ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දෙපයින් සිටවීම

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අප විසින් කර තිබෙන බිම් මට්ටමේ නිරීක්ෂණ අනුව පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ රාජපක්ෂ විරෝධී දැවැන්ත ජන රැල්ලක් ඇති වී තිබෙන බවයි. ජනමත සමීක්ෂණවලින් ද මේ බව පෙන්නුම් කර තිබේ.
පෙනෙන්නට තිබෙන ආකාරයට ඡන්දය දෙන්නේ ආණ්ඩු පක්ෂයට ද විපක්ෂයට ද යන්න සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් දැනටමත් තීරණය කර හමාර ය. ජයග්‍රාහී මානසිකත්වය රඳවා ගැනීමට අපේක්ෂකයන් සමත් වේ නම්, මේ පුද්ගලයන් ඡන්දය දෙන ආකාරය වෙනස් වේ යයි සිතිය නො හැකි ය. පරාජය හමුවේ දුර්මුඛ වී ඡන්දය නො දී සිටීම හැර, ඡන්දය දෙන ආකාරයේ ලොකු වෙනසක් සිදු වේ යයි අපේක්ෂා කළ නො හැකි ය.
මෙම සංදර්භය තුළ ජනාධිපතිවරණ ව්‍යාපාරය බොහෝ දුරට එකිනෙකාට බලය පෙන්වීම, පදනම ආරක්ෂා කර ගැනීම හා අනෙකා දුර්මුඛ කිරීම කෙරෙහි යොමු වී තිබෙන ආකාරයක් ද නිරීක්ෂණය කළ හැකි ය.
බලය පෙන්වීම නම් කාරණයෙහිදී ආණ්ඩු පක්ෂය ප්‍රධාන වශයෙන් කරමින් සිටින්නේ තමන් සමග මෙතෙක් සිටි බලවේගය තවමත් එහෙමම සිටින බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ඒ අතර දතට දතක්, ඇහැට ඇහැක් යන ගෝත්‍රික න්‍යාය ඉදිරිපත් කරමින් තමන්ගෙන් ගැලවී ගිය ලේකම් වෙනුවට එජාපයේ ලේකම් තමන්ගේ පැත්තට ගෙන පෙන්වීමට ද ආණ්ඩුව සමත් විය.
තිස්ස අත්තනායකගේ පිම්ම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ලෙස පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළ මුත් එය එසේ වන්නේ නැත. එයට මූලික හේතුව වන්නේ මෛත්‍රීපාලගේ පියවර රටේ පොදු දේශපාලනික අවශ්‍යතාවක් වෙත ස්ථානගත වීමක් වීමයි. තිස්ස අත්තනායක සිය පිල් මාරුවට හේතු ලෙස ඉදිරිපත් කරන කාරණා වන්නේ පැය 24ක් තුළ රනිල්ට අගමැතිකම දෙන්නට මෛත්‍රීපාල එකඟ නොවීම, මැති ඇමතිවරු 20ක් කඩාගෙන එන්නට මෛත්‍රී අසමත් වීම වැනි අදේශපාලනික, බොළඳ හේතු ය. 
විපක්ෂය ද බලය පෙන්වන්නට උත්සාහ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් එක එකා තමන් වෙත බිලී බා ගනිමිනි. තිස්ස අත්තනායක කඩාගෙන ගිය දිනයේ සවස හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විපක්ෂයට එකතු කර ගැනීමෙන් තිස්සගේ කඩාගෙන යාමේ බලපෑම අවම කිරීමට විපක්ෂය සමත් විය. 

බලය පෙන්වීම ඉතා වැදගත් ය. මන්ද, දැනට තමන් ඡන්දය දෙන්නේ කාට ද යන්න තීරණය කර නැති පිරිස් තීරණයක් වෙත එළඹීමේදී බලය නම් සාධකය කෙරෙහි අවධානය යොමු කරති. ජනතාව තුළ ජයග්‍රාහී මානසිකත්වය ඇති කිරීම අත්‍යවශ්‍ය ය. හෘදය සාක්ෂියට වඩා ඡන්දයකදී ලංකාවේ ජනතාව සලකා බලන්නේ තමන් ඉන්නේ බහුතරය සමග ද, දිනන පැත්තේ ද වැනි කාරණා බව කලින් ඡන්ද නිරීක්ෂණය කිරීමේදී පෙනේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙබඳු ද යන්න හුදෙක් ම දේශපාලන වශයෙන් සක්‍රිය කොටස්වල ප්‍රතිචාරයෙන් පමණක් තේරුම් ගත නො හැකි ය. දේශපාලනය අඩුවෙන් කතා කරන කොටස සිතන්නේ කෙසේ ද යන කාරණය ඉතා වැදගත් ය. විශේෂයෙන් ම ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 50%කට වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ ය. එහෙත් දේශපාලනික වශයෙන් සක්‍රිය පිරිසගෙන් 95%ක් ම පිරිමි ය. කාන්තාවන් අමතන්නට සමත් වන්නේ කවුරුද, ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි කීම වැරදි ප්‍රකාශයක් නො වේ.

විපක්ෂය දෙසට දැවැන්ත ජනරැල්ලක් ගොඩනැගී ඇති බව අපි කලින් ද කීවෙමු. එහෙත්, මේ රැල්ල ගොඩනැගෙන්නේ කුමක් පදනම් කරගෙන ද යන්න තවමත් විපක්ෂය හරි හැටි තේරුම් ගෙන ඇති බවක් නො පෙනේ. 
මෙහි තිබෙන මූලික කාරණය වන්නේ රටේ යහපාලනයේ ගැටලුවයි. ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ දූෂණය ඉහවහා නො ගිය, නීතියේ පාලනයෙන් යුත්, මනා ආර්ථික පාලනයකින් යුතු රටකි. අනේක විධ බාධා මැද ජනතාව විපක්ෂ රැළිවල රොද බඳින්නේ මේ අපේක්ෂාව වෙනුවෙන් ශක්තිය ගොනු කරන්නට ය. එහෙත් විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මේ කාරණා නිසි ලෙස ආමන්ත්‍රණය කරනවා වෙනුවට බල තුලනය වෙනස් කිරීමේ ඔලුගෙඩි මාරුවට අනවශ්‍ය තරම් වැදගත්කමක් දී තිබේ.
මහජන නියෝජිතයන් මිළ දී ගැනීම නම් කාරණයේදී විශේෂඥයන් වන්නේ නිසැකව ම රාජපක්ෂ පවුලයි. ඒ වෙනුවෙන් ධනය, තනතුරු, වරප්‍රසාද පිරිනමමින් , අවශ්‍ය නම් භීෂණය මුදා හරිමින් ද කටයුතු කරන්නට ඔවුහු අති දක්ෂයෝ ය. එය ඔවුන්ගේ පොළවයි. ඔවුන් සමග හැප්පෙන්නට ඔවුන්ගේ අවකාශය වෙත යාම කිඹුලා සමග සටන් වදින්නට වතුරට පැනීම වැනි දෙයකි. 
විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මානය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මානය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මානය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද? මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ. 
මෙහි තිබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ දේශපාලනඥයන් හැසිරවෙන්නේ ඕපාදූප විසින් වීමයි. ඔවුන් පිළිබ්‍රද ප්‍රබන්ධ කරන පුවත්වලට අනුව ඔවුන් හැසිරෙන ස්වරූපයක් දක්නට ලැබෙන අතර, විපක්ෂයත්, ආණ්ඩුවත් තරගෙට මෙන් පුවත් නිර්මානය ඔස්සේ චරිත හැසිරවීම කරගෙන යයි. මෙය හරියට බල්ලා විසින් වලිගය වැනීම වෙනුවට වලිගය විසින් බල්ලා වැනීම වැනි තත්වයකි.
විපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවධානය වෙනස් කළ යුතු ය. ණ්ඩුවෙන් දේශපාලකයන් විපක්ෂයට දිනා ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කිරීම යනු ආණ්ඩුවට වාසිදායක පොළවක ක්‍රීඩා කරන්නට විපක්ෂය ඉදිරිපත් වීම වැනි ය. ඒ ක්‍රීඩාව දිනා ගැනීම අමාරු ය. එපමණක් නොව, එමගින් ජනතාවගේ චිත්ත ධෛර්යය ද බිඳ වැටේ. 
මෙතෙක් කල් ආණ්ඩුව සමග නැටවුණු, තීරණාත්මක මොහොතේදී ආණ්ඩුව සමග එක් වන්නට සිදු වන තරමට රාජපක්ෂ පවුලට වහල් වූ, දේශපාලන සදාචාරයක් තබා ආත්ම ගෞරවයක්වත් නැති, මුදලට කෑදර දේශපාලන නායකයන් රැසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බව අප අමතක නො කළ යුතු ය. ඔවුන් වනාහි මේ කුණු වූ දේශපාලන ක්‍රමයෙන් බිහි වී තිබෙන පණුවෝ ය. ජනතා අරගලය දියත් විය යුත්තේ මේ පණුවන් බිහි වන ක්‍රමය වෙනස් කිරීමට මිස පණුවන් දිනා ගන්නට නො වේ.
ඒ පැත්තට මේ පැත්තට පැනීමේ දේශපාලනයේ එක් අනතුරුදායක කඩඉමක් පසුගියදා සලකුණු විය. ඒ වනාහි මහින්ද රාජපක්ෂගේ සංස්කෘතික දේශපාලන පෙරමුණේ සුවිසල් භූමිකාවක් රඟපාමින් අති විශාල ලෙස වරප්‍රසාද ලැබූ ප්‍රතිගාමී සිනමාකරුවකු වන සෝමරත්න දිසානායක මෛත්‍රීපාල රැල්ල සමග එකතු වීමයි. ඒ සමග ම මර්වින් සිල්වාගේ නම ද කියැවුණ අතර විපක්ෂ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමි සමග මුල පිරූ නිර්මාල් රංජිත් දේවසිරි කළ ප්‍රකාශයක් මෙසේයි:
"මර්වින් සිල්වා මෛත්‍රී පිළට එන්නේ නම් ඔහු භාර ගැනීමට විරෝධය දැක්විය යුතුය. නිල වශයෙන් ඔහුගේ පැමිණීම භාර නොගත යුතුය. මේ සදහා මතයක් ගොඩ නැංවීම වැදගත්ය. එකම නරක පුදගගයා මර්වින් නොවුනද පසුගිය කාලයේ සිදුවූ රාජ්‍ය තන්ත්‍රෙය් පරිහානිය ඔහුගෙන් සංකේතමත් වේ. ඒ නිසා ඔහුගේ පැමිණීමට විරුද්ධ වීම සංකේතාත්මක වශයෙන් වැදගත්ය."
පොදු විපක්ෂයෙන් ජනතාව අපේක්ෂා කරන්නේ මේ ජරා ක්‍රීඩාව නොවේ. මැතිවරණ වේදිකාවේ අවධානය යොමු විය යුත්තේ ඒ පැත්තෙන් මේ පැත්තට ආ අයට නො වේ. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණ විරෝධය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම  වැනි ඉදිරිගාමී තේමාවන් වෙත අවධානය මාරු කිරීම ඉතා වැදගත් ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැත්තෙන් ද පාලනය විනයගත කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ වී තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට හා යහපාලනයට ඉවහල් වන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ උවමනාවක් නම් ඔහු වෙතින් පළ වී නැත. ඔහුගේ විනයගත කිරීම යනු තෝරා ගත් පුද්ගලයන් ඉලක්ක කර ගත් මර්දනීය ක්‍රියාවලියක් වීමේ අනතුර මේ මොහොතේ ද පැහැදිලිව පෙනේ.

මේ අනුව බැලූ කල ජනාධිපතිවරණය එක් ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකාරිවාදය අතර සටනක් වී තිබේ. මෙ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට තරමට ම අධිකාරිවාදයට ද කැමැත්තක් ඇතැයි සිතන්නට හේතු වන සාධක දක්නට තිබේ. විශේෂයෙන් ම සිංහල ජාතිවාදීන් සම්බන්ධයෙන් මෙම ප්‍රවණතාව දැකිය හැකි ය. ජාතික හෙළ උරුමය මේ අවස්ථාවේදී කළ තේරීම වැදගත් සාධකයක් වන්නේ එහෙයිනි. මේ මොහොතට අදාළව හෝ ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැදගත් දේශපාලනික ආස්ථානයක් ගැනීම සිංහල දේශපාලන ප්‍රජාව කෙරෙහි සාධනීය ලෙස බලපාන සංසිද්ධියකි.

බුද්ධිමත් ඡන්දදායකයන් අතර මහින්ද රාජපක්ෂ හිතවතුන් දැනටමත් මන්දෝත්සාහී වී ඇති බව දක්නට ලැබේ. ඔවුන් මුහුණ දෙන මූලික ම ගැටලුව වන්නේ මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කළ යුත්තේ කුමක් සඳහා ද යන්න ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වීමයි. යුද්දෙ අවසන් කළ නිසා ඡන්දෙ දෙනවා යන්න දැන් එතරම් මාකට් කළ හැකි දෙයක් නො වන අතර වෙන කියන්නට දෙයක් නැති වීම නිසා බිම් මට්ටමේදී මහින්ද වෙනුවෙන් ස්වේච්ඡා ප්‍රචාරණයන් අවම වී තිබේ. සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාරය තුළ දූෂණ විරෝධය ද ඇත. මේ හේතුවෙන් සංවර්ධනය පිළිබඳ කරන ප්‍රචාරයන් තවත් පැත්තකින් දූෂණ පිළිබඳ සිහිපත් කිරීම් බවට පත් ව තිබේ. ඒ නිසා ඒ ප්‍රචාර මහින්දට මුළුමනින් ම වාසිදායක නැත. කෙසේ වෙතත්, ආණ්ඩුවේ පුළුල් දූෂණ ජාලයට විවිධ ආකාරයෙන් සම්බන්ධ සුවිසල් ජනගහණයක් මේ රටේ සිටිති. ඒ පිරිස දුර්මුඛ නො කර රඳවා ගැනීම ද මහින්ද ට තියුණු අභියෝගයකි. ඔහු එය කරන්නට උත්සාහ කරන්නේ තව තවත් එක්සත් ජාතික පක්ෂ නායකයන් ආණ්ඩුවට මිළ දී ගැනීමෙනි.
ජනතාව දූෂණයට ගොදුරු වී තිබෙන මුත්, දූෂණයෙන් තොර රටක් ගැන අපේක්ෂාවක් ඔවුන් තුළ නැතුවා නො වේ. විපක්ෂය මේ මනෝභාවයට ආමන්ත්‍රණය කළ යුතු ය.
මේ වන විට මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද තවත් දූෂණයක් බවට පත් වී තිබේ. ඡන්ද ප්‍රචාරය සඳහා දෙන මුදල්වලින් අඩු ම තරමේ 50%ක්වත් ආසන සංවිධායක ඇමති මැති ආදීහු ගසා කන බව වාර්තා වේ. මහින්දගෙන් ලැබෙන මුදල පිල්ලි ගසා ගන්නා ආසන සංවිධායකවරු මහින්දට කටුව්ට් ගැසීම හා වෙනත් වියදම් කිරීම තමන්ගෙන් උදව් උපකාර ගත් ගෝල බාලයන්ට පවරති. හැකි තරම් දුරට පෞද්ගලික දේපල නොව රජයේ දේපල ම පාවිච්චි කරමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යති. මහින්ද දුන් සල්ලිවලින් කොටසක් තමන්ගේ අනාගත ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඉතිරි කර ගන්නට ද ඔවුහු වග බලා ගනිති.
මහින්දගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගමන් කරමින් සිටින්නේ උපරිමයේ සිට පහළට බවක් මේ මොහොතේ නිරීක්ෂණය කළ හැකි ය. එහෙත්, ඔහු වනාහි අභීත සටන්කරුවෙකි. ඔහු මේ සටන ලෙහෙසියෙන් අතහැර දමනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. ඔහුගේ ආත්ම ශක්තිය වී ඇත්තේ මිථ්‍යාවයි. මෙවැනි සුවිශේෂ රණකාමී චරිත හැමවිට ම දකින්නේ ගමන අවසානයේ තමන් ජයගෙන සිටින ආකාරයයි. ගමන ගැන අවබෝධයක් නැතත් ඔවුන්ට ජයග්‍රහණය ගැන මිථ්‍යා විශ්වාසයක් තිබේ.
අප මෙම සටහනින් උත්සාහ කළේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ දක්නට ලැබෙන ලක්ෂණ කීපයක් නිරීක්ෂණය කිරීමටයි. එහිදී අප දකින මූලික ගැටලුව වන්නේ පොදු විපක්ෂය විසින් ආරම්භයේදී මතු කරන ලද සාධනීය කාරණා වන ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය වැනි කරුණු වෙනුවට පිල් මාරුව මූලික තලයට පැමිණීමයි. ඒ සමග ම විපක්ෂ අපේක්ෂා අභියෝගයට ලක් වන සංවර්ධනයන් ද දැකිය හැකි ය. දේශපාලනික වශයෙන් සාධනීය ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම් අප විසින් කළ යුතුව තිබෙන්නේ පිල් මාරුව කෙරෙහි යොමු වී ඇති අවධානය නැවත දේශපාලනික වශයෙන් වැදගත් කාරණා වෙත මාරු කිරීමයි.
(2014 -12- 14 රාවය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. para mewa blogwala liyanna epa. aduma gaane oya campaign eke inna kipa denekuta inbox karala yawanna. mehema dammata passe marage balu pracharana senawath wade dangena un ita kalin wadeta bahinawane. awurudu ganak underground wada karapu oayata mewa niotherenne eyi? niyama adahas tika. me comment eka delete karala daanna.

    ReplyDelete
  2. Yes, indeed, but there are no options...King is marketing himself in the foot anyway. Good article!

    ReplyDelete
  3. අතුරු ප්‍රශ්ණයක්.

    "බිම් මට්ටම" හැර වෙනත් නිරීක්ෂණ මට්ටම් මොනවාද?

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇයි කකා තම්මට්ටම.... තන මට්ටම....

      Delete
  4. රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවෙයි

    ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
    මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.
    එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත.
    2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ, පුෂ්පා රාජපක්ෂ නමින් Fontana හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි එක් නිවසක්ද වශයෙනි. එම කාලයේ Fontana හි පුෂ්පා රාජපක්ෂගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ නමින් San Dimas හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.
    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.
    වැඩි විස්තර සඳහා
    http://radaris.com/p/Pushpa/Rajapaksa/
    http://radaris.com/~Ioma-Rajapaksa/107098560

    ReplyDelete
  5. මෛත්‍රිපාල උන්නැහේට දැන් තියෙන්නේ පි මාළු වලේ මාළු බාන කුසල්හාමිගේ පාට් එක රඟපෑම නවත්තලා. කුස්සියට කතා කරන එක. එකෙක්වත් ඒ ගැන නෝ කතා. දැන් බයවෙලා ඉන්නේ අවුරුදු පහ කම්ප්ලීට් උනේ නැත්නම් පැන්සොන් එකට කෙලවේය කියලා. පක්ෂ විපක්ෂ ඔක්කෝම. ජෙප්පොත් ඒ ගැන නෝ කතා නෝ සිනා...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රිපාල උන්නැහේ?
      මේකෙන්ම තේරෙන්නෙ නැද්ද මාතලන්ගේ සිතැගියාව

      සමහරක්, ප්‍රභාකරන්ට පිරබාහරන් යයි ආමණ්ත්‍රනය කරයි රනිල් වික්‍රමසිංහට වික්‍රමසින්හ උන්නැහේ යැයි ආමණ්ත්‍රනය කරයි මෛත්‍රිපාල සිරිසේනට සිරිසේන ලෙස සමච්චලේට වාග් ප්‍රහාරය කරයි, නමුත් ඔහු වීරසංගිලි පනික්කියා යැයි ඔහුට අමතක වී ඇත.

      Delete
    2. මගේ අදහස් පෞද්ගලිකව ඇඟට ගන්න එපා. මේ තියෙන්නේ කුස්සිය සහ කක්කුස්සිය අතර ප්‍රශ්නයක්වත්, සමාජවාදය සහ ධනවාදය අතර ගැටුමක්වත් නොවේ. සැබැවින්ම ඇත්තේ මේ නාස්තිකාර, ඒකාධිපති රජ මානසිකත්වයට තිත තබා, වෙනස් ගමනක් සඳහාවූ ප්‍රශ්නයයි. ජන මනස යොමු කල යුත්තේ ඒ දෙසට මිස, කුස්සියටවත්, සමාජවාදයටවත් නොවේ. මොකා දිනුවත්, පළමුවෙන් ඉල්ලා සිටිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තයි. බඩට පෙර බුද්ධිය ඉල්ලන්නේ සමාජයයි. බඩගින්නේ මැරෙන එවුන් නැහැ කියන්නෙත් පාලකයින්මයි.

      Delete
    3. මම ඇනො පවුලේ කාටවත් ඡන්දය කාට දාන්නද කියලා නවදාවත් ඉල්ලීම් කරලා නෑ, නමුත් මේ සැරේ එයාලට කියනවා පොද්දට දෙන්න කියලා. හේතුව මෛත්‍රීගේ මූණට කතාවට මහින්දට වගේ කාන්තා ආකර්ශනයක් නැතිවීම. පොද්ද පැරදුනොත් ඒ මේ පැරා කියනවා වගේ කාන්තා ඡන්ද වලින් තමයි. මේ දවස්වල මම අනුරාධපුරේ ඉන්නේ, මෙහේ පිරිමි 90%ක් මෛත්‍රීට, ඒත් අර මහින්ද සෑයට දාතු දානවා බලන්න ආපු ස්ත්‍රී පාර්ශවය ඔක්කොම මහින්ද සක්විති රජ්ජුරුවොම කරගන්න ආසා බව කාතාවලින් තේරුනා, මහින්ද බබෙක් වඩා ගත්තම එයාලා කිතිකැවෙන්නේ හරියට එයාලව වඩාගත්තා වගෙයි. ලංකාවේ බඩගින්නේ ඉන්නේ බේබද්දන්ගේ පවුල්වල අය විතරයි, ඉතින් කුස්සියට කතාකරලනම් වැඩක් නෑ.

      Delete
  6. බකිංහැම් මාලිගාවේ සුදු අස්වයාගෙ කතාව ඇහුවාද?

    ReplyDelete
  7. හොඳයි, අදත් අපි බණ ඩිංගිත්තක් අහමු පින්වතුනි....ඔය පින්වතුන් හරි බරි ගැහිලා වාඩි වුණා නේද?

    දැන් පින්වතුනි අද මම මගේ මැතිවරණ බණට පාදක කොට ගන්නේ අපේ හිතවත් චතූෂ තුෂර කුමාර කැකුළාවල ඇත්තො කියාපු ධර්ම පාඨයක්. මේ ඇත්තො කියනවා පින්වතුනි අපේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයට දිනන්න නම් ඡන්ද ලක්ෂ දහ අටක් අනෙක් පැත්තට හරවන්න ඕනෙලු. ඒ කොහොමද පින්වතුනි? 2010 මැතිවරණෙදි මහින්ද රාජපක්ෂ මහත්තයා හා සරත් ෆොන්සේකා මහත්තයා අතර පරතරය ලක්ෂ දහ අටයි. ඉතින් පින්වතුනි මේ ඇත්තො කියන්නෙ මේ සැරේ දිනන්න නම් ඒ දහ අටම හරවන්න ඕනැ කියලයි.

    ඒ වුණාට පින්වතුනි අපි මතක තියා ගන්න ඕනැ මේ කියන්නෙ සාමන්‍ය පෙළ ගණිතයවත් හරි හැටි පාස් වෙන්න බැරි වෙච්චි උන්නැහේ කෙනෙක් කියලා. මේ කැකුළාවල උපාසක මහත්තැන් කියන්නෙ පින්වතුනි අපේ රසිකදත්ත උපාසක තැන වගේ ඉහළට ගණිතය ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි. එයාට තේරෙන්න නැහැ එක පැත්තකින් අඩු වෙන කොට අනෙක් පැත්තට ඉබේම එකතු වෙනවා කියලා. ඒ කියන්නෙ පින්වතුනි හරවන්න තියෙන්නෙ ලක්ෂ නවයයි. ලක්ෂ දහ අටක් නෙවෙයි. ලක්ෂ දහ අටක් හරවන්න ඕනැ කියන කතාව අර විමල් වීරවංෂ උපාසක තැනගේ දෙකට දෙක කැපුණාම බින්දුවයි කියන කතාවට සමානයි පින්වතුනි. එයා ඒ දෙක කැපුණාම බින්දුවයි කියන්න ඇත්තේ එයාගෙ දෙක ගැන හිතලා වෙන්න ඇති. ඒත් පින්වතුනි ඔය දෙක කැපුණත් ෂෂී නෝනාට තව දෙකවල් ඕනැතරම් හොයා ගන්න පුළුවන් කොට ඔය දෙක මහ කජ්ජක්ද?

    ඕකෙන් මේකෙන් මාතෘකාවෙනුත් පිට පැන්නා. අපි දැන් ගණන් හදල බලමු පින්වතුනි. ලක්ෂ නවයක් වෙනුවට 2010 ඉඳන් වැඩි වෙච්චි ඡන්ද ටිකත් ගණන් බලලා ලක්ෂ දහයක් කියමුකෝ.

    හෙළ උරුමයට ලක්ෂ දෙකක් වත් නැද්ද පින්වතුනි? අපෝ තියෙනවා. එතැන ලක්ෂ දෙකයි.

    ඒ එක්කම මතක තියා ගන්න පින්වතුනි 2010 දි උතුරු නැඟෙනහිර වැඩි ඡන්ද ප්‍රමාණයක් වැටුණේ නැහැ. එක්කෝ වැඩි දෙනෙක් හිටියේ කෑම්ප් වල. නැත්නම් ඡන්දෙ දැම්මෙ නැහැ. මේ සැරේ එතැන ලොකු වෙනසක් වෙනවාමයි පින්වතුනි. උතුරු නැඟෙනහිරින් තව ලක්ෂ දෙකක් මෛත්‍රි මහත්තයාට එකතුයි.

    එහාට මෙහාට පැනපු ඒවයින් ලොකු බලපෑමක් නැතත් නුවරඑළියෙන් නම් ලොකු ගාණක් කැඩෙනවා කියලා ආණ්ඩුවේම කටු කන චන්ද්‍රප්‍රේම මහත්තැනුත් කියනවා. අපි එතැනටත් ලක්ෂයක් තියමුකෝ.

    තව අල්ලන්න තියෙන්නෙ කීයද පින්වතුනි? ලක්ෂ පහයි. ලක්ෂ පහයි. ඈවරයි දෑවරයි. තුන් ඈවරයි.

    2010 ජනාධිපතිවරණයෙදි ගොඩාක් එක්සත් ජාතික පාක්ෂිකයො එක්කෝ ඡන්දය නොදා හිටියා කළකිරීමට. නැත්නම් මහින්ද මහත්තයාට දුන්නා යුද්දෙ දිනපු නිසා. මේ සැරේ ඒ ඔක්කෝම අනෙක් පැත්තටයි. එතැනත් තව ලක්ෂ දෙකක් වත් ඇති.

    ඊළඟට ඉතුරු වෙන්නෙ මහින්ද මහත්තයාගේ දූෂිත ක්‍රියා කලාපය නිසා එයාව අප්‍රිය වෙලා ඉන්නා සිරි ලංකා කාරයො ටික. මෛත්‍රි මහත්තයාටයි චන්ද්‍රිකා නෝනටයි සෝබිත සාදු වන මටයි හරවන්නේ තියෙන්නේ ඒ ලක්ෂ තුන විතරයි පින්වතුනි. දැන් ඔය පින්වතුන් කියන්නේ මෛත්‍රි මහත්තයාටයි චන්ද්‍රිකා නෝනටයි ඒ ටික හරවන්න බැහැ කියලද?

    ReplyDelete
    Replies
    1. එල නියමට ඇනලයිස් කරල තියෙනව.
      අපේ කාර්යාලයේ අපි ජොලියට වගේ අපි චන්ද්යක් තිබ්බ
      ප්‍රකාශිත මුළු චන්ද ප්‍රමාණය = 202
      මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගත් චන්ද ප්‍රමාණය = 137
      මහින්ද රාජපක්ශ මහතා ලබා ගත් චන්ද ප්‍රමාණය = 64
      එක් කොලයක් කුරුටු ගාල තිබුන

      අපි 2010 ත් මේ වගේම චන්දයක් තිබ්බ එකෙත් මේ හා සමානම ප්‍රතිපලයක් තමයි ලැබුනෙ

      2005ත් අපි මේක කරා ඒකෙදි රනිල් වික්‍රමසිංහ මහතා එක් චන්දයකින් ජයග්‍රහනය කරා

      Delete
    2. ඔබත් ඔබේ කාරයාලය, පාසල, වැඩපල වැනි ස්ථාන වල මෙය පවත්වා ප්‍රතිඵලය මෙහි දමන්න.

      Delete
  8. අජිත්, සෑහෙන කාලයක් ශ්රමයක් අවධානයක් යොමු කර දීර්ඝ රචනයක් ලියා ඇත.
    මෙවැනි විග්‍රහයක් කල හැක්කේ , දේශපාලන දර්ශනය ,සමාජ බලවේග වල හැසිරීම් ක්රිියාකාරිත්වය දැනුමැති, තියුණු නිරීක්ෂණ ශක්තියකින් හෙබි,නිර්මාණාත්මකව බැලිය හැකි , මනා ලෙස භාෂාව හැසිරවිය හැකි කෙනෙකුටය. එවැනි දේශපාලන රචකයන් අද සිටින්නේ , අතේ ඇඟිළි ගනනටත් අඩුවෙනි. මෙය පසුගිය “ රාවය” පුවත් පතේ පල වුවද , ඒ වෙනුවෙන් කිසිදු ගෙවීමක් ලැබෙන්නට නැති බව සැක නැත. එසේ හෙයින් , නිශාධ්යාශයෙන් ඉටු කරන ලද මෙම කාර්යය ගැන පාඨකයන්ගේ ප්‍රසාදය, නොවක් ස්තුතිය හිමි විය යුතුය.

    කෙසේ වෙතත්, මෙය සෑහෙන දීර්ඝ වුවත් , කරුණු රාශියක් ඇති බව පෙනුනත් ලොකු අඩුවක් ඇති බව පෙනේ. ඒ focus එකක්, ( එක කරුණක්, දෙකක් හැරෙන්නට ) අවධාරණයක්, යෝජිත ක්රි්යා මාර්ගයක් නොමැති කමය. හරියටම ...විපක්ෂයේ දේශපාලන ප්රවචාරණ ව්යාපාරය වැනි ය. !!!
    අජිත් අවධාරණය කරන ප්රිධාන කරුණ ලෙස පෙනෙන්නනේ, \\. පොදු විපක්ෂය විසින් ආරම්භයේදී මතු කරන ලද සාධනීය කාරණා වන ප්ර ජාතන්ත්රකවාදය, යහපාලනය, නීතියේ ආධිපත්යිය වැනි කරුණු වෙනුවට පිල් මාරුව මූලික තලයට පැමිණීමයි. //... යන්න යි.
    මෙම කරුණ මතු කිරීම මේ අවස්ථාවේ වැදගත්ය. මාධ්යකරුවන්ට අවශ්යයම මෙම පිල්මාරු ය. එය දෙක තුන කර පෙන්වති ,විග්රහ කරති, වර නගති. මාධ්ය සංදර්ශනයන්ට මෙය අවශ්යයම අංගයකි. කෙසේ වෙතත් , පිල් මාරුව අඩු වැදගත්කමකින් සැලකීම, අඩු ප්‍රචාරයක් දීම, වැදගත් කරුණු වලට ප්‍රමුඛස්තානයක් දීම, කරන්නේ කෙසේද ? ප්‍රායෝගික ක්රියා මාර්ග කවරේද ? යන්න ගැන , අජිත් කිසිවක් කියන්නේ නැත.
    රචනය කෙතරම් දීර්ඝ වුවත්, මෙම කරුණ හැරෙන්නට වෙනත් වැදගත් අවධාරණයක් මට නම් පෙනෙන්නේ නැත. දැනට විපක්ෂ ප්රචාරණයේ දුර්වලකම් හඳුනාගෙන , විග්රහ කර , පෙළ ගස්වා ( 1. ,2., 3., ......) ආදී වශයෙන් දක්වා, ඒවා නිශේධනය කිරීමට අනුගමනය කලයුතු ක්රියා මාර්ග ද පිළිවෙලින් දැක් වුයේ නම් වඩා සාර්ථක විග්රහයක් ,රචනයක් විය හැකිව තිබුණි
    .
    මට පෙනෙන විදියට විපක්ෂ ප්‍රචාරණය , රජයේ ප්රචාරණය සමග තරග කිරීමට ,අභිබවා යාමට උත්සාහ නොකළ යුතුය. එය කල නොහැක. කිරීමට තැත් කිරීම ම සිය දිවි නසා ගැනීමකි. කලයුත්තේ alternative වැඩ පිළිවලක් ගෙනයාමය.
    විපක්ෂයේ චන්ද පදනම ලෙස සැලකිය හැකි ප්රධාන ස්තර කිහිපයක් ඇත.
    1. එජාප චන්ද පදනම ( core vote base )
    2. 2010 දී රාජපක්ෂ ට චන්දය පාවිච්චි කල දැන් කලකිරී ඇති නාගරික මධ්යකම පාන්තික ජන කොටස/ රජයේ සේවක පිරිස
    3. (ජවිපෙ ද අමතන) වාමාංශික ජන කොටස
    4. උතුරු නැගෙනහිරද ඇතුළු දෙමල /මුස්ලිම් ජන කොටස .

    අවශ්ය වනුයේ මෙම ජන කොටස් ඇමතීම , උත්තේජනය කිරීම , උනන්දුව ඔකදවා පවත්වා ගැනීම අරමුණු කර ගත් , ප්‍රායෝගික focused වැඩ පිළිවෙලකි, කෙටි කාලින ක්‍රියා මාර්ග ය. .
    තවත්, වැදගත් කරුණක් ඇත . දෙමල /මුස්ලිම් ජනතාව ගැන , ඔවුන්ගේ පිඩා සිදුවන අසාධාරනකම් ගැන අජිත් ,සෑහෙන කාලයක සිට බොහෝ දේ ලියා ඇත.
    නමුත් ( ඉහත 4 ලෙස ද දක්වා ඇති), දෙමල මුස්ලිම් ජන කොටස් වෙනුවෙන් , කිසිදු දේශපාලනික දර්ශනයක් ,වැඩ පිළිවෙලක් , ප්රචාරනයක්, පොදු අපේක්ෂක / විපක්ෂයට නොමැති වීම..... අජිත් ගේ අවධානයට දර්ශනයට හසු නොවන්නේ ඇයි .?

    ReplyDelete
    Replies
    1. බොහෝ කරුණු වලට එකඟයි. මෛත්‍රි පිළට ප්‍රචාරණයෙන් රජය සමඟ හැප්පිය නොහැකිය. ඔවුන්ට කළ හැක්කේ ගරිල්ලා මාකටිං උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. නමුත් ඊට හැකියාව හෝ ඕනෑකම ඔවුන්ට ඇතැයි නොපෙණේ. ඔය අජිත් පැරකුම් වැනි කීපදෙනෙක් අල්ලාගෙන යමක් කළා නම් මීට වැඩිය බොහෝ දුර යන්නට තිබුණේය. දැන් යන ගමන යන විදිහට නම් පරදින්න බොහෝ ඉඩ තිබේ.

      Delete
    2. මොන කෙස්‌ පැලෙන විග්‍රහ දුන්නත් මයිත්‍රී අනිවාර්යයෙන් පරදින්නේය. වැඩි ගණනකින් නොවේ. සුළු ගණනකිනි. රනිල් සහ ප්‍රේමදාස ජනරාල්ට කළා වගේ දුවන වාහනේ හැන්ඩ් බ්‍රේක් ඇදීමට තාමත් ලක ලෑස්ති උනා පමණයි. අපිටත් කියන්න ඇත්තේ හොඳ හොඳ විගඩන් එළිවන සමේට කියා පමණි.

      Delete
    3. ෂුවර්ද?

      Delete
    4. මගෙන්ද ෂුවර් ද ඇහුවේ ?
      නැතුව .... මයිත්‍රී නිතර දෙවේලේ වන්දනා කරන පාක්ෂිකයන් කීප දෙනෙක් සමග රුපියල් 50,000 ක ඔට්ටුවක් ඇල්ලීමට ඉදිරිපත් වූ නමුත් සියළු දෙනාම මග ඇර ලිස්සා ගියා. අඩුකරලා ගිහිල්ල ගිහිල්ල රුපියල් 1000 කට වත් ඔට්ටුවක් ඇල්ලීමට කෙනෙක් නැහැ. මයිත්‍රී පාක්ෂිකයන්ට වත් ෂුවර් නැහැ පොර දිනයි කියල. . ඔන්න බිං මට්ටමේ තත්වේ.තව මොන කතාද මිස්ට.

      දැන් උඩ පනින්න එපා මම MR පාක්ෂිකයෙක් කියල. සුදුවේදී පක්ෂ බේධයක්/ප්‍රතිපත්ති බේධයක් නැහැ. හරියට ලාංකික දේශපාලනයේදී වගේ :P

      Delete
    5. මෙන්න මේ පිල්ලිය ජනමතය විමසන ආකාරය :)

      පොද්දෙක් ඉල්ලන්නේ මොලේ තියෙන එවුන් මිස මීහරක් නෙවෙයි.

      අනිව ඔය ඡන්ද ඔට්ටු දාන වර්ගය මහින්දට ම තමයි, ඉස්සර ජේ ආර් කාලේ එහෙම යූඅැන්පී කාරයේ හිටියා, දැන් උන් ඔක්කොම මහින්ද ලඟ.


      Delete
    6. //පොද්දෙක් ඉල්ලන්නේ මොලේ තියෙන එවුන් මිස මීහරක් නෙවෙයි.//

      ඒක නේන්නං බං මං කියන්නේ මහින්ද දිනනවා කියල. මං කියන්නේ ලංකාවේ මීහරක් ගහනය ඉතා අධිකයි කියල (දෙපැත්තේම බත් ගොට්ටෝ මට මීහරක්. එයින් මහින්දගේ බත් ගොට්ටෝ සංඛ්‍යාව පොඩ්ඩක් වැඩියි ). මුන්නහේ කියන්නේ ලංකාවේ ඉන්නේ බහුතරය "මොලේ තියෙන" එවුං කියල. මේක UNP , JVP ප්‍රශ්නයක් නෙමෙයි නේ.
      ඔබතුමා ගේ ලාංකික ජනතාවගේ බුද්ධිමත් බව ගැන තක්සේරුවක් නේ.

      මොකෝ කියන්නේ ... ඒ තක්සේරුව සම්බන්ධයෙන් 50000 ක් ෂුවර් ද ?? ;). මං ඉතිං උපං ගෙයි සුදූ කාරය. මයෙ දේශපාලන චුං නැහැ. මෝඩයන්ගේ චුං වලින් කියක් වත් හොයාගන්න තියෙනවනං එච්චරයි. :)

      Delete
    7. ඡන්දයකදී පින් ඇති පුතුන් එකාට වඩා පින් මඳ පුතුන් සියය බොහෝ අගනේය.

      Delete
    8. 50000ක් ඔට්ටු අල්ලන්න අපි ගාව මහින්දට ගොට්ට අල්ලල හොයා ගත්ත සල්ලි නෑ මචන්, මසෙ ඉවර වෙනකොට ණය ගෙවල ළමයගේ බේත් හේත් ගෙදර අනිත් වියදම් ඔක්කොම ඉවර කරාම රු500ක් වත් ඉතුරු වෙන්නෙ නෑ මචන්, සූදු කෙලින්න අපිත් ආසයි ඒත් මේ වැඩත් එක්ක වෙලාවකුත් නෑ හිතට එන්නෙත් නෑ ඒත් තරමට මිනිස්සු හිර වෙලා ජීවත් වෙන්නෙ.

      Delete
    9. ඔට්ටු අල්ලන්න සල්ලි ඕනැ නැහැනෙ. ගෙවන්න ඕනැ ඔට්ටුව පරදිනව නම් විතරයි. ඔට්ටුව දිනුවොත් ඔය අඟහිඟකම් මකා ගන්නත් එක්ක 50,000 ක් හම්බ වෙනවා නේද? ඇයි ඉතින් පස්ස ගහන්නෙ?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අන්තර්ජාලය තුළ නම් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කොට ඇත්තේ දැන් සෑහෙන දවසක සිටය. නමුත් අන්තර්ජාලය මැතිවරණයකදී ලාංකීය සමාජය උදෙසා හොඳ දර්ශකයක් නොවන්නට හේතු කිහිපයක් ඇත.
    මතුපිට හේතු පමණක් ලෙස ගත්තද
    *අන්තර්ජාල සාක්ෂරතාවය සහ පහසුකම හිමි ලංකාවේ අතළොස්සකට පමණි.
    * ඒ සාක්ෂරතාවය සහ පහසුකම හිමි අයගෙන් බහුතරය සාපේක්ෂ යහපතක් හෝ උදෙසා පොදු අපේක්ෂකයා ට මනාපය දෙන්නට තරම් අවබෝධයක් ඇති සමාජ කොටසකි.
    * අන්තර්ජාලයේත් හඬ "කතා කරන්නන්න්ගේ" හඬ පමණි. කතා නොකරන්නන් අතර හිටපු ජනපතිවරයාට මනාපය දෙන්නන් වඩා වැඩි වීමට [ විශේෂයෙන් කාන්තාවන්] ඉඩ කඩක් ඇත.
    *මහින්ද රටට සිදු කොට ඇති විනාශය තේරුම් ගැනීමට අන්තර්ජාලය භාවිත කරන මට්ටමේ බොහෝ අය සමත් වුවද රටේ සමස්ථ පුරවැසියා ලෙස සැලකිය හැකි සාමාන්‍ය අධ්‍යාපන සහ අනාවරිත මට්ටමකින් යුත් ජනතාවට ඒ පිළිබඳ තේරුමක් හෝ තේරුම් ගැනීමේ අවශ්‍යතාවක් නැත.

    මේ තත්ත්වය අතික්‍රමණය කර ගන්නට නම් පොදු අපේක්ෂකයාට වඩා සාර්ථක උපායමාර්ගික සැලසුමකට ඉක්මණින්ම යන්නට සිදුවේ. හිටපු ජනපතිවරයා මේ වන විටත් ලාංකීය සමස්ථ ගෝත්‍රික ජන මනසට නිවැරදිව අමතමින් සිය අභියෝගයට මුහුණදීමේ උපායමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී.
    පොදු අපේක්ෂකයා සහ ඔහු වටා සිටිනා ඕලාරික දේශපාලකයින් තවමත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඔවුන්ගේ යල් පැන ගිය දේශපාලන ප්‍රචාරක විධික්‍රමයන් ය. සමහර ඒවා පොතට පමණක් හරි ගියද ලංකාවේ මනාප එකතු කර ගන්නට බැරි ඒවාය. උදාහරණයකට හිටපු ජනපතිවරයා සිය පුත්‍රයා ජොකියා කරගෙන කරන උපාය ක්‍රමවේදයේ මනාප අඩු වන බව උගතුන්ගේ මනසට පෙනුණද ග්‍රාමීය මට්ටමේ තරුණ මන්ත්‍රීවරුන් සහ සංවිධායක වරුන් ඔහු හරහා ගැටගසා තබාගෙන එක්කර ගන්නා මනාප ප්‍රමාණය සැලකිය යුතු මට්ටමේ එකකි.
    පොදු අපේක්ෂකයාට මංගල සහ චන්ද්‍රිකාගේ කල් ඉකුත් වූ උපායමාර්ගයනට වඩා සාර්ථක ඒවා අත්‍යවශ්‍යම වෙයි. නැතහොත් යළි සකසනු නොහැකි අසාර්ථකත්වයකට ඔවුන් පමණක් නොව සමස්ථ රටම ඇද වැටෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා ඇඩ්වර්ටයිසින් කම්පැනි වල ඉන්න ගොන් වහන්සේලා වෙනුවට අජිත් පැරකුම් හරි සිතුමිණි රතනමලල හරි වගේ කෙනෙක් යොදා ගත්තා නම් දිනීම කෙසේ වෙතත් ඡන්ද ගාන ලක්ෂෙකින් දෙකකින් වැඩි කර ගන්න තිබුණා කියලයි මගේ මතය. මෛත්‍රිගේ ඇඩ්වර්ටයිසිං කැම්පේන් එක අන්තිමයි. ඊය් හැම පත්තරේකම ෆුල් පේජ් ඇඩ් එකක තිබුණා. වැඩි දෙනෙක් දකින්නත් නැතුව ඇති.

      Delete
    2. @ Sithumini RathnamalalaDecember 15, 2014 at 1:02 AM

      වැදගත් නිරික්ෂනයන්ය..... අගයමි.
      අන්තර්ජාලය තුල මතවාදීමය ජයග්රහණය , මැතිවරණයක් / චන්දයක් දිනීමට අදාළ නොවන බව, එතරම් බලපෑමක් නොවන බවට ඔබේ මතය සමඟ එකග වෙමි.

      නමුත් මෙහි ද ,අඩුවෙන් තක්සේරු නොකළයුතු යම් වැදගත්කමක් ඇත. උදාහරණයකට, එක කාලයක (විශේෂයෙන් 2009 යුධ ජයග්රහණය, 2010 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු) දෙමල ජාතින්ගේ ප්‍රශ්නය, නන්දිකඩාල් සමුලඝාතනය, යුධ අපරාධ, අතුරුදහන්වීම් ,මානුෂික අයිතිවාසිකම් වැනි විෂයයන් ගැන අන්තර්ජාලයේ වත් කතා කිරීමට නොහැකි කාලයක් තිබුණි. අදහසක් ප්‍රකාශ කරන්නෙකු වට කර පහර දෙන හෙලා දකින, කුණුහරුපයෙන් බනින, විචාරකයෝ comment කරුවෝ බොහෝ වුහ. ඔවුන් ට උල් පන්දම් දෙන න්‍යායාචාර්ය වරුන් ද සිංහ සෙයියාවෙන් ඝර්ජනා කළහ. අජිත්, නිර්මාල් රන්ජිත්, වියන්ගොඩ..... වැනි අය මේ තත්වයට මුහුණදුන් ලේඛකයෝය.
      නමුත් දැන් තත්වය සම්පුර්ණයෙන් වෙනස්ය, හොඳ පිට හැරී ඇත. . අර සිංහයෝ බැටළු හම් පොරවාගෙනය. line මාරු වීය. සිංහ නායකයෝ කතාකරන්නේද ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය දූෂණයෙන් වංචාවෙන් මිදීම.... ගැනය. ඒ කාලයේ පදුරකට ගැසුවත් දහ පහළොස් දෙනෙක් විසි වන සිංහ පෝතකයෝ අන්තේවාසිකයෝ සට්ටභියෝ දැන් අහන්නටවත් දකින්නට වත් නැත.( ඉඳ හිට හොල්මන් කරන බවක් ද පෙනී යයි )

      අනෙක් අතට චන්දයකින් මැතිවරණයකි දිනීම ( හෝ පරාජය වීම ) සමාජ පරිවර්තනයන්ට වෙනස් කම්වලට ප්‍රධානව හේතු නොවන බව බල නොපාන බව ට ද මතයක් ඇත. ලංකාව තුල පවා මෙය අතීත සිදුවීම් වලින් උදාහරණ සහිතව පැහැදිලිව පෙන්වා දිය හැක. එවැනි මතයකින්, මෙම මැතිවරණයේදී සක්රියව මැදිහත් නොවන වාමාංශික කණ්ඩායම් ද ඇත. පොදු අපේක්ෂකයා චන්දයකින් දිනුවත්, ප්‍රජාතන්ත්‍රවාදය , යහ පාලනය නීතියේ පාලනය සුලු ජාතීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අරගලය ඉදිරියට යා යුතු බව ට මම දෙනාම පාහේ එකඟ වෙති.

      එහි දී මෙම මෙම අන්තර්ජාල සාක්ෂරතාවයෙන් යුතු කියවන ලියන , අන් මත ඉවසන විමසා බලන වාද කරන කොටසේ මතවාදී ජයග්ර්හණය වැදගත්ය. සමාජ සංවර්ධනයේ දිශාව, අපේක්ෂාවන් අරමුණු ඉලක්ක සමාජ ගත කිරීමට මෙම අන්තර්ජාල ලිවීම් වාද විවාද වැදගත් කාර්යයක් ඉටු කරයි.

      Delete
  11. අවසානයේ දි සිදු වන්නේ පැරා ඔළුවෙන් හිට ගැනීමයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා