ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් / An hour with a JVP parrot

ඊයේ කැස්බෑවේ සිදු වූ ජවිපෙ ගුටි ගැසීම ජවිපෙ කණ්ඩායම් දෙක අතර අර්බුදය නව මානයක් කරා යාමකි. දෙපාර්ශ්වය එකිනෙකාගේ ශක්තිය පෙන්වීමේ තරගයක නියැලීමෙන් අනතුරුව දැන් ගැටුම ප්‍රචණ්ඩ අවධියකට එළඹෙමින් තිබේ. 


මේ එකිනෙකාගේ ලේ සොලවන්නේ කලක් එකට සිටිමින් අන් අයට එරෙහිව නැඟී සිටි පිරිසකි. ඉතිහාසය පුරා ම වාමාංශික හා විප්ලවවාදී යයි කියන පක්ෂ, කණ්ඩායම්වල ගැටුම් සිදු වී ඇත්තේ මේ අන්දමිනි. 


ලේඛකයාට ඊයේ දවසේ ජවිපෙ සෝමවංශ අමරසිංහ කණ්ඩායමේ තරුණ වෘත්තීය සමිති ක්‍රියාධරයකු හමු විය. ලේඛකයා ඔහු සමග සංවාදයක් ඇති කර ගන්නට උත්සාහ කළේ ය. ලේඛකයා ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළ දෙය වන්නේ දේවල් පිළිබඳ නිගමන මත පිහිටීම වෙනුවට ඒවා සංවාද ලෙස විවෘත අවසානයන් සහිතව පවත්වාගෙන යාමේ වැදගත්කමයි. 


එහෙත්, ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ සත්‍යයන් ඇත්තේ එකක් පමණක් බවයි. විරුද්ධ මත කිසිවකට සවන් දීමේ උවමනාවක් ඔහුට නො වූ අතර, ඔහු දිගින් දිගට ම කතා කළේ ය. ලේඛකයාට කරන්නට සිදු වූයේ ඔහුට සවන් දීම හා ඔහුගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීම පමණි. මෙම තරුණයා ලේඛකයාට පක්ෂ ඉතිහාසය පිළිබඳ විස්තරයක් කළේ 1971 කැරැල්ල රෝහණ සහෝදරයාගේ කැමැත්තෙන් තොරව සිදු වූ දෙයක් බව අවධාරණය කරන්නට ඔහු වැඩි කාලයක් ගනිමිනි. ලේඛකයාට එකී කාරණා අලුත් ම ඒවා වන්නට ඇතැයි ඔහු සිතන බවක් ඔහුගේ විශ්වාසවන්ත කතා විලාසය තුළ තිබිණි.  


වර්තමාන අර්බුදය ගැන කියද්දී ඔහු කියුවේ මෙය සිදු වූයේ පක්ෂයේ කණ්ඩායමක විනය විරෝධී ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස බවයි. පක්ෂයේ සිටි රංජිතම් ගුනරත්නම් නමැති මිය ගිය නායකයාගේ 'අයියා' වන කුමාර් ගුනරත්නම් නමැත්තකු එහි නායකයා බව ඔහු කීවේ ය. එම පිරිස ප්‍රභාකරන්ගේ මවගේ අවමංගල්‍යයට සහභාගි විය යුතු බවට යෝජනාවක් ගෙන ආ බව හා දේශපාලන මණ්ඩලයේදී එය පරාජය වූ බව ඔහු කීවේ ය. ඔහුට අනුව ගැටුම ආරම්භ වූයේ ඒ සමගයි.


එසේ ම, මොවුහු පක්ෂ මතයට විරුද්ධ අදහස් අවුරෝරා සඟරාවේ පළ කළ බව ද කීවේ ය. ඔවුන් ජාතික ප්‍රශ්නය කියා ලියූ බව ද, ලංකාවේ ඇත්තේ ජාතික ප්‍රශ්නයක් නොව ජාතිවාදයක් හා රට බෙදීමේ වැඩපිළිවෙලක් බව ද ඔහු කීවේ ය


අසන්නා තුළ ඇති සිංහල ජාතිවාදී මූලයන් ස්පර්ශ කිරීම කරන ගමන් ම තමන් ජාතිවාදී පක්ෂයක් නො වන බව ද, 'ජාතික ප්‍රශ්නයට' විසඳුම ඇත්තේ සමාජවාදය තුළ බව ද ඔහු කීවේ ය. . 


ඔහුගේ කතා විලාසය අධික ලෙස උද්වේගකර විය. ලේඛකයාට ඔහුගේ තුරුණු විය සිහිපත් විය. 


සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි. 


පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. 


විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීම සඳහා මෙම මුග්ධත්වය නඩත්තු කිරීම හැර අලුත් ක්‍රමයක් ගැන අදහසක් ඔවුන්ට නැත. එහෙයින්, දැන දැන ම මේ ආගමික අන්තවාදීනට ශාස්තෲ භූමිකාව රඟපාති. 


මේවායින් බිහි වන්නේ හිට්ලර්ගේ නාසි පක්ෂයට ව්‍යූහාත්මක වශයෙන් වෙනස් නැති පක්ෂ ය. 


එහෙත්, වාමාංශික හෘදය සාක්ෂිය අවධි වීම නිසා කලින් කලට මේවායින් පිරිස් හෝ තනි තනි පුද්ගලයෝ ගැලවී යති. තමන් මෙතෙක් ජීවත් වූ උප සංස්කෘතික අවකාශයෙන් මිදී යථාර්ථවාදී ලෝකයට නිරාවරණය වීමත් සමග ඔවුහු එයට හැඩගැසීමට තමන්ට අභිමුඛ වූ නව යථාර්ථයන් තේරුම් ගැනීමට උත්සාහයක් දරති. 


එහිදී බොහෝ අය දැඩි ලෙස අනාරක්ෂිත තත්වයට පත් වෙති. එවිට, ඔවුහු නව ශාස්තෲන් සොයා ගනිමින් ප්‍රමාණයෙන් කුඩා වූ අලුත් උපසංස්කෘතික අවකාශයන් නිර්මානය කර ගනිමින් ඒවා තුළ ආරක්ෂාව සොයති. රෝහිත භාෂණ අබේවර්ධනගේ නායකත්‍වයෙන් ජවිපෙන් වෙන් වූ හිරු කණ්ඩායම මේ සඳහා‍ නිදසුනකි. 


එසේ නොමැති නම්, විමල් වීරවංශ සේ විප්ලවවාදියා මරා දමා, සාමාන්‍ය මිනිසත්භාවයේ පොදු දුර්ගුණ අලුතෙන් ම හමු වූ මහාර්ඝ වස්තූන් සේ අභිරුචියෙන් වැළඳගෙන ගිජු ලෙස අනුභව කිරීම අරඹති. 


එහෙමත් නොමැති නම්, එක්ස් කණ්ඩායම හෝ වෙනත් පැරණි වාම විප්ලවවාදීන් සේ බොහිමියානුවාදයක ප්‍රවර්ධකයෝ බවට පත් වෙති. 


ජවිපෙ කුමාර් පාර්ශ්වය අලුත් වීමට කැමැත්තක්, උනන්දුවක් පෙන්වා තිබේ. එහෙත් අලුත් බෝතලේ පරණ වයින් නො වී, සැබැවින් ම අලුත් වීම විශාල අභියෝගයකි. 


තමන් සමග සිටින පිරිස අර අප ඉහත කී තරුණයා වැනි නායකයන් කී දේ ඔවුන්ගේ කථන විලාසයන් ද සමග අමු අමුවේ කොපි කරමින්, තැන, නොතැන නො බලා දෙසා බාන ගිරා පෝතකයින් වෙනුවට සංවාදශීලී විවෘත දේශපාලන ක්‍රියාධරයකු නිර්මානය කිරීම අභියෝගයකි. හේතුව, එවැනි ගිරා පෝතකයින්ට දිනා ගත හැකි වන්නේ සමාජයේ සිටින මුග්ධ ම හා අදක්ෂ ම පිරිස පමණක් වන හෙයිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. උන් විතරක් නෙමෙයි.. ලංකාවේ අධ්‍යාපන ක්‍රම්යෙන් බිහිවෙන්නේ විචාටශීලී බුද්ධියක් ඇති උන් නෙමෙයි. හොඳම උදාහරණය චිත්‍ර හා සංගීතය විෂය. දරුවන්ට තමන් කැමති විදියට අඳින්න, තමන් කැමති විදියට වාදනය කරන්නවත් නිදහසක් තියෙනෙවද. අනික අපෙ බුද්ධිමතුන් යයි කියාගන්න පිරිස උනත් කැමති වැඩි පිරිස හරක් ලෙස ඉන්න එකටයි. ඒක ජවිපෙටත් වාසුටත් මහින්දටත් නිමල්කටත් පාක්‍යසෝතීලාටත් කාටත් පොදුයි.. මම විශ්වාස කරනවා රනිල් එහෙම නොවෙයි කියලා. මොකෝ තරුණ සේවාව මගින් අලුත් ළොකයකට පොර ඉඩ දුන්න නිසා. සජිත් නම් අර කලින් ගොඩේ හොඳම එක. දැන් දෙන්නේ ධම්ම පදෙන්.. ජනතාව බුද්ධිමත්.. හෙහ් හෙහ්....

    ReplyDelete
  2. පරා හොඳ විවරණයක්. හැබැයි ඔබ කියන "සංවාදශීලී විවෘත දේශපාලන ක්‍රියාධරයකු" හැදුනොත් ඔහු "වම", "සමාජවාදය" හෝ ඊටත් එහා ගිය "මාක්ස්වාදය", වැනි රාමු තුල ඉතිරි වේ යයි ඔබ සිතනවාද? එසේ වන්නේ [හෝ වඩාත් නිවැරදිව එසේ විය යුතු ඇයි] කියා පැහැදිලි කල හැකිද?

    වෙනත් කෙටි විදිහකින් කිව්වොත් "සංවාදශීලී විවෘත දේශපාලන ක්‍රියාධරයකු" තම දේශපාලන අවබෝධයේ උච්ච පලය ලෙස සමාජවාදය දකීද?

    මට තේරෙන්නේ පරා සමාජවාදය කියන ලොකු පෙට්ටිය ඇතුලෙත් මීයෝ රැඳෙන්නේ මුග්ධ භාවය කට පාඩම ගුරු භක්තිය ඇතුළු ඔබ මතු කරන හේතු නිසාම තමා.

    ReplyDelete
  3. I am ex jvp full timer 88/89. The content of this is 100% true. No doubt.

    ReplyDelete
  4. ප්‍රේමකුමාර් රංජිතම් ගේ අයියා ය කීමේ කතාවට ලොකු පසුබිමක් ඇතැයි ද සිතේ!

    ReplyDelete
  5. මට සිහිවුනේ බයිබලයේ වගන්ති පාසා විශ්චාස කරන භක්තියකින් සහ මා දැන සිටි සමහර විකොස කාරයින්ය.

    ReplyDelete
  6. 'Gira Pothakaya' is not Parrot but Paraquet'

    ReplyDelete
  7. ane hukee nannane......

    ReplyDelete
  8. ජේවීපී එකට ,විරුද්ධව පහුගිය කාලේ දිවයින පත්තරේ ගිය ලිපි ලියපු එකෙක්ම ලියලා දුන් එකක් වගෙයි පෙන්නේ .

    ReplyDelete
    Replies
    1. වජිර, ඔයාත් මෑතදී ජවිපෙ විසින් කරන මොළ සේදීම වැළඳ ගත් කෙනෙකු බව පෙනෙනවා. කෙසේ වෙතත්, ඔයා මෙම බ්ලොගය අධ්‍යයනය කරන එක හොඳයි. හැබැයි විවෘත මනසකින් බලන්න.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා