2014-07-22

විජයාවතරණය, මහින්දාගමනය, පෘතුගීසීන්ගේ පැමිණීම හා 1983 කළු ජූලිය

අසූ තුනේ කලු ජූලියට 31 වසරක් සපිරෙයි. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අනුග්‍රහය ලද සිංහල ජාතිවාදියෝ එදා ඒ දෙමළ සංහාරය කළේ සමස්තයක් ලෙස සිංහල සමාජයේ කැමැත්ත පරිදි ය. සිංහලයෝ බහුතරයක් දෙනා එය අනුමත කළ හ. එයට එරෙහිව නැගී සිටියේ අතළොස්සකි. හැබැයි, පසු කලෙක නම් සිංහල කලා නිර්මානවල සිටිය තරමක් සිටියේ දෙමළුන් සඟවාගෙන රැක ගත් උදාර සිංහලයෝ පමණි. මා සිතන පරිදි එය ‍වරදකාරී හැඟීමේ ප්‍රකාශනයකි.

1983 ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයකි. දෙමළ සන්නද්ධ අරගලය නැගලා යන්නට පටන් ගත්තේ එයින් පසුව ය. එසේම, සංවර්ධිත රටවල දියුණු ජීවිත සොයා මහා පරිමාණ දෙමළ සංක්‍රමණයක් ආරම්භ වූයේ ද එතැනිනි. 

එසේම, සිංහල ජාතිවාදය හා දෙමළ හා සුළු ජාතික විරෝධී යුද්ධය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය භූමිකාව බවට පත් වූයේ ද එතැන් සිට ය. මෙය කෙතරම් ගැඹුරු දේශපාලනික අවශ්‍යතාවක් ද යත් යුද්දෙ නැතිව ඇත්තට ම අපට පාළු ය. 2009න් පසු අපි මුස්ලිමුන් අල්ලා ගත්තේ ඩයස්පෝරාව සමග කරන යුද්ධය අපේ ඇඟට නො දැනෙන නිසා ය. අැඟට දැනෙන යුද්ධයක් නැතිව අපට දැන් ජීවත් වන්නට බැරි ය.

83 කළු ජූලිය හා එ් සමග කුළුගැන්වුණු තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව හා වැනසුණු දේපල ප්‍රමාණය තක්සේරු කළ නො හැකි තරම් ය. 

31 වසරකට පසු 1983 කළු ජූලිය ගැන සතුටු වනවා ද, දුක් වනවා ද යන්න පවා ප්‍රශ්නයක් වී තිබේ. හේතුව, මේ කළු ජූලිය එතැන් සිට අපගේ ජීවිතය වී තිබෙන හෙයිනි. 

සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට ලැබී තිබෙන රාජපක්ෂ පවුල, බොදු බල සේනාව, පන්සල්වලට ලවුස්පීකර්, බුද්ධාගම ගුරුවරුන්ට සමාජ පිළිගැනීම, ගමට රණවිරු බස් හෝල්ට්, දිළින්දන්ට හමුදා රැකියා, උපාධිධාරීන්ට රජයේ රස්සා, කෙල්ලන්ට ගාමන්ට් ජොබ්, ගෑනුන්ට මැදපෙරදිග රැකියා, ගොවියන්ට පොහොර සහනාධාර ආදී කොයි දේත් පි‍ටුපස තිබෙන්නේ 1983 පදනම් කර ගත් සමාජ, ‍දේශපාලන හා ආර්ථික වෙනස්කම් ය. 

දෙමළ ජනතාව විෂයෙහි සලකා බැලූ කල, දෙමළ ඩයස්පෝරාව නිර්මානය වූයේ 1983 නිසා ය. බටහිර රටවල ජීවත් වන දෙමළ ජනයාට වඩා යහපත් ජීවිත ගත කරන්නට අවස්ථාව ලැබුණු අතර ඔවුන් එවන මුදල්වලින් ලංකාවේ දෙමළ ජනයාට දැළි පිහියෙන් කිරි කන්නට අවස්ථාව ලැබිණි. දැළි පිහියෙන් කිරි කෑ අය ද කට කැපෙනකල් සිටියේ සතුටින් බව අප අමතක නො කළ යුතු ය.ඒ නිසා 1983 දෙමළ ජනතාව විෂයෙහි ද ඛෙදවාචකයක සීමාව පසු කර තිබේ.

1983 කළු ජූලිය යනු දැන් විජයාවතරණය, මහින්දාගමනය, පෘතුගීසීන්ගේ පැමිණීම වැනි ඓතිහාසික සන්ධිස්ථානයකි. එය ඛෙදවාචකයක් ලෙස සැලකීම තේරුමක් නැත. ඛෙදවාචකයක මූලික ලක්ෂණය වන්නේ 'අනේ එහෙම නොවුණා නම්' කියා සිතන්නට දෙයක් තිබීමයි. එහෙත්, ‍යම් ‍ඓතිහාසික සිදුවීමක් එකී සිදුවීමේ වැදගත්කම ඉක්මවා සමාජ දේහය තුළ දැවැන්ත විපර්යාසයක් ඇති කරන්නට සමත් වී නම්, ඉන් පසු ඒ ගැන සතුටු වීම හෝ කණගාටු වීම තේරුමක් නැත.

ඉතිහාසය යනු අපට ප්‍රීතිය හෝ ශෝකය ගෙන දෙන දෙයක් නො වේ. එය අතීතයක් පමණි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com