2013-01-10

නව අගවිනිසුරු පදවිය කාට දුන්නොත් හොඳද?

ආණ්ඩුව අදත්, හෙටත් දෝෂාභියෝග විවාදය පවත්වා, හෙට එය සම්මත කරගෙන,  හෙට රෑම අග්‍රවිනිශ්චයකාරිය තනතුරෙන් පහකරන ලියුම නිකුත් කර, සඳුදා සිට නව අග්‍ර විනිශ්චයකාරයකු පත් කරන්නට සැලසුම් කර ඇති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

අගවිනිසුරුකම බලාපොරොජත්තුවෙන් සරත් නන්ද සිල්වාද දැන් කඩේ යමින් සිටින අතර, ඔහුට එම තනතුර දුන්නොත් හොඳය. මන්ද, ලංකාවේ සිටින විශ්වාස කළ නොහැකිම පුද්ගලයන් අතරින් කෙනෙකු වන ඔහු ඉක්මණින්ම ආණ්ඩුවට ගේම දෙන්නට ඉඩ තිබේ. 

නැතිනම් කිසියම් හෙංචයියකු මේ තනතුරට පත් කරනු ඇත. කොපමණ දීනකම් කරන්නට සිදුවුණත් ආණ්ඩුව මේ තනතුර දෙන්නට යෝජනා කළොත් ඕනෑම කෙනෙකු එය භාරගන්නා තත්වයට ලංකාවේ සිවිල් සමාජය පිරිහිලාය. කොටින්ම අද දෝෂාභියෝගයට එරෙහිව සටන්වලට නායකත්වය දෙන නීතිඥයකු පවා හෙට මේ තනතුර දුන්නොත් භාරගන්නා තත්වයකි, සිවිල් සමාජයේ තිබෙන්නේ. 

අලුත් පත්වීමට සෙසු විනිශ්චයකාරවරුන් හා නීතිඥයන් විරුද්ධ වන නිසා සිය පැවැත්ම සඳහා නව අග්‍ර විනිශ්චයකාරවරයාට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න සිදුවනු ඇත්තේ හිටපු සංවිධායකයකු පහ කර පැරෂූට් එකෙන් ආසනයට පත් කරන ලද ආසන සංවිධායකවරයකු පරිද්දෙනි. 

එහෙත්, ආණ්ඩුව සිතන පරිදිම බත්බැලයන් නැටවීමට බැරිය. මන්ද, ශිරානි බංඩාරනායකට ගෙන එන ලද චෝදනා හේතුවෙන් ඉදිරි අගවිනිසුරුවරු වංචනික කටයුතු කිරීමේදී දැඩි ලෙස පරිස්සම් වනු ඇත. 

අග්‍ර විනිශ්චයකාර තනතුරට තිබෙන බලතල අනුව පාලකයන්ට බියෙන් හා සැකයෙන් අත්මිදීම සඳහානම් තිබෙන්නේ එකම එක විසඳුමකි. එක්කෝ ඒ බලතලත් ජනාධිපතිටම ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. නැතිනම් නාමල් පුතාව මේ තනතුරට පත් කිරීමයි. 

මොනවා කළත් ලොව කිසිදු දුෂ්ට හෝ ගුණගරුක පාලකයකුගේ පෙළපතක් සදාකාලිකව රාජ්‍ය පාලනය කර නැතිබව ඉතිහාසය පෙන්වා දෙයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න