පසුගිය වසරේ යහළුවන් හතර දෙනෙක් මගේ ආගමට හරවා ගත්තා යැයි සිතමු. එනම් මගේ ආගමේ ජනගහන වර්ධනය 400% කි. මේ අංකය දෙස බලා මගේ ආගම ලංකාවේ බහුතරය වෙන බව නිගමනය කල හැකිද? 400% සත්‍ය වන නමුත් සංසන්දනය කිරීමේදී අර්ථ විරහිතය.



      //1981 දී සිංහල ප්‍රතිශතය සහ මුස්ලිම් ප්‍රතිශතය කොපමණද? 2012 දී මෙය වෙනස් වී ඇත්තේ කෙසේද?//

      ප්‍රතිශත ඉහල AnonymousJuly 21, 2014 at 12:14 PM දැක්වේ.

      Delete
  5. ලංකා දූපතේ ප්‍රමාණයට සහ තිබෙන සම්පත් ප්‍රමාණයට දරා ගත හැක්කෙ හැට ලක්ෂයක ජනගහනයකට පමණි. එහෙත් දැනටම මෙරටේ එමෙන් තුන් ගුණයකට වඩා වැඩි ජනගහනයක් සිටී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා