2014-07-10

පලස්තීනයේ නො නිමෙන ගින්න

ලෝකය පාපන්දු ලෝක කුසලානය දෙස ඇස යොමු කර සිටියදී පසුගිය ජුනි 12දා ඊශ්‍රායලයත්, පලස්තීනයත් අතර තවත් යුද්ධයක බිජුවට වැපිරිණි. මෙ වන විට ගාසා තීරය යුද පිටියක් වී හමාර ය. ගුවන් හා මිසයිල ප්‍රහාරවලින් සිදු වී තිබෙන මරණ හා දේපල හානි සංඛ්‍යාව සුවිසල් ය.

එයාල්, ගිලාඩ් හා නෆ්තාලි යනු ඊශ්‍රායල් ජාතික නව යොවුන් වියේ පාසල් සිසුන් තිදෙනෙකි. ජුනි 12දා රාත්‍රියේ ඔවුන් සිය පාසලේ සිට බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසයක පිහිටි සිය නිවෙස්වලට පැමිණෙමින් සිටිය හ. ඔවුහු ගමන් කරමින් සිටියේ අතරමග හමු වන වාහනවලින් යා හැකි දුර යමිනි.

එහෙත්, අතරමගදී ඔවුන්ගේ සම්බන්ධතාව ගිලිහී ගියේ ය. ඔවුහු අතුරුදහන් වූ හ. ඊශ්‍රායල් හමුදාව ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ හ.

ඒ මෙහෙයුම ඉතා ප්‍රචණ්ඩ එකක් විය. මුහුණු ආවරණය කර ගත් ඊශ්‍රායල් සොල්දාදුවෝ මහ රෑ පලස්තීන ජාතිකයන්ගේ නිවෙස්වලට කඩා පැන සියලු භාණ්ඩ අවුස්සා, පෙරළා දමා නිවසින් එළියට පැමිණියේ නිවැසි තරුණයන් අත් අඩංගුවට‍ අරගෙන ය.

සති තුනක් තිස්සේ පැවති මේ මෙහෙයුම්වලදී 700කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී. එයින් 400ක් පමණ පිරිසක් තවමත් අත් අඩංගුවේ ය. චෝදනා රහිතව සිරකරුවන් දිගින් දිගට ම අත් අඩංගුවේ තබා ගැනීම ඊශ්‍රායලයේ සාමාන්‍ය භාවිතාවකි.

මේ ඔස්සේ ඇවිළී ගිය ගැටුම්වලදී පලස්තීන සටන්කාමීන් විසින් මිසයිල් ප්‍රහාර එල්ල කරන ලද අතර ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර මාලාවක් ම එල්ල කළේ ය. පලස්තීන ජාතිකයෝ ගණනාවක් මිය ගිය හ. පලස්තීන ජාතිකයෝ මෙන් ම ඊශ්‍රායල් ජාතිකයෝ ද රැසක් මෙම ප්‍රහාර හේතුවෙන් අනාථ වූ හ.  වීදි සටන් ද පැවතිණි.

ජුනි 30දා අතුරුදහන් වූ තරුණයන්ගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. ඒවා හීබ්‍රන්හි ගුහාවක් අසල බාගෙට වළලා තිබිණි. මේ වන විට හමුදා මෙහෙයුම් හේතුවෙන් පලස්තීන ජාතිකයෝ හයදෙනෙක් මිය‍ ගොස් සිටිය හ. ජුලි 01දා උදේ ඊශ්‍රායල් හමුදා විසින් උතුරු පලස්තීනයේ ජෙනින් අනාථ කඳවුරේදී 16 හැවිරිදි පිරිමි ළමයකු මරා දමන ලදී.

රජ්‍ය න‍ායකයෝ ද ඇතුළුව 50,000කට වැඩි පිරිසක් මරා දමන ලද ඊශ්‍රායල් තරුණයන් තිදෙනාගේ අවමංගල්‍ය මෙහෙයට සහභාගි වූ හ. "අපි ඔබ නැතිව ගී ගයන්නට ඉගෙන ගන්නම්," යි නෆ්තාලිගේ මව හැඬූ කඳුළින් කීවා ය.

එදා රෑ දක්ෂිණාංශික ඊශ්‍රායල් කල්ලි වීදි බැස "අරාබීන්ට මරණය!" යන සටන් පාඨය කියමින් වීදිවල යන පලස්තීන ජාතිකයන්ට පහර දුන් හ. පසුදින උදයේ 16 හැවිරිදි පලස්තීන ජාතික මුහම්මඩ් හුසේන් අබු කදීර්ගේ සිරුර ‍ජෙරුසලමේ කැළෑවක තිබී හමු විය. ඔහුගේ සි‍රුර ද අර ඊශ්‍රායල් ජාතික සිසුන් තිදෙනාගේ සිරුරු වළ දමා තිබුණු ආකාරයට ම බාගෙට වළ දමා කුණු වෙන්නට හැර තිබිණි.

 ඇමරිකාවේ ‍පුරවැසියකු වූ ෆ්ලොරිඩාහි වාසය කරන තරික් අබු කදීර් පසුගිය බ්‍රහස්පතින්දා ජෙරුසලම වෙත පැමිණෙමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් ඊශ්‍රායල් දේශසීමා පොලිසිය ඔහුට අමානුෂික ලෙස පහර දුන්නේ ය. පසුව නිදහස් කරන ලදමුත් ඔහු තවමත් සිටින්නේ නිවාස අඩස්සියේ ය.

මෙම සිද්ධි දාමය පිටුපස සමාජ මාධ්‍යවල දැවැන්ත ක්‍රියාකාරිත්වයක් දැකිය හැකි විය. මරා දමන ලද ඊශ්‍රායල් ජාතික පිරිමි ළමුන් තිදෙනා වෙනුවෙන් ලොව පුරා ජනයා විසින් ‍ලියන ලද ශෝකප්‍රකාශ ට්විටර් ඔස්සේ වයරස් ආකාරයෙන් පැතිරිණි. එහෙත්, මරා දමන ලද පලස්තීන ජාතිකයන් ගැන නම් ඒ තරම් උනන්දුවක් සමාජ මාධ්‍යවල දක්නට නො ලැබිණි. ඔවුන්ගේ නම් පවා ප්‍රසිද්ධ වූයේ නැත. මාධ්‍ය විසින් පලස්තීන ජාතිකයන්ගේ මරණ වාර්තා කරනු ලැබුවේ ඉලක්කම් ලෙසයි. ජුලි 04දා වන විට මෙම ගැටුම හේතුවෙන් පලස්තීන ජාතිකයෝ අටදෙනෙක් මිය ගොස් සිටිය හ. ඒ අතර, පළමු ගුවන් ප්‍රහාරයට ගොදුරු වූ සත් හැවිරිදි පලස්තීන දරුවකු ද සිටියේ ය.

පලස්තීනය තවමත් පැහැදිලිව නිදහස් රාජ්‍යයක් පවට පත් වී නැත. පලස්තීනය 2012දී එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නීරීක්ෂක රටක් ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීම එරට ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි. පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස්ට අනුව එය රටක් ලෙස පලස්තීනයට පිළිගැනීමක් ලැබීමේ අවසාන බලාපොරොත්තුවයි. ඒ සමග පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සැසිවාරවලට හා වෙනත් එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම්වලට ස්වාධීනව සහභාගි වීමේ අවස්ථාව ලැබී ඇත.

පලස්තීන අර්බුදයේ ඉතිහාසය ගැන බූන්දි වෙබ් අඩවියට සටහන් කරන සංඛ කිරිිවැල මෙසේ ලියයි:
ගාසා තීරුවෙහි පාලනය හොබවන්නේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය විසිනි. මිලියන එක හමාරක පමණ ජනයා මෙහි වාසය කරති. තවත් මිලියන දෙක හමාරකට අධික ජනතාවයක් බටහිර ඉවුරේ වාසය කරති. පලස්තීනය යනු බටහිර ඉවුර හා ගාසා තීරුව යන කොටස් දෙකම එක් කොටගත් නිල නොවන රාජ්‍යයකි. පලස්තීනයේ එක් කොටසක් වන ගාසා තීරුවේ බලය හමාස් සංවිධානය විසින් හොබවන අතර බටහිර ඉවුරේ බලය හොබවන්නේ ෆාටා සංවිධානය විසිනි. ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාව හා බටහිර රටවල් සියල්ල පලස්තීන නායකත්වය ලෙස ‍පිළිගනු ලබන්නේ ෆාටා හි නායක හා පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් පමණි. (හිටපු පලස්තීන ජනාධිපති යසර් අර්ෆත්ගේ අනුගාමිකයා) එහෙත් බටහිර ඉවුර හා ගාසා තීරුවේ බලය සමගි සන්ධාන රජයක් මගින් පාලනය කිරීමට උත්සාහ දැරුවද, පලස්තීනයේ ප්‍රධාන දේශපාලන සංවිධාන දෙක අතර හටගත් යුද්ධයෙන් ගාසා තීරුවේ බලය සම්පූර්‍ණයෙන් අත්පත්කර ගැනීමට හමාස් සංවිධානය සමත් විය.

වසර 2007දී හමාස් පාලනය ගාසා තීරුවෙහි ස්ථාපිත වූවායින් පසුව, ඊශ්‍රායලය විසින් එකී ප්‍රදේශයට දැඩි ලෙස සම්බාධක පනවන ලදී. ගොඩනැගිලි සදහා අත්‍යවශ්‍ය සිමෙන්ති පවා ගාසා තීරුවට රැගෙන යාමට අවසරයක් නොමැත. ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය නිල දේශපාලන සංවිධානයක් ලෙස පිළිගනු නොලබන අතර ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම්කර ඇත. අනෙක් අතට හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය යනුවෙන් ‍රටක් නොපවතින බවට විශ්වාස කරනු ලබයි. මේ නිසා මෙකී දෙපාර්ශවය විසින් එකිනෙකාගේ විනාශය අරමුණු කොටගෙන ඇත.

අන්තවාදී හමාස් සංවිධානය මේ වන විට පලස්තීන අර්බුදය විසඳීමෙහි ප්‍රධාන බාධකයක් වී තිබේ. ඒ පිළිබඳව සංඛ කිරිඳිවැල මෙසේ සටහන් කරයි:
අධිරාජ්‍යවාදයේ අතකොළුවක් හා එහි අනුගාමි‍කයෙක් ලෙස ප්‍රකට ඊශ්‍රායලය විසින්ම හමාස් සංවිධානය ගොඩනැගීමට සහ ඊට බලය අත්පත්කරගැනීම සදහා වැඩි දායකත්වයක් දක්වා ඇත. පලස්තීන විමුක්ති අරගලයේ පුරෝගාමී වූ යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO) එරෙහි විකල්ප සංවිධානයක් ලෙස 1980 දශකයේ මුල්භාගයේ සිට හමාස් සංවිධානයට සියලු පහසුකම් සපයන ලද්දේ ඊශ්‍රායලය විසිනි. කුප්‍රකට අල්ඛයිඩා හා තලේබාන් ආදර්ශ ඉදිරියට ගෙන යමින්, හමාස් අන්තවාදී සංවිධානය පලස්තීන අර්බුදය විසදාලිය නොහැකි මට්ටමට රැගෙන ගිය පිළිකාවක් බවට පත්කොට හමාරය.

හමාස් සංවිධානය යටතේ පලස්තීන ජනයාට කිසිදු ආකාරයට නිදහසක් බුක්ති විදිමට ඉඩකඩක් නැත. එක් පසෙකින් ඊශ්‍රායල් මිලිටරි යටපත් කිරීමත්, අනෙක් පසින් හමාස් සංවිධානයේ සමාජ, දේශපාලනික මෙන්ම සංස්කෘතික යටපත් කිරීමත් විසින් පලස්තීන ජනයා මිහිමත අපායක සිරගත කොට ඇත. ගාසා තීරුවේ ක්‍රියාත්මක සියළු වෘත්තීය සමිති, සමාජ සංවිධාන සදහා හමාස් සංවිධානය සීමා සටහන් කොට ඇත. ඉස්ලාම් අන්තවාදී විශ්වාස ර‍ටේ නීතිය බවට පත්ව ඇත. අනෙකුත් සියළුම සමාජ සංවිධාන, සංස්කෘතික එළැඹුම් යටපත් කොට ඇත.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com