2010-06-10

1917 ලෙනින් කළා වගේ 2010දී වමට කරන්න බැරි ඇයි? | Why cannot the left act like Lenin did in 2010?

a sculpture by Alexandre Kosolapov
titled “the hero.  the leader.  the god.”  
(2010 ජුනි 10, W3Lanka) සුබසාධන ලක්ෂණ ශේෂ වුන ධනවාදයක ඉඳල ඒ ලක්ෂණ නැති උග්‍ර ධනවාදයකට මාරු වෙන්න උත්සාහ දරන අවස්ථාවක වම කරන්න ඕනෙ මේ ආකෘති වර්ණනා කිරීම නෙමෙයි ‍මේ ආකෘති දෙකටම විරුද්ධ විකල්පයක් වෙනුවෙන් පෙනී සිටීම කියලයි මම හිතන්නෙ.


ඔබ‍ගේ ලෙනින් සම්බන්ධ ස්ථාවරය කුමක්දැයි මම දන්නෙ නැහැ.නමුත් මීටත් වඩා වැඩවසම් ලක්ෂණ පැවති 1917 අප්‍රේල් රුසියාව ඇතුලෙ විප්ලවීය වෙනසකට ලෙනින් යෝජනා කල වැඩපිලිවෙල සලකලා බලන්න.ධනේශ්වර ක්‍රමය විසින් කළ යුතු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ( උදා - ගොවිජන ප්‍රශ්නය,ජාතික ගැටලුව) විසඳීමේ කර්තව්‍යය සමාජවාදී විප්ලවය විසින් භාරගත යුතුය - මේ තමයි ඒ වැඩපිලිවෙලේ හරය.
-රාමචන්ද්‍ර


1917දී රුසියාවේ තත්වයත් 2010දී ලංකාවේ තත්වයත් සසඳන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි, ‍ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අද තත්වය. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 1917 පෙබරවාරි වන විටත් ලෙනින්ගේ පක්ෂය ඉතා ම පුංචි බලවේගයක් කියලා. එහෙම කියලා ලංකාවේත් වාමාංශිකයන් තමන් ලෙනින් වගේ කියා හැසිරෙන්න පුළුවන්. දැනටමත් එහෙම අය රාශියක් වමේ ව්‍යාපාරයේ ඉන්නවා. 


නිදසුනක් ලෙස කොළඹ ක්ෂුද්‍ර වාම ප්‍රභූ කව දෙස බලන්න. මේ කවවල මේ මොහොතේ සිදු කෙරෙන කාර්යය තමයි කළ යුත්තේ කුමක්ද යන්න සකච්ඡා කිරීම. මේක විවිධ ආකාරවලින් කරනවා. සමහරු හිතනවා 'නොකළ යුත්තේ කුමක්ද?' වගේ මාතෘකා මාර ඉනොවටිව් (නව නිර්මානාත්මකයි) කියලා. 


මේ ප්‍රභූ කවවල ඉන්න සියලු දෙනා ම සෙබළු නැති සෙන්පතියෝ. ඉතින් මේ අය තමන්ගේ විප්ලවීය හමුදාවට අනෙක් අයව බඳව ගන්න සාකච්ඡා කැඳවනවා. ජෝසප් ස්ටාලින් (රුසියාවේ නොවේ, කොළඹ) කැඳවන සාකච්ඡාවට එන අහිංසක පෙරේරා ජෝසප්ගේ හමුදාවට බැ‍ඳෙන්නේ නැහැ. එයා වෙනම සාකච්ඡාවක් කැඳවනවා එයාගේ හමුදාවට ජෝසප් ස්ටාලින්ව බඳවා ගන්න. ඔය විදියට දැන් කොළඹ සාකච්ඡාවලින් පිරිලා. පුංචි කණ්ඩායමක් පූර්ණ කාලීනව මේ සාකච්ඡාවලට යනවා. කොළඹින් පිට ඉන්න නිසා අපට මේ විනෝද සමය බලන්න ලැබෙන අවස්ථා විරලයි. කොහොමත් මේ විප්ලවවාදීන් සමාජවාදය ගොඩනඟන්න ඉන්නෙ කොළඹ විතරයි. ළඟකදී ඉඳලා ජාතික හෙළ උරුමයේ අනුරුද්ධ ප්‍රදීප් එහෙමත් මේවට යනවා කියලා ආරංචියි. හැබැයි, මේ වමේ කට්ටිය කැමති නැහැ අලුත් අය මේ සාකච්ඡාවලට එනවට.


'කළ යුත්තේ කුමක්ද?' යන්න හොඳට ම දන්න තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ පක්ෂ. මේ පක්ෂ ඔය පොඩි පොඩි ජාත්‍යන්තරවලට සම්බන්ධයි. මේ ජාත්‍යන්තරවලට සමහර විට තිබෙන ලොකු ම පක්ෂ මේ ලංකාවේ වමේ පක්ෂ. ඒකෙන් ම ඒ ජාත්‍යන්තරයන්ගේ තත්වය හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මේ ජාත්‍යන්තර සංවිධාන මේ පක්ෂවලට ආධාර කරනවා. ඔය රාජ්‍ය නොවන සංවිධානවලට වගේ ලොකු ඩොලර් කුට්ටි නෙමෙයි. පොඩි පොඩි ගණන්. ඉතින් මේ අය බලා ඉන්නේ මොකක් හරි ඡන්දයක් එනකල්, ලංකාවෙන් ම ඡන්ද දාහක් ගන්න පුළුවන් වුණොත් මේ අය උදම් අනන්නේ ලෝකෙ ම අල්ලේ වගේ හිතාගෙන. කොහේ හරි ආසනේක එක පක්ෂෙකට ඡන්ද පහකුත් අනෙක් පක්ෂෙට හයකුත් වැටුණොත් අර ඡන්ද හය වැටිච්ච පක්ෂය හිතන්නේ ඒ ආසනේදී තමන් ට්‍රොට්ස්කිවාදය හරි වෙන මොකක් හරි වාදයක් හරි පැරැද්දුවා කියලයි. 


'කළ යුත්තේ කුමක්ද?' යන්න හොඳට ම දන්න වමේ කට්ටිය දැන් ඉන්නේ පිටරට. කිලිනොච්චිය ලංකාවේ හමුදාවේ ලෙනින්ග්‍රෑඩය වේ ය ආදී වශයෙන් මේ අය ගයපු ප්‍රශස්ති අහලා යුද්ධ කරපු ප්‍රභාකරන්ට වුණ දේ කවුරුත් දන්නවා. රජයේ හමුදා මේ තරම් මානව හිමිකම් කෙරෙහි නොසැලකිලිමත් වන තෙක් ඔවුන්ට දේශපාලන රැකවරණ සපයපු ඔවුන්ගේ බටහිර හාම්පුතුන් බලා ඉන්න එකක් නැති ය කියලා මුළාවක සිටි ඔවුන් දැන් ප්‍රධාන ව්‍යාපෘතිය කරගෙන ඉන්නේ බූන්දියට වෙන නම්වලින් කවි ලිවීම. වෙන නම්වලින් කවි ලියන්නේ අවුට්විෂ්ට්ස්වලින් පස්සෙ කවි නැහැ යයි කවුරුද කවියෙකු කළ කාව්‍යාත්මක ප්‍රකාශයක් මේ අය පසුගිය කාලයේ දේශපාලන න්‍යායක් ලෙස ප්‍රචාරය කරන්න ගිහින් නා ගත්ත නිසයි. 


කොච්චර කොහොම වුණත්, තවමත් ලංකාවේ සමාජ වෙනසක් වෙනුවෙන් අවංකව, ඒත් කපටි නායකයන් පිරිසකට මෝඩ ලෙස රැවටී කැප වී සිටින පිරිස ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේයි. ජවිපෙ කියන්නේ තනි සමස්තයක් ලෙස පෙනී සිටින්න උත්සාහ කළත් එහෙම නොවන බව ප්‍රදර්ශනය වන ජාතිකවාදී වාම ව්‍යාපාරයක්. ජාතිවාදයේ සරණ යාම නිසා තමන් ලාංකීය සමාජයට කළ හානියේ තරම ගැන පශ්චාත්තාපයක් තිබෙන පිරිස් ජවිපෙ ඉන්න බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හා ලංකා පත්තරේ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම්වලින් පෙනෙනවා. ඒත්, මේ ප්‍රගතිශීලීන්ට තිබෙන ලොකු ම ගැටලුව තමයි, පක්ෂයේ බලය අල්ලාගෙන සිටින අවස්ථාවාදීන් පිරිසට එරෙහිව සටන් කරන්න අවශ්‍ය ආත්ම ශක්තිය නැතිකම. හැත්තෑ එකේ ඉඳන් ඉන්න නිසා සිරි අයියාටත්, අසූ නමයේ කැරැල්ල නිසා ජම්පර් ඇන්ද බැවින් සුසිල් අයියාටත් තිබෙන අන්ධ භක්තිය නැති කරගෙන තමනුත් මේ පක්ෂයේ හිමිකරුවන් බව සිතන්න බැරි වුණොත් ඔවුන්ට කිසිවක් කරන්න ලැබෙන්නෙ නැහැ. මොකද මේ නායකයෝ (ප්‍රසිද්ධියේ) සිගරැට් අරක්කු බිව්වේ නැති  නිසා, කාමයෙහි 'වරදවා' හැසිරුණේ නැති නිසා මේ අයට ඉක්මණින් විප්ලවීය ආචාරය පුද කරන්න ලැබෙන්නේ නැහැ. පැරලයිස් වුණත්, කෝමා තත්වයට පත් වුණත් මේ අය පක්ෂය දාලා යන්නේ නැහැ. කොහේ යන්නද? වැඩ බැරි දාසලාට වෙන කොහෙද අම්බලම් තියෙන්නේ?  


බ්ලොග් ලියන අප ගැන තිබෙන චෝදනාව තමයි අප ඉන්නේ මහ පොළවේ නොව සයිබර් අවකාශයේ බව. බ්ලොග් ලියන සමහරුන්ට මේ කාරණය අදාළ වෙන්න පුළුවන්. ‍බ්ලොග් ලිව්ව පළියට සමාජය වෙනස් වෙන්නේ නැති බව අපි දන්නවා. ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කර ලක්ෂ දෙකෙන් කී දෙනා ද සිංහල බ්ලොග් කියවන්නේ? හැබැයි ඉතින්, ඔය දේශපාලන ප්‍රභූන් අතරින් කොටසක් හෝ මේවා කියවන නිසා වැඩක් ම නැහැ කියන්නත් බැහැ. බ්ලොග් ලියන්නේ ලෝකයේ දැනට තිබෙන නිදහස් ම අදහස් අවකාශය තියෙන්නේ එතන නිසායි. අනෙක ඉතින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගේ සංවිධානයක් ගැන නිදහස් අදහසක් පුවත්පතකට ලිව්වොත් ඒ ලියන එකාගේ ප්‍රකාශනයේ නිදහස වාරණය කරන්නේ මාධ්‍ය නිදහසේ නාමයෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජීවිතය පරිත්‍යාග නො කර සනීප යුරෝපා රටක දේශපාලන රැකවරණ ඉල්ලන අය.  (මේවා ගැන කතා කළොත් බල්ලො බත් කන එකක් නැහැ. ලියන අපටත් එක සීමාවක් පන්නන්න ලැජ්ජයි.) 


ඉතින් ලංකාවේ වම ගැන දන්න හුඟක් දේ නො කියා, සරළව, සහෝදරත්වයෙන්, මතුපිටින් විග්‍රහ කළොත් ඔන්න ඔහොමයි, තත්වය. රාමචන්ද්‍ර සහෝදරයාගේ යෝජනාව ප්‍රායෝගික නො වන බව අප කියන්නේ මේ සංදර්භය තුළයි. විග්‍රහ කර කර ඉන්නවාට වඩා තත්වයන් වෙනස් කරන්න වමට කළ හැකිව තිබෙන දේ ගැන සංයුක්ත අදහසක් මීළඟ ලිපියෙන් යෝජනා කරන්න හිතාගෙන ඉන්නවා. 


(ප.ලි.: වමේ රස කෑලි ලිව්වා ම අපව සමහරුන් පාවා දෙන්නන් කියලා නැවත නැවත හංවඩු ගහනවා. ඒගොල්ලන්ට බලය තියෙන කොළඹ පොඩි පොඩි අවකාශයන්ගෙන් අපව පිටුවහල් කරනවා. ඒ වුණාට අප කියන්නේ අප ඉන්න බව නො දන්නා වගේ හැසිරුණාට කමක් නැහැ. හොරෙන් හොරෙන් මේ ලිපි කියවන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මූණ බලනවා වගේ දැනෙනවා නම් අපට සතුටුයි.)