2015-08-22

ජවිපෙ නො කළ යුතුව තිබුණේ කුමක් ද?

ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. තමන් මීට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂා කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නිල වශයෙන් පැවසී ය. එහෙත්, මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී ජවිපෙ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වැඩි ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබී තිබෙන බව සිතන්නට සාධක තිබේ.

ජවිපෙ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණි. ජවිපෙ 2004 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසනයක් සමග ආසන හතරක් දිනා ගත්තේ සරත් ෆොන්සේකා සමග සන්ධානගතව තරග කිරීමෙනි. පසුව අජිත් කුමාර මන්ත්‍රීවරයා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග කැඩී ගියේ ය.

නාමයෝජනා භාර දෙන විට ඔවුන්ට තිබුණු ගණනය කිරීම අනුව එක් ආසනයක් හෝ ලබා ගැනීමේ විශ්වාසය තිබුණු කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක හා ලාල් කාන්ත ඉදිරිපත් වූ හ. ජවිපෙ ඉදිරි පෙළ නායකයන් දෙපළ වන මේ දෙදෙනා ම කලින් කුරුණැගල හා අනුරාධපුර දිස්ත්‍රික්වලින් තරග කර තේරී පත් වූ අයයි. සුනිල් හඳුන්නෙත්ති මාතරට පිටමං කරනු ලැබුවේ අසාධාරණ අන්දමිනි. ඔහුට මැතිවරණයට සූදානම් වීමට හෝ කාලයක් නො ලැබිණි. ඔහු යැවුණේ පරාජය වීම සඳහා ය. නායකත්වය වෙනුවෙන් හිස දන් දීම සඳහා ය.

ඉතා මධ්‍යගත, සංවෘත පක්ෂයක් වන ජවිපෙ සිය ජාතික ලැයිස්තුව පාක්ෂික නො වන සිවිල් සමාජ නායකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, කලාකරුවන් ආදී පිරිසකට විවෘත කිරීමට ජවිපෙ ගත් මෙවර ජවිපෙ අලෙවියට තබන ලද ප්‍රධාන තේමාවයි. මොවුන්ගෙන් වැඩි දෙනෙක් දේශපාලන ක්‍රියාකාරිකයෝ නො වූ හ. දේශපාලන ක්‍රියාධරයන් වූ නිර්මාල් රංජිත් දේවසිරි, ලියනගේ අමරකීර්ති වැනි ජවිපෙ හිතවාදී බුද්ධිමතුන් මෙම ලැයිස්තුවට ඇතුළත් නො කරන්නටත් ජවිපෙ පරිස්සම් විය. උගත්, බුද්ධිමත් පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව ජවිපෙ ප්‍රවර්ධනය කළේ ය. උපාධිය අතහැර විප්ලවීය දේශපාලනයට සිසුන් කැඳවන ජවිපෙ තමන්ගේ අපේක්ෂකයන් උපාධිධාරීන් බව අවධාරණය කළේ ය.

එසේම, ශක්තිමත් විපක්ෂයක් හදන්නට තමන්ට ඡන්දය දෙන්නැයි ද ජවිපෙ ඉල්ලා සිටියේ ය. ජවිපෙ සම්ප්‍රදායික පදනම වන පීඩිත ජනයා වෙනුවට ජවිපෙ මෙවර ඉලක්ක කළේ මධ්‍යම පංතියයි. විශේෂයෙන් ම, ජවිපෙ ක්‍රියාධරයන්ගෙන් විශාල පිරිසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග කැඩී යාමෙන් පසු, බිම් මට්ටමේ ශක්තිය හීන වූ ජවිපෙ වැඩිපුර යොමු වී සිටියේ මධ්‍යම පංතිය වෙතයි.

මේ කුමන උපායමාර්ගය අනුගමනය කළත්, මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මුල් වටයේදී ජවිපෙ අසාර්ථක වෙමින් තිබිණි. ජවිපෙ රැස්වීම් වේලෙන ඡායාරූප සමාජ ජාලවල පල වන්නට පටන් ගැනීමත් සමග ජවිපෙ කුඩා රැස්වීම් පැවැත්වීම අත්හිටවන්නට පියවර ගත්තේ ය. ඇදි ඇදී යමින් සිටි ජවිපෙ මහ මැතිවරණ ව්‍යාපාරයට තල්ලුවක් ලැබුණේ නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රමුඛ යහපාලන ව්‍යාපාරයේ සිටි බුද්ධිමතුන් පිරිසක් ජවිපෙට ඡන්දය දෙන්නැයි ව්‍යාපාරයක් දියත් කිරීමත් සමගයි. ඉන් පසු අලුත් පරපුර ද ජවිපෙට සහයෝගය දෙන්නට ඉදිරිපත් විය. මධ්‍යම පංතික කොටස් අතර ජවිපෙට රැල්ලක් ඇති වන බවක් පෙනිණි. එහෙත්, මේ රැල්ල වනාහි ජවිපෙ සමාජ ජාල ක්‍රියාකාරිකයන් විසින් නිර්මානය කරන ලද කෘත්‍රිම එකකි. භයානක ම තත්වය වූයේ ජවිපෙ තමන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධයෙන් තමන් ම මෝහනය වීමයි.

ජවිපෙ මැතිවරණ ප්‍රචාරණය බිම් මට්ටම තෙක් විහිදුණේ නැත. කුඩා ප්‍රමාණයේ රැස්වීම් පැවැත්වීම, ගෙන් ගෙට කැන්වසිං යාම වැනි බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වයන් වෙනුවට ජනමාධ්‍ය ඔස්සේ ජනතාව ඇමතීම කෙරෙහි ජවිපෙ වැඩි බරක් තැබුවේ ය. ඉහළ මට්ටමේ ප්‍රචාරණය හා බිම් මට්ටම අතර තුලනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම කෙරෙහි ජවිපෙ අවධානය යොමු කළේ නැත. ජවිපෙට මෙවැනි ම ප්‍රතිඵලයක් අත් කර දුන් ඌව පළාත් සභා මැතිවරණයේ අත්දැකීම ජවිපෙ සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නො තිබිණි.

අනෙක් පැත්තෙන් ජවිපෙ බිම් මට්ටමේ සංවිධාන ජාලය මේ වන විට අන්තයට ම පිරිහී ඇත. ජවිපෙ ඇත්ත ශක්තිය තිබුණේ එතනයි. 2000 මහ මැතිවරණයේදී ආසන 10ක් ද, 2001 මහ මැතිවරණයේදී 9%කට වැඩි ප්‍රතිශතයක් සමග ආසන 16ක් ද ජවිපෙට දිනා ගත හැකි වූයේ මේ බිම් මට්ටමේ ශක්තිය නිසා ය. ඒ වන විට ජවිපෙ ජාතිවාදය වෙත ආකර්ශනය වී තිබුණේ ද අවම මට්ටමෙනි. මැතිවරණ ජයගැනීම සඳහා කෙටි ක්‍රම කෙරෙහි ජවිපෙ නැඹුරු වන්නට පටන් ගත්තේ 2004 මහ මැතිවරණයේ සිටයි.

ජවිපෙ සංවිධාන ශක්තිය පිරිහී තිබෙන යථාර්ථය වටහාගෙන තිබුණු ජවිපෙ 2015 මහ මැතිවරණයට මුහුණ දිය යුතුව තිබුණේ වෙනස් උපායකිනි. මහින්ද ක්‍රමය පැරදවීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා යහපත් රාජ්‍ය පාලනයකට ඇතුළතින් බල කිරීම වැනි උපායමාර්ගයක් අනුගමනය කරමින් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමේ අවස්ථාවක් ජවිපෙට තිබිණි. අවශ්‍ය නම්, තමන් ඇමති තනතුරු භාර නො ගන්නා බව ද අවධාරණය කරන්නට තිබිණි. මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ සලසා දෙන ගිවිසුමකට එජාප සමග කේවෙල් කරන්නට තිබිණි. එහෙම කර, එක් දිස්ත්‍රික්කයට එක් අපේක්ෂකයකු පමණ බැගින් ඉදිරිපත් කර තරග කළා නම් ජවිපෙට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අවස්ථාව තිබිණි. එපමණක් නො ව, ආණ්ඩුව ඇතුළතින් ම දුරස්ථ පාලකයක් සවි කර ගන්නට ද තිබිණි. 2020දී සැබැවින් ම රාජ්‍ය බලය ලබා ගැනීමට ජවිපෙ අපේක්ෂා කරනවා නම් ඔවුන් ඇමති තනතුරු දරමින්, සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින්, අත්දැකීම් ලබා ගන්නවා නම් එය ද නරක නැත.

ජවිපෙ මෙම අවස්ථාව  අහිමි කර ගත්තේ කුමක් නිසා ද? පළමු හේතුව ජවිපෙ තමන්ගේ භූමිකාව තේරුම් නො ගැනීමයි. ජවිපෙ යනු තව දුරටත් සන්නද්ධ ව්‍යාපාරයක් නො වේ. එවැනි සන්නද්ධ කැරැලිකාරී ව්‍යාපාරයකට ශ්‍රී ලංකාවේ නුදුරු අනාගතයේදී අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය නො හැකි ය. ජවිපෙ හා එහි ක්‍රියාකාරිකයන්ගේ ශරීර ද එවැනි කැරැලිකාරී ව්‍යාපාරයකට උචිත තත්වයක නැත. එහෙත්, ජවිපෙ තවමත් සිය සාමාජිකයන් අතර ප්‍රවර්ධනය කරන්නේ ප්‍රායෝගික නො වන විප්ලවීය ජීවන භාවිතාවකි. පක්ෂය වෙනුවෙන් දිවි කැප කර දේශපාලනයට අන් සියල්ලට ම වඩා මුල් තැන දෙන සාමාජිකයාගේ සම්ප්‍රදායික ආදර්ශනයක් මත ජවිපෙ තවමත් පදනම් වී සිටියි.

ජවිපෙ එතනින් ගැලවෙන්නට බියක් දක්වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බියෙනි. පෙසප ජවිපෙ බිම් මට්ටම කඩා ගත් නමුත් එය තමන් ළඟ තබා ගැනීමට ද අසමත් විය. පෙසපට ඉලක්කම් හතරක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වූයේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර තරග කළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණි. අජිත් කුමාරගේ පදනම වන හබරාදූව ආසනයෙන් ඔහුට ලබා ගත හැකි වූයේ ඡන්ද 206ක් පමණි. පෙසප මූලික පදනම වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 500ක්වත් ලබා ගැනීමට එම පක්ෂය අසමත් විය. මනෝරාජික විප්ලවයක් මත පදනම් වී සිටින එවැනි කුඩා කල්ලියකට බියෙන් වැරදි උපායමාර්ග තේරීම ජවිපෙ පැත්තෙන් ගත් කල තේරුමක් නැති තත්වයකි.

සමාජවාදී විප්ලවය පරමාදර්ශය කර ගැනීම වෙන ම තත්වයකි. එහෙත්, ජවිපෙ යනු මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් බලය ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ සැමදා නිමග්න ප්‍රායෝගික පක්ෂයකි. ජවිපෙ එම තත්වය වර්ධනය කර ගත යුතු ය. දේශපාලන පැවැත්ම තහවුරු කර ගත යුතු ය.

මධ්‍යගත පෙරටුගාමී පක්ෂ මාදිලියෙන් වෙනස් වන්නට ජවිපෙට පක්ෂයක් ලෙස බැරි නම්, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බහුජන පෙරමුණක් තුළ හෝ ජවිපෙ ස්ථානගත විය යුතු ය. තමන් වෙතින් ගිලිහී ගිය බලවේග නැවත දිනාගන්නට ජවිපෙ උත්සාහ කළ යුතු ය. ඉදිරි පළාත් පාලන මැතිවරණය අලුත් විදියක දේශපාලනයක් සඳහා ජවිපෙට කදිම අවස්ථාවකි. ජවිපෙ මෙරට දිළින්දන්ගේ, පීඩිතයන්ගේ පක්ෂය ලෙස නැවත ස්ථානගත කළ යුතු ය.

(සත්හඬට ලියූ ලිපියකි)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.