දේශපාලන කුණු පණුවන් එහා මෙහා පනින ජනපතිවරණ සටන

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අප විසින් කර තිබෙන බිම් මට්ටමේ නිරීක්ෂණ අනුව පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ රාජපක්ෂ විරෝධී දැවැන්ත ජන රැල්ලක් ඇති වී තිබෙන බවයි. මේ රැල්ල ගොඩනැගෙන්නේ කුමක් පදනම් කරගෙන ද යන්න තවමත් විපක්ෂය හරි හැටි තේරුම් ගෙන ඇති බවක් නො පෙනේ. 

මෙහි තිබෙන මූලික කාරණය වන්නේ රටේ යහපාලනයේ ගැටලුවයි. ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ දූෂණයෙන් තොර, නීතියේ පාලනයෙන් යුත්, මනා ආර්ථික පාලනයකින් යුතු රටකි. අනේක විධ බාධා මැද ජනතාව විපක්ෂ රැළිවල රොද බඳින්නේ මේ අපේක්ෂාව වෙනුවෙන් ශක්තිය ගොනු කරන්නට ය. එහෙත් විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මේ කාරණා නිසි ලෙස ආමන්ත්‍රණය කරනවා වෙනුවට බල තුලනය වෙනස් කිරීමේ ඔලුගෙඩි මාරුවට මුල් තැන දී තිබේ.

මහජන නියෝජිතයන් මිළ දී ගැනීම නම් කාරණයේදී විශේෂඥයන් වන්නේ නිසැකව ම රාජපක්ෂ පවුලයි. ඒ වෙනුවෙන් ධනය, තනතුරු, වරප්‍රසාද පිරිනමමින් ද, අවශ්‍ය නම් භීෂණය මුදා හරිමින් ද කටයුතු කරන්නට ඔවුහු අති දක්ෂයෝ ය. එය ඔවුන්ගේ පොළවයි. ඔවුන් සමග හැප්පෙන්නට ඔවුන්ගේ අවකාශය වෙත යාම කිඹුලා සමග සටන් වදින්නට වතුරට පැනීම වැනි දෙයකි. 

විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මානය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මානය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මානය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද? මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ. 

මෙහි තිබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ දේශපාලනඥයන් හැසිරවෙන්නේ ඕපාදූප විසින් වීමයි. මෙය හරියට බල්ලා විසින් වලිගය වැනීම වෙනුවට වලිගය විසින් බල්ලා වැනීම වැනි තත්වයකි. 

විපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවධානය වෙනස් කළ යුතු ය. ආණ්ඩුවෙන් දේශපාලකයන් විපක්ෂයට දිනා ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කිරීම යනු ආණ්ඩුවට වාසිදායක පොළවක ක්‍රීඩා කරන්නට විපක්ෂය ඉදිරිපත් වීම වැනි ය. ඒ ක්‍රීඩාව දිනා ගැනීම අමාරු ය. එපමණක් නොව, එමගින් ජනතාවගේ චිත්ත ධෛර්යය ද බිඳ වැටේ. 

මෙතෙක් කල් ආණ්ඩුව සමග නැටවුණු, තීරණාත්මක මොහොතේදී ආණ්ඩුව සමග එක් වන්නට සිදු වන තරමට රාජපක්ෂ පවුලට වහල් වූ දේශපාලන නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බව අප අමතක නො කළ යුතු ය. ඔවුන් වනාහි මේ කුණු වූ දේශපාලන ක්‍රමයෙන් බිහි වී තිබෙන පණුවෝ ය. ජනතා අරගලය දියත් විය යුත්තේ මේ පණුවන් බිහි වන ක්‍රමය වෙනස් කිරීමට මිස පණුවන් තමන්ගේ පැත්තට දිනා ගන්නට නො වේ.

ඒ පැත්තට මේ පැත්තට පැනීමේ දේශපාලනයේ එක් අනතුරුදායක කඩඉමක් පසුගියදා සලකුණු විය. ඒ වනාහි මහින්ද රාජපක්ෂගේ සංස්කෘතික දේශපාලන පෙරමුණේ සුවිසල් භූමිකාවක් රඟපාමින් අති විශාල ලෙස වරප්‍රසාද ලැබූ ප්‍රතිගාමී සිනමාකරුවකු වන සෝමරත්න දිසානායක මෛත්‍රීපාල රැල්ල සමග එකතු වීමයි. ඒ සමග ම මර්වින් සිල්වාගේ නම ද කියැවුණ අතර විපක්ෂ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමි සමග මුල පිරූ නිර්මාල් රංජිත් දේවසිරි කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් මේ සටහන අවසන් කරමි. 

"මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)